“මං ඔය කතාව පිළිගන් නෑ.”
මලිතිගේ කටහඬෙහි ස්ථිර බවක් තැවරී තිබිණ. දවල්ට කන්නේ මොනවාදැයි පවා තමන්ගේ අසා තීරණය කරන මිතුරිය මෙතරමට හිතුවක්කාර වීම රුවිනිට පුදුමයකි. ඇය හිඳින්නේ ඇගේ තීරණයේ තරයේම ගිලී බව රුවිනිට දැනේ.
“මලී, දැන් නවීන් නිසා ඔයා ඉන්නේ වේදනාවෙ ගිලිල නේද? ඒ වේදනාවට තව තව වේදනා එකතු කරගන්න එක කොච්චර වැරදිද?”
රුවිනි අසන්නේ වේදනාවෙනි.කෙනෙකුට තමන්ගේම කියා තීරණ තිබිය යුතු බවත් පෞද්ගලිකත්වය ඉතා වැදගත් බවත් නිරන්තරයෙන් කියන්නිය තමන්ගේ ජීවිතය වෙත බලහත්කාරයෙන් මැදිහත් වන බවක් මලිතිට දැනෙයි. ඇය ජීවිතයේ පළමු වතාවට රුවිනි ගැන කෝපයට පත් වූවා ය.
“රූ, මං ඔයාට දෙයක් කියන්නද?”
මලිති අසන්නේ ප්‍රසන්න හඬකින් නොවේ. ප්‍රේමය නිසා ගැහැනු අන්ධ වී යන බව රුවිනි තරම් දන්නා කෙනෙකු නොවේ.ඇගේ භාෂාවෙන් කියනවානම් ඇය ප්‍රේමය නිසා අන්ධ වූ අවස්ථා ඉහේ කෙස් ගාණට ය. නමුත් මලිතිට එසේ වන්නට ඉඩ දෙන්නට රුවිනිට දුකක් දැනේ.
“මං ඇත්තටම කියන්නේ, රංගනීලා වගේ කෙස් පැහුණු ගෑනි ඉන්නෙ අනුන්ගෙ ජීවිතේ ගැන ඕනවට වඩා ජජ් කරන. මං ඔයා ගැන ජීවිතේටවත් එහෙම හිතුවේ නෑ.”
මේ වචන කියන්නේ වෙනත් කෙනෙකු නම් රුවිනිට මෙතනින් ගසා බසා දමා යන්නට ලොකු වෙලාවක් යන්නේ නැත. නමුත් මේ ඇගේ මෝඩ පණු පැටික්කිය ය. මහා බරපතල තීරණ ගන්නට නොදන්නා මලිතිට විශාල ලෙස වැරදෙන්නට යන බව සිතෙද්දී රුවිනිට සැබෑ දුකක් දැනේ.
“අපි කොහොමද රූ එහෙම කියන්නේ, තුහින දිහා පිටින් බලලා අපිට එයා ඩ්‍රග් ඇඩික්ටඩ් කියල තීරණය කරන්න බෑනෙ.එහෙම තීරණ මිනිස්සු ගැන ගන්න එක කොච්චර නම් නරකද?”
පුද්ගල විනිශ්චය ඉතා අප්‍රසන්න දෙයක් බව රුවිනි හොඳින් දනියි. දික්කසාද ගැහැනියක ලෙස ඇය ඕනෑතරම් විනිශ්චයට ලක් වේ. ඒ සෑම අවස්ථාවකම එය ඇයට දරා ගැනීම එතරම් පහසු වූයේ ද නැත. ඇය ඉවසමින් රිදවා ගනිමින් ඒවා දරා ගන්නී ය.
“මිනිස්සු ජජ් කරන එක නරකයි තමා. ඒත් අපි මොකක්ම හරි අමාරුවක වැටෙන්න යනවා නම් ඒක කරන එකේ වරදක් නෑ.”
රුවිනි කියන්නේ කල්පනාකාරීව ය.
“මලී, අපි පොඩි කාලේ සුරංගනා කතා කියෝලා එක එක ඒවා හිතා ගන්නව තමයි. ඒත් ඒවා ඇත්ත ලෝකෙට ඇප්ලයි කරන්න ඕන නෑ මං නම් හිතන්නේ. අපිට රාස්සයො කුමාරයො කරන්න බෑ. කිස් කරාට ගෙම්බො කුමාරයො වෙන්නෙත් නෑ.”
ආදරය පිරිනමා මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරකයෙක් පුනුරුත්ථාපනය කරගන්නවාට වඩා මලිති ඇගේ ප්‍රශ්න විසඳා ගත යුතු බව රුවිනි සිතුවා ය. ඇය එය විශ්වාස කරන්නට සතුටු වූවා ය.
නිවසට එනතුරුම මලිති සිටියේ කල්පනාවෙනි. ඇයව නවීන්ට මඟ හැරී තිබේ.පෙනෙන ආකාරයට උත්පලාට තුහින මඟ හැරී ඇත.
“මට හිතෙනව නවීන්ටත් එහෙම ඩ්‍රග් ඇඩික්ටඩ් එකක්ද කියල.”
ඇය නිවසට පැමිණ රුවිනිට ලියා යැව්වා ය.
“නවීන්ගෙ ඇඩික්ට් එක නැති වෙලා.එච්චරයි. ඒ මනුස්සයා ඔයාට තිබ්බ ආදරේ හරි මොකක්ම හරි නැති වෙලා.”
රුවිනිට කියන්නට ඊට වඩා දෙයක් නොවේ.ඇය එපමණක් කියා නිහඬ වූවා ය.
දිගු දවස් ගෙවෙයි.ඔබේ එකම එක සිනාවක් අහුලා ගන්නා ආශාවෙනි.එහෙත් මේ ගෙවෙන්නේ ඔබ මායාවක් මිස සැබෑවක් නොවන බව දන්නා දවස් ය.මා ඔබට ප්‍රේම කරන බව කියන්නට බියෙනි.ඔබ ඒ ප්‍රේමය නොදන්නා බව හඟවමිනි.මේ ආත්මය ඔබ ලබා ගන්නට නොහැකි බව දනිමි.එහෙත් මේ භවයේ අවසන් ප්‍රේමය වූ ඔබට ආදරයෙනි.
තත්පරයකට ආදරේ බව කියන්න.මට එය සංසාරයටම සෑහේ.
මලිති ඇගේ සටහන් අතර එසේ ලියා තැබුවා ය. තුහින වෙනුවෙන් යමක් ලියන්නට සිතුණේ කාලයකට පසුව ය. නමුත් ආදරය තවම පවතින බව ඇයට සිතේ. ඔහු භයානක වර්ගයේ මිනිසෙකු බව මිතුරිය පැවසුවා ය. නමුත් ඇය තවමත් තුහිනට ආදරයෙනි.
මලිති ෆේස්බුක් අවකාශය මත ඉහළ පහළ ගියේ කම්මැලිකමත් කරන්නට දෙයක් නොවීමත් හන්දා ය. මොනවා හෝ ලියන්නට පුරුදු වූ දවස් තිබුණද දැන් සැබෑ හැඟීම් ලියන්නට ඇයට අසීරු ය.ඒ හැම හැඟීමක්ම අයත් තුහිනට ය. ඒවා ප්‍රසිද්ධියේ ලියා තැබීම අසීරු ය.
ඇයට මිතුරු ඇරයුම් පිරික්සන්නට සිතිණ.ඒවා පිළිගන්නට පවා ඇයට දැන් කුසීත හැඟීමක් දැනේ. ඕනෑවට වඩා කුසීත වන්නේ ද විශාදයේ ලක්ෂණයක් ලෙස බව ඇය කියවා තිබේ. වෛද්‍යවරිය ද ඒ ගැන ඇයට පවසන්නී ය. නමුත් රෝගී වීම ගැන පවා මලිතිට දැන් අදහසක් නොවේ.
“තුහින වීරසේකර”
ඒ ඇරයුම ඈ දුටුවේ අහම්බයකිනි. එය පැමිණියේ කවදාද? ඒ මිතුරු ඇරයුම යවන්නට සිතමින් පසුබට වෙමින් ඇය කොපමණ කාලයක් ගෙවා දැම්මා ද?
මලිති තුහිනගේ ගිණුම පුරා එහෙමෙහෙ ගියේ ආවේශයෙනි. ඔහු හිඳින්නේ උත්පලා සමඟ හිනැහෙමිනි. ඇය උත්පලා අතකින් වසා ඔහු දෙස බලා සිටියා ය.
එහෙත් ඇගේ ඇසට වැදගත්ම දේ පෙනුණේ ඉනික්බිතිව ය.තුහින ඇගේ නගරයේම තරුණයෙකි. වෙනකක් තබා ඔහු ඇගේ සහෝදර පාසලේ ම ආදි සිසුවෙකි. ඇය ඒ මුහුණ දැක ඇත්තේ පෙර සංසාරයේ නොව වසර කිහිපයකට පෙර බව තේරුම් ගත්තා ය.නමුත් තුහින කෙනෙකු ගැන ඇයට මතක නැත. ඒ හන්දා මේ සංසාර බැඳීමක් වන්නට ද පුලුවන.