රිදුණු තටු පිරිමදිමි – 02

රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන ගියොත් හොඳ නේද කියන අලුත් ම අදහස හිතේ මෝදු වෙත්දී සන්තුෂී සිටියේ නින්දත් නො නින්දත් අතරේ වාගේ තැනක ය. ඇය තිගැස්සී මුළුමනින් පිබිද යහනේ හිඳ ගත්තා ය. ඇඳගෙන සිටි ලා රෝස පාට නිදන ඇඳුම අතරින් තද සීතලක් සිරුර වැළඳ ගන්නා සෙයක් ඇය ට දැනිණ. ඒ සීතල ම ඊළඟ නිමේශයේ උණුහුම් වායු ප්‍රවාහයක් ව ඈ වටා වෙළිණ. යමක් සිදු විය යුතු බවට නොපෙනෙනා බලවේගයක් විසින් ඉඟි කරමින් සිටිනා බවක් ඇය හැඳින ගත්තා ය. රූපලාවන්‍යාගාරයක්! රූපලාවන්‍ය ශිල්පිනියක්!

සන්තුෂී ප්‍රහර්ශයෙන් ඉපිල ගියා ය. යහනෙන් බිමට පැන ගත් ඕ බෙඩ් සයිඩ් කබඩ් එක මත වූ වතුර වීදුරුව එහෙම පිටින් ම හිස් කළා ය. ඉනික්බිති විසල් ජනේලය වසා ලූ තිර රෙදි දෙපසට කොට අඳුරේ සළු පොරවා ගෙන හිඳින උද්‍යානය දෙස බැලුවා ය. ඇයටත් හොරෙන් දෙතොල් අතරට මන්දස්මිතයක් විත් නතර විය.

“ඔව් ඒක හොඳයි”

ඇයට එහෙම කියවෙත්දී ඇස් දෙක යන්තමින් තෙත් වී ගෙන ආවේ ය.

මේ පාළු හුදෙකලා දිවිය ගත කර ගන්නට යමක් ඇගේ හදවත විසින් ඉල්ලා සිටින්නට ගෙන දැන් ටික කලකි. අරමුණක් බලාපොරොත්තුවක් නැති ජීවිතයක් වූ කලී ඉතා දුෂ්කර වූවකි. කාලය ගත කර ගන්නට හෝ යම් කිසි කටයුත්තක නිරත විය යුතුව තිබේ. රැකියාවක් ඊට හොඳ ම මගයි. නමුත් වයස හතළිහ ඉක්මවූ ගැහැනියකට අලුතෙන් ම රැකියාවක් දෙන්නට සූදානම් ආයතනයක් ගැන සිතීමත් විහිළුවක් බව තප්ති එක්ක කළ කතා බහේදී සන්තුෂී වටහා ගත්තා ය. 

“බිස්නස් එකක් පටන් ගන්න තමා වෙන්නෙ”

ඇය කීවේ සිනහ වෙවී ය. 

“තියන දෙයක් කාල වෙන දෙයක් බලං හිටාං බං. වෙන ගෑනුන්ට රස්සාවල් එක්ක ඔට්ටු වෙන්න වෙලා තියෙන්නෙ ගෙවල් වල තියන ආර්ථික ප්‍රශ්න නිසා. ඒ මිනිස්සු ඒක විනෝදෙටවත් නිකං ඉන්න බැරුවවත් කරන දෙයක් නෙවේ. මටනං ජොබ් එකට නොයා ගෙදර ඉන්න පුළුවන්නං මං ජොලියෙ ඒක කරන්නෙ…”

තප්ති ගේ සමස්ථ අදහස වූයේ එසේ ය. සාමාන්‍ය ගැහැනියක වී නම් සන්තුෂී ට ද එසේ සිතා නිහඬ වන්නට තිබිණි. ජීවිතය දෙස ආපසු හැරී බලත්දී සන්තුෂී ද මෙතුවක් කාලයක් උත්සාහ කළේ එසේ සිතන්නටයි. දරුවන් උස් මහත් වන තුරු ම, ඔවුන් විදේශ වල ඔවුන්ගේ ලෝක හදා ගන්නා තුරු ම දරුවන් වෙනුවෙන් කැප වීම සිය ජීවිතයේ ඉතිරි ව ඇති එක ම අරමුණ යයි ඇය සිතුවා ය. පාළුව හා හුදෙකලාව වඩ වඩාත් ඇය හඹා එන්නට වූයේ ඔවුන් ගේ දුරස් වීමෙන් අනතුරුව ය. ගෙට වී කල්ප උපයනා දෙයකින් පෝෂණය වෙමින් සිටිනා සිය දිවියේ හරය කුමක් දැයි සිතන්නට ඇය උත්සාහ කළා ය. ඔහු වෙතින් නික්ම යන්නට නිදහසක් නොව ආත්ම තෘප්තියකින් යුත් ජීවිතයක් ගෙවීමට ශක්තියක් ඇය හොයන්නට වූවා ය. මේ රැයේ හරි අහම්බෙන් දෛවය ඇය ට සිහිපත් කොට දුන්නේ ඇය යා යුතු මග යයි පිළිගන්නට සන්තුෂී රිසි වූවා ය.

“බියුටි කල්චර්…නාකි වුණාම මේක් අප් කර ගන්නද දැන් බියුටි කල්චර් ඉගෙන ගෙන…”

උදේ හමු වූ වෙලාවේ ඒ ගැන කියූ විට කල්ප එසේ විමසා සමච්චලයට සිනහ වූයේ ය. සන්තුෂී ඒ ගැන තව දුරටත් වදනකුදු නොදොඩා නිහඬ වූවා ය. ඒ ඔහු ගේ ලෝකයත් ඇගේ ලෝකයත් අතරේ පාලමක් ගොඩනැංවිය නො හැකි තරමට දැන් ඒ ලෝක දෙක ඈත් වී ඇති බව ඇය පසක් කර ගෙන සිටි හින්දා ය. 

හැම දේ ම ඒ තරම් ඉක්මනින් සිදු වූයේ සන්තුෂී තුළ වූ අධික උනන්දුව නිසා යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඇය මූලික රූපලාවන්‍ය පාඨමාලාව කළේ ප්‍රකට ශිල්පියෙකු යටතේ ය. එය නිම වූ ගමන් ම මනාලියන් හැඩ ගැන්වීම, කොණ්ඩා මෝස්තර, රූපලාවන්‍ය ප්‍රථමාධාර ඇතුළු තවත් විෂයන් ගණනාවක් ගැන විශේෂ පාඨමාලා හැදෑරුවා ය. රූපලාවන්‍යාගාරයක් ඇරඹීම ගැන තීරණයකට ආවේ ඉනික්බිති ය. හිතක ආශාව හා උවමනාව දෝරෙ ගලත්දී කරන්නට බැරි දෙයක් නැත්තේ ය. 

“ඒ ගමන මොකද්ද මේ හැදිල තියන පිස්සුව…ඔයාට ඕන තරං දේවල් කර ගන්න මං සල්ලි දෙනවනෙ. ක්‍රෙඩිට් කාඩ් එකකුත් දීලනෙ තියෙන්නෙ. මොනාටද වියදං කළේ කියල මං කවදාවත් අහල නෑනෙ”

ඇගේ රූපලාවන්‍යාගාර සිහිනය ගැන දැන ගත් වෙලාවේ කල්ප තුළ යම් තිගැස්මක් ඇති විය. ඒ තිගැස්මට හේතුව කුමක් දැයි ඉතා නිවැරදිව වටහා ගන්නට තරම් පැහැදිලි කමක් ඒ මොහොතේ ඔහු තුළ වූයේ නැත්තේ හිතේ පැවති කලබලය නිසාම ය. ගැහැනුන් ගෙයින් පිටතට අඩියක් තබන්නට යත්දී පිරිමි හිත් වල ඇති වන්නා වූ පොදු ගැස්ම එයයි. ඔවුන් ගේ හයිය හෝ ඇල්ම බැල්ම නැතිව දෙපයින් නැගී සිටිනා ගැහැනියක ගැන වන දෙගිඩියාව ඊට හේතුවයි. 

වෙනදා නම් මෙවැනි වෙලාවක සන්තුෂී කල්ප ගේ ඇඟට කඩා පනිනු ඇත. ඇය වූ කලී ඉතා අහිංසක ගැහැනිය ගේ භූමිකාව රඟ දැක්වීමෙන් ඉවත් ව සිටින්නා වූ තැනැත්තියකි. ඒ අහිංසක මුව සම ඈ කෙරේ ඇති කළා වූ අයහපත් බලපෑම නිසා ම එය ගලවා ඉවත් කළා වූ ගැහැනියකි. කල්ප සමග ඇල්ලූ ඉතා දරුණු ගණයේ රණ්ඩු කිහිපයක් ම ඇගේ මෑත ඉතිහාසයේ වේ. ඒ ආවේශය තුළ කරන්නේ කියන්නේ මොනවාද කියා හෝ සිහිපත් කළ නොහැකි උපරිම කේන්තියකට ඇය පත් වූවා ය. නමුත් කල්ප කියන්නේ එසේ කේන්ති ගෙන හෝ බැණ වැදී හෝ මට්ටු කළ හැකි විදිහේ මිනිසෙකු නොවන බව වටහා ගත්දී සන්තුෂී හිම කන්දක් සේ මිදෙමින් නිශ්චල වන්නට වූවා ය. ඇගේ බැණ වැදුම් මුනින් නැවූ කළ ගෙඩියකට වත් කරනා දිය සේ අපතේ ම යත්දී, එසේ අපතේ යන්නට දිය වත් කරන්නේ කුමටද යන යථාර්ථය අවබෝධ කර ගන්නට ඇය සමත් වූවා ය. දැන්, මේ මොහොතේ ඇයට අවශ්‍ය කරන්නේ රණ්ඩුවක් ඇති කර ගෙන දිනන්නට හෝ ආවේගය පිට කරන්නට හෝ නොව ඇගේ අරමුණ කරා ප්‍රවේශ වන්නට ය.

“සල්ලි හම්බ කරන්නම නෙවේ මට ඕනෙ. මගෙ ජීවිතේ පාළුව නැති කර ගෙන ජීවත් වෙන්න. මේ ගෙදර බිත්ති අතරෙ තනි වෙලා දවස ගත කර ගන්න එක කොච්චර අමාරුද කියල ඔයාට තේරුං කරවන්න මහන්සි වෙලා තේරුමක් නෑ. මට ඕනෙ මොකක් හරි වැඩක යෙදෙන්න. මෙහෙම නිකංම හිටියොත් ඉක්මනට මං මැරිල යයි. එහෙම නැත්තං මෙන්ටල් හොස්පිට්ල් එකක නතර කරල තියන්න වෙයි”

කල්ප ගේ ඇස් වල අවිනිශ්චිත භයංකර බවක සේයාවක් ඇතිල්ලී තිබිණ. 

“ඒ සල්ලි මං ආපහු ගෙවනව. මේක ලෝන් එකක්”

සන්තුෂී ගේ වදන් ස්වරයෙහි වූයේ පුදුම ආත්ම ශක්තියකි. ඇගේ දෙතොල් අතරේ පේන නො පෙනෙන තරමේ ඉසිහින් සිනහවක් ද විය. රූපලාවන්‍යාගාරයක් සඳහා ගොඩනැගිල්ලක් කුළියට ගැනීමට මුදල් ඔහුගෙන් නොලැබුණේ වී ද ඇය ඒ කටයුත්ත නවතා නො දමන බව ඒ සිනහ රේඛාව ඔහු ට නො කියා කීවේ ය. හදවත මත පැටවුණු අමුතු බරකින් වී ද ඔහු ඒ මුදල් ලබා දුන්නේ එබැවිනි. 

වසර විස්සකින් පමණ සිය ජීවිතය ආපස්සට ගොස් ඈ තුරුණු වී ඇති බවක් සන්තුෂී ට දැනිණ. යෝධ ශක්තියකින් හා දෝරෙ ගලනා උද්‍යෝගයකින් යුතු ව ඇය සියලු කටයුතු තනිව මෙහෙයවූවා ය. හිස් වූ ගොඩනැගිල්ල තුළ සිය සිහින රූපලාවන්‍යාගාරය සැලසුම් කළේ ඇය ම ය. ඒ සියලු ඉදිකිරීම් කටයුතු වලදී පිරිමින් විසි තිස් ගණනක් මෙහෙයවමින් ඇයට අවශ්‍ය ම පරිදි අවසාන නිමාව ලබා ගත්තේ තව දුරටත් අවිහිංසක ගැහැනු ආත්මයක් ලෙස මුළුගැන්වීමට නො සිතමිනි. 

රූපලාවන්‍යාගාරය සඳහා ඇය තෝරා ගත් උපකරණ සියල්ල මනා නිමාවකින් යුත් උසස් තත්වයේ ඒවා ය. වසර කිහිපයක් රූපලාවන්‍යාගාරයකට නිතර යන එන පාරිභෝගිකයෙකු වශයෙන් රැඳී හිඳීමෙන් ද, ඉන් පසු කෙටි කාලයක් තුළ අවශ්‍ය කරන පාඨමාලා ගණනාවක් ඉතා ඉක්මනින් අවසන් කිරීමෙන් ද ඇය රූපලාවන්‍ය යන විෂය ක්ෂේත්‍රය තුළ පුළුල් අවබෝධයක් හා දැක්මක් ඇති ශිල්පිනියක ගේ තත්වයට පත්ව සිටියා ය.

රූපලාවන්‍යාගාරයේ සියලු ඉදිකිරීම් කටයුතු නිමා වීමෙන් පස්සේ ඈ සිය වෘත්තීය සුදුසුකම් ලෝකයට කෑ ගසා කියන රාමු කරන ලද සහතික පත්‍ර ප්‍රවේශය අසලින් ම පෙළට එල්ලුවා ය. එදෙස දෑත් පපුවෙහි බැඳ ගෙන බලා ඉන්නා ඇගේ හදවත පුරා වූයේ සාඩම්බරයකි. දැන් ඇය වූ කලී ගෙදරට වී බත් තම්බන රයිස් කුකරයක් පමණක් ම නොවේ. සැමියා ගේ රෙදි සෝදා දෙන වොෂින් මැෂින් එකක් පමණක් ම නොවේ. කොටින් ම දැන් ඇය ගෙදර බිත්ති හතරට සීමා වූ නිකං ම නිකං හිස් ගැහැනියක නොවේ. වටිනාකමක් ඇති ගැහැනියකි. ලෝකයට වැඩක් ඇති ගැහැනියකි. ආත්ම තෘප්තියකින් යුතුව තමන් ගේ ම ව්‍යාපාරයක් කර ගෙන යන ගැහැනියකි. තමන්ගේ ම කියා ආදායමක් උපයනා ගැහැනියකි.

රූපලාවන්‍යාගාරයක් ගැන අදහසක් සන්තුෂී ගේ හිතට රිංගූයේ ඇය සිය රූපලාවන්‍ය කටයුතු සඳහා ගිය ආයතනය නිසා ම ය. එහි හිමිකාර තරුණිය තවත් තරුණියන් කිහිප දෙනෙකුට රැකියාව ද සපයමින් කෙතරම් සාඩම්බර ලෙස කටයුතු කරන්නී ද යන්න සන්තුෂී ගේ හිතට තදින් දැනී තිබිණ. රූපලාවන්‍යාගාරයක සේවය නොපතන කාන්තාවක් වර්තමාන සමාජයෙන් සොයා ගත නො හැකි තරම ය. ඉතා කුඩා සේවයකට වුව සැලකිය යුතු මිලක් ද නියම වන්නේ ය. කිසිවෙකුට යටත් නොවන නිදහස් ව්‍යාපාරයක යෙදෙන්නට බලාපොරොත්තු වන නිර්මාණශීලී ගැහැනියකට එය කදිම වෘත්තියකි.

“මට හිතා ගන්න බෑ ඔයා මෙහෙම දේකට අත ගැහුව කියන එක”

රූපලාවන්‍යාගාරයේ ආරම්භක දිනයේ එහි පැමිණි තප්ති තරමක විශ්මයට පත්ව සිටියා ය. 

“මොනා හරි කරන්න ඕන කිය කිය හිටියට මං හිතුවෙ නෑ ඔයා මෙච්චර දුර ගමනක් ගැන හිතයි කියල”

“කොතනකිං හරි පටන් ගන්න විතරයි මට ඕන වුණේ තප්ති. මට වෙච්ච දේ ගැන…මගෙ ජීවිතේ ලස්සනම කාලෙ ආදරේ කියල රැවටීමකට අහු වෙලා නාස්ති වෙලා ගිය හැටි ගැන හිත හිත පිස්සු හදා ගන්නෙ නැතුව මෙතනිං හරි අලුතෙන් ජීවිතේ පටන් ගන්නයි මට ඕන වුණේ. මං ඒක කළා”

සන්තුෂී ආත්ම අභිමානයකින් යුතුව කතා කළා ය. ඇගේ ඇස් වල ජයග්‍රහණයක දීප්තිය දිස්න නැගුවේ ය. 

“කල්ප ගැන මිනිස්සු කියන කතා වල හැටියට ඔළුව කෙලින් තියා ගෙන ඔයා මෙහෙම ගමනක් ආපු එක ගැන මට සතුටුයි සන්තු. මං හිතුවෙ ඒ දවස් වලම ඔයා වෙන කාත් එක්ක හරි සම්බන්දයක් ඇති කර ගෙන ඒ ප්‍රෙශර් එකෙන් නිදහස් වෙන්න බලයි කියලයි”

සන්තුෂී ඇස් කුඩා කොට සිනහ වූවා ය. නමුත් සිනහවකින් අමතක කළ නො හැකි කතාවක්, හදවතේ ගැඹුරු පත්ලක වන බව ඇය දැන සිටියා ය.

“මට පිරිමි පේන්න බෑ”

ඒ වචන හතර කියවෙන විට නම් ඇගේ මුහුණේ වූ සිනහව වියැකී යමින් තිබිණ.

“මං වෛර කරනව ඕකුන්ට. මං එයාගෙන් පළි ගන්නෙ තව ඉස්සරහට”

“සන්තු…”

“හොඳ වෙලාවට මං අන්ත අසරණ වෙලා දුර්වල වෙලා ඉන්න වෙලාවෙ දුක අහන්න ලෑස්ති මිනිහෙක් හම්බ නොවුණෙ. එහෙනං තුත්තිරි කරල වගේ මං ඒ මිනිහගෙ වුණත් ඇඟේ එල්ලෙන්න තිබුණා. එහෙම නොවී මගෙ හිතේ ශක්තිය විශ්වාස කරන තරමට මාව බිල්ඩප් කළාට මං මගෙ ඉරණමට ස්තූති කරනව”

හිතේ තියෙන්නේ සතුටක් ද දුකක් ද පළි දැරීමේ චේතනාවක් ද නො සලකා හැරීම ගැන වෛරයක් ද කියා වෙන් කොට හැඳින ගන්නට තවමත් සන්තුෂී අපොහොසත් ය. ඇතැම් විට ඒ සියල් හැඟීම් වල මිශ්‍රණයක් ලෝ දියක් සේ ඇගේ ආත්මයෙහි කැකෑරෙමින් ද පැසවමින් ද තිබෙනවා විය හැක. අත්හැරී ගිය යෞවනය ගැන පශ්චත්තාපයක් ඇයට වේ. අමානුශික ලෙස විනාශ කොට දමන ලද විශ්වාසය කියනා හැඟීම ගැන බරපතල වේදනාවක් ඇය වෙත වේ. අසාධාරණයට ලක් වූ සිය හදවත වෙනුවෙන් යුක්තිය ඉටු කොට දිය යුතු බව ඇයට හැඟේ. නමුත් ඒ කොහොමද කියා තවමත් නිශ්චිත ව සිතා ගත නො හැකි ය.

“සන්තු ඔයා හොඳින් නේද…”

සන්තුෂී ට සිනා ගියේ ය. ඇය හඬ නගා සිනහ වූවා ය. තප්ති තව තවත් බිරාන්ත වූයේ ඒ සිනහවෙහි වූ ගුප්ත උන්මාදනීය බව නිසා ය. සිය යෙහෙළිය කිසියම් මානසික රෝගයක ගොදුරක් වී ඇත්ද යන පැනය හදිසියේ ම ඈ තුළ පැන නැගිණ.

“ඇයි ඔයා හිතුවෙ මට පිස්සු හැදීගෙන එනව කියලද…එහෙම වෙනවනං වෙන්න තිබුණෙ මීට හුඟක් කලින් තප්ති. මාත් හිතුව එහෙම වෙයි කියල. කසාද මනුස්සය එක එක කාලෙට එක එක ගෑනු එක්ක සම්බන්දකං තියෙනව කියල ප්‍රසිද්ද ආරංචි එනකොට…ලොකු ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ට පිස්සු නොහැදී බේරුණොත් තමයි පුදුම. ඇත්තටම පුදුම වෙන්න ඕන මං ගැන. ලෝකෙම මිනිස්සු මගෙ මනුස්සය වෙන ගෑනුන්ට සම්බන්ද කරල කතා කරද්දි…මාව දැක්කහම විතරක් මං උන්දැගෙ වයිෆ් වෙද්දි…මුකුත් නොදන්න බබෙක් වගේ ගේ ඇතුළට වෙලා ඉන්න මං ගැන මට දැනුණ දේවල් මං ඔයාටවත් කියල නෑ තප්ති. ගෑනියෙක් වෙන එක මොන තරං අප්‍රසන්න අත්දැකීමක්ද කියල මං හිතපු තැන් තිබුණා. ඒත් මට ඕන වුණේ ගෑනියෙක් විදිහටම නැගිටින්න. කවුරුවත් ඇති කරපු ජරා ගොහොරක මැරිල යන්නෙ නැතුව ඒ අප්පිරියාවෙන් නැගිටින්න. මං අන්තිමට ඒක කළා තප්ති”

කලාතුරකින් විතරක් කඳුළක් උනන යෙහෙළිය ගේ ඇස් වල මේ මොහොතේ තෙතමනයක් දකින්නට තප්ති ට හැකි විය. ඒ කඳුළු ආත්ම අසරණ කමක් වෙනුවෙන් උපන් කඳුළු නොවන බව සන්තුෂී දැන සිටියා ය. ඒ කඳුළු ආත්ම ශක්තිය ගැන කතාවක් කියනා කඳුළු ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles