දියමන්ති ජුබිලිය

ඉස්කෝලේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් ලොකූ උත්සවයක් තියෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳලාම හර්ෂනී හිටියේ මවාගත්ත උඩඟුකමකින්. ප්‍රාදේශීය ලේකම් විදියට අනිවාර්යයෙන් ප්‍රධාන උත්සවයට සහභාගි වෙන්න ආරාධනා ලැබෙන බව හර්ෂණී දැනගෙන හිටියා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විදියට නඳුන් ටත් අනිවාර්යයෙන් ආරාධනා ලැබෙන බව මතක් වෙනකොට හර්ෂණීගේ පපුව ආඩම්බරෙන් පිම්බෙනවා. 

“උත්තරා ට කියලා දෝණිව අනවුන්සින් වලට දාගන්න ඕනි නඳුන්.. ලොකූ නම් වෙස්ටර්න් බෑන්ඩ් ලීඩර් නිසා ආයේ වෙන මුකුත් ඕනි නැහැ….”

උත්සවේට සති තුනක් විතර තියාගෙන හර්ෂණී එහෙම කිව්වා.

“දෝණි ඒවා බලා ගනීවි හර්ෂි.. ඔයා ඒවට අත ගහන්න යන්න එපා… අනෙක, උත්තරාට වුනත් පමණට වඩා බලපෑම් කරන්න යන්න එපා.. ඒ ඔයාගේ නංගී වුනාට, ඒක ඉස්කෝලෙට අදාල කාරණයක් නෙවෙයි නෙහ්..”

නඳුන් බොහෝම ඉවසීමෙන් හර්ෂණීට පැහැදිලි කරා. ඒත් හර්ෂණී නෙවෙයි ඒක කනකටවත් ගත්තේ. 

ඉඩක් ලැබුණ දවස් දෙක තුනක්ම වෙහෙසිලා ප්‍රධාන උත්සවයට අඳින්න සාරියක් ගන්න හර්ෂණී සෑහෙන්නම මුදලක් යට කලා. හෑන්ඩ් බෑග් එකක්, සපත්තු, ඔරලෝසුවක් වෙනුවෙන් තව වියදම් හැදුවා. නඳුන්ට කලිසම්, කමිස , සපත්තු ඔක්කොම අලුතින් ගත්තා. රෑට සූදානම් කරලා තියෙන රාත්‍රී සාදයේ ඇඳුම් වෙනුවෙනුත් වෙනම වියදම් හැදුණා. කාලෙකට පස්සේ ඉස්කෝලේ පන්ති වල හිටපු ඔක්කොටම පේන්න වැජඹෙන ආසාවෙන් හර්ෂණි උමතු වෙලා හිටියේ. 

උත්තරා ටීචර් ලවා පොඩි දුවව ඉංග්‍රීසියෙන් නිවේදන කරවන්න යොමු කරවගන්නත් හර්ෂනීට පුලුවන් වුනා.

“අපේ දෝණි ඉංග්‍රීසියෙන් අනවුන්ස් කරනකොට අර මිසිස් තාරාගේ ඇස් උඩ යාවී.. ටව්මේම ළමයි ඔක්කොම ඉංග්‍රීසි පන්ති යන්නේ එයැයිගේ වුනාට ළමයාව අනවුන්සින් වලටවත් දාගන්න බැරි වුනා කියලා හිතේවි…”

රෑ නිදාගන්න සූදානම් වෙලා හර්ෂනී එහෙම කියනකොට, නඳුන් නිහඬවම ඇස් පියා ගත්තා. කවදාමහරි දවසක හර්ෂණී ජීවිතේ යතාර්තය තේරුම් ගන්නවා නම් කියන සිතුවිල්ල දිග හුස්මක් එක්ක නඳුන්ගේ හිත යට තැවරුණා.

පාසැලේ දියමන්ති ජුබිලි සැමරුමේ උත්සවය දවසේ හර්ශණී උත්සවේට ගියේ පෞද්ගලික වාහනෙන් නෙවෙයි. රියැදුරෙක් එක්ක, රාජකාරි කැබ් එකෙන්. නඳුන් ට පැහැදිලිවම කියලා තියෙද්දීත්, නඳුන් පෞද්ගලික කාර් එකෙන් ඇවිල්ලා බහිනකොට නම් හර්ශණීගේ මුණ ඇඹුල් වුනා. 

“ඔයා නම් මාව ලැජ්ජ කරනවා..”

නඳුන්ට කෙටි පණිවිඩයක් තිව්වා. අමාරුවෙන් හිනා වෙලා ඉන්න උත්සාහ කරන ගමන්, අනෙක් පිරිසට මුහු වුණා. 

උත්සව සභාවේ උදෑසන මෙහෙයවීම් කටයුතු වලට හර්ෂනීගේ දෝණි හිටියේ නැති එක ගැන හර්ෂණී ආයෙම හිත රිදවගත්ත. ඒ ගැන උත්තරා ට යටි හිතින් බැණ බැණ හිටියා. ඒ අතරේ වුන තව සිදුවීමකින් හර්ෂණීගේ හිත ඉරිසියාවෙන් පිරුණා.

 හර්ෂණී එක්කල උසස්පෙල පන්ති වල වල හිටපු සෞම්‍යාව හවස් වරුවේ ප්‍රධාන ආරාධිත විදියට පිළිගත්තේ හර්ෂණීගේ දෝණිමයි. ඉස්කෝලේ ඉවර වෙනවත් එක්කම කොළඹ ඇඟලුම් කර්මාන්තශාලාවක වැඩට ගියපු සෞම්‍යා මේ වෙනකොට සේවකයෝ තුන්දාහක් ඉන්න ඇඟලුම් කර්මාන්තශාලාවක හිමිකාරිනියක් වීමත්, තරුණ වයසේම ආබාධිත වුන සැමියාගේ ජීවිතේටත් හය්යක් වෙලා ආදර්ශමත් කාන්තාවක් විදියට ජීවිතේ ඉස්සරහට ඒම කියන කාරණාවත් ප්‍රස්තූත විදියට කියවුණා. 

” හරියට ඉගෙන ගත්තේ නැති වුනාට මුං රඟන හැටි…”

හර්ෂණී තනියෙන් හිතාගත්තා. ඒ කෝපය වැඩි වුණේ දෝණිගේ ඉංග්‍රීසි නිවේදන දෙතුන් වතාවක්ම පැටළුන නිසා. ඒ අතරේ නිවේදන වලට වෙනම ළමයෙක්ව එවනකොට හර්ෂණී එතැන ඉවසීමෙන් උන්නේත් අමාරුවෙන්. 

හවස ගෙදර ගිය වෙලේ ඉඳන් නඳුන්ටත්, දෝණිල දෙන්නටත් ඉස්පාසුවක් තිබුණේ නෑ. උත්සවේ අඩුපාඩු ගැන කිය කියා හර්ෂණී එහෙට මෙහෙට ගන්න ඇමතුම් අහගෙන තුන්දෙනා නිහඬව හිටියා. 

“ඇත්තටම අම්මාගේ හැසිරීම් නම් එඩියුකේටඩ් ලේඩි කෙනෙක්ට ගැලපෙන්නේ නෑ අප්පච්චි … ඔයා දැක්කද, අම්මා අර මහන ගෑණි කියලා බනින සෞම්‍යා ආන්ටි… එයා අපේ ඉස්කූල් එකේ ළමයි ගොඩ දෙනෙක්ගේ අම්මලාට ජොබ් දීලා.. අපේ ඉස්කූල් යන ළමයින්ට හැම අවුරුද්දේම පොත් දෙනවලූ ….අනෙක් ළමයින්ටත් ඒමලු.. 

ඒ තියා අපේ ක්ලාස් එකේ ළමයි දෙන්නෙක්ගේ තාත්තලා හිටියා ලිකර් වලට ඒම ඇඩික්ට් වෙලා… ඒ දෙන්නා නිසා ඒ පවුල් වල සෑහෙන්නම ප්‍රශ්න තිබුණා.. සෞම්‍යා ආන්ටි තමා මැදිහත් වෙලා ඒ දෙන්නට ජොබ් දෙකක් දීලා, වගකීම් දීලා ජීවිත වල වටිනාකම් කියලා දීලා තියෙන්නේ.. 

අම්මා මේ මහන ගෑණි කිය කියා බැන්නට ආන්ටි ෆැශන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් මැනේජ්මන්ට් ඩිග්‍රී එකකුත් තියෙනවා .. ඒ මොක නැතත්, ආන්ටි මේ කරලා තියෙන දේවල්ම කොච්චරක් ශෝක්ද ?

.. ඔක්කොම හරි, පුංචි ලවා නංගාව අනවුන්ස් වලට දාලා නිකන් නංගාවත් නෝන්ඩි කලා.. එයාට සෙට් වෙන්නේ සිංහල අනවුන්සින් කියලා දැන දැනම නේ අම්මා මේක කලේ… මං පුංචාටත් බැන්නා….”

නඳුන්ට කට උත්තර නැති වුණා. තමන්ගේ දරුවෝ ඉස්සරහ, තමන්ගේ බිරිඳ ඩිෆෙන්ස් කරගන්න බැරුව නඳුන් ලැජ්ජාවෙන් ගොලු වුණා. ඒ අතරය දරුවොන්ගේ ජීවිත දැක්ම ගැන ආඩම්බරෙන් පිම්බුණා.

| අපේක්ශා ගුණරත්න .| 

More Stories

Don't Miss


Latest Articles