ස්වර්ණකාන්ති ට දැනුණේ සිය ස්වාමි පුරුෂයා මිය ගිය දා පටන් පාළුවට ගිය දෙවොලක් සේ වූ ගෙදර හදිසි සතුටකින් පිරී ගිය බවකි. අංජන නීලවතුර බලාපොරොත්තු නොවූ වෙලාවක අනපේක්ෂිත සකුටක් ව එහි ආ වෙලේ පටන් සිනා සී සිනා සී ඇගේ කම්මුල් රිදෙනා බවක් ද දැනිණ. නමුත් ඒ සිනා සර ඇගේ පාළු හද මැදුරේ සියලු කුටීර තුළ නින්නාද වන්නට පටන් ගෙන තිබිණ. පාළු පුස් ගඳක් හමමින් තිබූ හද කුටීර අලුත් ඔක්සිජනීකෘත රුධිරයෙන් පිරී ගියේ ය. රුධිර වාහිනී ඔස්සේ කේශනාලිකා දක්වා ඒ ඔක්සිජනීකෘත රුධිරය සංසරණය වෙමින් සිරුරේ හැම සෛලයකට ම ප්‍රාණය කවන්නට විය. කාලයකට පස්සේ ඇගේ ඇස් දිළිසුණේ ය.
හමු වන්නට ඕනෑ හුදෙකලා දෙතොලක් මත්තේ සිනහවක් වී පිපිය හැකි මිනිසුන් ය. අකර්මන්‍ය වෙමින් යන හද මඬලකට වුව ප්‍රාණය කැවිය හැකි මිනිසුන් ය. අංජන නීලවතුර වූ කලී එහෙව් මිනිසෙකැයි ස්වර්ණකාන්ති ගේ වියපත් හදවත හැඳින ගනිමින් තිබිණි.
“මං තේකක් හදන්නං”
අංජන අභියස මොහොතක් සිට ගෙන සිටි සන්තුෂී ගෙතුළට හැරුණේ ඒ මොහොත තුළ සිය දෑසින් ඔහුව මුළුමනින් අවශෝෂණය කර ගෙන ද කියාත් ඇයට සිතුණ තරමි. ඒ තරමට මෙය අහඹු තිගැස්මකි. අසුබ දින වල සුබ පැතුම් නෑවිදින් ම තියෙනවා නම් හොඳ ය. නමුත් නොකියා පැමිණෙන සතුටක් යළි හරවා යවනවාට වඩා ඒ සතුට තුළ නිමග්න වන්නට මිනිස් හදවතක් රිසි ය.
“අනේ කරදර වෙන්න එපා සන්තුෂී…මං බීල ඉන්නෙ”
“අනේ ඒ මේ ඔරේන්ජ් ජූස් එකක්. නන්දාගෙ තේ එක රස නැති නිසා මං ඔය ජූස් ටිකක් හදල දුන්නෙ. අපේ සන්තුගෙ තේ එකක් බොන්න මං වුණත් අකමැත්තක් නෑ”
එසේ කියා ස්වර්ණකාන්ති හඬ නගා සිනහ වූවා ය. ඒ සිනහවේ මැදකදී ඇය අත්පුඩියක් ද ගැසූ අතර අංජන ද කුඩා කොලුවෙකු සේ ඇගේ සතුටට හවුල් වූයේ ය. උනා දමා තිබි වරල හිස් මුදුනට කොට කොණ්ඩා කටුවකින් රැඳවූ සන්තුෂී මෝල්ටඩ් මිල්ක් මුසු කොට රස තේ එකක් පිළියෙල කළා ය. ඒ තේ එකේ සුවඳ ඇයටත් කලින් බරාඳය බලා ගියේ ය. බන්දේසිය මත තැබූ තේ කෝප්ප තුන ඇති කළා වූ හඬ නිසා බැලූ අංජන, සන්තුෂී ඔහු වෙත එන්නට පෙර නැගිට තේ එක ගත්තේ ය.
“ඇත්තට මං හිතුවෙ නෑ ඔයා මේ හදිස්සියෙ එයි කියල”
සන්තුෂී අසුන් ගත වූයේ එසේ කියමිනි. එක පැත්තකින් ඇගේ හිත සැහැල්ලුවේ දිය බුං ගැසුවේ ය. නමුත් අනිත් පසින් ඇය දෙගිඩියාවට පත්ව සිටියා ය. සම්ප්‍රදායික ගැහැනිය කියනා කුලකයෙන් පිට පැන ගන්නට දිගු කලක සිට ඇයට උවමනාව තිබිණ. නමුත් සමාජය විසින් බලහත්කාරයෙන් ඈ එහි රඳවා ගෙන සිටියේ ය. ඇය ප්‍රකට චරිතයක් වන කල්ප බණ්ඩාරතිලක ගේ බිරිඳ වූවා ය. වැඩි විය පත් දරු දෙදෙනෙකු ගේ මව වූවා ය. ලෝකය විසින් එල්ල කරන්නට නියමිත අපවාද වලටත් වඩා ඇය කල්ප ට බිය වූයේ ය.
“ගියොත් ම ර න ව උඹව”
ඔහු පන්තියකට එන ගෑනු ළමයෙකු සමග පැටලිල්ලක් හදා ගෙන ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් දැනුම් දීමෙන් පසු සන්තුෂී ඒ ගෙදරින් නික්මෙන්නට හැදුවේ දියණිය කුසයේ සිටියදී ය. එතකොට පුතු මේඝ ට අවුරුදු දෙකක්වත් නැත. සන්තුෂී දරුවාද ගෙන ගෙන් එළියට බහින්නට හැදුවේ ලොකු රණ්ඩුවකින් පස්සේ ය. නමුත් කල්ප ගේ මරණ තර්ජනය ට සැබවින් ඕ බිය වූවා ය. කල්ප කියන්නේ එහෙම දෙයක් කරන්නට බැරි මිනිසෙකු නොවන බව ඒ වෙත්දී ඇයට පසක් වී තිබි අතර මැරෙන්නට ඇය පිය වූවා ය. කවර ප්‍රශ්න ඈ ඉදිරියේ තිබිණි ද ජීවිතය හැර යන්නට ඇයට උවමනා වූයේ නැත. අනිත් අතට දරුවන් දෙදෙනෙකු ගේ වගකීමක් අම්මා ලෙස ඈ හිස මත විය. ආයේ ගෙදරින් යන්නට තැත් නොකරමියි ඇය විසින් දැඩිව සිතා ගත්තේ එදා ය. නමුත් ඇය කල්ප ව සිය හදවතින් අත් හැරියේ ද එදා ය.
ඇය පතිකුළය හැර ඒම හා අංජන මහ ගෙදරට පැමිණීම අතරේ ගලපා ගැනීමක් කරන්නට කල්ප නො පෙළඹේවි ද යන පැනය මේ මොහොතේ හැබෑ නිදහස හා සැහැල්ලුව විඳ ගන්නට ඇයට බාධා කළේ ය. නමුත් අම්මා වෙතින් දකිත හැකි සමස්ථ සතුට ගැන සිතූ ඕ කල්ප ඔහුට ඕනෑ දෙයක් හිතා ගත්තාවේ යි සිතුවා ය.
“මොනාද චූටි පුතා අපි උයන්නෙ…අංජන පුතා ඉන්න නිසා විශේෂ දෙයක් හදන්න ඕන”
තමන්ට සතුටක් වෙන මිනිසුන් වෙනුවෙන් පෙරලා ඕනෑ ම දෙයක් කරන්නට මිනිස් හිතක වන පෙළඹීම පුදුම සහගත ය. රෝහල් ගත වී සිටියා කියා හෝ අසනීපයෙන් හිඳිනවා කියා හෝ ස්වර්ණකාන්ති ට හිතන්නට ඕන නොවුණේත් ඒ නිසා ය.
“එපා එපා. මන් නිසානං මොනාත් උයන්න එපා. කොහොමත් මට කෑමට ඉන්න බෑ. අම්ම දැනටත් මටත් එක්ක උයලයි ඇත්තෙ”
ඒ අන්තිම ටික කියවුණ එක ගැන ආත්ම අනුකම්පීය හැඟීමක් අංජන තුළ ඇති විය. නමුත් දැන් ඒ වචන ටික යළි හැරවිය නො හැකි ය. එසේ නම් අංජන ගේ කෑම බීම ගැන දැන් බලන්නේ ඔහු ගේ මව බව සන්තුෂී වටහා ගත්තා ය. නමුත් ඇය ඒ ගැන කිසිත් විමසන්නට ගියේ නැත. ස්වර්ණකාන්ති ට නම් ඒ අන්තිම වචන ටික පැහැදිලි සතුටකට හේතුවක් විය. ඔහු තනිකඩයෙකි!
“ඉතිං මොකෝ…අම්මට කෝල් එකක් දාල කියමුකො අද කෑම තියන්න එපා කියල”
අංජන සන්තුෂී ගේ මූණ බැලුවේ ය. ඇය හෙමිහිට බිම බලා ගත්තේ ඒ එකඟතාවය අම්මා හා අංජන විසින් ගත යුත්තකැයි තීරණය කිරීමෙනි.
“එහෙනං මං කියන්නද…අපි එළියෙං මොනා හරි ගේමු නේද සන්තුෂී…”
ස්වර්ණකාන්ති ගේ ඉල්ලීම ට පිටුපඋ නො හැකි කමක් ද සන්තුෂී ව වෙහෙසිය නො හැකි යයි හැඟීමක් ද දැනුණෙන් අංජන අවසන විසඳුමක් ඉදිරිපත් කළේ ව..සන්තුෂී ගේ මුව කෝපි මල් සිනහවක් විකසිත වූයේ නිරායාසයෙනි.
“ඔයා ඩිනර් වලට ඉන්නවනං එළියෙන් ගේන්න ඕන නෑ. මං උයන්නං”
“ඒකනෙ මං මුලින්ම කිව්වෙ”
ස්වර්ණකාන්ති ලොකු සිනහවක් පෑවා ය. සන්තුෂී හෙමිහිට සුසුමකින් පෙනහලු පුරවා ගත්තා ය. ඇය ඒ සුසුම පිට කොට හරිත්දී අංජන ට හසු විය.
“එහෙනං අපි ලේසි දෙයක් හදමු. නූඩ්ල්ස් වගේ”
“හා. චයිනීස් නූඩ්ල්ස් එකක් හදන්නං..හැබැයි ඔන්න තෙම්පරාදු කරන්නැතුව අම්මට අයින් කරනව හොඳේ. තෙල් කන්න හොඳ නෑ”
“ඉඳ හිට ටිකක් කෑවට කමක් නෑ ළමයො”
“ඔය බලන්න ඉතිං අපේ අම්මනං…”
ජීවත් වෙනවා කියා දැනෙන්නේ ගෙදර මිනිසුන් මෙහෙම සිනහ වී කතා බහ කරනකොට ය. රණ්ඩු දබර විතරක් නොව උනුන් ගේ මුහුණු නොබලන මිනිසුන් වෙසෙනා නිවසක ද විසීම පහසු නැත. සැකයෙන් බියෙන් අනෙකා දෙස බලමින් ජීවත් වීම ද පහසු නැත. කාලයක් තිස්සේ ම සන්තුෂී ජීවත් වූයේ එවන් අපහසුතා රැසක් පිරී ගිය නිවෙසක ය. මුලදී දරුණු ගණයේ රණ්ඩු ඇති වූ බව ඇත්ත ය.පසුව ඇය ඒවා අතැර දැමුවා ය. නමුත් ඒ ඔහුත් සමගින් ම ය. ඊට පස්සේ කල්ප මොනවා කර ගත්තත් සන්තුෂී ප්‍රශ්න කරන්නට ගියේ නැත. එරෙහි වන්නට ගියේ ද නැත. දරු දෙදෙනා සමග ඇගේ හුදෙකලා ලෝකයක ජීවත් වූවා ය. ඔවුන්ට කතා කරන්නට තිබුණේ දරුවෙකු ගැන යමක් පමණි. කෑම ටික මේසයට හැර තැබූ විට සන්තුෂී ට කල්ප සමග කතා කරන්නට දෙයක් වූයේ ම නැත. සිහිපත් වෙත්දීත් ඔක්කාරය නැගෙනා ඒ අඹු සැමි සබඳතා පවා කල් ගත වෙත්දී ඇයට රිස්සුවේ නැත. ප්‍රේමයෙන් හිත හිස් ව තිබියදී පුුරුෂයෙකු සමග යහන් ගත විය හැක්කේ මුදලට ඒ කටයුත්ත කරනා ස්ත්‍රියකට පමණි.
නූඩ්ල්ස් හදන්නට සන්තුෂී ට උදව් කරනු වස් ස්වර්ණකාන්ති මුළුතැන්ගෙට ආවේ අංජනව ද කැටිව ය. කුස්සියේ පුටු වල වාඩි වී ඔවුන් දෙදෙනා කළේ කතා කරනා එක ය. නූඩ්ල්ස් හැදුවේ සන්තුෂී ය. චිකන් කරිය ද ඇය තනිව ය.
“අම්ම හරියට මට උදව් කළා නේ…”
අවසන සන්තුෂී එසේ ඇසුවා ය. අංජන හඬ නගා හිනැහුණේ ය.
“කෝ ඉතිං ඔයා මට මුකුත් කරන්න දුන්නයැ”
“ඒකනෙ…දුන්නනං අම්ම රස චයිනීස් නූඩ්ල්ස් එකක් දාල ගන්නවනෙ”
දවසේ වෙහෙස වෙනදා සේ නො දැනෙන්නට කාරණා සන්තුෂී දැන සිටියේ නැත. සදෙව්මා ගැන හෝ වින්දි ගැන හෝ කල්ප ගැන හෝ කතාවක් නැතිව ම ඒ හෝරා කිහිපය ගෙවී ගියේ ය. රෑ බෝ වී ඔහු නික්ම ගියාට පස්සේ පාළුවක් දැනිණ. යහපත් හා මානව හිතකර බැඳීමක් එසේ විය යුතු යයි සන්තුෂී යහනේ වැතිරෙන ගමන් සිතුවා ය.
ඉරිදා දවල් වන විට තප්ති රූපලාවන්‍යාගාරය වෙත පැමිණියේ පහු ගිය දින දෙක තුන තුළ සිදු වූ සියල්ල ගැන සන්තුෂී ළඟින් හිඳ කතා කිරීම මිත්‍රත්වයේ නාමයෙන් සිය යුතුකම සේ සලකා ගෙන ය. ඈ දුටු ගමන් සන්තුෂී දෝතෙහි මූණ හංගා ගත්තා ය.
“මොකද…මූණ දෙන්න බැරි දෙයක් කරලද ඉන්නෙ…”
ඇය මිතුරිය අභියස අසුන් ගත වූයේ එසේ විමසමිනි.
“මන් දන්නෝ බනින්නයි ආවෙ කියල”
තප්ති මිතුරිය විනිවිද බැලුවා ය. සන්තුෂී ගේ ඇස් දිළිසේ. කාලයක් තිස්සේ ඒ ඇස් වලට පුරුදු වී තිබි මලානික අඳුර මේ දින දෙකට පහ වී ගොසිනි.
“දැන් එතකොට කල්පගෙන් සෙපරේට් වෙලා ඉන්න එකද ඩිසිශන් එක…”
සන්තුෂී ට බැරෑරුම් බවක් දැනිණ. ඕ හුස්මකින් නිදහස් වූවා ය.
“ඔයා හිතනවද මං එළියට බැස්සෙ ලේසියෙන් කියල. සමහර තීරණ ගන්න ඕනයි කියල කොච්චර දැනගෙන හිටියත් අපිට ඒක කරන්න හිත හදාගන්න බැරි වෙනව තප්ති. ඒකට ශක්තියක් නැතුව දුක් විඳින්න වෙනව. මාත් එහෙම දුක් වින්දා. අවුරුදු ගාණක්…මගෙ ජීවිතේ තරුණ ම කාලෙ…මගෙ හිතත් එක්ක ම පොර බැදුව. අම්ම අසනීප නොවුණනං…තාමත් මට ඒකට ධෛර්යක් නෑ. ඒත් වෙන්න තියන දේ කොහොම හරි වෙනව කියනවනෙ. ඉතිං වුණා..මං තාම ළමයි එක්කවත් මේ ගැන කතා කළේ නෑ. මං කිව්වෙ ආච්චම්ම සනීප නැති නිසා මං මෙහෙ ඉන්නව කියල විතරයි. කොහොම හරි මං දැන් අමාරු සීමාව පැන ගත්තා තප්ති. දැං මට පුළුවන්”
“මොනාද…”
“ඕන දෙයක්..මට බෑ කියල හිතං හිටිය ඕන දෙයක්…”
“ඇයි බෑ කියල හිතං හිටියෙ…”
එය අභියෝගයකි. සන්තුෂී තියුණු දෑසකින් සිය මිතුරියගේ මුහුණ දෙස බැලුවා ය.
“ඇත්තම කියනවනං කල්ප මාව ම ර ල දායි කියන බයට”
පපුව අල්ලා ගත්තේ සන්තුෂී නොව තප්ති ය. අනුන් ගේ පවුල් ජීවිත දෙස පිටින් බලා අර්ථ කථන දිය නො හැකි බව නො දැන සිටියා නොවුණත් ඇය සන්තුෂී වෙත එල්ල කළ පීඩනය වැඩි බව තප්ති ට සිහි විය. ඇය එසේ කළේ සිය සහෝදරිය බඳු යෙහෙළිය ගේ විවාහ ජීවිතය බිඳී යතැයි බියට ය..අනිත් අතට වැරදි නොකරන පිරිමියෙකු සෙවීම නොමළ ගේකින් අබ මිටක් සෙවීම වාගේ දුෂ්කර ව්‍යායාමයකැයි තප්ති විශ්වාස කළා ය. හොඳ පිරිමින් සොයමින් අතින් අතට මාරු වෙනවාට වඩා බැඳ ගත් බෙරය ගසනා එක පහසු බව ඈ සිය ජීවිතය සම්බන්ධයෙන් ද ඇදහූවා ය.
“සම්බන්දයක් කියන්නෙ එහෙම දෙයක් නෙවේ තප්ති. ඔයාටයි මටයි දෙන්නටම අපි ඕනනං…අපි අපිට ඒ ගැන ආදරේ කරනවනං ගෞරව කරනවනං…එතනයි නිදහස් සම්බන්දයක් ගොඩ නැගෙන්නෙ. එහෙම නැතුව මට ආදරේ කරපං මාත් එක්ක හිටපං නැත්තං මරනව කියන තැන නෙවෙයි. මාත් එහෙම සම්බන්දයක් ඇතුළෙ අවුරුදු විසි ගාණක් හිර වෙලා හිටිය..ඒකෙන් නිදහස් වෙන්න තිබුණ බය නිසා. ඒත් ඇයි තප්ති එහෙම බයෙං හිතට විරුද්දව තව දුරටත් ඕන නැති සම්බන්දයක් කන්ටිනිව් කරන්නෙ…”
“ඔයා කල්ප එක්ක ගියේ එයාට ආදරේ කරල සන්තු. ඒක අමතක කරන්න එපා”
“ඔව්. අපි ආදරේ කළා. මන් දන්නෑ එයා කළේනං ආදරේද කියල. මොකද ආදරේ කියන්නෙ එයා කළා වගේ බලහත්කාරයක් නෙවේ කියල අද මං දන්නව තප්ති. ඉතිං ආදරේ වුණත් වෙනස් වෙන්න බැරිද…මේ ලෝකෙ අනිත් හැම දේම වගේම ආදරෙත් වෙනස් වෙන්න පුළුවන්. අපිට එහෙම වෙනසක් දැනෙනවනං…අපිට තවත් ඒ ආදරේ ඇතුළෙ ඉන්න බෑ කියල දැනෙනවනං යන්න පුළුවන් වෙන්න ඕනෙ නේද…යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන නේද…එයා මාව බලෙං ඒ ගෙදර තියං හිටියෙ ආදරේ නිසා කියලද ඔයා කියන්නෙ…ආදරයක් තිබුණනං එයා මට සමාජෙ ඉස්සරහ එච්චර ලැජ්ජ වෙන්න වෙන දේවල් කරයිද…නෑ. ඒක ආදරේ නෙවේ. ආදරේ හැම වෙලේම අනිත් කෙනාගෙ ආත්ම ගෞරවේ ගැන හිතනව.පිරිමියෙක් හරි ගෑනියෙක් හරි තමුන්ගෙ පාට්නර්ගෙන් පිට වෙන කෙනෙක් ළඟට යනව කියන්නෙම පාට්නර්ගෙ ආත්ම ගෞරවේ පාගල චප්ප කරල ඉවරයි…”
සන්තුෂී සිනහවක් නගා ගැනීමේ උත්සාහයක් දැරුවා ය. නමුත් එය වඩා සමීප වූයේ ඉකි බිඳුමකට ය.