රිදුණු තටු පිරිමදිමි – 36

සන්තුෂී සිටියේ සිය අලුත් ම හීනය පාට කරමිනි. ඇයට ඒ ගැන කතා කරන්නට ඕන වී තිබුණෙන් තප්ති රූපලාවන්‍යාගාරය වෙත පැමිණියා ය. සිය කියුබිකල් එක තුළ මේසය දෙපස වාඩි වී තේ බොන ගමන්, සන්තුෂී සිය සිහින රූපලාවන්‍යාගාරය ඒ ෆෝ කඩදාසි වල ඇන්දා ය.

“ඒක මේ වගේ තට්ටු දෙකකට හැදෙන්න ඕන. අපේ ගෙදර ඉස්සරහට තියන මිදුල වැඩිය ලොකු නෑනෙ. ඉතින් ඒ මිදුලට ගැලපෙන විදිහට…කා පෝච් එකත් පහළට හිටින විදිහට ප්ලෑන් එක අඳින්න ඕන. ස්ටෙයා කේස් එක මෙතනින්. පහළ ෆ්‍රන්ට් සෙක්ශන් එක සෝෆා සෙට් එකක් දාල..කස්ටමර්ස්ලට පහසුවට ඉඳන් ඉන්න පුළුවන් විදිහට අරේන්ජ් කරන්න ඕන. මේ ඒරියා එකේ එක පෙළට දිගට මිරර්ස් හයි කරල චෙයාර්ස් දාල…අපි කොණ්ඩ හදන කොණ්ඩ කපන අයි බ්‍රෝස් හදන වගේ සාමාන්‍ය වැඩ කරන ඒරියා එක. එතකොට උඩ පාටීශන් කරල ඩ්‍රෙසින් වලටයි…ෆේශල් වලටයි…තව මගෙ කියුබිකල් එක…එතකොට මේ චූටි ෆ්‍රන්ට් යාඩ් එක වැඩිය දකින්න නැති දුර්ලභ ගස් කීපෙකිනුයි මල් පැළ වලිනුයි පුරවන්න ඕන. මෙන්න මෙතනින් බිත්තියට යවන්න ඕන තන්බර්ජියා වැලක්..දම් පාට මල් වැල් එල්ලෙන්න. තාප්පෙට යවනව කැට්ස් ක්ලෝ වැලක්..බළල් පහුරු කියන්නෙ…කහ පාට මල් වලින් වැහෙනව…එතකොට උඩ ඉඳල පහලට වැටෙන්න කර්ට්න් වැල් පේළියක් දානව….බිත්ති වලටයි ෆර්නිචර් වලටයි තනි සුදු පේන්ට් යූස් කරන්න ඕන. මෙතන එන්ට්‍රන්ස් එකේ පොඩි පොන්ඩ් එකක් තියන්න ඕන කුමුදු මල් පිරී..ල පිපෙන…තව මොනාද ඇඩ් වෙන්න ඕන…”

හිතේ තිබුණු හීනයේ ලස්සන තැන් පැන්සලෙන් සලකුණු කරමින් ද ඒ  ගැන නොනවත්වා කියවා ගෙන යාමෙන් ද පස්සේ සන්තුෂී තප්ති ගේ මූණ බැලුවා ය. ඇය ‘බකස්’ ගා සිනහ වූවා ය.

“එයා ඔක්කොම ප්ලෑන් කරල…හිටවන්න ඕන පැළ ගැනත් හිතල මගෙන් අහනව තව මොනාද කියල..මට කියන්න වෙන්නෙ ඕපනින් එක කොහොමද ප්ලෑන් කරන්නෙ කියල තමයි”

තප්ති බොරු නෝක්කාඩුවක් මවා ගත්තා ය. යෙහෙළිය මේ විදිහට සිය ජීවිතයේ ඉදිරිය ලස්සනට පාට කරත්දී තප්ති ට සතුටු ය. කල්ප සමගින් ගෙවුණු ඇගේ දිවියේ කාලයක් තිස්සේ පැතිරී තිබූ අඳුර ගැන සන්තුෂී ගේ මව් පියන් තරමට, ඇතැම් විට ඊටත් වඩා දැන සිටි කෙනෙකු වී නම් ඒ තප්ති ය. ඒ අඳුර පාට වලාකුළු වලින් විස්ථාපනය වෙත්දී තමන් ගැන තරමට ම සතුටු වන්නට ඇයට පුළුවන.

“මේ බිල්ඩින් එකට ගෙවන රෙන්ට් එකේ හැටියට…බෑන්ක් ලෝන් එකකට ගිහින් හරි මට ගෙදර මිදුලෙම මේක හදා ගත්තනං…මාසෙකට සෑහෙන ගානක් ඉතුරු වෙනවනෙ තප්ති. ඒ ගානෙන් බෑන්ක් ලෝන් එක පේ කරන්න පුළුවන්..බිල්ඩින් එකත් අපිට ඉතුරු වෙනව. අනික මට වැදගත්ම දේ…පේන දුරක අම්ම ඉන්න එක. කොච්චර වුණත් අසනීපත් එක්ක එයා ගෙදර නන්දා එක්ක කියල හිතද්දි  මගෙ හිතට පොඩි බයක් එනව”

“හොඳම දේ ඔයා කරන්නෙ සන්තු. මට පුළුවන් ඕනම දෙයක් මං කරන්නං. අපේ හබියට කියමු මැනේජර් එක්ක කතා කරල බෑන්ක් ලෝන් එකේ වැඩේ පිළිවෙලක් කරන්න කියල”

“අන්න ඒකයි වෙන්නෝනෙ”

“මට මේක හීනයක් තප්ති. ලස්සන සැලෝන් එකක්…අලුත්ම බිල්ඩින් එකක…මං ආසම විදිහට…”

“අපි ඒ හීනෙ ඇත්තක් කර ගමු. මට ආඩම්බරයි තමුසෙ ගැන”

තප්ති එසේ කීවේ දෙතොල් උල් කොට දෑස් හකුලා ගෙන ය. 

“ඇයි…”

“දික්කසාදෙ කියන රතු නිවේදනය අතට ගන්න ඉන්න ගෑනියෙක් විදිහට…තව මිනිහෙක්ගෙ ඇඟේ එල්ලෙන්න බලන් ඉන්නෙ නැතුව තමන්ගෙම කියල ජීවිතයක් ගැන හිතනවට…ඒකට මාර ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන කියල මං දන්නව. හුඟක් ගෑනු දුක් විඳගෙන කට්ට කාගෙන අළුගෝසුවො වගේ පිරිමි එක්ක පවුල් ජීවිත ගෙවන්නෙ ඒ ආත්ම ශක්තිය නැති නිසා”

සන්තුෂී දෙතොල් තෙරපා සිනහවක් පෑවා ය. නමුත් ඒ ආත්ම ශක්තිය ඇති වී තියෙන්නේ බෙල්ලෙකුට දුක් ම දෙමින් කටුව තුළ සිර වී තිබූ වැලි කැටයක් මුතු ඇටයක් වන්නා සේයි සන්තුෂී නො කියා සිටියා ය. ඒ වැලි කැටය නිසා බෙල්ලා විඳින දුක කිසිවෙකු දකින්නේ නැත. නමුත් අවසන නිපදවන මුතු ඇටය දකී. බිඳ වැටීම් තුළින් ශක්තිමත් නව ප්‍රාණියෙකු ලෙස උපදින ගැහැනු මිනිසුන් ගේ ආත්ම ශක්තියේ කතාව ද එසේ ය.

“අංජන වගේ අවුරුදු ගාණක් බලං හිටිය කොල්ලෙක් පැත්තක ඉද්දිත් ඔයා එයා එක්ක අනාගතයක් ගැන නොහිතන එක ඇත්තටම මටනං මාර දෙයක්”

ඊටත් සන්තුෂී ට තිබුණේ මඳහසක් පාන්නට විතර ය. හිතේ තෙරපෙන සමහර හැඟුම් වචන වලට පෙරලන එක පහසු නැත. ඇතැම් විට වචන කර තවකෙකුට කියන්නට තබා තමන්ට ම වුව වටහා ගත නො හැකි තරමට ඒ හැඟීම් ගැඹුරු ය. සංකීර්ණ ය. අංජන කියන්නේ සිය ස්ත්‍රී ආත්මය තුළ කුණාටු සුළං ඇති කරනා සංකීර්ණ සිතිවිලි මාත්‍රයක් වී ඇති බව පමණක් දැන් සන්තුෂී දනී.

අංජන ගේ නමින් සන්තුෂී ගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ වෙලාවේ ය. සන්තුෂී හා තප්ති උනුන් ගේ මුහුණු බලා ගත්හ.

සදෙව්මා ගෙදර ඇවිත් ඇති බව දැන ගත් වෙලාවේ අංජන හැකි තරම් ඉක්මනින් ගෙදර ආවේ විපිළිසර සිතිවිලි එක්ක ය. ඇය වෙනුවෙන් දිවා ආහාර පැකට්ටුවක් රැගෙන ආ ඔහු මුලින් ම ඇයට ඒ කන්නට දුන්නා ය. සදෙව්මා ගෙදර නොපැමිණි බව දැන ගත හොත් වින්දි කලබල වන බව හොඳටම දන්නා නිසා අංජන වින්දි ගේ ගෙදරට කතා කොට සදෙව්මා තමන් සමග සිටින නිසා කලබල නොවෙන ලෙස දන්වා සිටියේ ය. නමුත් පාසල් සේවා වෑන් රියේ ඇය ගෙදර නො පැමිණි බව ඒ වන විටත් වින්දි ට ඔවුන් දැනුම් දී තිබිණ.

“එහෙනං අම්ම එයාට කියන්න දුව මෙහෙ ඇවිත් කියල. මං එයා එක්ක කතා කරල හිත හදල ගෙනත් ඇරලන්නං”

නමුත් සදෙව්මා ගේ හිත හදන කාරිය පහසු වූයේ නැත. අම්මා සමග ජීවත් වීම ඇය තරයේ ප්‍රතික්ෂේප කළ අතර යළි ගෙදර නොයන බව ද කියා සිටියා ය.

“ඇයි ඉතිං මට මෙහෙ ඉන්න බැරි..මේක අපේ ගේනෙ. මට මෙහෙ ඉන්න පුළුවන්. තාත්තියි අම්මියි ඔෆිස් ගිහිං එනකල් කලිනුත් මං හිටියෙ. ආච්චි ඇවිත් බලනවනෙ”

පොඩි දරුවෙකු සමග මේවා කතා කොට පලක් නැති සේ අංජන ට දැනිණ. අනිත් අතට කයින් මනසින් වැඩෙමින් සිටිනා නව යොවුන් දැරියකට පියෙකු වශයෙන් කෙසේ මේවා පහදා දෙන්නද යන දෙගිඩියාව ඔහු ට විය. සන්තුෂී දියණියට කතා කරනවා නම් හොඳ ය යන තීරණය හදිසියේ ඔහු ගේ සිතට නැගුනකි. ගෙදර තිබුණ ඇඳුම් දැන් සදෙව්මා ට හිර වී, කොට වී තිබිණි. මේ ටික කලට ඇය උසින් මහතින් වැඩී ඇති බව පසක් කරන්නට ඒ හොඳ ම සාක්ෂි ය. තරමක් හිර හා කෙටි වූ ගවුමක් හැඳ ගත් සදෙව්මා සමග ඔහු රියට ගොඩ වූයේ ය. සන්තුෂී හමු වන්නට යාම ගැන සදෙව්මා සතුටු වූවා ය.

“අංජන…”

දුරකතනය සවනට ගෙන සන්තුෂී ප්‍රතිචාර දැක්වූයේ එසේ ය. එහා ඉමෙන් ඇසුණ කිකිණි සිනා හඬ සදෙව්මා ගේ ය.

“අංජන නෙවේ එයාගෙ දුව. අපි සැලෝන් එක ළඟ ඉන්නෙ”

“හරි මං එන්නං”

තප්ති ද සමග සන්තුෂී පිය ගැට පෙළ බැස්සා ය. අංජන සිටියේ රියෙන් බැස ඊට හේත්තු වී ගෙන ය.

“සදෙව්මා ඉස්කෝලෙ ඇරිල පිළියන්දල යන්නැතුව අපේ ගෙදර ඇවිත්”

ඔහු ගේ ඇස් මත වූයේ පිළිසරණ පතනා විලාශයකි.

“අනේ දෙයියනේ”

එසේ කියවුණේ සන්තුෂී ට නොව තප්තිට ය. සන්තුෂී බරැති සුසුමක් හෙළුවා ය. 

“මං සදෙව්මා එක්ක කතා කරන්නං”

තප්ති සමු ගෙන ගිය පසු සන්තුෂී සදෙව්මා ව රූපලාවන්‍යාගාරය තුළට කැඳවා ගෙන ගියා ය. සිය කියුබිකල් එක තුළ මේසය ඉදිරියේ ඇය හිඳුවා පළතුරු බීම බෝතලයක් ඇය ඉදිරියේ තැබුවා ය.

“ඒ ගමන ඔයත් මුරණ්ඩු වෙන්න හදනවද…ම්..”

“ඉතිං අක්කි…අම්මි එක්ක සැනසිල්ලෙ ඉන්න බෑනෙ. හැම දාම මොකක් හරි අල්ලගෙන මට බණිනව. කනක් ඇහිල ඉන්න නෑනෙ. මං ඉතිං වැරැද්දක් කළේ නෑනෙ. මං ආවෙ අපේ ගෙදරට. තාත්ති ළඟට”

“ඒ ඔක්කොම හරි දරුවෝ…ඒත් අම්මිගෙ සිටුවේශන් එක ඔයා දන්නවනෙ…නේද…එයා එදත් අත කපා ගත්ත එකේ…ඊට වඩා ලොකු අනතුරක් වුණත් කර ගන්න බැරි නෑ. අපිට එයාව සයිකෑට්‍රිස්ට් කෙනෙක් ළඟට එක්කං යන්නවත් මාර්ගයක් පාද ගන්න බැරුව ඉද්දි…ඔයත් මෙහෙම කරන එක වැරදී සදෙව්මා. මං ඔයාට කිව්වනෙ…අපි හුඟක් ඉවසන්න ඕන ජීවත් වෙද්දි. එහෙම ඉවසන්නැතුව හැඟීම් වලට වාල් වෙන්න ගියාම ජීවිතේට ලොකු ලොකු වැරදි වෙන්න පුළුවන්. මාත් මගෙ තරුණම කාලෙදි එහෙම හැඟීම් වලට වාල් වෙච්ච නිසා ජීවිතේම වරද්ද ගත්ත ගෑනියෙක්. ඒත් ඔයාට එහෙම වෙන්න ඕන නෑ. අනිත් එක වෙන හුඟක් ගෑනු ළමයින්ට නැති වගකීමක් ඔයාට තියෙනව. ඒ ඔයාටග අම්මි ගැන. එයා ටිකක් ඇබ්නෝමල් කියල දැන් ඔයාට තේරෙනවනෙ. එහෙම අය ඕන තරං මේ සමාජෙ ඉන්නව. ප්‍රශ්නෙකට මූණ දෙන්න බැරුව සුයිසයිඩ් කර ගන්නෙ ගොඩක් වෙලාවට එහෙම අය. ඔයාගෙ අම්ම එහෙම තැනකට ආවොත්…ඔයාට ජීවිතේම දුක් වෙන්න නේද වෙන්නෙ..ඒක නිසා හොඳ ළමය වගේ ඔයා අම්මි ළඟට යන්න”

“ඉතිං තාත්ති එක්ක…”

“සදෙව්මා. ඔයා ගෑනු ළමයෙක්. ලොකු ළමයෙක්. දුවෙක්ට තාත්තෙක් ඕන තමයි. ඒත් තනියම දුවෙක් බලා ගන්න එක තාත්ත කෙනෙක්ට පහසු දෙයක් නෙවේ. ඔයාට තේරෙනවද…ඒක එයාගෙ ඔළුව උඩ කඩං වැටෙන ලොකු වගකීමක්. එක පාරටම එහෙම දේකට ෆේස් කරන එක තාත්තිට ලේසි නෑ. හරි එයා අමාරුවෙන් වුණත් එහෙම කළා කියමු. ඒත් අම්මිගෙ රිඇක්ශන් එක කොහොම වේවිද…අපි එයා ගැන හිතන්න ඕන නේද…ම්…ඔයාට තේරෙනවද මං කියන දේ…”

“ඔයත් කියන්නෙ මට අම්මි එක්ක ඉන්න කියලද…”

සදෙව්මා ගේ මුහුණේ වූයේ අපේක්ෂා භංගත්වයකි. සන්තුෂී ඇදෙස ස්නේහයෙන් බලා සිටියා ය. සදෙව්මා වහා අසුනෙන් නැගිට සන්තුෂී වෙත විත් ඇගේ ගෙල බදා ගත්තා ය.

“මට ඔයා වගේ අම්මි කෙනෙක් හිටියනං…”

උගුර හිර වෙනු සන්තුෂී ට දැනිණ. ඇය ටික වෙලාවක් ඒ අසීරුතාව තුළ ගිලී සිටියා ය. 

“පැටියො…ඔයාගෙ අම්ම ඔයාට ගොඩක් ආදරෙයි. එයාව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්ක යන්න බලන්න..ඉස්සරහ දවස් ටිකේ අපේ ලොකුම ටාගට් එක වෙන්න ඕන ඒක. ඔයා තාත්ති එක්ක නෙවෙයි අම්මියි තාත්තියි දෙන්නම එක්කයි ඉන්න ඕනෙ. ඒක කරන්න මං මට පුළුවන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි”

ආත්ම වේදනාවක් සන්තුෂීව යට කර ගනිමින් තිබිණි. නමුත් එහි නො ගිලී හුස්ම අල්ලා ගෙන ඉන්නට ඇයට ඕනා විය.

ඔවුන් දෙදෙන යළි පහළට යන විට අංජන රියදුරු අසුන මත හිඳ හිස පිටුපසට බර කර ගෙන නෙතු පියා සිටියේ ය. මහත් ලෝභී හා ස්නේහ හැඟීමකින් සන්තුෂී ගේ ගැහැනු හිත පිටාර ගලන්නට වී ද ඇය මඳහසකින් ඔහු දෙස බලා සිටියා විතර ය.  සදෙව්මා ලැජ්ජාශීලී විලාශයකින් ‘තාත්ති’ කියා කතා කළා ය. අංජන තිගැස්සී ගොස් ක්ෂණික සිනහවක් නගා ගත්තේ ය.

“මාව ආච්චම්මලගෙ දිහා ඇරලන්න තාත්ති”

 සන්තුෂී දෙස බැලු අංජන ගේ ඇස් වල තිබුණ කතාව පපුවේ සංවේදී ම තැනක් බදා වැළඳ ගනු සන්තුෂී සංයමයෙන් බලා සිටියා ය. ප්‍රේමය කියන්නේ කිසි දා හිමි කර ගන්නට නො සිතිය යුතු වස්තුවකි!

“කොහොමද මේවට ගෙවන්නෙ…”

එසේ අසත්දී අංජන ගේ හුස්ම හිර වෙන්නට විය. වචන පිට වූයේ ද තද වීමක් තුළිනි. සිනහ වෙන්නට ඕනෑ වීද ඔහු හැඬුම් ස්වරයක අතරමං විය. ලාවට රත් පැහැ ගැන්වුණ ඒ ඇස් වල තෙතමනයක් සන්තුෂී ට දැනිණ. සන්තුෂී මුව මඳක් විවර කොට ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගත්තා ය. ඒ මිස ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් ඇය දැන සිටියේ නැත.

“පරිස්සමෙන් යන්න”

ඇය උගුර යටින් කීවා ය. අංජන යන්තම් හිස සලා රිය පණ ගන්වා ගත්තේ ය. ඒ සියල්ල සියලු පපු කුහර වලට බර වැඩි වූයේ ය. නමුත් ඔවුන් උහුලා ගත යුතුව තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles