රැකියාව වෙනුවෙන් තම ගර්භාෂය සැත්කමකින් ඉවත් කරන කාන්තාවන්

ඔසප් දිනවල අපහසුවෙන් ඉදිද්දී “ගර්භාෂයක් නොතිබුණානම් හොඳයි” කියලා ඔබට හිතිලා තියෙනවද?අපහසුතා නිසා ඒ වගේ හදිසි සිතුවිලි ඔබ ඇති කර ගත්තට සැබෑවටම එහෙම කරන්න සිදුවෙන කාන්තාවන් මේ ලෝකයේ ජීවත් වෙනවා.

ලෝකයේ විවිධ රටවල විවිධ දුක් විඳින කාන්තාවන් අතර ඔසප් සමයේ සිදුවන ගැටලු ගැන නිදහසේ කතා කරන්නට ඉඩ නොලැබෙන රටක කාන්තාවන් විදිහට අපේ අසල්වැසි ඉන්දියාවේ කාන්තාවන් හඳුන්වන්න පුළුවන්.ඔවුන් මාසික ඔසප් ඔසප් වීමට ලක් වන කාලය ඔවුන් අපිරිසිදු කොට්ඨාසයක් ලෙස තවම සමාජය හඳුන්වනු ලබනවා.මේ ගැන The great indian kitchen චිත්‍රපටිය හරහා කතා කළා ඔබට මතක ඇති.

කොහොම නමුත් ඉන්දියන් කාන්තාවන් ඔසප් කාලය තුල හඳුන්වන්නේ අපිරිසුදු කාන්තාවන් ලෙසට.ඔවුන්ව කිසිම ආගමික හෝ සමාජීය කටයුත්තකට මේ කාලය තුළ සහභාගි නො කරගන්නට ඉන්දීය ජනයා ප්‍රවේසම් සහගතයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මහාරාෂ්ට ප්‍රාන්තයේ තරුණියන් දහස් ගණනක් තමන්ගෙ ගර්භාෂය ඉවත් කරන සැත්කම් වලට සම්බන්ධ වී තිබෙනවා.රැකියාව ලෙස උක් කැපීමේ නිරත වන අඩු ආදායම්ලාභී කාන්තාවන් මේ අතර විශේෂයි.

ඉන්දියාවේ අඩුආදායම් පවුල් වලට අයත් බොහෝ කාන්තාවන් සීනි තීරය නමින් හඳුන්වන ඉන්දීය බටහිර ප්‍රදේශ වලට පැමිණෙනවා.ඒ උක් කැපීම රැකියාව ලෙස සිදු කිරීම උදෙසායි.මේ උක් කැපීමේ මාස හයක් නිරත වන්නට ඔවුන්ට හැකියාව තිබෙනවා. මේ රැකියා අවස්ථා ලබා දෙන බොහෝ පිරිස් ඉතා අමානුෂික පුද්ගලයන්. ඔවුන් තමන්ගේ ශ්‍රමිකයන් ව දැඩි සූරාකෑමට ලක් කරනවා.උක් කැපීම ඉතා බරපතළ කාර්යයක් වන නිසාම මේ බිම් අයිතිකරුවන් මුලදී එයට කාන්තාවන් බඳවා ගන්න එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ .නමුත් පසුව ඒ අදහස වෙනස් වී තිබෙනවා.

ඔසප් කාලය කිසිම කාන්තාවකට සුන්දර කාලයක් නෙමෙයි.රූපවාහිනී වෙළඳ දැන්වීම් වල සිටින යුවතියන් තරමට උද්‍යෝගයෙන් හැසිරෙන්නට ඒ දිනවල බහුතර කාන්තාවන්ට හැකියාවක් නැහැ . එනිසාම බොහෝ කාන්තාවන්ට ඔසප් දින දෙකේදී මේ උක් කැපීමේ රැකියාවට පැමිණෙන්නට හැකියාව නැහැ.එහිදී වගාබිම් අයිතිකරුවන් කරන්නේ ඔවුන දඩ මුදලකට යටත් කිරීමයි.

අනිත් කනගාටුදායකම කාරණය වන්නේ මේ වගාබිම් වාසයට සුදුසු ස්ථාන නොවීමයි.නමුත් කම්කරුවන්ට දිවි ගෙවීමට සිදුවන්නේ ඒ ඒ ස්ථානවලමයි.බොහෝ තැන්වල වැසිකිලි පහසුකම් ඇත්තේ නැහැ .කූඩාරම්වල දිවි ගෙවන නිසා ඇදුම් මාරු කර ගැනීමට පවා කාන්තාවන්ට සිදුවන්නේ අපහසුතාව මධ්‍යයේයි.සමහර කාලවලදී රාත්‍රියේද උක් කපන්නට සිදුවනවා.මෙවැනි බොහෝ කාරණා නිසා ඔසප් වීම මේ උක් කපන කාන්තාවන් කිසිසේත්ම පහසු කාර්යයක් වන්නේ නැහැ.ඔවුන් පහසුවෙන් නාරි රෝගවලට ගොදුරු වෙනවා.සමහර වෛද්‍යවරුන් ඖෂධ ලබා නොදී ඔවුන්ව සැත්කම්වලට ලක් කරන වාරද ඉන්දියාවෙත් අසන්නට ලැබෙනවා.මේ නිසා ඉන්දීය කම්කරු කාන්තාවන් එකම එක විකල්පයක් තෝරා ගන්නවා.

ඒ ගර්භාෂය ඉවත් කර දැමීම!

ඉන්දීය ග්‍රාම්‍ය කාන්තාවන් බහුතරයක් තරුණ කාලයම විවාහ වන්නියන්.ඇති තරමට දරුවන්ද ලබා සිටින නිසා ඔවුන්ට ගර්භාෂය ඉවත් කිරීම හා ඒ සම්බන්ධ විපාක ගැන වෛද්‍ය උපදෙස් නොලැබෙන තරම්.මේ නිසා ඉන්දියාවේ ගම්මාන කිහිපයක්ම “wombless village”ලෙස නම් දරා තිබෙනවා.මේ සියලු දෙනාම සීනි තීරයේ වාසය කරන්නියන් නොවෙයි.ඔවුන් ඉතා තරුණ වියේ පසුවන වගා බිමට රැකියාවට සංක්‍රමණය වන්නියන්.

සැත්කමින් පසු ඔවුන් බොහෝ රෝග පීඩාවට ලක් වෙනවා.ඒ සැත්කමේ අතුරු ප්‍රතිඵලයි.ඒ නිසාම ඒ කාන්තාවන්ට නැවත වගා බිම් වල රැකියාව කරන්නට ඉඩ ලැබෙන්නෙත් නැහැ. මේ ගැටලුව ආ කම්කරු කාන්තාවන් අතර පමණක් පවතින්නක් නෙවෙයි.ඉන්දීය ඇගළුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ද මාසික ඔසප් කාලයේදී තමන්ට ලේබල් රහිත ඖෂධ ලැබෙන බවට චෝදනා නගනවා.

wombless village

ඔසප් කාලය තමන්ගේ වැටුප නැති කරන එකක් බවට පත් පත් කරගන්නට ඔවුන්ට හැකියාව නැහැ.අනිසි සැත්කම් සහ අනිසි ඖෂධ ලබා ගනිමින් තමන්වම රිදවන්නට ඔවුන්ට සිදු වී තිබෙනවා.මෙය ඉතා අහිතකර තත්ත්වයක්.මේ අභාග්‍ය සම්පන්න සහ දුක්ඛිත තත්වයට ලෝකයේ තවත් බොහෝ රටවල කාන්තාවන් ලක් වන බවට අපට විශ්වාසයෙන් පවසන්නට පුළුවන්.

ඔසප් වීම කාන්තාවකට සොබා දහමෙන් ලැබෙන දෙයක්.එය ඇයගේ සිරුරේ ස්වභාවික සංසිද්ධියක්.සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඒ දිනවලට අපහසුතාවය ගැනීම ඕනෑම කාන්තාවකට පොදු දෙයක් විය හැකියි
එය ගර්භාෂය ඉවත් කර හෝ අනිසි ඖෂධ ලබා ගනිමින් තමන් තමන්ටම දඬුවම් දිය යුතු තත්ත්වයක් නොවේ.මෙවැනි දුක්ඛිත ඉරණම වලින් කාන්තාවන් නිදහස් වන ලෝකයක් ඉක්මනින් උදාවේවායි පැතීම පමණක් ප්‍රමාණවත් නැහැ.එයට ලෝකයේ සිටින සියලුම කාන්තාවන් එක්ව සටන් වැදිය යුතුයි.

ඔසප් සමයේ ඇතිවන ගැටලු නිසා ඔබට ද ඔබේ අවස්ථා මඟ හැරී තිබෙන්නට පුළුවන්.නමුත් ස්වභාවික සංසිද්ධියකට එරෙහිව සටන් කළ නොහැකි වුණත් එය සාමාන්‍ය සිද්ධියක් බවත් ඔබට ඒ දිනවල විවේකයක් අවශ්‍ය බවත් වටහා ගන්න.ඒ ඔබේ සමීපතයින්ට ද වටහා දෙන්න.

කාන්තාවක වීම ඔබ ඔබට ම දඬුවම් කරගත යුතු කාරණාවක් නොවේ.

Related Articles

Don't Miss


Latest Articles