සුදු රෝස.

අලුත් ගෙදර ඇවිත් බඩුමුට්ටු අස්පස් කරගෙන ඉවර වෙලා මම මිදුලට බැස්සේ අකිලට ඇමතුමක් ගන්න.අලුත් ගෙදර විස්තරත් මහන්සියේ තරමත් කියමින් මිදුල අයිනේ සුදු ලී වැට ගාව බංකුවෙන් ඉඳගත්තු මම වැට මායිමට ඉව අල්ලන ෂැඩෝට අවධානය දෙන්න ගත්තා.

එයා ඉව අල්ලන්නේ කාට හරි!

අකිලගේ ඇමතුම අවසන් කරලා ඒ දිහා බලනකොට තවම තාරුණ්‍යය පහව නොගිය ලස්සන ගෑනු ළමයෙක් රෝස පාත්තිය ළඟින් නැගිට්ටා.මම හිනා වුණාම එයත් මට හිනා වුණේ මිත්‍රත්වයක උණුසුමින්.

“නංගිලාද මේ ගේ ගත්තේ?”

ඇය මුල්ම ප්‍රශ්නය ඇහුවා.අපි කලින් හිටිය පළාත ගැන, මගේ විස්තර ගැන කතාබහ කරලා මං යන්න හැරුණා.එහා ගෙදර අක්කා;මගේ අලුත් මිතුරිය;භාවනා ගේ ඇතුළට ගියේ සුදු රෝස මල් පොකුරකුත් කඩාගෙන.

අසල්වැසියන් හිතවත් වෙන්න කාලයක් අවශ්‍යයි.එහා ගෙදර ආන්ටිත් අපේ අම්මාත් ඉක්මනින් මිතුරු වුණා.තවම රෑ කෑම වේලක තරමේ සුහදත්වයකටවත් යන්න වෙලාව නැති වුණත් අපි අතර ව්‍යාංජන දීසි සහ කෙටි කෑම වර්ග හුවමාරු වුණා.

“අක්කා..මං හැදුවෙ..රසද නම් මන්දා..”

මං ඩේට් කේක් එකක් භාවනා අක්කා අතින් තියනකොට එයා භාජනය ඇරලා ලස්සනට හිනා වුණා.

“හිරන්ත ආසම කේක් ජාතිය.”

ඒ අක්කාගේ පෙම්වතා වෙන්න ඕනෑ කියලා මං අනුමාන කළා.ඒ නිසාමයි මං ඇස් හීන් කරලා හිනා වෙලා ඒ කවුද ඇහුවේ.

“ලබන අවුරුද්දෙ වගේ වෙඩින් එක ප්ලෑන් කරගෙන ඉන්නේ නංගි.හිරන්ත ලංකාවට එන්න එපැයි මුලින්ම..”

අක්කා එහෙම කියලා ගෙට ගියේ සුදු රෝස පාත්තිය අත ගාමින් ඉඳලා.

“මොකද අද මූණ නරක් කරගෙන..”

ලී වැට ළඟට වෙලා එහෙමෙහෙ යන මගෙන් සුදු රෝස පාත්තියෙන් එබිලා භාවනා අක්කා ඇහුවේ මං හොඳටම නොසන්සුන් දවසක.

“අකිල,මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.යාලුවො එක්ක ට්‍රිප් එකක් යනව..”

ඇත්තටම ඒ ගමන යන්න අපි ඔක්කොම සැලසුම් කරමින් ඉද්දී කොල්ලෝ ක්ළ් තියා පිටත් වීම ගැන මට තිබුණේ කේන්තියක්.මම ලෙක්චර්ස් වලට ඉන්නේ නැතුව කලින්ම ඇවිත් එහෙමෙහෙ ඇවිදින ගමන් පිට කරන්නෙ ඒ තරහ කියලා භාවනා අක්කටත් තේරෙන්න ඇති.

“කොහෙද?”

එයා අහද්දී ඒ කඳුකර පළාතකට බව මම කිව්වා.

“එපා.එපා..යන්න දෙන්න එපා! ඔය ගඟක ඇළක දොළක නාන්න ගිහින් මොනවහරි වුණොත්?”

භාවනා අක්කා කලබල වුණේ පුදුමාකාර විදියට.එයා එහෙම කිව්වම “අපිව හලල යන ට්‍රිප් එක” කියන කාරණාව අමතක වෙලා මටත් බයක් ඇති වෙන්න ගත්තා.ඉස්සෝ කරියක් අරගෙන වැට ළඟට ආව ආන්ටි අපි ළඟට ආවේ භාවනා අක්කාගේ කලබලය දැකලා වෙන්නත් ඇති.

“මේ නංගිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් බදුල්ල පැත්තෙ ට්‍රිප් එකක් යනවලු.මං කිව්වේ අම්මෙ යන්න එපා කියලා.ගඟක ඇළක නටන්න ගියාම කොල්ලන්ට මොකුත් මතක නෑනෙ.”

භාවනා අක්කාගේ කලබලය හින්දා ආන්ටිත් ටිකක් නොසන්සුන් වුණා.

“ගෙට යං පුතේ.ඔයාට කෝල් එකක් එනවා ඇහුණා..”

ආන්ටි එහෙම කියනකොටම සුදුමැලි වෙලා හිටපු භාවනා අක්කා ගෙට දිව්වේ “හිරන්ත වෙන්න ඇති” කියාගෙන.ආන්ටි මගේ අතින් ඉස්සෝ කරි එක තියනකොට ඒ අත් සීතල වෙලා කියලා මට දැනුණා.

ට්‍රිප් එක ගිහින් වීඩියෝ කෝල්ස් ගනිමින් අකිල මාව ආපහු යාළු කරගන්න හදනකොට මම මිදුලේ එහා මෙහා ඇවිදිමින් අකිලට කතා කරේ නෝක්කාඩුවට.මිදුලේ අඹ ගහ යට බංකුවට වෙලා භාවනා අක්කා දුරකථන ඇමතුම් ගන්න නොකඩවා උත්සාහ කරන බව මම දැක්කා.අකිල එක්ක රණ්ඩු අල්ලන නිසා අක්කාට අත වනනවා මිස කතා කරන්න මට ඉස්පාසුවක් තිබුණෙ නැහැ.ආන්ටි ඇවිත් අක්කා ගේ ඇතුළට එක්ක යනකොට අක්කා ඉන්නේ ප්‍රශ්නයක ද කියලත් මට හිතුණා.

අකිල ආපහු ආවේ මාව යාළු කරගන්න මන්තර හොයාගෙන.ඉතින් අපි යාළු වුණා.එක්සෑම් ළඟ ළඟම එන නිසා මමත් කාර්යබහුල වෙමින් හිටියා.සුදු රෝස ගස් අතර භාවනා අක්කා දකින්න ලැබුණේ ඉඳහිටක වගේ.

“කෝ ආන්ටි අක්කා..”

දවසක් ආන්ටිගෙන් මම අහද්දී ආන්ටිගේ මුහුණ දුක්බර වුණේ එකපාරටම.

“ආයෙම සනීප මදි දරුවො…”

ආන්ටි එහෙම කියාගෙන ගේ ඇතුළට ගියා.

“අක්කා හරි කෙට්ටු ගර්ල් කෙනෙක්.මට මේ දැන් මතක් වුණේ එයා කරාබු දෙකක්වත් දාන්නෙත් නෑ.අනේ කැන්සර් එකක්වත් තියන කෙනෙක්ද දන් නෑ අකිල.මහ අමුතු දුකකුත් එයාගෙ මූණෙ තියනවා..”

මං මහා දුකකින් එහෙම කියද්දී අකිල මගේ අතේ පෑන් ඉරක් ඇඳලා හිනා වුණේ මං විභාග ආතතියට කියවනවා වගේ හැඟීමකින්.

“එහෙනං ඔයාලගෙ නේබර්ස්ලා හොල්මන් ෆැමිලි එකක්ද දන් නෑ.සුදු රෝස වවනවා කිව්වමත් මට පොඩ්ඩක් පුදුම හිතුණා..”

මං අකිලගේ අතට පාරක් ගැහුවේ තරහ මවාගෙන.

“පිස්සු කියෝනව.ඒ ආන්ටි උයන ඒවා මං ඔයාටත් ඔතාගෙන ආව හරිද?”

අකිල ආයේ හිනා වුණේ “ෆිල්ම්වලත් මැරුණු මිනිස්සු රසට උයනව”කියලා කියන ගමන්.ඕනෑවට වඩා හොරර් මූවීස් බලන අකිලට බනින්න එදා මගේ දවසම ගත වුණා.

මම ගෙදර ආවේ කල්පනාවක පැටලිලා.අකිලගේ විහිළු කතා කොහොම වුණත් භාවනා අක්කා ගැන මට නොතේරෙන ප්‍රහේලිකා ඔලුවේ නිර්මාණය වෙමින් තිබුණා.මම ගේ ඇතුළට යනකොටමයි ආන්ටි අපේ ගෙදර ඉඳලා එළියට බැස්සේ.

“අක්කා කෝ ආන්ටි..”

මං එහෙම අහනකොට අක්කා බෙහෙත් බීලා නිදි බව කියමින් ආන්ටි යන්න ගියා.

“පුතේ..”

මට තේ කෝප්පයක් හදලා අතට දුන්නු අම්මාගේ මුහුණත් හොඳ නැති බව මම දැක්කේ අක්කා ගැන හිතමින් එහා ගෙදර දිහා බලන් ඉන්නකොට.

“ඔයා ආපහු අකිල ගැන අර භාවනා දුවට කියන්න එපා දූ.”

අම්මා එහෙම කියද්දී අකිලත් භාවනා අක්කත් අතර සම්බන්ධයක් හිතා ගන්න බැරුව මම ගැස්සිලා ගියා.

“ඒ දරුවා අසනීපෙකින් ඉන්නෙ පුතේ.එදා ඔයා අකිලලාගෙ ට්‍රිප් එක ගැන කිව්වම භාවනා හොඳටම අසනීප වෙලා.”

මම අම්මා දිහා බලාගෙන හිටියේ ගැට ගැහුණු නූල් බෝලයක් වගේ ප්‍රශ්න ගොඩක් ඔලුවට අරගෙන.අකිල නිසා භාවනා අක්කා අසනීප වෙන්න හේතුවක් මට හිතා ගන්න බෑ.මට හිතෙන හේතුව භාර ගන්න මම කැමතිත් නැහැ.

“ඒ දරුවා එක්ක සම්බන්ධයක් තිබ්බ ළමයා ඉඳලා තියෙන්නේ රුසියාවෙලු.එහෙ කැම්පස් එකක ඉගෙන ගෙන.කොල්ලො ටිකක් එක්ක ගිය ට්‍රිප් එකකදි ඒ ළමයා වතුරක ගිලිලා නැති වෙලා.භාවනා ඊටපස්සේ මානසිකව වැටිලා.නිතරම අසනීප වෙනවලු.හොස්පිටල් පවා ඉඳලා කාලයක්.ඔය සුදු රෝස වවන්නේ ඒ පිරිමි ළමයගෙ සොහොනෙන් තියන්න.සොහොනක් තිබ්බට මෙයාලට මිනියවත් දකින්න වෙලා නෑ..”

මං ගැස්සිලා ගියා.අකිල ට්‍රිප් එකක් යන බව කියලා මං රණ්ඩු කරනකොට භාවනා අක්කා ඒකට පොහොර දැම්මේ එයාගේ ඉරණම වෙන කාටවත් අත් වෙනවට බය නිසා වෙන්න ඇති.

“භාවනා ගොඩක් වෙලාවට ඉන්නේ අසනීපෙන්.එතකොට තමයි එයා ඒ පිරිමි ළමයා කතා කළා වගේ දේවල් කියන්නේ.ඔයා ආයේ අකිල ගැන කිසිම දෙයක් කියන්න එපා පුතේ.පව්.”

අම්මා මට එහෙම කියලා ගේ ඇතුළට ගියේ ලොකු හුස්මක් ගන්න ගමන්.

ආදරය කියන්නෙ උමතුවක් බව කොහේදි හරි අහලා තියෙන බව මට මතක් වුණා.ඒත් භාවනා අක්කා ඉන්නේ උමතුවකින් බව පිළිගන්න මට හිතක් නෑ.
සමහරවිට අර ලී බංකුවේ වාඩි වෙලා එයා කතා කරන දේවල් අහන් ඉන්න, රෝස පාත්තියේ මල් ගනින්න හිරන්ත අයියා නෑවිත් ඉන්නේ නැතුව ඇති!

“ආදරය මිය යන්නේ නැහැ.ආදරය කරන්න අනිත් කෙනා අපි ළඟ ඉන්න ඕනෑත් නැහැ.” මං හිතුවේ භාවනා අක්කාගේ කාමරයේ වහපු ජනේලය දිහා බලාගෙන.

More Stories

Don't Miss


Latest Articles