අප නිවසට කැඳවාගෙන පැමිණ අඩ හෝරාවකින් පමණ හේෂාන් නික්ම ගියේ කැමැත්තකින් නොවන බව මට තේරුම් ගියේය. නිවසේ ගත කරන මෙම දිනයේ හෝ දින කීපය මා සමගින් ගත කරන්නට ඔහුට උවමනා වී ඇතත් එසේ ගත කරන්නට ඔහුගේ කාර්ය බහුල ජීවිතය ඉඩ නොදෙන බව මම දැන සිටියෙමි. වෙනදා මෙන්ම පිටව යන මොහොතේ මගේ නළළතට හාදුවක් දුන්නද, ඒ මොහොතේ ඔහුගේ දෑසෙහි පිරී තිබූ කඳුලු අමතක කරන්නට මට නොහැකි විය.
“බබා…”
හේෂාන් නික්ම ගොස් සෑහෙන වේලාවක් ඉක්ම ගියද, ඒවන තුරුත් මිදුලට වී සිටි මා අසළට වජිරා පැමිණියාය.
“අපි ගෙට යමු බබා…”
වජිරා වෙනදාටත් වඩා ආදරයෙන් මා ඇමතුවාය.
“මෙහෙම ඉන්නම්. හොස්පිටල් ගියාම මට මේ කිසිම දෙයක් ආයෙ දකින්න විදියක් නැතිව යනවනේ.”
මා පැවසුවේ පහත නිම්නය දෙසට දෙනෙත් හෙලාගෙනය. සැබවින්ම උස් ස්ථානයක පිහිටා තිබූ බැවින් මිදුලේ හෝ සඳලුතලයේ හිඳිද්දී හෝ දිස් වන, සිතුවමක් වන් පහත නිම්නය සිත පහන් කරනා දසුනක් නොවේදැයි මම කල්පනා කළෙමි. නිරන්තරයෙන් තුනී මීදුම් පටලයකින් වැසී ඇති මෙවන් පරිසරයක මෙවන් අභිමානවත් නිවසක් ඉදි කරන්නට තරම් සීයා බොහෝ සුන්දර හදවතක් ඇති පුද්ගයකු විය යුතුය. සිය මිණිපිරියට සියල්ල පවරා ඈත සුන්දර ගමක වූ නිවස්නයක ජීවිතයේ සැඳෑ සමග ගෙවන සීයා සහ ඔහුගේ පෑනේ මිතුරිය වූ ඩිනාලි ජෑන්ස් පිළිබඳ අම්මා පැවසූ කතා පුවත මගේ සිහියට නැගිණ.
“මොනවද මගෙ බබා කල්පනා කරන්නේ?”
වජිරාගේ කටහඬ වෙනදාටත් වඩා කාරුණික වී ඇති සෙයකි. ඇය සුළඟින් අවුල් වූ මගේ කෙහෙ රැළක් සිය ඇඟිලි තුඩු අගින් සකස් කළ ද, අකීකරු සුළඟ නැවතත් එය මගේ මුහුණ මත පතිත කළේය.
“මට සීයා මතක් වුනා වජිරා. සීයගෙ පෙන් ෆ්‍රෙන්ඩ් මතක් වුනා. ඒක හරිම ආදරණීය සම්බන්ධයක් කියලා මට හිතෙනවා. මට ඩිනාලි කියලා නම තිබ්බෙත් සීයගෙම උවමනාවටම වෙන්න ඇති.”
වජිරා සිහින් හඬින් සිනාසුනාය.
“ඇත්තටම ඔව් බබා. ඒ දවස් වල මැඩම් මා එක්ක ඔය කතාව කියලා තියෙනවා. ගමේ ගියාම අපේ මැඩම් ඩිනාලි ගැන කියලා විහිලු කරාම ලොකු සර් හරිම ලස්සනට හිනා වෙනවා.”
“මට සීයා බලන්න ආසයි. ආච්චි උයන බත් කටක් කන්න ආසයි.”
වජිරා තදින් ඇසි පිය සැලුවේ දෑසට නැගෙන කඳුලු වළක්වා ගැනීමට විය යුතු යයි මට සිතිණ.
“ආච්චි හදන කිරි කොස් මාලුව හරි රසයි. අඹ තීරු කපලා දාලා හදන කරවල හොද්දක් එක්ක බඩ පැලෙනකම් කන්න පුලුවන්.”
“බබා ඔහොම කියනකොට මටත් කන්න ආස හිතෙනවා. ඒ රසටම උයන්න බැරි වුනත් මම අද ඒ විදියට උයන්නම්.”
වජිරා පැවසුවේ දුක සඟවාගෙනය.
“කියන්න බබා. වෙන මොනවද හදලා ඕන?”
“ආසයි කියලා කිව්වට වජිරා මහන්සි වෙන්න එපා. මට විශේෂයෙන් කිසිම දෙයක් හදන්නත් එපා. කෝ අම්මා?”
“මැඩම් බබාට දෙන්න කියලා මොනවදෝ හදනවා. කුස්සියට වෙලා. දන්නවද? කුස්සිය පලාතෙ එන්නෙ නැති සුදු බබත් අන්න හරි හරියට වැඩ කරනවා.”
“ඒ හැටි කරදර වෙන්නෙ සමහරවිට මට ආයෙම ගෙදර එන්න බැරි වේවි කියලා හිතෙනවා ඇති. වජිරා… මං හොස්පිටල් ගියාම අම්මා හදලා තියෙන කහ රෝස පඳුරට වතුර දාන්න අමතක කරන්න එපා. මං එනතුරු ඒ පඳුර ආදරෙන් බලා ගන්න ඕන.”
“එහෙම කරනවා බබා.”
වජිරා පැවසුවේ උගුර යටිනි. මම සෙමෙන් කහ රෝස පඳුර අසළට ඇවිද ගියෙමි. මේ රෝස පඳුර සමග සම්බන්ධ සුන්දර අතීතයක් තිබේ. හේෂාන් මට ආදරය කරන බව පැවසූ පසු පළමු වරට අප නිවසට පැමිණි දිනයේ අප දෙදෙනා මේ රෝස පඳුර අසළට පැමිණෙද්දී රෝස පඳුරේ මල් රැසක් පිපී තිබුණ අයුරු මට සිහිපත් විය.
“මේක ඔයාට.”
මා මලක් කඩා ඔහු අතට දෙද්දී ඔහු විස්මයෙන් මදෙස බලා සිටියේය.
“කොහොමද මං රෝස මල් වලට ආසයි කියලා ඔයා දන්නෙ ඩිනාලි?”
“ඔයාගෙ ඇස් වලින්.”
මම පැවසුවෙමි. රෝස මල සිප පරෙස්සමෙන් තබා ගත් හේෂාන් එය තම දිනපොත තුළ සුරක්ෂිතව ඇති බවට ඉන් දින කීපයකට පසු පැවසුවේය.
“මම ඒ රෝස මලට ආදරෙයි. රෑට ඩයරි එකේ ලියන්න ගනිද්දි මං ඒ රෝස මල දිහා බලාගෙන ඉන්නවා. මට දැනෙන්නෙ ඔයා මගේ ඩයරි එක ඇතුළට වෙලා ඉන්නවා කියලා.”
හේෂාන් පැවසූ වදන් වලට මා මහ හඬින් සිනාසුන අයුරු මට මතකය. ආදරයේ බොළඳ බව… එම බොළඳ වදන් වල ඇති ආකර්ෂණීයත්වය ගැන දන්නේ ආදරවන්තයින් පමණක්ම නොවේද?
“දැන් අපි ගෙට යමු බබා. ගොඩක් වෙලා මිදුලට වෙලා හිටියනේ. කකුල් දෙකත් රිදෙනවා ඇති.”
වජිරා පැවසුවේ මා කෙරහි අනුකම්පාවෙනි. ඇයට අවනතව මම නිවස දෙසට ඇවිද ගියෙමි. අප නිවස තුළට යනවිටත් අම්මා, සුදු නංගී සමග තේ මේසය පිලියෙල කර තිබිණ. මගේ අතින් අල්ලා ගත් අම්මා කෑම කාමරය කරා මා කැඳවාගෙන ගියාය.
“ඇයි මේ?”
රසකැවිලි වලින් පිරී ඇති මේසය දෙස බැලූ මම ඇසුවෙමි.
“චොක්ලට් රෝල් මම ඊයෙ ෂොප් එකෙන් ගෙනාවා. රුලං ලඩ්ඩු මමයි සුදුයි මේ දැන් හැදුවා. සෝන් පප්ඩි එන ගමන් බොම්බෙ ස්වීට්ස් කඩේකින් හේෂාන් ගත්තෙ. ඩිනාලි කන්න ආසයි කියලා.”
අම්මා පැවසුවේ මගේ දෙනෙත් වලට කඳුලු නංවමිනි. වෛද්‍යවරයා හමුවට ගොස් එන අතරමගදී හේෂාන් මෝටර් රථය නතර කොට බැස ගිය ද ඒ මා වෙනුවෙන් රසකැවිලි රැගෙන එන්නට ගිය ගමනක් යයි මම නොසිතුවෙමි. ඔහු ඒවා රැගෙන එන්නට ඇත්තේ මට නොපෙනෙන්නට සඟවාගෙන විය යුතුය.
“හේෂාන් සර් පණ වගේ අපේ බබාට.”
වජිරා පැවසුවාය.
“හේෂාන්ට තිබුනෙ ප්‍රෙස් එකක් දාගන්න නෙමෙයි. බොම්බෙ ස්වීට්ස් ෂොප් එකක් දාගන්න.”
මා සෝන් පප්ඩි කිහිපයක් අනුභව කරන අයුරු බලා සිටි සුදු නංගී පැවසුවාය.
“රසයි. ඒත් ඒ හැමදෙයක්ම තාවකාලිකයි කියලා මට හිතෙනවා අම්මා..” යි මට පැවසුනේ ඉබේටමය. අම්මා මගේ මුහුණ දෙස විපරමෙන් බැලුවාය.
“ඇයි එහෙම කියන්නෙ?”
අම්මා ඇසුවේ දුක්මුසු කටහඬිනි.
“රසයි රසයි කියලා කිව්වට තව විනාඩියක් යන්න කලින් ඒ රස නැති වෙලා යනවා. පුංචි වෙලාවකට දිව පිනවීමක් විතරයි වෙන්නෙ කියලා මට හිතෙනවා අම්මා.”
“අපේ ජීවිතේම එහෙම තමයි ඩිනාලි. අපි හොඳයි, රසයි, ලස්සනයි කියලා බදාගන්න හැමදේම අපට දෙන්නෙ තාවකාලික වින්දනයක් විතරයි. ඒත් එහෙමයි කියලා හැමදේම අත ඇරලා දාන්න අපට බෑ.”
“බණ කීම සපුරා තහනම්.”
සුදු නංගී බාධා කළාය. සිනාසුණ අම්මා තවත් රසකැවිලි බෙදන්නට සැරසුණද, මම එය අතින් ප්‍රතික්ෂේප කළෙමි.
“අපි දැන් මොකද කරන්නෙ ඩිනාලි?”
මේසයෙහි මා ඉදිරියෙන් හිඳ ගත් අම්මා ඇසුවේ දිගු කතාබහකට මුල පුරමිනි.
“අපිද? අපි දැන් තේ බොනවනෙ.”
සුදු නංගී පැවසුවාය. සුදු නංගී දෙස රවා බැලූ අම්මා ඉදිරියට නැඹුරු වූයේ මගේ පිලිතුරක් අපේක්ෂාවෙනි.
“මං අහන්නෙ ඩිනාලි. අපි හොස්පිටල් යන්නෙ කවදද කියලා. පමා කරන්න හොඳ නෑ. ඉක්මනින් ප්‍රතිකාර ගත්තොත් ඉක්මනින් සුවය ලබන්න පුලුවන්.”
“හොස්පිටල් කිව්වෙ? මහරගම ද?”
මා ඇසුවේ කැළඹුනු සිතින් යුතුවය. පාසල් සමයේදී මගේ පාසල් මිතුරියක වන ස්වේතාගේ මව පිළිකා රෝගයෙන් පෙලුනු අතර, ඇය ප්‍රතිකාර ලැබුවේ මහරගම පිළිකා රෝහලේය. අමතර පන්ති නිමා වීමෙන් පසු අප කිහිප දෙනෙකු ඇය බැලීමට ගිය අවස්ථාව මගේ මතකයට නැගෙන්නේ මහත් දුකක් හා කළකිරීමක් ද සමගිනි. පාසලේ දෙමාපිය හමුවලට පැමිණි ස්වේතාගේ මවගේ සුන්දර රූපය මතකයෙහි තබාගෙන ගිය නමුත් ඒවනවිට විකිරණ ප්‍රතිකාර වලට ලක් වෙමින් සිටි ඇගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබිණ. ඇගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම හැලී තට්ටය පෑදී තිබූ අතර පියයුරු පිළිකාවකින් පෙලුනු ඇයගේ පියයුරු ඒවනවිටත් ශල්‍ය කර්මයකින් ඉවත් කර තිබිණ. අප දුටු සැනින් ඇය හඬා වැටෙනු ඇතැයි මා සිතුවද, කඳුලු අතරින් සිනාසුණ ඇගේ රුව බොහෝ දිනක් ගත වනතුරුත් මගේ මතකයට අමතක නොවීය.
“අඬන්න එපා. මට ඉක්මනටම ගෙදර යන්න පුලුවන්.”
හඬා වැටෙමින් සිටි ස්වේතා සනසමින් ඇගේ මව පැවසුවේ සැබෑවටමද, එසේත් නොමැති නම් ඇය සැනසීමටදැයි මට සිතා ගත නොහැකි විය.
“මේකත් උණ, හෙම්බිරිස්සාව වගේ ලෙඩක් නේ පුතේ. මේ ට්‍රීට්මන්ට්ස් වලින් පස්සෙ මට ගෙදර යන්න පුලුවන් කියලා මේ දරුවට කියලා දෙන්න.”
නොනවත්වාම හඬන ස්වේතා සැනසීමට නොහැකි වූ තැන ඇය අපෙන් ඉල්ලා සිටියාය.
“දැන් මගේ හොඳ පුතා වගේ ගෙදර ගිහින් අප්පච්චිවයි, චුටි මල්ලිවයි බලාගෙන ඉන්න පුතේ. මං පොරොන්දු වෙනවා තව සති තුනකින් ගෙදර එනවා කියලා.”
අප පිටත් වීමට ආසන්නව සිටියදී ස්වේතාගේ මව පැවසූ වදන් තවමත් මගේ සිහියට නැගෙයි. පොරොන්දු වූ ලෙසින්ම ස්වේතාගේ මව සති තුනක් ගත වූ පසු නිවසට පැමිණියාය. ඒ පැමිණියේ අජීවී දේහයක් ලෙසිනි. මහරගම පිළිකා රෝහල පිළිබඳව පවසද්දී මගේ සිහියට නැගෙන්නේ ස්වේතාගේ මවගේ රුවයි.
“අපි මහරගම යමු පුතේ. ටික දවසක් නතර වෙලා ට්‍රීට්මන්ට්ස් කළාට පස්සෙ අපට ගෙදර එන්න පුලුවන්.”
මගේ මුවගට දුක් සිනාවක් නැගුනේ නිතැතිනි.
“මට ස්වේතගෙ අම්මා මතක් වෙනවා අම්මා.”
“එයා ජීවත් කරන්න බැරි වුනේ ඒ වෙනකොට කැන්සර් එක ඇඟ පුරාම ස්ප්‍රෙඩ් වෙලා නිසා. හැමකෙනෙක්ටම ඒ දේ වෙන්නෙ නෑ. අපි දන්න අය කීදෙනෙක් සනීප වෙලා ඇවිත් අද හොඳට ඉන්නවද?”
අම්මා එසේ පවසන්නේ මා සැනසීමට බව මම දැන සිටියෙමි.
“මට කියන්න. කවදද අපි යන්නෙ? හේෂාන් අපිව එක්ක යන්න එනවා කිව්වනෙ.”
මම මොහොතක් කල්පනා කළෙමි. කළ යුතු අන් කිසිවක් නොමැති බවත්, පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම අත්‍යවශ්‍ය බවත් දැන සිටියද, ඒ සඳහා හිත හදා ගැනීම අසීරුය. එහෙත් අම්මාගේ සිතට මා සහනයක් උදා කර දිය යුතුමය.
“මොනවද කල්පනා කරන්නෙ? මං කියන්නෙ පුතේ…” යි අම්මා කිසිවක් පවසන්නට සැරසෙත්ම මේසය මත වූ ඇගේ ජංගම දුරකතනය නද දුන්නේය. දුරකතන තිරය දෙස බැලු ඇය යටි තොල පෙරලා ගත්තේ අමනාප බැල්මකින් යුතුවය.
“කවුද?”
සුදු නංගී ප්‍රශ්න කළාය.
“චාන්දනී.”
“ඇයි ආන්සර් නොකරෙ? අරගෙන හොඳ දෙකක් කියන්නනේ තිබුනෙ. දැන් ආරංචි වෙන්න ඇති. සමාවෙන්න කියන්නයි කතා කරන්න ඇත්තෙ.”
සුදු නංගී තරහෙන් පැවසුවාය.
“නෑ. හේෂාන් එයාට කීයටවත් කියන්නෙ නෑ. අපි කිව්වනේ කියන්න එපා කියලා. අපට මොකටද කාගෙවත් අනුකම්පාවක්?”
නැවත නැවතත් අම්මාගේ ජංගම දුරකතනය නාද වන්නට වුව ද, ඇය එය අතට නොගත්තාය.
“හිතක් කැඩුනට පස්සෙ ආයෙම හදන්න බෑ. චාන්දනී කියලා කෙනෙක් කවදාවත් අපේ ජීවිත වල හිටියෙ නෑ කියලා මං හිත හදාගෙන ඉවරයි.”
“හරියට මේජර් වංශනාථ වගේ.”
සුදු නංගී සරදම් ලෙසින් පැවසුවද, අම්මා වදනක් හෝ නොදෙඩුවාය. ඇගේ දෙනෙත් කල්පනාකාරී ලෙසින් බිත්තියේ වූ සිතුවම වෙත යොමු වී තිබුණද, සිත බොහෝ දුරක නතර වී ඇතැයි මට සිතිණ. නැවතත් අම්මාගේ ජංගම දුරකතනය නාද වන්නට වූයෙන් අම්මා එදෙස බැලුවාය.
“හේෂාන්…” යි පැවසූ අම්මා ඇමතුම හා සම්බන්ධ වන අයුරු මම කුතුහලයෙන් බලා සිටියෙමි.
*