බිම්මල් – 38 කොටස

හේෂාන් සහ අරුණෝදි නික්ම ගියේ රිදුනු සිතින් යුතුව වන්නට ඇතත් මම කඳුලකුදු නොසලා සියල්ල දරා සිටියෙමි. පිටතින් සන්සුන්ව සිටියද, මගේ හදවත වේදනාවෙන් රිදුම් දෙමින් තිබිණ. පිටත්ව යාමට පෙර නැවත කාමරයට පැමිණි හේෂාන්ගේ දෙනෙත් රතු වී තිබුනේ ඔහු ඉවතට ගොස් කාටත් රහසේ හඬන්නට ඇති බැවින් විය යුතුය. අප ආදරයෙන් බැඳුනු දිනයේ පටන් මා රෝහලට කැඳවාගෙන පැමිණි මොහොත දක්වාම ඔහු ඔහුගේ ආදරය මට නොමඳව ලබා දුන් බව සිහි වෙද්දී ඇති වු වේදනාව හද දවන්නාක් මෙන් විය.

“අපි ගිහින් එන්නම් ඩිනාලි.”

පිටත්ව යාමට සැරසුණු හේෂාන් මගේ යහන අසළට පැමිණියද ගල් කරගත් හදවතින් යුතුව මම නොසැලී සිටියෙමි.

“මාත් එක්ක තරහ වෙන්න එපා.”

“තරහ නෑ.”

මා පැවසුවේ උගුර යටිනි.

“කවදාවත් තරහ නෑ. ඔය දෙන්නා පරෙස්සමෙන් යන්න.”

“අපි ආයෙම දවසක එනවා ඔයාව බලන්න.”

අරුණෝදි පැවසුවාය.

“එපා. මං වෙනුවෙන් ඔයගොල්ලන්ගෙ කාලය නාස්ති කරගන්න එපා. ස්තුතියි මේ තරම් කාලයක් මට උදව් කළාට. ආදරේ කළාට.”

“ඩිනාලි…”

“වෙඩින් රිංග් එක දාගන්න. ඒක කාගෙන්වත් වසන් කරන්න එපා. මට සනීප වුනොත් මං එන්නම් දවසක ඔය දෙන්නව බලා යන්න.”

“ඔයාට සනීප වෙනවා ඩිනාලි.”

හේෂාන් පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි. ඔහුගේ සිත තුළ ඇති වේදනාව මට හඳුනා ගත හැකි වුව ද, ඔහු සැනසීමට වදනක් හෝ නොපවසන්නට මම සිත දැඩි කරගෙන සිටියෙමි. අරුණෝදි මා වැළඳ ගත්තාය. මිත්‍ර ද්‍රෝහි මිතුරියගේ ව්‍යාජ සෙනෙහස මා දරා ගත්තේ මහත් අපහසුවෙනි. වෙනදා මෙන්ම මගේ දෑත් අල්ලා ගැනීමේ උවමනාව හේෂාන් කෙරෙන් මම දුටුවෙමි. එහෙත් මගේ දෑත් අල්ලා ගන්නට නොහැකි වන ලෙස හිතාමතාම දෑත් බැඳගෙන සිටි මම ඒ සඳහා කිසිසේත්ම ඔහුට අවකාශ නොදුන්නෙමි.

“අපි ගිහින් එන්නම්.”

කාමරයේ දොරකඩ දක්වා ගිය හේෂාන් නැවත හැරී බැලුවේය. ඒ අනුව අරුණෝදි ද හැරී  බැලුවාය. මම ඔවුන් නොදුටුවා සේ ඉවත බලාගෙන සිටියෙමි. ඔවුන් පිටත්ව ගිය පසු සිතේ වේදනාව කඳුලින් දිය කර දමන්නට උවමනා වුව ද මම සිත දැඩි කරගෙන සිටියෙමි. දත් වලට යටි තොල හසු වී මුවට ලේ රසක් දැනුනද, මම බොහෝ වේලාවක් පිළිමයක් සේ එලෙසින්ම සිටියෙමි.

“මැඩම්…”

ජ්‍යෝති කාමරයට පිවිසියාය.

“ආපු අය ගියාද?”

ජ්‍යෝතිගේ වදන් වලට පිළිතුරු දෙන්නට හෝ මුව විවර කරන්නට මට නොසිතුණේ වදනක් හෝ පැවසීමට ගියේ නම් මට මහ හඬින් හැඬෙනු ඇතැයි සිතුණු බැවිනි. කුඩා දරුවකුගේ බඳු මුදු සිතක් මෙසේ කළු ගල් ගෙඩියක් බවට පත් කළේ ආදරයම නොවේදැයි මට සිතිණ.

“මැඩම්….”

ජ්‍යෝති මා අසළට පැමිණ මගේ හිස අත ගෑවේ මවක බඳු ස්නේහයකිනි.

“මට මැඩම් ගැන හරි ආඩම්බරයි.”

ඇය පැවසුවාය.

“මැඩම්ට ලස්සන බොකේ එකකුත් ගෙනත්.”

මේසය මත තබා තිබූ සුන්දර මල් කළඹත්, පාර්සල් රැසකුත් මා දුටුවේ එවේලෙහිය. කාමරයට පිවිසි මොහොතේ මගේ ස්වරූපය දුටු සැනින් හේෂාන්ට හෝ අරුණෝදිට මල් කළඹ මා අතට දෙන්නට අමතක වන්නට ඇතැයි මට සිතිණ.

ජ්‍යෝති මල් කළඹ මා වෙතට රැගෙන පැමිණියාය. ඇය එය මා අතට දුන් නමුදු මම එය අතට නොගත්තෙමි.

“මල් ගෙනාවට වැඩිය හොඳයි බෝම්බයක් ගෙනත් මගේ අතට දුන්නනම්…”

මට සිතුණද එවදන් මුවින් පිට නොවීය.

“මේ හොස්පිටල් එකේ ඉන්න වයසම පේෂන්ට් කවුද ජ්‍යෝති?”

මම ඇසුවෙමි. ජ්‍යෝති විමතියෙන් මගේ මුහුණ දෙස බැලුවාය.

“සුවණ්ණා කියලා බොහොම දුර බැහැර ඉඳලා ආව අම්මා කෙනෙක් ඉන්නවා. වයස අවුරුදු හැත්තෑ දෙකයි මගේ මතකයේ හැටියට.”

“ඔය බොකේ එකයි, තෑගියි ඔක්කොම ඒ අම්මට ගිහින් දෙන්න.”

“මැඩම්…”

“ගිහින් දෙන්න. මට ඔය මොනවත්ම ඕන නෑ.”

කිසිවක් පවසන්නට මුව විවර කළ ද, ජ්‍යෝති නිහඬ වූයේ දොරට තට්ටු කරන හඬ ඇසුණු බැවිනි. ඇය වහා ගොස් දොර විවෘත කළාය. වෛද්‍ය පීහු ෂර්මා ද, වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද කාමරය තුළට පිවිසුනහ.

“කොහොමද ඩිනාලි?”

මා අසළට පැමිණි වෛද්‍ය පීහු ඇසුවේ සිනාමුසු මුහුණින් යුතුවය.

“අද නම් ඩිනාලිට හොඳටම හොඳ පාටයි. නේද ඩොක්ට?”

හේෂාන් සහ අරුණෝදි මා දකින්නට පැමිණි පුවත වෛද්‍ය පීහු සහ වෛද්‍ය කුෂ්වාන්ත් සිං දැන සිටින්නට ඇතැයි මට සිතුනේ වෛද්‍ය පීහුගේ හැසිරීම දකිද්දීය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං කිසිත් නොපැවසුවේය. ඔහු මගේ දෙනෙත් පතුළෙහි කිසිවක් සොයන්නාක් මෙන් මදෙස බලා සිටියේය.

“ඊයෙ රෑ ඩිනාලිව බලන්න එන්න ඕනකම තිබුනා. ඒත් අපේ පොඩි හාදයා ලොකු දඟකාරකමක් කරලා. ඒ නිසා මට එන්න බැරි වුනා.”

වෛද්‍ය පීහු පැවසුවේ සිනාසෙමිනි. ඇය විවාහක බව හෝ දරුවකුගේ මවක් බව මෙතෙක් මම නොදැන සිටියෙමි. මා ඇය දෙස බැලුවේ ආදරයෙනි.

“පීහුගෙ පොඩ්ඩා දඟ මල්ලක්. ආනන්දීප් හුරතල් කරලා වැඩි වෙලා.”

“මම වෙලාවක ඩිනාලිව බලන්න පොඩ්ඩව එක්ක එන්නම්.”

මම නිහඬව මේ සියල්ලටම සවන් දෙමින් සිටිමි. වෛද්‍ය පීහු ෂර්මා සහ වෛද්‍ය කුෂ්වාන්ත් සිං මේ උත්සාහ කරන්නේ මගේ පෑරුණු සිත සැනසීමේ උත්සාහයක් නොවේදැයි සිතෙත්ම ඔවුන් පිළිබඳව සිත තුළ ඇති ආදරය වැඩි වන්නාක් මෙන් දැනේ.

“ඕ…”

වෛද්‍ය පීහු තම හිසට ටොක්කක් ඇන ගත්තාය.

“මට එකක් අමතක වුනානේ ඩොක්ට. මං ටිකකට ගිහින් එන්නම්.”

හදිසියේම යමක් සිහි වූවාක් මෙන් වෛද්‍ය පීහු කාමරයෙන් පිටතට දිව ගියාය. ඒවනවිට ජ්‍යෝති ද කාමරයෙන් පිටව ගොස් සිටින බව මම දුටුවෙමි.

“මට කියන්න. මොකක්ද වුනේ ඩිනාලි?”

පසුගිය රාත්‍රියේ සිට වෛද්‍ය කුෂ්වාන්ත් සිං පිළිබඳව මට දැනෙන්නට වූයේ සමීපතම මිතුරකු බඳු හැඟීමකි. හේෂාන් සහ අරුණෝදි පැමිණි තැන් සිට පිටත්ව යන මොහොත දක්වා සිදු වූ සිදුවීම් සියල්ලම මම ඔහු හා පැවසුවෙමි.

“good…”

මඳ සිනාවකින් යුතුව ඔහු පැවසුවේය.

“ඩිනාලි එහෙම කළ එක හොඳයි. ගෑනු ළමයින්ට හදවතක් වගේම ආත්ම ශක්තියක් ඇති බව පෙන්නන්න ඕන. දැන් කොහොමද?”

“හොඳයි ඩොක්ට.”

“කිසිම දේකට හිත කලබල කරගන්න එපා. ඔය ආත්ම ශක්තිය දිගටම පවත්වාගෙන යන්න ඕන. මල් වගේ හිත් කළුගල් කරන්නෙ මිනිස්සුම තමා ඩිනාලි.”

මම ඔහු පැවසූ වදන් පිළිගනිමින් හිස සැලුවෙමි.

“මම යන්නම්. සතුටින් ඉන්න. ෆිල්ම් එකක් බලන්න. සිංදුවක් අහන්න. මම ජ්‍යෝතිටත් කියන්නම්.”

මගෙන් සමුගත් වෛද්‍ය කුෂ්වාන්ත් සිං පිටව ගියේය. මම යහන මත වැතිරුනෙමි. මුලු හදවතම පාලු වී ගියාක් මෙන් මට දැනිණ. හේෂාන්ගේ පතිනිය වන්නට මා මොන තරම් නම් සිහින දකින්නට ඇත්ද? 

“ඔයා නොදැන හිටියට මම හේෂාන්ට ආදරය කළා ඩිනාලි.”

හේෂාන් කාමරයෙන් පිටත ගිය අවස්ථාවේ අරුණෝදි පැවසූ වදන් මගේ දෙසවන් තුළ දෝංකාර දෙන්නාක් මෙන් මට දැනින.

“ඔයාට මතකද කලා භවනෙ ආට් එක්සිබිෂන් එක බලන්න ගිය වෙලාවෙ ඔයා ෆේන්ට් වුනා? හේෂාන් තමයි ඒ වෙලාවෙ ඔයාව අල්ල ගත්තෙ. හේෂාන් ඔයාව අල්ල ගත්තට ඒ වෙලාවෙම තමයි හේෂාන් මගේ හිත අල්ල ගත්තෙ. ඒ වුනාට හේෂාන් ආදරේ කලේ ඔයාට. මම ඔයාට හොරෙන් සැරෙන් සැරේ හේෂාන්ට කෝල්ස් දුන්නා. ඒ හැමවෙලාවකම එයා කිව්වෙ මං ආදරේ කරන්නෙ ඩිනාලිට විතරමයි කියලා. මට ඔයා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න ඇති ඩිනාලි. ඔයා අසනීප වුනා කියලා කිව්වම වුනත් මං ඔයාව බලන්න ආවෙ නැත්තෙ ඒ ඊර්ෂ්‍යාව නිසාද මන්දා. මං අම්මගෙ ඉස්කෝලෙ වැඩ වලට අම්මා එක්ක හේෂාන්ගෙ ප්‍රෙස් එකට ගියා. එහෙම දවසක තමයි අම්මා හේෂාන්ගෙ අම්මා අඳුනගෙන තියෙන්නෙ. ඒ යාලුකම නිසා තමයි අන්තිමේදි මාව හේෂාන්ට බන්දලා දෙන්න ඒගොල්ලො තීරණය කරලා තියෙන්නෙ. පුංචිගෙයි මගෙයි වෙඩින්ස් දෙකම එකට ගන්න තමයි සැලසුම් කරලා තිබුනෙ. ඒත් හේෂාන් ඇක්සිඩන්ට් වුන නිසා ඒක කල් දාන්න සිද්ද වුනා. මට සමාවෙන්න ඩිනාලි.”

අරුණෝදි කළ පාපොච්චාරණය මගේ දෙසවන් තුළ තවමත් දෝංකාර දෙමින් ඇසෙන්නාක් මෙනි. ඇය තම සිත පිළිසිඳි ආදරය වෙනුවෙන් බොහෝ දෑ කොට අවසානයේදී ඉන් ජය ලැබුවද, ඒ සියල්ලටම අතකොලුවක් වුයේ හේෂාන් නොවේද?

“එක අතකට හේෂාන් පව්.” යි මට සිතුණද වහා මම එම සිතිවිල්ල යටපත් කිරීමට උත්සාහ කළෙමි. 

කාමරයේ දොරට තට්ටු කරන හඬත් සමගම දොර විවර විය. මම දෙනෙත් අදහා ගත නොහැකිව එදෙස බලා සිටියෙමි. අම්මා… සිනාමුසු මුහුණින් යුතුව කාමරයට ඇතුලු වූව ද, අම්මා හිටිවනම ගල් ගැසුනාක් මෙන් බලා සිටියාය. ඇය පසුපසින් පැමිණි සුදු නංගී ද, වජිරා ද ගල් ගැසුනාක් මෙන් විය. මගේ තට්ට හිස දකිද්දී ඔවුන් තුළ ඇති වූ හැඟීම් පිළිබඳව මට සිතා ගැනීම අසීරු විය. 

“අම්මා…”

මට කියවිණ. වහා මා ඉදිරියට පැමිණි අම්මා මා වැළඳගෙන හඬා වැටුනාය. ඇය පමණක් නොව සුදු නංගීට ද වජිරාට ද හැඬුම පාලනය කර ගත නොහැකි වූවාක් මෙන් විය. ඔවුන්ට හැකි තාක් හඬන්නට ඉඩ දී මම බලා සිටියෙමි.

“ඇයි අඬන්නේ?”

අම්මාගේ හැඬුම මඳක් අඩු වු පසු මම ඇසුවෙමි. අම්මා අදහා ගත නොහැකි වූවාක් මෙන් මා දෙස බැලුවාය.

“ගොඩක් දවසකින්නෙ දැක්කෙ ඩිනාලි. මේ කාලෙ ඇතුළත ඔයා වෙනස් වෙලා.”

“තට්ටෙ පෑදිලා.”

මම සිනාමුසුව පැවසුවෙමි.

“ඒක විතරක් නෙමෙයි. ඔයා… ඔයා ඇතුළතිනුත් වෙනස් වෙලා.”

“මෙහෙම මං ලස්සනයි නේද සුදු?”

මම තට්ට හිස අතින් දක්වමින් සුදු නංගීගෙන් ඇසුවෙමි. යටි තොල සපා ගත් ඇය වහා ඉවතට හැරුණාය.

“ලස්සනයි නේද අම්මා?”

“ඇත්තටම ලස්සනයි. කොණ්ඩෙ ඉක්මනින් ඒවි පුතේ. මං ඊළඟට එද්දි ලස්සන විග් එකක් අරන් එන්නම්.”

“එපා… කිසිම දෙයක් මවා පෙන්නන්න මම කැමති නෑ අම්මා. කොණ්ඩෙ ආයෙ එනතුරු මං මෙහෙම ඉන්නම්.”

“ඩිනාලි…”

මා සිය ලයට තුරුලු කර ගත් අම්මා මගේ හිස සිප ගත්තාය.

“අපි එන්න කලින් කවුද ඩිනාලිව බලන්න ආවෙ?”

තවමත් මේසය මත ඇති තෑගි පාර්සලයත්, මල් කළඹත් දක්වමින් අම්මා ඇසුවේ කුතුහලයෙනි.

“හේෂානුයි අරුණෝදියි ආවා.”

පහරක් වැදුනාක් මෙන් තිගැස්සුනු අම්මා සුදු නංගීගේ මුහුණ දෙස බැලුවාය.

“හේෂාන්?” 

“ඔව්. හේෂාන් මැරි කළා කියලා අම්මා දන්නෙ නැද්ද?”

“දන්නවා.”

අම්මා සන්සුන් හඬින් පැවසුවාය.

“මට ඔයාට ලොකු කතාවක් කියන්න තියෙනවා ඩිනාලි.”

මම අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ මුහුණ දුකෙන් පිරී තිබිණ.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles