ඒ කුඩා ප්‍රිය සාදය තුළ වූයේ විහාර ගේ මිතුරු මිතුරියන් පමණකි. ඒ සියලු දෙනා දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්රයට හා කලා ක්ෂේත්රයන් ට අයත් අය ය. ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද නිරූපන ශිල්පීන් කිහිප දෙනෙකු ද ඒ අතරේ හිඳ මට හැඳින ගත හැකි විය. ඔවුන් හැම කෙනෙකු ම යම් කිසි තැනක දී එකට හමු වී එකට වැඩ කොට ඇති බව ඒ කතා බහවල් අනුව හිතා ගත හැකි ය. එතැන ඔවුන් ගේ ක්ෂේත්රයන් ට පිටස්තර අයට කියා සිටියේ මා හා නූරි පමණක් ය කියා මම උපකල්පනය කරමි.
ඒ නිසා ඒ මිතුරු සමූහයෙන් වෙන් ව හුදෙකලා ව ඉන්නට අප දෙදෙනා ට සිදු විය. නමුත් ඒ හැම කෙනෙකු ම වාගේ අප දෙස බලා මිතුරු ඇස් දෙකකින් සිනහ නැගූ බව කිව යුතු ය. ඒ සුහද සිනා කතා අතරේ හිඳිමින් ද විහාර වරින් වර අප දෙදෙනා වෙත ඇවිත් අවශ්‍යතා සොයා බැලුවේ ය. වචනයක් දෙකක් හෝ කතා කළේ ය. අනිත් සියල්ලන් අතරේ ඔහු ට අප විශේෂ බව හැඟවූයේ ය. ඇතැම් මිතුරෙකු ද ළඟට ඇවිත් හෝ දුර සිට ම අපට විහිළුවක් කළේ ය. ඒ නිසා නන්නාඳුනන මිනිසුන් පිරිසක් අතරේ වී ද ආගන්තුක හැඟීමකට අවසරයක් වූයේ ම නැත.
සේවකයෙකු විසින් මේසය මත තබා ගිය පළතුරු පිඟානක වූ කොළ පාට ඇපල් පෙත්තක් සපමින් මා නූරි එක්ක වල් පල් කියවමින් සිටි වෙලාවක ඇගේ ජංගම දුරකතනය හැඬවුණේ ය. නූරි තිගැස්සී ගිය දෑසකින් මදෙස බැලුවා ය.
“ඇයි…කවුද…”
“තේජාන්”
එක නිමේශයකට මා ගොළු විය. නූරි ඔහු එක්ක තිබුණ ඇසුරට නැවතීමේ තිත තබා තිබිණ. ගෙදරින් ගෙන ආ විවාහ යෝජනාවට එකඟ වීමේ දී ඇය තේජාන් සමග ඒ ගැන කතා බහ කොට යළි ඔවුන් අතරේ ඇසුරක් පැවතිය යුතු නැති බවට එකඟතාවයකට ආවා ය. ඈ වෙනුවෙන් මේ වද විය යුතු ම මොහොතේ ඔහුට යමක් කළ නො හැකි නම්, එය එසේ වන එක හොඳ යයි මම ද නිගමනය කළෙමි. නූරි දැන් කවරාකාරයෙන් හෝ හිත සකසා ගෙන ඇගේ විවාහය සඳහා සූදානම් වෙමින් හිඳී. එසේ තිබියදී යළිත් ඔහු ඇයට කතා කරන්නේ ඇයි?
“ආන්සර් කරල බලන්නකො”
මා එසේ මිමිණුවේ වෙන කියන්නට දෙයක් නැති කමට ය. ඇමතුම බිඳ දමන්නැයි සරල ලෙස පැවසිය හැකි වී ද එසේ කරන එක නූරි ගේ පැත්තෙන් කොයි තරම් අසීරු දැයි මම දැන සිටියෙමි.
“හෙලෝ”
ඇමතුමට සම්බන්ධ වෙමින් ඇය අසුනෙන් නැගී සිටියා ය. අවට ඝෝෂාකාරී බවක් වූ නිසා ම ඇය මඳක් එපිටට පිය නැගුවා ය. මම මගේ ජංගම දුරකතනයෙන් පින්ටරෙස්ට් ඇප් එකට මූණ ඔබා ගතිමි. විහාර වෛශාක්‍ය අමරසිංහ විත් මට දකුණු පස පුටුවේ අසුන් ගත්තේ ඒ වෙලාවේ ය. හදවතේ ලොකු බරක් වන් දෙයක් පැටවී ගත්තේ ය. නමුත් මම ඇස් දෙකෙන් සිනහ වී ගෙන ඔහු දෙස බැලුවෙමි. විහාර ගේ වත මත මවා ගත් සිනහවක් වූයේ නැත. නමුත් ඒ මත සනිටුහන් ව තිබි හැඟුමන් කෝටි ගණන හිතට හරි පුරුදුයි වාගේ මට දැනිණ.
“පාළුද…”
ඒ තනි වචනය වුව පපුවට කිඳා බැස්සේ අයිතිවාසිකමක් ගැන හැඟීමක් දනවමිනි. ඔහු ගේ ඇස් වල මට මගේ කමක් දැනිණ.
“අනේ නෑ. ඒත් අපි මෙතන්ට ගැලපෙන්නෑ වගේ හිතෙන්නැද්ද…ඔයාට තිබුණෙ අපිට එන්න කියන්නැතුව ඉන්න. එහෙම වුණා කියල අපි තරහ වෙන්නෑනෙ”
ඔහු ක්ෂණික සිනහවක් පෑවා මිස වාචිකව කිසිත් ඒ ගැන නොකීවේ ය. ඒ මන්මත් කරවන සිනහව තුළ මම මඳ දුරක් ගොස් අතරමං වීමි. පිරිමි ආත්මයක් තුළ අතරමං වෙනවා කියන්නේ සසරෙහි අතරමං වීම වාගේ ම දෙයකි. ගැලවුමක් ඇත්තේ ම නැත. නමුත් කෙතරම් බියකරු වී ද අපි සසරෙහි තව තවත් අතරමං ම වන්නෙමු.
“ඇත්තටම ලස්සනයි…”
ඊළඟට ඔහු මිමිණුවේ මා විනිවිද දකිමිනි. ඒ බැල්ම දරා ගත නො හැකි ව බිම බලන්නට මට සිදු විය.
“අනේ…මට වැඩිය ලස්සන ගෑනු ළමයි කී දෙනෙක් මෙතන ඉන්නවද…”
ඊළඟට හිතට හයිය ගෙන, දෙතොල් මතට සිනහවක් ගෙන එහෙම කියමින් මම හිස නැගුවෙමි. ඊටත් ඔහු කළේ ප්‍රතිචාර දක්වනවා වෙනුවට සිනහ වෙන එක ය. මේ හීනයක් නොවේ කියා මම දනිමි. නමුත් මේ හීනයක් වාගේ හෝරා කිහිපයකි. සැබෑ ජීවිතය මීට වඩා රළු ගොරෝසු වෙහෙසකර අත්දැකීමක් බව මම දනිමි. මේ සාද තෙපුල් වලට එපිටින් වන ලෝකය ඒ තරම් සුන්දර නැත. කොටින් ම මා පිය මැන ආ අතීතය ද මට මුහුණ දෙන්නට සිදු වී ඇති වර්තමානය ද මා එන තුරු බලා හිඳිනා අනාගතය ද මේ මොහොත තරම් මිහිරි නැත. විහාර ගේ නිර්වචනය අනුව ජීවිතය යනු ජීවත් වෙන්නට ආශා මොහොතවල් කෝටි ගණනක් නම්, දැනටමත් ඔහු මට එහෙව් මොහොතවල් කිහිපයක් උදා කර දී තිබේ. අනාගතයේ යම් දවසක ඔහු මගේ ජීවිතයේ ළඟ පාතක නොවන මොහොතක වුව මට ඒ මොහොතක් දෙකක් හිතෙන් පිරිමැද බලන්නට හැකි වනු ඇත. මගෙන් සුසුමක් ගිළිහුණේ මටත් නො දැනී ය. විහාර මදෙස බලා ගෙන මා ළඟින් ම හිඳිනා බවත් මට සිහි වූයේ එතකොට ය.
“බඩගිනිද..”
“ම්හු”
“ශික්ෂා”
“ම්…”
“යාළුවොත් දැං දන්නව”
“මොනාද…”
ඇතුළාන්තයෙන් මා තිගැස්සී ගියේ ය.
“අමේලිගෙන් මං ඩිවෝස් වෙන්න හිත හදාගත්ත කියල”
මම බිම බැලුවෙමි. ආයෙත් නෙතු ඔසවා ඔහු දෙස බැලුවෙමි. එතකොටත් විහාර පෙර බැල්මෙන් මදෙස බලා ගෙන ම සිටියේ ය.
“හොඳ ම දේ ඒකයි කියල ඔයාට හිතෙනවනං…ඒත්…අනේ මන්ද…”
“හොඳම දේවල් ඉස්සරහට වෙන්න නියමිතයි කියල මට හිතෙනව. මට දැනෙනව..දුව වුණත් ලොකු වෙලා ජීවිතේ තේරුං ගන්න කාලයක් වෙනකොට එයාගෙ තාත්ත වරදක් කළේ නෑ කියල තේරුං ගනී. එහෙම නේද…”
මම අසීරුවෙන් හිස සැලුවෙමි. කළු ගලක් පැටවූවා වන් බරක් හිසෙහි විය. විහාර හා ඔහු ගේ දුව ගැන හිතන හැම මොහොතක ම මගේ තාත්තා හිතේ පෙරමුණට විත් හිට ගන්නා එක නතර කළ නො හැකි ය. එතකොට ළමා මනසෙහි කාවැදී ගිය වේදනාවක් ගැන මතකයක් මා පාරයි.
නූරි ට තේජාන් කතා කොට තිබුණේ ඔහු ට ලැබෙන්නට යන අලුත් රැකියාවක් ගැන කියන්නට ය. ඒ රැකියාව ස්ථිර වන තුරු ඇගෙන් යම් කාලයක් ඉල්ලන්නට ය. නමුත් ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබේ. නූරි නිවැරදි යයි මම ද සිතුවෙමි. අප වෙනුවෙන් කාලය එක තැනක නතර වී බලා හිඳින්නේ නැත. ජීවිතය කියන්නේ ගමනකි. ඒ ගමන යන අතරේ අපි හැකි තාක් මග විසිතුරු දැක බලා ගත යුතු වෙමු. යා යුතු අතුරු ගමන් ගොස් පැමිණිය යුතු වෙමු. ඒ ඒ වෙලාවේදී කළ යුතුව ඇති දෑ හැකි උපරිමයෙන් කර ගත යුතු වෙමු. නො එසේ ව සිටියදී කාලය අප ඇතිව හෝ නැතිව ගමන් කර යනු ඇත. අපට අත් හැරෙන හෝ මග හැරෙන ඒවා වෙනුවෙන් ඉවසා බලා ඉන්නට කාලයට තාලයක් ඇත්තේ නැත. තේජාන් ද ඔහු ට ලබා දුන් අවස්ථා සියල්ල අලස ලෙස මග හැරියේ ය. නූරි වෙනුවෙන් ඔහු ගෙන් ඉටු විය යුතු ව තිබූ වගකීම් හා යුතුකම් වලට කිසිදු වටිනාකමක් නො දුන්නේ ය. එහිදී අසරණ වූයේ ඈ ය. තනි වූයේ ඈ ය. ඒ අතීතයේ දොර වසා දමා සිත් රිදුම් ඇතිව හෝ ජීවිතයට මූණ දෙන්නට ඇය හිත හදා ගත්ත ද එසේ කළ නො හැකි ගැහැනු මිනිසුන් ඕනෑ තරම් වේ. අතර මගක අත් හැර දැමීම නිසා ඒ මිනිස්සු ජීවිත අවුල් කර ගනිති. එක්කෝ විනාශ වී යති. මට තේජාන් ගැන කේන්තියක් දැනිණ. නමුත් නූරි ගේ ඇසක ඇය ගබ් සා කරමින් උන් කඳුළ දුටු විට ඒ කෝපය ක්ෂය වී ගියේ ය.
“ඉතිං ඔයා කැමති තීරණයක් ගන්න. දැන් වුණත් පරක්කු වැඩි නෑ”
ඇය වෙනුවෙන් මට කියන්නට ඉතිරි වී තිබුණේ එපමණකි.
“එයා වගේ වගකීමක් නැති කෙනෙක් ගැන තව දුරටත් මට විශ්වාසයක් තියන්න බෑ ශිකී. මේ මනුස්සය මං ආස විදිහෙ කෙනෙක් නෙවෙයි වුණත්…එයා මං ගැන වගකීමක් ගන්න දෙපාරක් නොහිතපු එක ගැන මං රෙස්පෙක්ට් කරනව. ක්ලෝස් කරපු චැප්ටර් එකක් ආයෙත් ඕපන් කරනව කියන්නෙම අපි ෆේල්. මං ආයෙ හැරෙන්නැතුව යන්න තීරණේ කරල ඉවරයි”
නූරි වාගේ පිස්සු කෙල්ලක තුළ ඒ වාගේ ජීවන දර්ශනයක් තිබේ යයි ඇතැම් විට කෙනෙකුට පිළිගත නො හැකි වනු ඇත.
විහාර ගේ මිතුරන් නික්ම යන්නට පෙර, දිවා ආහාර ගැනීමෙන් පසු සාදයෙන් සමු ගන්නට මම ඔහු වෙත ගියෙමි. එතකොට ඔහු සිටියේ මිතුරන් පිරිසක් අතරේ ය.
“විහාර අපි යන්නං…”
“දැම්ම…”
ඔහු එකඟ තාවයකින් තොර ව මදෙසට හැරිණ. මම හිස සැළුවෙමි.
“හදිස්සියක් නෑනෙ ඉතිං”
“නූරිත් යං කියනව”
“ඉතිං කොහොමද යන්නෙ…කට්ටිය තාම ඉන්න නිසා මට…”
“නෑ නෑ ඔයා එන්න ඕන නෑ. අපි කැබ් එකක් කෝල් කර ගන්නව”
“ඇයි නංගි ඉන්න ඉතිං…අපි යනකොටම යං”
මිතුරෙකු ඇරයුම් කළේ ය.
“මුං අද යන වෙලාවක්නං කියන්න බෑ. මං කියන්නද එහෙනං…උඹල ඔහොම සෙට් වෙලා ඉන්නවද…මං මේ නංගිල දෙන්නව ටක් ගාල ඩ්‍රොප් කරල එන්නද…”
“අනේ එපා එපා විහාර…අපිට යන්න පුළුවන්”
මා පෙරැත්ත කළ ද ඔහු ඊට සවන් දුන් බවක් නො පෙනිණ. මගේ බඳ පිටුපස යන්තම් අතක් තබා නික්ම යන්නට ඇරයුම් කළ හෙතෙම, ගෙදර වැඩ බලා ගනිමින් ඔහුත් එක්ක නැවතී ඉන්නා තලත්තෑනි පුද්ගලයාට අභිනයෙන් යමක් කීවේ ය. ගෙතුලට දිව ගිය හෙතෙම යළි ආවේ රෙදි මල්ලක ඇසිරූ මොනවාද රැගෙන ය. විහාර එය ඔස්ටින් රියට දමා ගත්තේ ය. ඊට පෙර නො දැන උන් අමුත්තන් ගෙන් සමු ගෙන විහාර ගේ රියට නැගෙත්දී මට දැනුණේ ඒ සියල්ලන් අතරේ ඒ සියල්ලන්ට ම වැඩි සුවිශේෂ ස්ථානයක් ඔහු ගේ හදවතේ මට වන බව ය.
නූරි ව ගේ ළඟ බස්වත්දී අර මල්ලෙන් ගත් පාර්සලයක් ඔහු ඇය අතට දුන්නේ “අම්මට දෙන්න” කියමිනි. පපුවේ නො තේරෙන තැනක අමුතු සංවේදනයක් ඇති විණි. පෙත් මගෙහි වනස්පති බිං ගෙය තුළ දී ඔහු රියෙහි වේගය අඩු කළේ ය. එහෙම එතැන ම සදාකාලික නතර වීමක් ගැන හැඟීමකින් මා දෝරෙ යන්නට විය.
“ජීවිතේ කියන්නෙ මෙහෙම හැඟීමකට ශික්ෂා. අතින් අල්ලල පෙන්නන්න බැරි…වචන වලින් විස්තර කරන්න බැරි මෙන්න මෙහෙම හැඟීමකට. ඔයාට දැනෙනවද…ම්..ඕයාට දැනෙනව නේද ඒක…”
මට නො තේරෙන භාෂාවකින් ඔහු යමක් කතා කරනවා වාගේ මම දෙනෙතු සිහින් කොට ගෙන ඔහු දෙස බලා ඉන්නට වීමි. නොතේරෙනවා වී ද ඒ භාෂාව මනරම් වූයේ ය. මා ඒ වශීය තුළ ගිලා බසින්නට ද පා වෙන්නට ද විය.
“හුඟක් මිනිස්සු අන්න ඒ දැනෙන තැන නතර වෙන්නෙ නෑ. ඒක තේරුං ගන්නෙත් නෑ. එතන පහු කරගෙන ගිහිං ජීවිතේ විඳවල මැරිල යනව. මට දැං හිතෙනව ඇයි එහෙම මැරිල යන්නෙ කියල…අපිට විඳගන්නයි ජීවිතයක් දීල අපිව මෙතනට එවන්නෙ…”
මා හිටියේ නින්දකින් අවදි වූ ගමන් වාගේ සිහිනමය ඉසව්වක ය. අපේ ගේ ළඟදී රියෙන් බැස විහාර අර මල්ල එල්ලා ගත්තේ ය. මිතුරන් එහි දමා ඔහු අපේ ගෙතුළටත් එතැයි මට සිතුණේ ම නැත. නමුත් ඔහු එහෙම කරමින් සිටියේ ය.
“යාළුවො ගෙදරනෙ…ඔයා යන්න ඕනනෙ…”
මම මිමිණුවෙමි.
“එක විනාඩියක් දෙකක් ගත්තට ලොකු අවුලක් වෙන එකක් නෑනෙ”
මා ගෙට ගොඩ වෙන හඬට අම්මා එම්බ්‍රොයිඩර් මැස්මෙහි රැඳෙමින් ම හිස නගා බැලුවා ය. මගේ උරහිසට පිටුපසින් විහාර දකිත්දී ඇය වහා මහන මැෂිම නතර කළා ය.