එය වූ කලී අගාධ අඳුරකි. නමුත් මා එහි අනවරත ප්රවාහයකට හසුව ගිලී ගියා ම නොවේ. විටෙන් විට මම ගොඩ ආවෙමි. යළි ගිළුණෙමි. හැඬුවෙමි. යළිදු සිනහ වීමි. විහාර වෙනුවෙන් මැරෙන්නට ඕනෑ බව කීවෙමි. ජීවිතය නාමයෙන් උරුම වන්නා වූ සියල්ල කෙරේ උපේක්ෂා සහගත ව, කෙසේ හෝ විඳ දරා අල්ලා ගෙන සිටිත යුතු යයි යළි සිතුවෙමි. ඉතා හොඳින් හුස්ම අල්වා ගෙන වැඩ කටයුතු කර ගෙන ගියෙමි. තවත් විටෙක හිතෙන් කඩා වැටී මියෙන්නට ඔන්න මෙන්න ව වාගේ අප්‍රාණික ව සිටියෙමි. විහාර ආයේ එන්නේ නැතැයි අපේක්ෂා භංගත්වයට පැමිණ බලා ගත් අත බලා සිටියෙමි. ඔහු එනවාමයි යන දැඩි විශ්වාසයෙන් විටෙක බලාපොරොත්තු සහගතව අනාගතය දෙස බැලුවෙමි. ආදරයේ පරිත්‍යාගයෙහි නාමයෙන් ඔහු ට යන්නට හැරීම කියනා මුග්ධ කමට විටෙක මම ශාප කළෙමි. ඊළඟ මොහොතේ පරිත්‍යාගයක් කළ සිංහ සෙයියාවකින් හිස කෙළින් තියා ගෙන සිටියෙමි. මොනවා කෙසේ සිදු වී ද දුර්වල වී දියාරු වන්නට නොයා හිත දැඩි කර ගත යුතු යයි සිතුවෙමි. ඒ හිත ම එළඹෙන මොහොතේ වෙඬරු වී වැගිරුණේ ය.
ඒ කිසිත් ස්ථාවර වූයේ නැත. අතිශය විචල්‍ය වූයේ ය. එක එක තත්වයන් අතරේ දෝලනය වෙමින් වී ද කාලය ගෙවුණේ ය. රාත්‍රිය අවසාන වී ගෙන යත්දීත් අරුණ උදා වී ගෙන එත්දීත් අලුත් බලාපොරොත්තුවක් ගැටපිච්ච කැකුළක් සේ පපුව මැද මෝදු වී ආයේ ය. පුරුදු ගින්දරක් බඩ පපුව දවා ගෙන ද ගියේ ය.
ටික ටික මම ඒ තත්වයන් ට හුරු වීමි. පුරුදු වීමි.
දවසකට එක වරක් හෝ ඔහු තියා ගිය කවි පොත් ටිකේ මුල සිට අගටත් අග සිට මුලටත් පිටු පෙරළමින් මම යමක් සෙව්වෙමි. සැබවින් ඒ කුමක් දැයි මා නිශ්චිත ව දැන සිටියේ නැත. යම් කිසි දෙයක් සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් මට විය. ප්‍රබල විශ්වාසයක් නැත ද බලාපොරොත්තු අප කෙරේ ජීවිතාශාව දල්වයි. පුංචි කඩදාසි කැබැල්ලක ලියූ අකුරු කිහිපයක ලියුමක් ඒ පිටු අතරේ අතරමං වී තිබිය නො හැකි ද? කැපී පෙනෙන ලෙස හයි ලයිට් කරන ලද වචන පෙළක් ඒ කවි පේළි අතරේ පාර හොයා ගත නො හැකි ව තිබිය නො හැකි ද?
පැබ්ලෝ නෙරූඩා ගේ කවි පොතේ පළමු පිටුවේ වූ අත්සන දවසකට දෙතුන් වරක් මගේ අතින් පිරිමැදිණි. සිංහල අකුරු වලින් ඒ තරම් ලස්සනට නමක් අත්සන් කළ හැකි යයි එය දකිනා තුරා මා දැන සිටියේ නැත.
විහාර වෛශාක්‍ය අමරසිංහ!
ඔහු ඒ නමින් මගේ හදවත මැද ගලේ කෙටූ අකුරු සේ අත්සන් තබා තිබුණේ ය. කෙත්මින් ලා දහසකටවත් ඒ කැටයම අකා මකා දැමිය නො හැකි බැව් මම ඉඳුරා දැන සිටියෙමි. එනමුත් කෙත්මින් කෙරේ මා කෙමෙන් මුදු වෙමින් සිටි බව ද ඔබට කිව යුතු ම ය.
“දැං මාස පහක් හයක් ගෙවිල ගිහිං. ඔයා බලං ඉන්න කෙනා එයි කියල තවත් විශ්වාස කරන්න එපා”
ඔහු බලාපොරොත්තු සහගතව මට කියයි. එතකොට මම මෙලෝ හසරක දෙයක් නො තේරෙන අවුරුදු දාසයක නව යෞවනියක වාගේ සිනහ වෙමි.
“ඔයත් දැන් මාස පහක් හයක් තිස්සෙ ඔය එක ම දේ කිය කිය විශ් යූ එකට එනව. ඔයා බලං ඉන්න දේ වෙයි කියල හිතන්නත් එපා”
“එයා කවදාවත් ම නෑවිත් හිටියොත්…”
“සමහර විට එහෙම වෙයි”
“ඉතින් තනියම ඉන්නද ඔයා හිතං ඉන්නෙ…”
“නෑ”
“එහෙනං…”
“මතකයත් එක්ක. කෙනෙක් ගැන මතකයෙන් ආත්මෙම පිරිල ගියාට පස්සෙ මොන තනි කමක්ද කෙත්මින්…පාළු දැනෙන වෙලාවල් තියනව. දැං මං ඒ පාළුවටත් ආදරේ කරන්න පටං අරං. එයා කවදම හරි ආවොත්…තව අවුරුදු බර ගාණක් ගිහිං…අපේ අත පය වාරු නැතුව…හම රැලි වැටිල ඇස් පෙනීම අඩු වෙලා ඉන්න කාලෙක හරි එයා විශ් යූ එකට අහම්බෙන් හරි ආවොත්…එදාට මට පුළුවන් ඔප්පු කරල පෙන්නන්න…මං එයා එනකල් බලං හිටිය කියල. එයා මොන තත්වෙක හිටියත් මං එයාට ආදරේ කළා කියල. එදාට අපිට අර එළියෙ මේසෙ ළඟ ඉඳගෙන චොක්ලට් කේක් කෑල්ලක් කකා කෝපි එකක් බොන්න තිබුණොත් ඇති. ඒත් මට එයාට වැඩිය ශක්තිමත් හිතක් තිබුණ කියල එදාට පෙන්නන්න පුළුවන් වෙන්න ඕනෙ. මං කාටවත් ඊට පස්සෙ ආදරේ කළේ නෑ කියල පෙන්නන්න ඕනෙ. එයා නෑවිත් හිටියත් මං බලං හිටිය කියන සතුට මට එයාට දෙන්න ඕන. ඒ වගේ සතුටක් එක්ක ජීවිතේ අන්තිම කාලෙ ගත කරන එක…හන්දිපත් වේදනා ගැන වයසට යන එකට කම්ප්ලේන් කර කර ඉන්නවට වැඩිය හොඳ වෙයි”
කෙත්මින් මදෙස බලා ගෙන ඉන්නේ මා උන්මන්තක වී ගෙන එනවා දැයි සැකයෙනි. එතකොට මම හඬ නගා සිනහ වෙමි. ඔහු ගේ භීතිය තවත් මෝරා වැඩෙන බව දෑස් යුග නො කියා කියයි.
“මොළේ හොඳ නැද්ද…බොළඳ විකාර අදහස් ඕව. කවුරුවත් තව කෙනෙක් වෙනුවෙන් හේතුවක් නැතුව ජීවිතයක් කැප කරන එක තේරුමක් නැති වැඩක්”
“ආදරේ හේතුවක්නං…”
මා ඔය වාගේ බහුබූත මොන තරම් කීව ද කෙත්මින් විශ් යූ වෙත එන එක නතර කළේ නැත.
හදවතක අභ්‍යන්තරයේ එක කුඩා ලෝකයක් කාලයට අනුගත ව වෙනස් නොවී පවතිත්දී, අවට ලෝකය දවසක් ගානේ වෙනස් වෙමින් තිබිණ. ඒ හැම දවසක් ම නූරි ගේ යුග දිවිය මත්තේ කණ කොක් හැඬවීමක් සිදු කරනා ලදී.
මුලදී හෙමින් සහ මන්දගාමී ව සිදු වූ ඇතැම් දේවල් පහු වෙත්දී නිතර නිතර හා වැඩි තීව්‍රතාවයකින් යුතුව සිදු වෙන්නට ගති. ඇගේ නැන්දම්මා නිතර ම ‘වෙනසක් නැද්ද’ කියා ඇසුවා ය. නූරි ට ලෝකයෙහි වන අප්‍රසන්න ම වචන දෙක එය බවට පත් වන්නට ගියේ මාස පහ හයක කාලයකි. වෙන මොනවා නැතත් කල් යල් බලා හරි වෙලාවට ම එන රතු පාට සලකුණු ඇය ට හිසරදයක් වූයේ ය.
“තව මාසෙකට කං කරච්චලේ ඉවර වෙන්නෑනෙ දෙයියනේ”
එතකොට ඇය අත් දෙකෙන් හිස බදා ගෙන කීවා ය. එය හාස්‍යයක් සේ පෙන්වන්නට ඇය උත්සාහ දැරී ද ඒ තුළ ගැබ් වූ අසහනකාරී බව හැඳින ගන්නට මා අපොහොසත් වූවා නොවේ.
“මොන විකාරයක් ද…ඔයා කියන්න බැඳපු ගමං ළමයි හදන්න ඕන කමක් නෑ කියල”
සම්ප්‍රදායික නැන්දම්මා කෙරේ ද්වේශයෙන් මම කියමි.
“ඒත් උන්ද හිතං ඉන්නෙ පුතාට කියල ඒ ගෙනාවෙ ළමයි හදන මැෂිමක් කියලයි”
“අර අපේ අම්මගෙ නෑදෑයො වෙන අක්ක කෙනෙක්ගෙ දුව…හිමාලි අක්ක මතකද ඔයාට…එයාට බබෙක් හම්බුණේ බැඳල අවුරුදු පහළවක් ගියාමලු”
“අවුරුදු පහළවක් මේ අම්මයි පුතයි එක්ක හිටියොත් බබ්බු හම්බ වෙයි මට…”
ඇය හඬ නගා සිනහ වූවා ය. ඒ සිනහව යට තියෙන වේදනාව කොයි තරම් බර ද කියා දැනෙන්නේ එම තත්වයට පත් වූ ගැහැනියක ගේ ආත්මයට එබී බලත හැකි කෙනෙකුට ය. හැන්දෑ වී ගෙන එත්දී නූරි තරමක් නො සන්සුන් වූවා ය. ගෙදර යන එක තරම් අසීරු කාරියක් ඇයට දවස තුළ වෙන හමු නොවිණ. ඇය පසු දා උදේ යළි විශ් යූ වෙත ආවේ දිව්‍ය ලෝකයට එනවා වැනි නිදහස් බවකිනි.
“මිගාරට මං කිව්ව අපි ගෙයක් අරං යං කියල. රෙන්ට් එක මං ගෙවන්නං කියලත් කිව්ව”
දවසක් ඇය හිස් වූ ඇස් දෙකකින් මදෙස බලා ගෙන කීවා ය.
“හ්ම්…”
“එහෙම කරන්න බෑලු අම්මලගෙ හිත රිදෙයි කියල”
“එතකොට දැං ඔයාගෙ හිත රිදෙන එක ගැන ගාණක් නෑලුද…”
“අම්ම එක ගෑනි දෙක කියන ගොබ්බ මානසිකත්වෙ ඉන්න පිරිමි එක්ක ඕව කතා කරල තේරුමක් නෑ. අම්ම කියන්නෙ අම්මට වයිෆ් කියන්නෙ වයිෆ්ට කියන වෙනස දන්නැති හරක්…”
අත්දැකීම් ඇසුරේ ජීවිතය මත අප පරිනත වෙමින් සිටිනා බව අපට ම දැනෙන්නට විය. ඒ අතරින් ම අතීතයට එක් වෙමින් තිබෙන සැහැල්ලුවක් තදින් අල්ලා රඳවා ගැනීමේ උත්සාහයක ද අප නො දැන ම අපි නිරත වීමු. අපට වැඩි වැඩියෙන් වැඩ ලැබෙමින් තිබිණ. ඒ වැඩත් එක්ක කාර්ය බහුල වීම යනු ඉරණම විසින් අපේ තුවාල මත කබොලු සෑදී ඒවා ක්රමාණුකූලව සුව වෙන්නට ලබා දුන් ව්‍යායාමය ය. අපේ අතට වැඩි වැඩියෙන් මුදල් ලැබෙන්නට ද විය. තුවාල රිදෙත්දීත් සිනහ වී ඉන්නට අපට වූ ලොකු ම හයිය එයයි. මා සේ ම නූරි ද එක ම ආකාරයකින් නොවී ද පිරිමින් නිසා රිදුම් ලබා සිටියෙමු. එය එසේ නොවේ යි ලෝකයට පෙන්වා ගෙන සිටින්නට පළන්දා ගත් සිනහ වෙන වෙස් මූණේ පිහිටෙන් හුස්මක් හෝ ගන්නේ නැතිව වැඩ කිරීමේ හැකියාව අපට තිබිණ. එසේ ම හිස කෙළින් තබා ගෙන ඕනෑ ම තත්වයකට මූණ දෙන්නට තරම් අපි පදම් වී සිටියෙමු.
එක උදයක නූරි ආවේ බෑග් කිහිපයක් ත්‍රීරෝද රියක පටවා ගෙන ය.
“මං ආයෙ යන්නෙ නෑ ඒ ගෙදරටනං. මිගාර ඇවිත් යන්න කතා කළොත් කියනව වෙනම ගෙයක් අරං යනවනං විතරක් එනව කියල”
“නැත්තං…”
මා ඇසුවේ දෙගිඩියාවකිනි.
“නැත්තං මෙහෙ ඉන්නව. මොනා වුණත් මේක මගෙ අම්ම තාත්තගෙ ගෙදරනෙ. උන්ට මාව පැත්තකට විසි කරල දාන්න පුළුවන් වුණාට මගෙ දෙමව්පියන්ට එහෙම කරන්න බෑනෙ”
ඇගේ සිත තදින් රිදී තිබිණ. කාගේවත් ගෙදරක මලක් සේ හැදුණු ගෑනු ළමයෙකු කැඳවා ගෙන ගොස් පර මලක් වෙන්නට හැරීමේ අයිතියක් කිසිවෙකුට තිබිය නො හැකි ය. නමුත් මේ ප්රශ්නය දුර දිග යා හැකි බව මම අනුමාන කළෙමි. දෙතුන් දිනක් නිහඬව ගෙවී ගියේ ය. නමුත් අළු යට ගින්දර තිබිණ. උන් හිටි ගමන් දිනක් මිගාර විශ් යූ වෙත ආවේ ය.
“මං මේ ශෝට් ලීව් එකකුත් දාලයි ආවෙ. මේ විකාර වැඩ නිසා මට වැඩක් කර ගන්නත් නෑ”
ඔහු ගේ කථන විලාශය ඉතා සන්සුන් ය. නමුත් එහි කිසි යම් නො රිස්සුමක් තැවරී තිබිණ.
“ගෙදර යමු. වැඩ ඉවරනං මාත් එක්කම යමු. ලෑස්ති වෙලා එන්න”
ඔහු සන්සුන් ව නියෝග කළේ ය.
“ඔයා යන්න නූරි…මං තව ටිකකින් වහල යන්නං”
මම මධ්‍යස්ථ තැනක සිට කීවෙමි. සැබවින් මට ඕන වී තිබුණේ ඒ නො හොඳ නෝක්කාඩුව හොඳ ම විදිහට විසඳෙනු දකින්නට ය. ඒ ගැන පෙර දා මම කෙත්මින් සමග ද කතා කළෙමි.
“අපේ අම්මලට පිස්සු. උං බැන්දනං උංට උංගෙ පාඩුවෙ ජීවත් වෙන්න දෙන්න ඕනෙ. අම්ම එහෙම කරන්න දෙන්නැත්තං මේ හරක් පැටව් දැන ගන්න ඕනෙ ගෑනියෙක් ගෙනාවනං ඒකිට ආත්ම ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෙ..මහ ගෙදර එහෙම බැරිනං එහෙම කරන්න පුළුවන් තැනකට ඒකිව අරං යන්න ඕනෙ කියන තීරණේ ගන්න”
ඔහු ගේ ඒ අදහස නිසා කෙත්මින් කෙරේ මා තුළ අමතර ප්‍රසාදයක් ඇති විය.
කෙසේ වෙතත් යළි ඔය තත්වය මත ගෙදර යාම නූරි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා ය. මිගාර පිටත් ව ගියේ නූරි ගේ කොන්දේසිය ගැන තීන්දුවක් නොදී ය. ගෙදර තත්වය ඒ තරම් හොඳ නැති බව කෙත්මින් කීවේ ය. කුණාටුවෙහි බරපතල කම නො පෙනුණේ වී ද කුණාටුවක් ඇති වෙමින් පවත්නා බව අපි දැන සිටියෙමු. කුණාටුවේ අවසාන ප්‍රතිඵලය ආවේ දුරකතන ඇමතුමක් ලෙස ය.
“ඔයාට ගෙදර එන්න බැරිනං මේ පවුල් ජීවිතේ ඇති තේරුමක් නෑනෙ. අපි ඩිවෝස් කේස් එකක් ෆයිල් කරනව”
මිගාර දන්වා සිටියේ ය. නූරි විකෘති ලෙස සිනහ වූවා ය. ඒ සිනහවේ ප්‍රතික්ශේප වීමක කටුක පරාජිත බව ද නිදහස් වීමක සැනසීම ද සම අනුපාත වලින් මුහු වී තිබිණ. මම ඇගේ අතක් තදින් අල්වා ගතිමි.
“එහෙම කොහොමද…අපි නඩු කියමු”
නූරි හිස සැළුවා ය. ඇය සිනහවක් මුව මත රඳවා ගන්නට ද උත්සාහ කළා ය. නමුත් මෙල්ල කළ නො හැකි වූ කඳුළක් ඇස් වලින් මුරණ්ඩු ලෙස ගිළිහුණේ ය.