සැමියාව හේතු සහිතව සැක කල බිරිඳක්

“තමුසෙගෙ පුදුම සැකයක්නෙ ඕයි තියෙන්නෙ”

මාලිංග එහෙම කෑගැහුව භානුකී එයාගෙ ෆෝන් එක බලනව කියල දැක්ක හන්දා. බාතෘම් එකට යන්න කලින් ෆෝන් එක අරගෙන යන්න බැරිවෙච්ච එක මතක් උනේ පස්සෙ. ඒ මතක් වෙච්ච ගමන් බාතෘම් එකේ දොර ඇරගෙන එද්දි භානු ෆෝන් එක ලඟ.

මාලිංග එතනට ආවෙ අඩියට දෙකට. භානු ලඟ තිබිච්ච ෆෝන් එක උදුරගන්න ගමන් මාලිංග භානුගෙ ඇඟට ගොඩ උනා.

“සැක කරන්න මට හේතු තියෙන බව තමුන් අමතක කරන්න එපා”

මාලිංගට නොදෙවනි හඬකින් භානු එහෙම කෑගැහුවෙ ඇත්තටම දුකයි තරහයි දරාගන්න බැරි තැනමයි. මේ පලවෙනි වතාව නෙවෙයි මාලිංග පැත්තකට වෙලා ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙච්ච. මීට කලින් කී වතාවක් භානුට අහුවෙල තියෙනවද මාලිංග වෙන ගෑණු ළමයි එක්ක චැට් කරපුවා.

හිත වැඩිපුරම රිදුනෙ මාලිංග ඒ ගෑණු ලමයි දෙන්නෙක්ව හම්බුවෙන්නත් ගිහින් තියෙනව කියල දැනගත්තම. මේ හැමදේම වැරදුනෙ තමන් අවුරුදු 23න් වගේ කසාද බැන්ද එකද කියලත් නොහිතුනා නෙවෙයි. ඒ උනාට ඉතින් සම්බන්දයක් ඇතුලෙ අනික් කෙනාව රවට්ටන්න හොඳ නෑ කියල තේරුම්ගන්න මේ වයස හොඳටම ඇති කියල භානු දැනගෙන හිටිය.

දැන් බැඳල අවුරුදු පහක්. ඒ අවුරුදු පහ ඇතුලත කී වතාවක්නම් මාලිංගගෙ වැරදි වලට සමාව දෙන්න උනාද පවුල් ජීවිතේ ගැන හිතල.

“ඒවට තමුන් මට සමාව දුන්න කිව්ව නේද? එහෙනම් ඇයි ඕයි ආයෙම ඒව මතක් කර කර කියන්නෙ? ෆෝන් එක බලන්නෙ. පුදුම මානසික වදයක්නෙ ඕයි මේක. තමුසෙ කොයි වෙලේ බැලුවත් මං ගැන පුදුම සැකේකින් ඉන්නෙ.”

“හැමදාම ඉතින් මොකක් හරි අහු උනාම ඔයා කරේ ඔහොම කෑ ගහන එකනෙ මාලිංග. ඔව් මම සමාව දුන්න තමයි. මම සමාව දුන්නෙ ආදරේ හන්දා. සමාව දුන්නෙ ඔයාට වටින්නෙ නැති උනාට මට මේ පවුල් ජීවිතේ වටින හන්ද. සමහර තැන්වලදි මම සමාව දුන්නෙ කොච්චර හිත පාරගෙනද කියල ඔයා දන්නවද? මම ඔයාව සැක කරන එක ඔයාට මානසික වදයක් කියන්නෙ, ඔයාව සැක කරන්න ඔයා මට හේතු හදල දෙන එක මට මානසික වදයක් නෙවෙයි කියලද ඔයා හිතාගෙන ඉන්නෙ?

ඔයා දන්නවද මම කොච්චරා බයෙන්ද ඉන්නෙ කියල ඔයා ආයෙ පරණ විදියට වෙනස් වෙද්දි? ඔයා ඉස්සර ඒ අර කෙල්ලො එක්ක කතා කරපු කාලෙ වගේ පැත්තක තනිවෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉද්දි ඔයා කියන්නෙ මට සැක නොකර ඉන්න කියල?

ඔයා හරියට කතාකරන්නෙ ඔයා මේ අවුරුදු පහ ඇතුලෙ කිසිම වරදක් කරේ නැති මනුස්සයෙක් වගේනෙ? මට ඇත්තටම ඔයා එක්ක ජීවත් වෙලා හති දැන්. බොරුවට සැක කරන්න එපා! බොරුවට මම සැක කරේ නෑ මාලිංග. ඔයාගෙ වෙනස්කම් පේන හන්දයි මට සැක කරන්න සිද්ද උනේ. මෙහෙම දේවල් කලින් සිද්ද වෙච්ච හන්දයි මට සැක කරන්න සිද්ද වෙලා තියෙන්නෙ”

ඇත්තටම භානු හිටියෙ හරි වේදනාවක. ඒ නිසාම තමයි එයා මාව හම්බෙන්න ආවෙ. මුල ඉඳලම භානුගෙ කතාව අහගෙන හිටපු මට තේරුම් ගිය දෙයක් තමයි භානු මාලිංගව සැක කරන එක පදනම් විරහිත දෙයක් නෙවෙයි කියන එක.

භානුට සාදාරණ හේතු තිබුනා මාලිංගව සැක කරන්න. මාලිංග විසින් අතීතයේ අවස්තා කීපයකදිම කර වැරදි නිසාම මාලිංගගෙ වර්තමාන හැසිරීම් වෙනස් වෙද්දි “මේ එයා ආයෙම වෙන කෙනෙක් එක්ක පැටලිලා” කියල නොහිත ඉන්න බැරි හේතු කාරනා භානුට තිබුනා.

අපි නිතරම කියන දෙයක් තමයි ආදර සබඳතාවයකදි, විවාහ සබඳතාවයකදි සැකයට එලියට එන්න හේතු සපයන්න එපා කියන එක. මොකද සැකය කියන්නෙ සබඳතාවයක් මුලින්ම විනාශ කරල දාන්න පුලුවන් හේතුවක් නිසා.

පදනම් විරහිත සැකයකට ඔයාලගෙ ආදර හෝ විවාහ සබඳතාවය ඇතුලෙ රැඳෙන්න හෝ එන්න ඉඩක් දෙන්නම එපා. ඒත් මේ කතාව පදනම් සහිත සැකයකට ඒ විදියටම වලංගු වෙනවද?

භානුට තිබුනෙ ඒ වගේ පදනමක් සහිත සැකයක්. මාලිංග ආයෙම වතාවක් තමන්ව රවටනවද කියල හිතන්න සාදාරන හේතු තිබුන සැකයක්. එහෙම තැනකදි භානු සහමුලින්ම වැරදියි කියල කියන්න අපිට කියන්න පුලුවන් කමක් නෑ.

සබඳතාවයකදි Cheat කරාම අනික් පාර්ශ්වය ඔයාට සමාව දෙන්නෙ ඒ කෙනාට මේ සබඳතාවය මොනතරම් වටිනවද කියන කතාව ඔප්පු කරමින්. එයා ඔයාට මොනතරම් ආදරේද කියල ඔප්පු කරගෙන. හැබැයි ඒ සමාව දීමෙන්ම සියලුම දේ එයා අමතක කරල දාලා කියන එක අපිට හිතන්න පුලුවන් කමක් නෑ. අපි මොන තරම් අමතක කරන්න හැදුවත් ඒ වගේ වේදනාකාරී දේවල් හිතෙන් මුලිනුපුටා දමන්න අපිට හැකියාවක් නෑ. හිතේ ලෙඩවලට බෙහෙත් නෑනෙ. ඒ බෙහෙත් හිත ඇතුලෙන්ම හදාගන්න ඕන අපි.

ඔයා කෙනෙක්ව සබඳතාවයක් ඇතුලෙ රැවැට්ටුවනම් ආයෙමත් එහෙම දෙයක් නොවෙන්න වගබලාගන්න ඕන. මොකද ඔයා වරදක් කරලත් එයා ඔයාට සමාව දුන්නා කියන්නෙ එයා ඇත්තටම ඔයාට ආදරෙයි. ඒ ආදරයට කරන ගරු කිරීමක් විදියට ඔයා විසින් දුන්න වේදනාවෙන් මිදෙන්න, Recover වෙන්න ඔයා විසින් එයාට උදව් කරන්න ඕන.

ඔයාගෙ ආදරය සහ සහයෝගය මැද තමයි එයාට ආයෙමත් ඔයා දිහා සැකයකින් තොරව බලන්න පුලුවන්. ඒ තැන හදල දෙන්න ඕන ඔයා. ඉතින් එහෙම නොකර මාලිංග වගේ ආයෙමත් වැරදි පාරක යන ගමන් “තමුසෙගෙ වැඩේම මම දිහා සැකෙන් බලන එක” කියල චෝදනා කරන්න එපා.

මොකද හිත සහමුලින්ම බිඳිච්ච දවසක, කිසිම සමාවක් නොදී සදහටම ඔයාගෙන් ඈත්වෙන්න එයාට පුලුවන් කම තියෙන නිසා.

අමතක කරන්න එපා ආදරේ කරන කෙනෙක්ව රවට්ටන එක හරි ලේසියි කියල හිතෙන්න පුලුවන්. ඒත් ආදරේ අහිමිවෙච්ච දවසක ඒ ආදරේ නැතුව ජීවත් වෙන එක ඔයා හිතන තරම් පහසු නොවෙන හන්දා!

Related Articles

Don't Miss


Latest Articles