නිම් නැති නිම්නය 31

හිරි පොද වැස්ස චිරි චිරි ගා වැටෙමින් තිබිණ. ආරාධනා හිඳ සිටියේ වැරැන්ඩාවෙන් මිදුලට පිවිසෙන දිග පඩි පෙළෙහි ගුලි ගැසී ය. එතැනටත් සුළඟ එක්ක හිරිකඩ වැස්ස හමයි. නමුත් ඕ නො නැගිට සිටියා ය. මේ වැහි සීතලේ ග්ලැසියරයක් ව මිදී යන්නට තිබුණා නම් කියා ඇයට සිතේ. සිද්ධ වෙන දේවල් ඒ තරමට දරා ගත නො හැකි ය. හිත හදා ගන්නට කෙතරම් ඕන කම තිබිණි ද යළි යළිත් හිත පෑරෙන යමක් ම සිදු වේ. 

කාශ්‍යප දුටු වෙලාවේ මුළු සැනසුම් පාය ම මීයට පිම්බා සේ විය. සියලු හිත් ඒ තරමට ඇවිස්සී තිබිණි. කලබල වී තිබිණි. කුමකින් කුමක් වෙන්නට යනවා දැයි නො දැන කැළඹී තිබිණ. කාශ්‍යප සිය පුරුදු ආඩම්බරයෙන් දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන හැම මූණක් දෙස ම බැලුවේ ඔහු අතින් කිසිවෙකුට කිසි වරදක් නො සිදු වී ඇත්තා සේ ය. ඒ හදිසි නිශ්චල බව, එක අකුණක් නිසා සුන්නද්දූලි වී ගියේ ය.

“උඹට කවුද මේ හතර මායිමේ පස් පාගන්න අවසර දීපු එකා…”

දැල්ලන් සෝදමින් උන් වතුර කොරහෙන් අත් දෙක ඉවතට ගෙන ගසමින් ගජධීර ගුගුළේ ය. එහඬින් ආරාධනා ගැස්සී ගියා ය. එකෙනෙහි, සඳයුරු අවදි වේවිද ක්ෂණික බියෙන් ඇලලී ගියා ය. 

“අනේ කවීශ්වර පුතා ඇහැරෙයි”

ඇය පිළිසරණ පැතුවේ කවීශ්වර වෙතිනි. ඇගේ ඇස් වල බැගෑපත් බවක සේ ම විශ්වාසයක ද සලකුණු තිබිණි. ඒ වෙලාවේ, සඳයුරු අවදි වී හැඬුවෝතින් දිව යන්නටවත් බැරි තරමට ඇගේ දෙපා ගල් ගැහී තිබිණ. කල් ඇතිව ම ඇය පුතු ගේ ආරක්ෂාව කවීශ්වර වෙත භාර කළේ ඒක ය. පියාව දුටු නිසා ඔහු වෙත එමින් සිටි බිඟුනි ව කවීශ්වර යළි කාමරයට හරවා යැව්වේ ය.

“මල්ලි ඇහැරුණොත් කතා කරන්න. මල්ලි ළඟින්ම ඉන්න”

දැරිය කීකරු වී හැරී ගියා ය.

“ගෙදර එන්න මට කාගෙංවත් අවසර ගන්න ඕන නෑනෙ තාත්තෙ”

කාශ්‍යප අහංකාර තැන්පත් බවකින් කීවේ ය. ගජධීර ගේ කේන්තිය පුපුරා ගියේ ය.

“කොහෙද බොල බොගෙ ගෙවල් තියෙන්නෙ මෙහෙ…තෝ අපේ කවුරුවත් නෙවෙයි”

“මගෙ ළමයි දෙන්නයි වයිෆුයි ඉන්නෙ මෙහෙනෙ. මං ආවෙ ළමයි බලන්න”

“ළමයි. ළමයි ඉන්න තාත්ත කෙනෙක් හැටියටද උඹ වැඩ කළේ…මගෙ වයිෆ්…කවුද බං ඒ…ඒකි ඉන්නෙ උඹ ලගින ගුබ්බෑයමේනෙ. මෙහෙ උඹගෙ කවුරුවත් නෑ. මගෙ දෑහැට නොපෙනි තොලොංචි වෙලා පලයං”

“තාත්තෙ බොරුවට කෑගහන්න එපා. මට මෙහෙ එන්න අයිතියක් නැති කරන්න බෑ කෑගැහුව කියල..”

“කාශ්‍යප උඹ මට කියල මේ දැල්ලො හෝදපු වතුර කොරහ ඔළුවෙ හලා ගන්න එපා”

එය තර්ජනයකි. ගජධීර කියන්නේ කීවොත් ඒ නො කර ඉන්නා මිනිසෙකු නොවන බව දන්නා රාජිකා මැණිකේ, “පුතාලගෙ තාත්තෙ” යනුවෙන් කොඳුළා ය. නමුත් ඒ දුර්වල ස්වරය ගජධීර ගේ සවන් වැකුණේ නැත.

“තාත්තෙ පොඩ්ඩක් කලබල නොවී එයාට ආපු දේ කරං යන්න දෙන්නකො”

එසේ කීවේ කවීශ්වර ය.ආරාධනා තවමත් හිටි ඉරියව්වේ ගල් ගැසී සිටින්නී ය.

“නඩුව දවසට මං කියනව ආරාධනා ඩිවෝස් එකට මං කැමති නෑ කියල. ළමයි වෙනුවෙන් අපි ඒ තීරණේ ගන්න ඕනෙ”

ඔහු මොන තරම් ආත්මාර්ථකාමී මිනිසෙකු ද? කවීශ්වර ට සිතුණේ ඔහු ගේ කම්මුල හරහා පහරක් එල්ල කරන්නට ය. නමුත් සැමියා හා බිරිඳ ගේ කතා අතරට හෝ තීරණ අතරට පිවිසෙන්නට ඔහු ට අයිතියක් නැති බව සිහි වී ඔහු ඉවසා ගත්තේ ය. ආරාධනා ගේ ඇස් කාශ්‍යප දෙසට ගිනි පිට කරමින් තිබිණ. ඇයට දැනුණේ පුදුම පිළිකුළකි. අප්‍රසන්න බවකි. මේ සිදුවීම් තව තවත් ඇයට ඔහු එපා කරයි. 

“ඔයා කැමති වුණත් නැතත් දික්කසාදෙ වෙනව කාශ්‍යප. ජීවිත කාලෙම නඩු කිව්වත් මං ඔයාගෙ කැමැත්ත ඉෂ්ට වෙන්න දෙයි කියල හිතන්න එපා”

“ඔයාගෙ ඔළුවට විසබීජ දාන්නෙ මේ ගෙදර ඉන්න එවුං. උන්ට ඕනෙ කැඩෙන්න යන පවුලක් එකතු කරන්න නෙවෙයි. කඩලම දාන්න”

කාශ්‍යප  ඒ චෝදනාව එල්ල කළේ කෙළින් ම තමන්ටය වාගේ කවීශ්වර ට දැනිණ. ඔහු ගේ අත මිට මෙලවිණ. නමුත් හෙතෙම ඒ වතාවේත් ඉවසුවේ ය.

“කවුද යකෝ පවුල් කඩං වෙන ගෑනු එක්ක ගියේ..කටින්ද තෝ කතා කරන්නෙ…”

“මමයි මේ ගෙදර එකා. ආරාධනා මගෙන් ඩිවෝස් වෙන්න තීරණේ කළානං තාමත් මෙහෙට වෙලා ඉන්නෙ මොකටද…තමුන්ගෙ ගෙදරට යන එකනෙ තියෙන්නෙ”

“මූ ඉස්පිරිතාලෙදි මාරු වෙලා ආපු එකෙක්ද මැණිකෙ..නැත්තං මෙහෙම බල්ලෙක් අපේ වෙන්න විදිහක් නෑ”

” පුතාලගෙ තාත්තෙ අනේ ඕක නවත්තන්නකො. දරු පැටවුනුත් බය වෙයි”

රාජිකා මැණිකේ බිය වූයේ දරුවන් බිය වෙන එක ගැන ම නොවේ. කුළුඳුළේ සිය කුසින් වැදූ දරුවා මේ විදිහට අසරණ වෙන එක ගැන ඇයට වාවා ගන්නට බැරි වී තිබිණ.

“ලොකු පුතා දැන් යන්නකො. දෙයියන්ගෙ නාමට මේ ප්‍රශ්න ඉවර වෙන්නෙ කවදද දෙයියනේ…අනේ මං මැරිල යන්නෑනෙ ඉක්මනට…මේව දෑහින් නොදකින්න”

ඕ තොමෝ හිසෙහි අත් ගසා ගත්තා ය.

“මූ අහනව ආරාධනා මෙහෙ ඉන්නෙ මොකද කියල. එහෙනං අහ ගනිංකො මොකද කියල. ඒකි අපේ දුව. ඒකිගෙ මිනිහ දාල ගියා. අපි ඌව දික්කසාද කරන්න නඩු දාල තියෙන්නෙ. අපි මැරෙනකල්ම ඒ දැරිවි අපේ දුව මිනිහො. උඹ අපේ කවුරුවත් නෙවෙයි”

කාශ්‍යප ගේ හිස බිමට හැරිණි. එය දරුණු පහරක් සේ ඔහු ට දැනුණේ ය. රඳවා ගන්නට උත්සාහ කළ මාන්නය දෙදරා ඉරිතලා යන්නට ගති. හිස බිමට හරවා ගත් වන හෙතෙම ආපසු හැරුණේ ය. ඔහු ගේ සපත්තු අඩි සිය හදවත මත පතිත වෙන්නා සේ ආරාධනා ට දැනිණ. ගජධීර වහ වහා කාශ්‍යප පසු පස මුළුතැන්ගෙය ඔස්සේ ආලින්දය දිගේ ඇදුණේ ය. ඔහු ට පිටුපසින් රාජිකා මැණිකේ ද ආරාධනා ද කවීශ්වර ද පිය නැගූහ. කවීශ්වර ගේ ඇස් තිබුණේ ආරාධනා වෙත යොමු වී ය. ඇය බිය වී යයි ඔහු ට සිතිණ. කවීශ්වර ගේ සිත පුරා පැතිරෙමින් තිබුණේ සානුකම්පිත බවකි. ආරාධනා ගැන ඔහු ට දුක ය. ඇය දැරියක කාලේ පටන් ඔහු ගේ නෙත ගැටී තිබේ. ඈ වූ කලී සතුටෙන් සැහැල්ලුවෙන් සිටි දැරියකි. යුග දිවිය ඇතුළේ ද ඇය තුටින් යයි මේ දෙදරා යාම වන තුරු ම කවීශ්වර සිතා සිටියේ ය. එය එසේ නොවේයි දැනෙත්දී ඔහු ට දැනෙන්නේ වාවා ගත නො හැකි සංවේගයකි. 

කාශ්‍යප කාමරයේ උළුවස්ස ළඟ හිට ගෙන ඇතුළතට නෙතු යොමා ගත්තේ ය. යහනත නිදන කුඩා පුතු ද ඔහු ළඟ හිඳ කතාන්දර පොතක් කියවන බිඟුනි ද ඔහු ගේ එක ම ඇස් බැල්මට හසු විය. ආරාධනා ගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙන්නට ගති. ඔහු දරුවන් ඇගෙන් උදුරා ගෙන යාවිද යන බිය ඇය වසා ගත්තේ ය. එසැනෙන් පිස්සියක සේ කාමරයේ දොරකඩට දිව ගිය ඕ, එහි උළුවස්ස දෙපසට දෑත් දිගු කොට කාශ්‍යප ට එහි ඇතුළු වීම අවහිර වන සේ හිට ගත්තා ය.

“අත තියන්නෙපා මගෙ දරුවන්ට…අත තිබ්බොත් මං ම රා ගෙන මැ රෙ නව. දෙයියම්ප ම රා ගෙන මැ රෙ නව මං…”

ඇය වියරු වැටුණා සේ ය. ආරාධනා ගේ ඇස් වලින් කඳුළු වැගිරෙන්නට විය. කවීශ්වර ට තව දුරටත් බලා සිටිත නො හැකි වූයේ ය. ඔහු අයියා පසු කොට ආරාධනා වෙතට ආවේ ය. 

“ආරාධනා බය වෙන්නෙ නැතුව ඉන්න. ඔයාගෙං දරුවො උදුර ගන්න මොකෙක්ටවත් ඉඩ දෙන්නෑ”

එහෙම කියත්දී ඔහු ගේ හඬ වෙව්ලා ගියේ ය. කවීශ්වර සිය සොයුරා දෙස බැලූයේ තර්ජනාත්මක ඇස් දෙකකිනි. ඒවෙලාවේ ඔහු සිටියේ ඕනෑ ම දෙයක් කළ හැකි මානසික තත්වයක ය. ආරාධනා හා පැටවුන් දෙදෙනා වෙනුවෙන් ඕනෑ ම දෙයක් කළ හැකි තත්වයක! ඒ වෙලාවේ කවීශ්වර ගේ සිතේ ඇඳී ගියේ ආරාධනා භූමි තෙල් කෑන් එක හිසෙහි වත් කරමින් සිටි දර්ශනයයි.

“පිස්සුද මේ ගෑනිට…මේ..බොරුවට නටන්නැතුව ඉන්නව හරිද..”

එවර කාශ්‍යප කෙළින් ම ආරාධනා වෙතට ගුගුළේ ය. 

“මට ඕන්නං මං ළමයි දෙන්නව ගන්නව තමයි. දැනගන්නව මං ඒක උසාවියෙන්ම කරනවයි කියන එක”

දබරැඟිල්ල ආරාධනා ගේ මුහුණ වෙතට දිගු කරමින් ඔහු එසේ තර්ජනය ද කළේ ය. බිඟුනි හිටියේ බිය වී ගෙන ය. කාශ්‍යප ගේ අත් බාහුවෙන් අල්වා ඔහුව කාමරය අසලින් පිටතට ඇද්ද ගජධීර, ගෙන් පිට වෙන ලෙසට ඔහු ව තල්ලු කළේ ය.

“ඒ ජාතියෙන්ද පුතෝ…හරි එහෙම කරල බලමුකො. උඹ එහෙනං උසාවියෙං ළමයි ඉල්ලහං. අපි අපිට පුළුවන් දේවල් කරන්නං”

කාශ්‍යප වහා ගෙන් පිට වී රියට නැගුණේ ය. රාජිකා මැණිකේ වාවා ගත නො හැකි ව හඬන්නට පටන් ගත්තා ය. මොනවා වුණත් ඇයට ඒ ඇගේ ම දරුවෙකි. ඉතා දීර්ඝ වූ කාලයක් ගෙදර වෙනුවෙන් සියල් යුතුකම් ඉටු කළ පුතණුවන් ඔහු ය. මේ උදා වී ඇත්තේ ඔහු ට අපල සහිත කාලයකැයි ඒ කලබල අස්සේ ම ඇයට සිතිණ.

ආරාධනා හඬා ගෙන කවීශ්වර ගේ පපුවට බර වූවා ය. ඒ හැඬුම දිගු වෙලාවක් පැවතිණ. ඇය ඉකිළුවා ය. හීල්ලුවා ය. නමුත් වචනයක් හෝ නො කීවා ය. කවීශ්වර මුදු ලෙස ඔහු හිස පිරිමැද්දේ ය.

හැඬීමෙන් විඩාපත් ව සඳයුරු ළඟ වැතිරී බිඟුනිව ද තුරුලු කොට ගෙන ආරාධනා  නිසල වූවා ය. හිත මුළුමනින් අවුල් වූ බවක් ඇයට දැනිණ. එදා රෑ කෑමට දැල්ලන් තෙල් දමා පරිප්පු කිරට පිසුවේ කවීශ්වර හා ගජධීර ය. රාජිකා මැණිකේ මිරිස් පහේ පදමට දමා දුන්නා ය. සඳයුරු අවදි වූ ඉක්බිති ඔහු බලා ගත්තේත් රාජිකා මැණිකේ ය. ඉන්පසු බිළිඳු සඳයුරු ගජධීර අතට ද කවීශ්වර අතට ද මල් වට්ටියක් සේ මාරු විය. හැම තැනකදී ම ඔහු ට ලැබුණේ ආදරය ය.

“පව් මේ කිරි සප්පයො”

රාජිකා මැණිකේ හීල්ලුවා ය.

ආරාධනා පඩිය උඩ හිඳ ගෙන වැහි වැටෙනා අඳුර දෙස බලා සිටියා ය. සඳයුරු ට කිරි පොවා ඔහු නිදි කරවා විත් වාඩි ගත් ගමන් දිගු වෙලාවක් තිස්සේ ඇය හිටියේ ඒ ඉරියව්වේ ය. නඩුවේ දී කාශ්‍යප දරුවන් ගේ අයිතිය ඉල්ලා සිටීවිද කියනා බිය හැරුණු විට අන් සියල්ල ඇගෙන් දුර ඈතකට ගසා ගෙන ගියා මෙනි. අම්මා කෙනෙකුගෙන් දරුවෙකු ඈත් කරනවා කියන්නේ ඇගේ ශරීරයෙන් කොටසක් අමු අමුවේ ගලවා ඉවත් කරනවාටත් වැඩි වේදනාවකි. ඊට එරෙහි ව ඕනෑ ම සටනක් කරන්නට තමන් සූදානම් විය යුතු යයි ආරාධනා සිතා ගත්තා ය.

“කන්නැද්ද…”

පඩිය ඉස්මත්තේ බරාඳ කුළුණට හේත්තු වූ කවීශ්වර ඔහු ට හැකි උපරිම ළෙංගතු ස්වරයෙන් විචාළේ ය. ආරාධනා හිස ඔසවා බැලුවා ය. ඇගේ ඇස් වල වූයේ පිහිට පතනා මුව දෙනකගේ බඳු බැල්මකි.

“තාත්ත ඔයා ආස හින්දම දැල්ලො ගෙනත් තියෙන්නෙ. අම්ම පහේ දාල දුන්න. මායි තාත්තයි ඉවුවෙ අද. ඔයා ටිකක් හරි කෑවොත් තාත්තට සතුටු හිතෙයි නේද…”

කවීශ්වර තාත්තා ඉස්සරහාට දැම්මේ එතකොට ආරාධනා නොකා නොනිදන බව දන්නා නිසා ය. මේ ආදරණීය මිනිසුන් ගේ හිතක සුළු හෝ රිදුමක් ඇති කිරීම පාපයකැයි සිතුණ පමාවෙන් ඇය නැගිට ගත්තා ය. 

“හදිස්සියක් වුණොත් හොස්පිට්ල් යන්න කා එකේ පෙට්‍රල් එහෙම තියෙනෝ නේ…”

ඇය ඇසුවේ සිනහ වී ගෙන ය.

“අඩෝ..”

ආරාධනා ගේ කතාවේ යටි අරුත, කෑම පිසුවේ ඔහු යයි කීම බව වැටහෙත්දී කවීශ්වර  කෑගෑවේ ය. ආරාධනා හඬ නගා සිනහ වූවා ය. ඒ සිනහවත් එක්ක ම හවස සිට සැනසුම් පායට අරක් ගෙන තිබූ මූසල අඳුර පහ වී ගියා සේ කවීශ්වර ට සේ ම ගජධීර දෙමහල්ලන්ට ද දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles