සියක් සියපත් 13

දියවන්නා දිය කඳෙහි රැලිති නගනා රිදී පැහැය දෙස බලා හිඳියදී මදිරා ට හදිසි කැස්සක් ආවේ ය. වෙනදා සියපත් ගේ බෑග් එකේ තිබෙනා වතුර බෝතලය අද අමතක වී තිබිණ. ඒ කැස්ස ටික වෙලාවක් දිගට ම පැවති අතර සියපත් ඇගේ පිටට තට්ටු කළා ය. නමුත් කැස්ස නතර වෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැත.

“මං වෝටර් බොට්ල් එකක් අරං දුවගෙන එන්නං. අක්කට ඔහොම ඉන්න පුළුවන්ද…”

සියපත් තරමක් කලබල වී සිටියා ය. මදිරා රැගත් රෝද පුටුව තල්ලු කොට ගෙන බොජුන් හල් දෙසට යන විට ටිකක් වැඩිපුර වෙලා ගත වෙන්නේ ය. ඊට වඩා ඉක්මනට ඇයට දිව ගෙන ගොස් වතුර බෝතලයක් ගෙන දිවගෙන ම පැමිණිය හැක. නමුත් ගැටළුව නම් මදිරා ව තනිව එතැන දමා යන එක ය. කහවණුගොඩලා මදිරා ව ඇය සමග මෙසේ තනිව මෙහි එවන්නේ සියපත් ගැන විශ්වාසයෙනි. ඒ විශ්වාසය බිඳෙන යමක් සිදු නො විය යුතු ය. 

එතැන සිදු වන දේ ගැන අසලක කොංක්‍රීට් බංකුවක හුදෙකලාවේ හිඳ උන් තරුණයෙකු බලා සිටියේ ය. ඒ හුදෙකලා තරුණයා දැන් සියපත් ගේ හා මදිරා ගේ ඇස් වලට ඒ තරම් නුහුරු වූවෙකු නොවේ. උද්‍යානයට පැමිණි අවස්ථා ගණනාවකදී ම ඔය විලසට ඔහු දියවන්නා දිය කඳ දෙස බලා සිටිනු දැකිය හැකි විය. ඒ ඇස් වල මහත් වූ තනිකමක් හෝ ශෝකයක් කැළතී ඇති බව තරුණියන් දෙදෙනාට දැනී තිබේ. නමුත් ඔවුන් අතරේ වචනයක් හෝ හුවමාරු වී තිබුණා නොවේ. අඩු තරමින් සිනහවක් හෝ එහෙ මෙහෙ වී නැත්තේ ය.

“කමක් නැත්තං මේ වෝටර් බොට්ල් එක ගන්න. මේකෙං මං බිව්වෙ නෑ. තාම සීල් එක රිමූව් කරලවත් නෑ”

තරුණයා එසේ කියමින් වතුර බෝතලය යුවතියන් වෙතට පෑවේ ය. සියපත් වහා ඔහු වෙතට ගොස් එය ගත්තා ය.

“තෑන්ක් යූ වෙරි මච්”

ඇය බෝතලය හැර මදිරා ට ඉන් වතුර ටිකක් බොන්නට සැලැස්වූවා ය. ඒ කැස්ස පහ වී ගියේ ඉන් අනතුරුව ය. 

“අනේ ඔයා ලොකු උදව්වක් කළේ. මං පුදුම විදිහට බය වුණා මොකක් කරන්නද කියල. අදම වෝටර් බොට්ල් එක ගේන්නත් අමතක වෙලානෙ”

සියපත් නාඳුනන තරුණයාට කෘතඥ වූයේ හදවතින් ම ය. 

“අව්ව සැර නිසා එන ගමංම මං මේක අරං ආවෙ”

ඔහු ගේ කතා විලාශය ඉතා තැන්පත් ය. වැදගත් ය. විනීත ය. ඔහු නරක මිනිසෙකු නොවෙන බවත්, හැදියාවක් ඇත්තෙකු බවත් වචනයක් දෙකක් කතා කරත්දී ම වටහා ගත හැකි විය. ඒ නිසා ම මදිරා ද ඔහු ට ස්තූතිවන්ත වී වචන කිහිපයක් හුවමාරු කොට ගත්තා ය. සදාතන එහි පැමිණියේ ඒ වෙලාවේ ය. සිදු වූ දේ ඔහු ට කියන්නට තරුණියන් දෙදෙනා ම පසු බෑවේ ඒ වෙලාවේ ඔහු ගේ පෙනුමේ වූ නො රිස්සුම් බව නිසා ය. රථ ගාලේ දී සියපත් වෙත ඔහු කඩා පැන්න විලාශය, පැහැදිලි කිරීමකට කොහෙත් ම ඔවුන් පසුගාමී කරවන ලදී. සදාතන ට කේන්ති ගිය විට ඒ කේන්තිය නිවෙනා තෙක් සිටිත මනා බව මදිරා දැන සිටියා ය. වඩාත් නිශ්ශබ්ධ මිනිසුන් ට කේන්ති ගිය කල වඩාත් දරුනු බැවිනි.

“සර්…”

සියපත් උගුර යටින්, ඉතා අසීරුවෙන් වචනයක් පිටතට දමා ගත්තා ය. රිය පදවන ගමන් සිටි සදාතන රියෙහි වේගය මඳක් බාල කරමින් අඩැසින් ඇදෙස බැලුවේ ය. 

“සර්ට කරහ ගිහිං කියල මං දන්නව. ඒත්…එතන සිද්ද වුණෙ වෙන දෙයක් සර්. අක්කට නතර නොවෙන කැස්සක් හැදිල…මං වෝටර් බොට්ල් එකක් ගෙනියලත් නැතුව….අක්කව එතන තනියම දාල වතුර ගේන්න යන්නත් බැරුව…එයාව එහෙම කහින ගමන් අරං යන්නත් බැරුව බය වෙලා මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුව අසරණ වෙලා ඉද්දි ඒ බෝයි වෝටර් බොට්ල් එකක් දුන්නෙ. ඒ වෙලාවෙ ඒක සාංඝික දානෙකටත් වඩා ලොකු පිංකමක් වගෙයි මටනං දැනුණෙ. මේක වතුර බෝතලේ පවා කඩෙං ගන්න ඕන කාලයක්නෙ සර්. ඉස්සර වගේ කඩේකිංවත් මිනිස්සුන්ට නිකං වතුර වීදුරුවක් බොන්න බෑනෙ. එහෙම එකේ…දුන්නෙ වතුර බෝතලයක් වගේ පොඩි දෙයක් වුණත්…ලෙඩ වෙලා මිනිහෙක් වැටිල හිටියත් කරදර දාගන්න බෑ කියල අහක බලං යන මිනිස්සු වැඩිපුර ඉන්න ලෝකෙක..ඒක මහ ලොකු මනුස්ස කමක්නෙ සර්. ඒකයි මං ඒ බෝයි එක්ක වචනයක් දෙකක් කතා කළේ. මං හිතන්නෙ අක්ක වුණත් එහෙම හිතන්න ඇති. මටනං ඒක සාමාන්‍ය දෙයක්. ඒත් සර්ලගෙ හැටියට එහෙම මනුස්සයෙක් එක්ක කතා කරන එක වරදක් වෙන්න ඇති. ඒ ගැන සමා වෙන්න සර්…”

සදාතන ට දැනුණේ වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කොට කියන්නට බැරි ලැජ්ජාවකි. කිසි දා ඔහු මිනිසුන් ගැන එහෙම සිතා ඇතිවා නොවේ. සනාතන තරම් මිනිස් සබඳතා වලට දක්ෂයෙකු නොවී ද සදාතන කියන්නේ මිනිස්කම් නොමැති මිනිසෙකු නොවේ. ඔහු ට තිබෙන්නේ සනාතනටත් වඩා ඉක්මනින් උණු වෙන විදිහේ හදවතකි. නමුත් මීට ටික වෙලාවකට පෙර උද්‍යානයේ දී කුමක් සිදු වී ද කියා දැන් ඔහු ට ම සිතා ගත නො හැකි ය. ඒ වෙලාවේ හිස පිරී තිබුණේ ඊර්ෂ්‍යාව කියනා යක්ෂයාගෙන් බව දැන් ඔහු දනී. නමුත් සියපත් ඉදිරියේ එවැන්නක වරද පිළිගත් බවක් පෙන්විය නො හැකි ය. ඔහු මුණිවතින් රිය පදවා ගෙන ගියේ ය.

සියපත් යටැසින් සදාතන දෙස බැලුවා ය. මුලදී දැනුණ බය, වක්කඩ කැඩුවා සේ වචන පිට වෙත්දී ගහගෙන ගියා සේ ය. නාඳුනන තරුණයා ගේ සිද්ධිය පිළිබඳව සමාව ඉල්ලිය හැකි වී ද සනාතන ගැන ඔහු කී කතාවට නම් කිසි සේත් සමාව දෙන්නට සියපත් ට නො හැකි ය. ඇය යටැසින් බලා ගෙන ම ඔහු ට රැව්වා ය.

“හැබැයි සර් අර කියපු අනිත් කතාව…සනාතන සර් ගැන…මොකද්ද අර බලාපොරොත්තු තියං ඉන්න කතාවක් කිව්වෙ…මං දන්නෑ මොන හේතුවක් නිසා මොන අදහසකින් සර් එහෙම කිව්වද කියල. හැබැයි ඒ ගැනනං මං මාර විදිහට අවුල් සර්. අපි කවුද සර්ල කවුද කියල මං හොඳට දන්නව. දුප්පත් පවුලක දුක් විඳින දෙමව්පියො දෙන්නෙක්ගෙ වැඩිමල් දුව විදිහට මට මේ ජොබ් එක මහ මෙරක් වගේ. සනාතන සර් ඔය දැන් සර් කියපු වගේ අදහසකින් කවදාවත් මට විහිළුවක්වත් කළා කියල මං හිතන්නෑ. මගෙ තුන් හිතකවත් එහෙම හිතිවිල්ලක්වත් තිබුන්නෑ. ඒ කතාවටනං සර්ට පව් ඇත්තමයි”

ඇගේ මූණ වහින්නට ආසන්න අහසක් සේ අඳුරු වී බර වූයේ ය. ඇය මූණ බිමට හරවා ගත්තේ කට හදා ගෙන ය. ඇස්, කඩා වැටෙන්නට ඔන්න මෙන්න වූ වැස්සක් සේ විය. මග පැහැදිලි බව තහවුරු කර ගත් සදාතන යන්තම් හිස හරවා සියපත් දෙස බැලුවේ ය. ඇගේ නරක් වූ මූණ ඔහු තුළ ක්ෂණික සිනහවක් ඇති කරවනා ලදී. ඒ සිනහවේ හඬින් හිස ඔසවා බැලූ සියපත් ගේ ඇස් වල රැවුම තව දුරටත් ඉතිරි වී තිබිණි. 

සදාතන සිනහ වෙයි. ඔහු සිනහ වෙන්නේ කොහොම ද? මීට ටික වෙලාවකට පෙර යකෙකු සේ පුපුරා හැළුණු ඔහු, දැන් එවැන්නක් කවදාවත් සිදු නොවූවා සේ සිනහ වන්නේ කෙසේද? 

“මට දැං සනාතන සර්ගෙ මූණ බලන්නත් බෑ වගේ. කොටින්ම ආයෙ ඒ ගෙදරට එන්නෙ වුණත් කොහොමද…”

ඒ අන්තිම වචන පේළිය නම් බෝම්බයක් වාගේ සදාතන ගේ පපුවේ වැදිණ. ඔහු තවත් තත්පර දෙක තුනක දී රිය මග අයිනට කොට නවතා තිබිණ. 

“හරි ඉතිං මං කිව්වනෙ සොරි කියල”

සියපත් වීදුරු කවුළුවෙන් ඉවත බලා ගත්තා ය. තේරුම් ගන්නට හෝ තේරුම් කරන්නට බැරි රිදුමක් ඇගේ හදෙහි සීරුම් ඇති කොට තිබේ. නමුත් ඔහු ට දැනෙන්නේ සැහැල්ලුවකි. සනාතන ඇය ඇසුරු කරන්නේ එබඳු අදහසකින් නොවේ කියා ඇගේ වචන වලින් ම කියවුණාට පස්සේ, එතෙක් හදවත මත පැටවී තිබි බරක් කොහේ අතුරුදන් වූවාද කියා සොයා ගත නො හැකි ය.

“එන්නැතුවනං ඉන්නෙපා. එහෙම වුණොත් මට ගෙදරට ඇවිත් එක්කං යන්න වෙයි”

සදාතන එසේ කීවේ දඟ හිනාවක් එක්ක ය. සියපත් මොහොතකට ඒ සිනහවෙන් ඇස් ඉවතට ගත නොහී බලා සිටියා ය. එය එපමණට ආකර්ෂණීය වූ සිනහවකි. ගැහැනු හදවතක් හොලවනා සිනහවකි. නිතර ම සිනහ වෙන මිනිසුන්ට වඩා අධිකතර වටිනාකමක්, නිතර සිනහ නොවෙනා මිනිසුන්ගේ සිනහවට හිමි වේ. නමුත් ඒවා තුළ අතරමං වෙන්නට බැරි තරමට ජීවිතය ඇය මත වගකීම් හා යුතුකම් කන්දක් ගොඩ ගසා ඇති බව සියපත් වහ වහා සිහි කොට ගත්තා ය.

“මං දන්නෑ අපි හීනෙකින්වත් නොහිතන දේවල් ගැන පිටින් බලන අය තීන්දු දෙන්නෙ කොහොමද කියල. මීට පස්සෙ සර් මාව පික් කරන්නවත් ඩ්‍රොප් කරන්නවත් එන්න එපා සර්… ඩ්‍රයිවර් කෙනෙක් නැති වුණත්…”

සියපත් එසේ කීවේ පුළුවන් කමකට නොවේ. අපට වැඩියෙන් ම ඕනේ කියා ඇට ලේ මස් වලට ම දැනෙනා දේවල් පවා ඕනේ නෑ කියා හිත හදා ගැනීම ජීවිතයට කියනා තවත් නමක් විය හැක. ඇය රිදුමක කරවටක් ගිලෙමින් සිටියා ය.

“ඇයි ඒ…”

“පිටින් බලන අයට ඕන දෙයක් හිතන්න පුළුවන්නෙ. වියානා මිස් වුණත් ඒක වැරදියට දකින්න හිතන්න පුළුවන්නෙ සර්…”

ඒ වචන ටික නම් සැර විදුලි පහරක් සේ සදාතන ගේ හිතේ වැදී පුපුරා යාමක් සිදු කරනා ලදී. ඔහු දෙතොල් තද කොට ගෙන තියුණු ඇසකින් සියපත් දෙස බැලුවේ ය. ඇය ඉතා හෙමිහිට ඒ බැල්මෙන් මිදී ඇස් තටු පහළට හරවා ගත්තා ය.

“ඔයා කොහොමද එයා ගැන දන්නෙ…”

“අක්ක කිව්ව ඉතිං. විශේෂ හේතුවකට නෙවෙයි. නිකං කතා කර කර ඉන්න ගමං”

අර කලින් දැනෙමින් පැවති බිය, යළිත් සියපත් ගේ පපු කුහරයට රිංගා ගත්තා සේ ය. ඇය ඔහු දෙසට හොර බැල්මක් හෙළුවා ය. සදාතන ගේ මුහුණේ තිබූ සිනහව අතුරුදන් ව තිබේ. ඔහු රිය පණ ගන්වා මගට ගත්තේ ය. ඊට පස්සේ දිගටම එළඹියේ නිහැඬියාවකි. හුස්ම ගන්නා හඬක් හෝ නෑසුණ තරම ය. නිහැඬියාව කියන දේ ඒ තරම් ගුප්ත වූ බරක් ලෙස ඊට පෙර සියපත් ට දැනී නැත්තේ ය. ඇය වරින් වර දෙගිඩියාවේ දෑස් හරවා ඔහු දෙස බැලුවා ය. නමුත් සදාතන එක ම රේඛාවක ඇස් නතර කර ගෙන රිය පදවයි. ඔහු සිටිනුයේ ගැඹුරු වූ කල්පනාවක බව ඇයට හැඟෙයි. කීවේ නො කිව යුතුව තිබූ දෙයක් ද කියා ඇය දන්නේ නැත. නමුත් කටුවක් වගේ හිතේ ඇනී තිබූ දේ දැන් නැති බව ඇයට දැනේ. එනයින් ඒ ඔහු ගේ මූණට කියා ගන්නා තෙක් ඈ බල බලා සිටි දෙයක් වන්නට ඇත. සදාතන ළඟ මෙහෙම හිඳ ගෙන යන්නට ඈ තුළ වන්නේ රහසිගත ආශාවකි. ඔහු වූ කලී අන්සතු වස්තුවක් විය හැක. කිසි දා සිහින දැකීමට හෝ අවසර නැති පුරුෂයෙකු විය හැක. නමුත් සිය දකුණු පසට මේ දැනෙනා උණුහුමට ඇය ලෝභ ය. මේ දැනෙනා පිරිමි සුවඳට ඇය ලෝභ ය. ඔහු එනවා නම් ඇය කැමති ය. නමුත් වියානා කෙනෙකු ගැන දන්නා බව ඔහු ට කියා දමන්නට ඇයට ඕන වී තිබෙන්නට ඇත. එය පළි දරන්නට යටි හිතේ වූ නිදන්ගත හා ආත්මීය ස්ත්‍රී ඇල්මක් වී නම්, දැන් ඇය එය ඉතා කුරිරු ලෙස සපුරා ගෙන තිබේ.

ගුරු පාර ළඟ දී ඔහු රිය නතර කළේ ය. සියපත් ඉදිරියේ කියා ගන්නට බොහෝ දේවල් ඇති බවක් දැනී නො දැනී යයි. පුරුදු පරිදි සදාතන තමන් තුළ ම සිය හැඟීම් ගිල ගත්තේ ය.

“තෑන්ක් යූ සර්”

රිය දොර හරිනා ගමන් සියපත් ආචාර කළා ය. ඉවත බලා ගත් සදාතන සිය පාලනයකින් තොරව නැවත ඇය වෙත හැරුණේ ය.

“සියපත්”

යුවතිය වසන්නට ගිය දොර මඳක් හැර ගෙන ඔහු දෙස බැලුවා ය. ඒ ඇස්,  ගැඹුරු ශෝක කලාපයක් සේ ඇයට පෙනිණ.

“එන්නැතුව ඉන්නෙපා. ප්ලීස්…”

සිව් නෙත් එක මත සමපාත වී තත්පර වීමක් සිදු විය. සියපත් සිහි එළවා ගත්තා ය. සපා ගෙන උන් තොල් කොන අතැර මන්ද්‍ර වූ ස්වරයකින් මිමිණුවා ය.

“මං…එනව සර්…”

රිය දොර වැසුණේ ද එය නික්ම ගියේ ද ඉතා සෙමෙනි. වංගුවේ එය නො පෙනී යන තෙක් සියපත් බලා සිටියා ය. ගින්දරට පැන අවසාන බවක් ඇයට දැනිණ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles