පිනි සේල – 20

ඊෂා ඇත්තේ හඬමින් විය යුතු ය. මලිඳු මහත් වැර වෑයමකින් ඈ සනසන්නට තැත් දරමින් සිටියේ ය. ඊෂා හඬද්දී නැළවීම අසීරු බව මම දනිමි. පෙම්වතා සමඟ කෝප වී හඬන යුවතියක නැලවීම කොහොමටත් පහසු නැත. නමුත් මලිඳු ඈ සනසන්නට යාම ගැන නොපහන් සිතුවිල්ලක් හිතට නැඟීම වැළක්වීමට මට නොහැකි විණි. ඊෂා හඬමින් සිටිනු මලිඳු දුටුවේ නම් ඔහුට මට හඬ ගසන්නට තිබුණා නොවේදැයි සිතමින් මම නෙත් කොණකින් අමෝද අයියා දෙස බැලීමි.

ඔහු සිටියේ යහපත් මුහුණකින් නොවී ය. ඉතින් ඊෂා වෙත අඩියට දෙකට යන්නට ඔහුට තත්පරයකට වඩා නොයන්නට ඇත.

“මොකද බබා අඬන්නේ..”

එතරම් සැර හඬකින් සහ පෙනුමකින් ඔහු දුටු බවක් මට මතක නැත. මලිඳු පසු බාන්නට ඒ හඬ හේතුවක් වන්නට ඇත.

“දිනුක මට බැන්න..”

ඊෂා ඉකිය අතරින් කියන්නට විණි. තම නැගණියට බැන වදින තරුණයෙකු හා පැටලෙන්නට ඕනෑම සහෝදරයෙකු දෙවරක් හිතන්නේ නැත. අමෝද අයියා දිනුක සමඟ ආරවුලක් ඇති කර ගනිතැයි අනියත බියකින් මසිත පිරී යන්නට විය. දිනුක හැමදෙනාම වෙනුවෙන් කැප වන්නෙකු විනා හිත් රිදවන්නෙකු නොවන බව මට විශ්වාස ය.

“ඔව්.. රිලේෂන්ශිප් එකක වලි යනවනෙ.. බැන්නා නම් එයා සොරි කියනකම් ඔයාට පොඩ්ඩක් ඉන්න තිබ්බා.නැත්නම් ප්‍රශ්නෙ පිනීට කියන්න තිබ්බනෙ නේද?”

අයියා සන්සුන් වන්නට යත්න දැරුව ද ඔහු සන්සුන් නැත.

“ඊෂා අඬන හින්දා අයියේ මං කතා කරේ..”

මලිඳු වහා මැදිහත් විය.

“මල්ලි.. මං හිතන් නෑ ඔයයි ඊෂායි අතර මහාලොකු යාලුකමක් තියනවා කියල. තිබ්බයි කියමු. හැබැයි ඔයා මෙතන එයාව නලවන හැටි දිනුක දැක්ක නම් මේක තව අවුල් වෙනවා. ඔයා යාලුකමට කරපු දෙයින් තව නරකක් වෙලා වැඩක් නෑනෙ…”

මලිඳු දුර්මුඛව ගියේ ය. ඔහු ඊෂාව සනසන්නට ඉදිරිපත් වන්නට ඇත්තේ යහපත් සිතිනි. නමුත් එය ගැටලුව තවත් දීර්ඝ කරන බව ද ඇත්තකි.

“පිනී.. මං යන්නං…”

මලිඳු පැවසුවේ සෙමින් ය.

“රෑට කාලා යං..”

මට එහෙම නොකියා බැරි විය. නමුත් ඔහු මා කී දෙය නැසූ කන්ව අඳුරට පැන යන්නට ගියේ ය.

“දැන් කියන්න මොකද වුණේ..”

අයියා වඩා සන්සුන් ව ඊෂාගෙන් අසද්දී ඇගේ හැඬුම් හඬ උත්සන්න විය.

“හෙට ටිකක් ඇවිදින්න යං කියලා මං දිනුකට කිව්වා..එයා කිව්වා අයියා එක්ක කරන්න වැඩ තියනවයි කියලා. ඔයාලා ආවේ ඒකලු…”

“ඉතිං ඇත්ත.. අපි ආවේ ලොකු වැඩකට. පිනී වුණත් වැඩෙන් බාගයයි තාම දන්නෙ..”

අයියා කියන්නේ පහළ මිටියාවත පුරා වැටී ඇති විදුලි එළි දෙස බලමිනි.

“මං ආසයිනෙ ඇවිදින්න. දිනුක ඇයි දැන්ම අපේ බිස්නස් වලට ඉන්වෝල් වෙන්නෙ. එයා මට ආදරේට නෙවෙයි යාලු වෙන්න ඇත්තෙ. අපේ බිස්නස් වලට කෑදරකමට..”

සන්සුන් වන්නට ගිය අයියා යළි කෝපයෙන් දැවෙන බව දුටු මම ඊෂාගේ අතකින් අල්ලා ගතිමි. ඇගේ කට වහා නවත්වා ගත යුතු ය.

“ගොං කතා කියාගෙන එන්න එපා නංගි. සල්ලිවලට තමුසෙව බැඳගන්න අර ප්‍රපෝසල් එන්නේ.දිනුක එහෙම එකෙක් නෙවෙයි කියල මං තේරුම් අරන් ඉවරයි. තමුසෙට එපා නම් ඌ අතෑරලා දානවා.හැබැයි දිගටම මගෙ බිස්නස් පාට්නර් දිනුක.ඒකෙ වෙනසක් නෑ.දැන් ඒ කොල්ලට මේකට යොදවන්න සල්ලි නෑ තමයි. ඒත් ඉස්සරහට යන්න මට ඌ ඕනෑ..තමුසෙලාගෙ අදහස් මැච් වෙන් නැත්නම් අෆෙයා එක නවත්තලා දානවා.. ඒත් කුණු කතා කියන්න එපා..”

ඊෂා හඬාගෙන ගෙතුළට යන්නට ගියා ය. ඈ පසුපස යාම පසෙකලා මම කල්පනාවට වැටුණෙමි. ඊෂාගේ මුදල්වලට කෑදරකම් ඇතිව දිනුක හැසිරෙන බවට මට කීවේ මලිඳු ය.පැයකට පමණ පසු ඊෂා ද එය පවසන්නේ කෙසේ ද? සැකයක සේයාවක් හිත වෙළා ගනිද්දී මා දැවී යන බව මට දැනිණි.

මලිඳු ඔහුගේ සැබෑ වර්ණයන් පෙන්වන්නට පටන් ගෙනදැයි මගේ සිත මගෙන් විමසන සෙයකි. ඉතා යොවුන් දැරියක කාලයේ ඔහුගේ රුවට ආසක්තව ඔහුට බැඳුණු මට ඔහුගෙන් එපිට ලෝකයක් පෙනුණේ ම නැත.නමුත් හදිසි රතු එළියක් මා ඉදිරියේ දැල්වෙන වගක් මට හැඟේ.

“පිනී…”

අමෝද අයියාගේ හඬ ගලා ආවේ ය.

“දරුවෝ.. ගිහින් ඊෂාව බලන්න ටිකක්..”

ඔහු මගේ හිසට අත තබා කීවේ ය.දැවී ගිය හද නිවෙන්නාක් බඳු ය. ඒ හැඟීමට දිය හැකි නමක් සොයමින් මම නිවස තුළට ආවෙමි.

“ඇත්තටම මලිඳු තමා පිනී එහෙම කීවේ.. ඇත්තනෙ ඒක.. මට ආදරෙයි නම් මට ආසා දේ කරනව මිසක් අයියගෙ නැට්ට වෙලා හරියනවයැ.. එයා හදන්නෙ බිස්නස් වලට රිංගා ගන්න..”

ඊෂාට මගෙන් රහස් සැඟවීම කරන්නට නොහැකි ය.ඇය මා ඇසූ පැනයට එසේ කීවේ මගේ සියලුම අනුමාන නිවැරදි කරමිනි.

අමෝද අයියා අලුත් ව්‍යාපාරයක් අරඹන්නට යන්නේ අපේ ගොවිපොළ පදනම් කරගෙන බවත් එය අප සියල්ලන්ගේම රාජකාරියක් වීමට නියමිත බවත් දේපල තන්හාවකට නොව අමෝද අයියා ඉල්ලූ ඉල්ලීම වෙනුවෙන් දිනුක කැපව ඇති බවත් ඊෂාට මහත් වැර වෑයමකින් පහදා දෙන්නට මට හැකි විණි.

“මං ගිහින් සොරි කිව්වොත් දිනුක හූ කියයිද…”

ඊෂා මුහුණ රතු කරගෙන විමසන විට මට සිනා නොවී ඉන්නට බැරි විය.

“පිස්සුනේ.. ගිහිං කතා කරපං මෝඩි…”

ඊෂා තාවර වෙමින් පිටව ගියා ය.කිසිවකට මැදිහත් නොවී පොතකට ඇස අලවාගෙන හුන් නංගි පැමිණ මා අසලින් හිඳ ගත්තා ය.

“මලිඳු අයියා ප්‍රොමිස් වෙලා.. හෙට කැලේ බලන්න එක්ක යන්න. එයා මොන මඟුලටද අනුංගෙ ඒවට ඉන්වෝල් වෙන්නෙ..”

අනතුරුව ඈ වඩා තරහ මුහුණක් මවා ගත්තා ය.

“මාත් බබෙක් නෙවෙයි අක්කා. එයා ඔයාට ලොකුවට ගණං පෙන්නන්නෙ ඔයා එයාගෙ මත්තේ මැරෙන්න යනව කියල දැනගෙන. ඒ මාන්නෙ අඩු කරන්න පුලුවං ඔයාටමයි.. අනික ඔයාට බං බොලං ගාලා ඔයාව ඩෝන්ට් කෙයා කරාට එයා කෙල්ලන්ට පැණි හලන්න රුසියෙක් වගේ..”

මට කෝපයක් දැනිණි. මලිඳු ගැන නොපහන් සිතුවිලි සිතේ එක්රැස් වෙමින් පැවතුණ ද මේවා අසා හිඳින්නට අමාරු කතා ය.

“අක්කේ.. මලිඳු අයියා සිරිමත් කෙනෙක් නෙවෙයි. එයා ඔයාව නටවන්න යන්නෙ.. හැබැයි ඔයාගේ කුමාරයා ඔයා ගාවටම ඇවිත් කියලා මට නම් පේනව. පඹයෙක් මත්තේ නැහිලා වාසනාවට පයිං ගහනව නම් ඔයා හරකියෙක්…”

ජංගම දුරකථනයට ආ පණිවිඩයකට ඇස යොමූ ඇය සමච්චල් සිනාවක් තොලෙහි රඳවා මදෙස බැලුවා ය.

“මේ බලන්නකො. ගිහිං මට මැසේජ් කරල අමෝද අයියා නිසා එයාට මාර අප්සට් ලු..අක්කා මට හිතෙන්නෙ එයා ඔයාව අවුස්සන්න මාවත් යූස් කරන්න හදන්නෙ.. කෝලං..”

මගේ හිසේ ලේ සිඳී යන වගක් මට දැනිණි. මේ වෙන දේවල් ඕනෑවටත් වැඩි ය.ඒකපාර්ශ්වික ප්‍රේමයක් රිදුමක් වූවාට කම් නැත.එහෙත් මලිඳු මා විහිලුවකට ගෙන මට රිදවන බව අසා සිටීම මහා අසීරු කාරණාවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles