ජීවනී මිස් හරි උජාරුවෙන් ඇඳගෙන එන සාරි ගන්නේ කොටුවෙන් කියලා ඉස්සෙල්ලාම ඔෆිස් එකේ කතාව පැතිරෙව්වේ සඳුනි. ජීවනී එන්න කලින් සඳුනි තමා ඔෆිස් එකේ හැඩකාරි. ලස්සන සාරි, අලුත් ඔරලෝසු, එක එක ජාතියේ සපත්තු,ලස්සන ලස්සන අත් බෑග් සඳුනි ට අඩු නැතිව තිබුණා. ඒවාගෙන් භාගෙට භාගයක් ලැබුණේ සඳුනිගේ නෑනා වැඩ කරපු කඩේකින්. ඒ කඩේ වැඩ කරන අයට සාමාන්‍ය මිලෙන් ගොඩක් අඩුවට මාසෙකට අයිතම කිහිපයක් ගන්න අවස්ථාව තිබුණා. ඉතින් සඳුනිගේ නෑනා සඳුනි ට එක එක ජාති වලින් විසිතුරු දේවල් ගෙනල්ලා දුන්නා. අනෙක් අතට සඳුනි ගේ අම්මා හිටියෙර් ඩුබායි වල. ඉතින් අම්මා සඳුනි ට මාස හයකට විතර වතාවක් අරුමෝසම් පෙට්ටියක්, දෙකක් එවනවාමයි. ඒ දෙන්නාට පින්සිද්ද වෙන්න සඳුනි ට අලුත් අලුත් විලාසිතා මවන්න පුලුවන් වුණා.
ජීවනී කොළඹ ආවේ නුවර එළියේ ඉඳලා. ජීවනී පවුලේ වැඩිමලා. බාල සහෝදරයෝ තවම පාසැල් වයසේ. අම්මයි තාත්තයි දෙන්නම කලේ කැරට් වගාව. රටේ අවිනිශ්චිතභාවය එක්ක අමම්ලා වගාවට යොදවන සමහර මුදල් එහෙමම ක්ශය වෙලා යන හැටි ජීවනී ඇස් පණාපිටම දැක්කා. ඒ හින්දාම කොළඹ ජීවිතේ වෙනුවෙන් අම්මලාගෙන් සත පහක්වත් ඉල්ලන්න ජීවනීට හිතුණේ නෑ. ඒත්, කාර්යාල ජීවිතේ ඇතුළේ තියෙන සංස්කෘතිය නඩත්තු නොකර ඉන්න ජීවනීට පිලිවන් වුනෙත් නෑ. ඒ නිසාම ජීවනී ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් හිතුවා. එතකොට තමයි ජීවනීගේ කාමර සගයා කිව්වේ කොළඹ කොටුවෙන් සෑහෙන්නම අඩු මිලට සාරි වගේම අනෙක් සුක්කුරුත්තම් වර්ග ඔක්කොම ගන්න පුලුවන් බව. මුල් පඩි කිහිපෙන් එකතු කරගත්ත මුදල් අරගෙන ජීවනී යාළුවා එක්ක ඒ පාරවල් පුරාම කරක් ගැහුවා. කොහොමටත් හැඩ කෙල්ලෙක් වුණ ජීවනීට ඕනි වුණේ පිළිවෙලට චාමෙට වැදගත් පෙනුමට ඇඳලා කරලා ඉන්න එක මිසක් , කිසිම කෙනෙක්ට තරඟයක් වෙන්නවත් කැපී පේන්නවත් නොවුණ නිසා ජීවනී එදා බෝඩිමට ආවේ හරිම සැහැල්ලුවෙන්.
සති අන්තේ ගෙදර ගිහින් සාරි හැට්ට ඔක්කොම ගලපලා මහගෙන , මල්ලිලාට ගත්තු ඇඳුම් ටිකත් දීලා තමයි ජීවනී කොළඹ ආවේ. ඒ ඇවිල්ලා මාස දෙක තුනකට පස්සේ සඳුනි මේ කතාව ඔෆිස් එකේ පතුරවන්නේ ජීවනීම සඳුනිට ඒ කතාව කිව්ව නිසා.
” ඔයා හරි නීට් එකට අඳිනවා නේ ජීවා… කොහෙන්ද අනේ සාරි ගන්නේ ? ..නුවරින්ද ..”
“හය්යෝ නෑ.. කෙල්ල… මේ ඔක්කොම කොළඹ …”
“කොළඹ මොකක්ද අප්පා ශොප් එක..?”
“එහෙම නම් දන්නේ නෑ… කොටුවේ අර තියෙන්නේ… ඒවගෙන් ගත්තේ… මගේ බෝඩිමේ සගයා තමා මුලදී පාර පෙන්නුවෙ.. දැන් නම් මම තනියෙන් යනවා…”
සඳුනි හිත ඇතුලෙන් හිනා වුනා. සඳුනි හිතුවේ ජීවනී අඳින්නේ පළඳින්නේ සුපිරි පැලැන්තියේ ඇඳුම් කඩ වලින් මිලදීගෙන කියලා. කොහොමටත් සඳුනි හිටියේම පැලැන්තිය ගැන හීන මානෙන්.
ජීවනී කොටුවෙන් සාරි ගන්නවා කියලා ඔෆිස් එකේ කතා වෙන බව ජීවනීට කිව්වේ මල්ලිකා ඇන්ටි. එයා තමයි ඔෆිස් එකෙ අයට තේ හදන්නේ.
“ඉතින් අපිට මොකද මල්ලිකා ඇන්ටි… මට දැනට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් ඒ ගාන නිසයි, මම ඊට ගැලපෙන විදියේ තැන් හොයාගත්තේ.. දැන් මම මේ පටන් අරගෙන තියෙන ඔන්ලයින් බිස්නස් එක හරියාගෙන ඇවිල්ලා මගේ මාසේ ආදායම වැඩි උනොත් එහෙම මම සමහරවිට ඇඳුම් වලට මීට වඩා වියදම් කරයි… හැබැයි එහෙමයි කියලා කොටුවෙන් ඇඳුම් ගන්න පැලැන්තිය පහල, සුපිරි පැළැන්තියේ වෙන්න නම් මෙන්න මෙතනින්ම ගන්න ඕනි කියලා හිතන්න තරම් නම් මම මෝඩ වෙන්නේ නෑ… ඔක්කොටම වඩා වටින්නේ අපි සැටිස්ෆයි වෙන එක…
ආයේ සඳුනි මිස් මල්ලිකා ඇන්ටිට ආයේ ඕවා කියාගෙන ආවොත් එහෙම කියන්න..හොඳේ…”
ජීවනී හිනා වෙවී කිව්වම, මල්ලිකා ඇන්ටිට ජීවනීගේ ජීවිතේ ගැන හරියට ආදරේ හිතුණා. තමන්ගේ දරුවෙක් ගානට ලෝබ හිතුණා. සෝබනේට ජීවත් වෙන සඳුනි මිස්ලා අතරේ ජීවනී මිස්ලා ආශ්රේට ලැබෙන එකම කොච්චරක් වාසනාවක්ද හිත හිතා ජීවනීගේ කෝප්පෙට වෙනදාට වඩා කිරි කෝපි වත් කලා.
| අපේක්ෂා ගුණරත්න |