සියක් සියපත් 32

සියපත් හදවතින් දෙදරා ගියා ය. හදවතින් බිඳී ගියා ය. හැම සෛලයකට ම අභ්‍යන්තර ලේ වහනයක් සිදු වූවා සේ අප්‍රාණික වූවා ය. සුදු මැළි වූවා ය. හුස්ම ගැනීමෙනුත් පෙනහලු වල ගර්ථ බිත්ති බිඳී යාවියි සිතෙනා තරම් හෙමිහිට ඇය හුස්ම ගත්තා ය. 

පංකජී සිටිනා වයසේ දී ගන්නා තීරණ වල බරපතලකම සියපත් සේ ම ශාන්ත හා සුජීවා ද දැන සිටියහ. සියපත් උසස් පෙළ කරත්දී ඇගේ වයසේ දැරියක දිවි නසා ගත්තා ය..ඒ ගෙදරින් ඇගේ ප්‍රේම සම්බන්ධයට එල්ල වූ බාධක නිසා ය. සියපත් ගේ පන්තියේ දැරියක අඩු වයස් පෙම්වතා සමග රහසේ පැන ගියා ය. යමක් කමක් ඇති පවුලක සැපට හැදුණ දැරියක වූ ඇය, රැකියාවක් හෝ නො කරන ඒ ලා බාල තරුණයා සමග ගොස් ඔහු ගේ ගෙදර දුක් විඳිනා හැටි සියපත් ඇස් දෙකට ම දුටුවා ය. පංකජී ට එහෙම වරදිනවා දකින්නට ඔවුන්ට හැකි වූයේ නැත. දැනටමත් ඇය දිවි නසා ගන්නා බවට තර්ජනය කොට තිබේ. අනතුරු ඇඟවීමක් සිදු කොට තිබේ. ඒ නිසා මේ ව්‍යසනයට අත තැබිය යුත්තේ ප්‍රවේසමට යයි අම්මාත් තාත්තාත් ලොකු දුවත් නිහඬ සම්මුතියකට ආවා සේ ය. 

පංකජී ගෙදර අය සමග වැඩි කතාවකට ආවේ නැත. ඇය සිය පාඩම් වැඩ අතපසු කර ගන්නා බවක් ද නො පෙනිණ. වෙනදාටත් වැඩිය වෙහෙස වෙමින් ද රෑ නිදි වරමින් ද ඇය පාඩ් කළා ය. නො වරදවා පාසල් ද ගියා ය. උපකාරක පන්ති වලට ගියා ය. පංකජී පාසල් ගොස් ගෙදර එන වෙලාවට සුජීවා ගෙදර ආවා ය. ඇය පන්ති නිම වන වෙලාවල් අල්ලා පන්ති ළඟට ගොස් ඇය සමග ගෙදර ආවා ය. සුජීවා නැවත කඩයට ගියේ සියපත් ගෙදර පැමිණි පසු ය. 

මදිරා ද සදාතන ද වියානා ද සනාතන ද හැකි හැම විට ම සියපත් ගේ හිත හැදූහ. කලබල ඇති නොකොට පංකජී ට ප්‍රශ්නය තේරුම් ගන්නට ඉඩ දෙන ලෙස පැවසූහ. නමුත් ඇය සිටියේ බියෙනි. හැම මොහොතක ම පපුවේ පත්තු වන ගින්දරකිනි.

“නංගි මෝඩ ළමයෙක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. සමහර විට සුපුන් ඔයාගෙන් පලි ගන්න චාටුව දාල නංගිව යාළු කර ගන්න ඇති. හැබැයි නංගිට තේරෙන්නැති වෙන්න බෑනෙ මිනිහ මොකාටද එන්න හදන්නෙ කියල. ඔය වයසෙ ළමයි එක්ස්පීරියන්සස් ගන්න කැමතිනෙ. හැබැයි මෝඩ නැති ළමයෙක් ඉක්මනට ඕන දෙයක් තේරුං ගන්නව. නංගිත් එහෙම තේරුං ගනී. ඔයා බය නැතුව ඉන්න”

එක හවසක සියපත් ව ගෙදර කැටිව එන ගමන් සදාතන ඇගේ හිස් මුදුන පිරිමැද කීවේ ය. දුක අතරින් ඇය ඔහු ගේ මුහුණ දෙස බලා මන්දස්මිතයක් පෑවා ය. 

“ඔයාට දැනටම එපා වෙලා ඇති”

ඒ සිනහව අතරින් ම කීවාට සියපත් ට දැනුණේ ඇය ඇතුළාන්තයෙන් හඬනවා වාගේ ය. සදාතන ක්ෂණික තීරණයක් ගෙන දෙහිවල පාරට රිය හැරවී ය. යන්නේ කොහේ දැයි සියපත් ඇසුවේ නැත. ඔහු ළඟට වී ජීවිතයේ ඈ විඳි අපමණ පිරිපත ගැන කියා කඳුළක් හෙළනා උවමනාවක් සියපත් ට ද තදින් දැනෙමින් තිබිණ. වාහන තදබදය අතරේ වී ද ඔහු ඇගේ සුරත සිය වමතින් ගෙන උකුල මතින් තබා ගත්තේ ය. 

“ඔය සුපුන් කියන එකාව මග තොටකදි හරි දැක්කොත් හප්පල දානව කියල හිතෙන තරං කේන්තියක මං ඉන්නෙ. එදා ඕගොල්ලොංගෙ තාත්තට මං කිව්ව පොලිස්සියෙ කම්ප්ලේන් කරමු කියල. මුං වගේ දේවදත්තල අතරෙ ඉඳං බුදු වෙන්න පෙරුම් පුරන්න බෑ සියපත්”

ඇය හෙමිහිට ලං ව ඔහු ගේ උරහිස මත ලවන් තැබුවා ය. මිය යමින් සිටි ස්නායු තන්තු දහස් ගණනක් තිගැස්සී පණ ලැබුවා සේ දැනෙන තරමට රස නහර සුසර වූයේ ය.

“දුප්පත් ගෙදරක ඉපදුණ හිඟන කෙල්ලෙක් නිසා මි නී ම රුවෙක් වෙන්න හදන්නෙපා ඉතිං. ඔයාට තේරෙනව නේද මගෙයි වියානා ගෙයි වෙනස. ආදරේ කියන්නෙ හැඟීමක් විතරයි. දෙන්නෙක්ට එකතු වෙන්න ඒ හැඟීම ඕන වුණාට ප්‍රමාණවත් නෑ. කසාද සහතිකේක අත්සන් කරන්නෙ දෙන්නෙක් වුණාට එතනදි බැඳෙන්නෙ දෙන්නෙක් විතරක් නෙවෙයි. පවුල් දෙකක්. අනිත් දේවල් කොහොම වුණත්..ඔයාලගෙ ෆැමිලි එකට වඩා ඈතකින් ඉන්න අහිංසක පවුලක් අපි. අපිට තියන ප්‍රශ්න ගැන සමහර විට ඕගොල්ලොන්ට හිතා ගන්නත් බෑ. ඔයා පව්. ඔයාගෙ තාත්ත ඔයාට හොයල තියෙන්නෙ හැම අතින්ම ගැලපෙන ගෑනු ළමයෙක්..ඔයා මං නිසා ප්‍රශ්න වල පැටලෙන්නනං හදන්නෙපා”

රිය නතර වූයේ වෙරළාශ්‍රත ගුරු පාරක කෙළවරකට වන්නට, මුහුදට මුහුණ ලා ය. 

“නංගි කියන්නෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරන වස්තුවක් අයියෙ. එයා චූටි බබෙක් විදිහට මුලින්ම ගෙදරට ගෙනාපු දවසත් මට තාම මතකයි. එදා මං එයා හිටපු තැනිං හෙල්ලුණේවත් නෑ. මාත් චූටි ළමයෙක් වුණාට කවදාවත් මට නංගි ගැන ඊරිසියා හිතිල නෑ. එයාට දෙන්න බැරි දෙයක් තිබිල නෑ. පොඩි කාලෙත් එයා මුරණ්ඩුයි. අම්මල අමාරුවෙන් අරං දෙන පැන්සලක් වුණත් ඔහේ නැති කර ගෙන ඇවිත් ආයෙ එකක් ඉල්ලනව. ඒ ඉල්ලනකොට එයාට ඕනෙමයි. මං පොඩි වුණාට දන්නව පැන්සලක් ගන්න වුණත් තාත්තට කොච්චර අමාරුද කියල. ඉතිං මං මගෙ පැන්සල එයාට දීල කොට කෑල්ලක් හොයං අමාරුවෙන් ලියනව. අපි ලොකු ළමයි වුණාමත් සිංහල අවුරුද්දට වුණත් මං අම්මලට කියන්නෙ මට අලුත් ඇඳුං එපා නංගිට විතරක් අරං දෙමු කියල. කෑමක් හම්බුණත් බාගෙ බාගෙ අපිට දුන්නට මගෙ බාගෙනුත් බාගෙකට වඩා මං නංගිට දෙනව. එයා වෙනුවෙන් මොනාද මට කරන්න බැරි වුණේ. මං කියන්නෙ ඔය ජරා මිනිහගෙන් අයින් වෙන්න කියල විතරයිනෙ අයියෙ. ඒ ජරා යකා දැනටම නංගිට මොනා කරලද දන්නෑ කියල හිතෙනකොට…මට මට…”

“සියපත්”

සදාතන සියපත් ගේ උරහිස වටා අතක් දමා ඇයව සිය සිරුර ට ලං කොට ගත්තේ ය. සීතලට රූරා ගිය කඳුළක් ඔහු ගේ කමිස උරහිසක හැංගී ගියේ ය.

“දැං අම්ම ක්ලාසස් ළඟටත් යනවනං…නංගි ගොඩක් දුරට පරිස්සංනෙ. අනික එයා ස්ටඩීස් නිග්ලෙක්ට් කරගන්න පාටක් පේන්නෑ කියල ඔයාම කියනවනෙ. ඉතිං අපි බලමු..ම්…සමහර දේවල් තියනව සියපත්…කොහොමත් අපිට පාලනය කරන්න බැරි. මං හිතන්නෑ නංගි මේ දේවල් ගැන නොහිතනව කියල. පුළුවන් තරං වෙනසක් නැතුව එයාට ආදරෙන් ඉන්න. ම්…”

“මට බය…මං නිසා ඔය ජරා සතා මැරුං කෑවොත් ඔයත් මගෙ ජීවිතේට ඇවිත් අපරාදෙ කරදර වෙනව නේද කියලයි”

ඇය ඒ හැන්දෑ තත්පර ගෙවී යන එක ගැන ලෝභ වූවා ය. කහවණුගොඩ මැදුරේ දී උදේ හවා හමු වී ද ඇයට සදාතන එක්ක හුදෙකලා විය හැක්කේ එක විනාඩියකට දෙකකට පමණකි. එද වියානා ගෙදර සිටින වෙලාවට සියපත් පුංචි අත් වැරදීමකට වුව ඉඩ නො තැබුවා ය. වියානා හිටියේ යමක් ඉව කරමින් ද කියා ඇයට සිතුණ බැවිනි. 

බටහිර අහස රක්ත වර්ණ සිතුවම් ඇඳ හිරු බැස ගියාට පස්සේ සියපත් ගෙදර යන්නට රියට නැග ගත්තේ තත්පර තව ටිකක් දිගු වූවා නම් යන පසු තැවීමෙනි. අතර මගක දී වෙළෙඳ සැලකින් ඇය පළතුරු වර්ග කිහිපයක් හා ස්නැක් වර්ග කිහිපයක් ම මිල දී ගත්තා ය. ඒ පංකජී වෙනුවෙනි. රෑ වන තුරු පාඩම් කරත්දී ඇයට කන්නට පසු ගිය කාලයේ සියපත් පළතුරු කපා තැබුවා ය. රටකජු හෝ මුරුක්කු වර්ග ගෙන ගොස් තැබුවා ය. නින්දෙන් අවදි වෙන වෙලාවක ඉක්මනින් ඇඳෙන් බැස ගොස් තේ එකක් සාදා ගෙනැවිත් දුන්නා ය. නමුත් පසු ගිය දින කිහිපය පුරා ඇය නංගී දෙස ඇහැක් ඇර බැලුවේ නැත. ඒ තරහකට වඩා දරා ගත නො හැකි වේදනාව හින්දා ය. පංකජී සමග කතා නො කළ ද ඇය බෑග් එක පාඩම් කරන මේසය මත තැබුවා ය. 

පහු ගිය දින වල පාඩම් කළ ද පංකජී කෑම බීම ගැන නො සෙව්වා ය. අක්කා අවදි වී තේ එකක් සාදා නොදුන්න ද ඇයට ඒ ගැන තරහා ගියේ නැත. කුස්සියට ගොස් කන්නට තියෙන්නේ මොනවා දැයි හොයා බලන්නට හෝ තේ එකක් හදා ගෙන බොන්නට හෝ උනන්දුවක් වූයේ ද නැත. ගෙදර හැම කෙනෙකු ම ගව් ගණනකින් දුරස් වී ඇතිවා සේ ඇයට දැනිණ. නමුත් පංකජී ඒවා ගැන නො සිතා සිටියා ය.

මේසය මත වූ බෑග් එකට අත දමා ඇපල් ගෙඩියක් ගත් ඇයට හැඬුම් ආවේ ය. උගුර රිදී නාස් පුඬු දැවිල්ල ගෙන උණු කඳුළු ඇස් රිදෙව්වේ ය. අක්කා වෙනදාට පළතුරු සෝදා තබන්නී ය. ආදරය පළුදු වූ විට හදවතට දැනෙනවා වැඩි ය. පංකජී මුළුතැන්ගෙයි පයිප්පයෙන් ඇපල් ගෙඩිය සෝදා ගෙන විත් ‘ජරස්’ ගා හැපුවා ය. ඇඳ පාමුල බිම හිඳ ගෙන සියපත් ගේ පාද යන්තම් ඇල්ලුවා ය. ඇය අවදි වේවියි තිගැස්සී අත ඉවතට ඇද ගත්තා ය. නමුත් සියපත් ට අහැරිණ. එසැනෙන් ඕ ඇඳෙන් බැස්සා ය. කුස්සිය දෙසට යන්න යන්නේ තේ හදන්නට බව පංකජී වහා හැඳින්නා ය.

“අක්කෙ”

දින ගණනාවකට පස්සේ ඇය ඒ නම කියා සියපත් ඇමතුවා ය. 

“තේ හදන්න ඕන්නෑ. ඔයා නිදියන්න”

සියපත් මොහොතකට නතර වී, හැරී නැගණිය දෙස බලා සිටියා ය. ඊළඟට නිහඬ ව මුළුතැන්ගෙට ගොස් හීටර් ජෝගුව පේනුගත කළා ය. මෝල්ටඩ් මිල්ක් සහ සීනි කෝප්පයට දමත්දී පංකජී හොර බැළලක සේ එහි ආවා ය. සියපත් හිතා මතා ම නො බලා සිටියා ය. මෝල්ටඩ් මිල්ක් සුවඳ පැතිරුණි.

“අක්කෙ”

පංකජී කෙඳිරි ගෑවා ය. 

“මාත් එක්ක තරහ නෑ නේද…මට ඔයා එක්ක තරහ වෙලා ඉන්න බෑ අක්කෙ”

උනුන් වැළඳ ගත්තේ ඉකිබිඳුම් සර දෙකක් එකට මුහු වෙත්දී ය. දවස් ගාණක් තිස්සේ දෙන්නා ම හිර කර ගෙන උන් කඳුළු රහසක් නැතිව පිට වී ගියේ ය. සියපත් මුනිවතින් ම ඇඳට වැටුණා ය. පංකජී තවත් රෑ වන තුරු හිතේ බරක් නැතිව පාඩම් කළා ය.

වියානා සිටින්නේ යමක් ඉව කරමින් කියා සියපත් ට සිතුණ සිතිවිල්ල නිවැරදි ය. ඇය යමක් ඉව කරමින් සිටියා ය. එසේ ම යම් කිසි ඉවක් වැටී ද තිබිණ. එය තහවුරු කොට ගන්නට ඇයට ඕනෑ වූයේ ය. ඒ සඳහා ඇය සියපත් කහවණුගොඩ මැදුරේ නොවන රාත්‍රියක් තෝරා ගත්තා ය. මදිරා සමගින් එක් වී විවාහ උත්සවයකට අවශ්‍ය අංගෝපාංග තෝරනවා කියා ඉඳහිට රැයක් වියානා මෙහි නතර වන්නී ය. සැබවින් ඔවුන් දෙදෙනා එක් ව අන්තර්ජාලයේ සැරිසරමින් මංගල ඇරයුම් පත් තෝරති. කේක් පෙට්ටි තෝරති. කේක් සැරසිලි බලති. සාරි හා ගවුම් මෝස්තර බලති. මල් සැරසිලි හා නිර්මාණශීලී ඡායාරූප ශිල්පීන් ගැන පවා සොයති. නමුත් තවමත් ඔවුන් දෙදෙනා ම විවාහයකට සූදානම් වී සිටියේ නැත.

සියපත් ව ගෙදර බස්වා පැමිණියාට පසු සදාතන සොයා වියානා මතු මහලට ගියා ය. සදාතන උත්සාහ කළේ වියානා මගහැර යන්නට ය. නමුත් ඇය ඉස්සර වූවා ය.

“මං දන්නව”

සදාතන ‘මොකද්ද’ යන ප්‍රශ්නය වචන වලින් ඇසුවේ නැත. නමුත් ඔහු නතර වූයේ ඇස් වල ඒ ප්‍රශ්නය තියාගෙන ය.

“සියපත්ට ආදරෙයි කියල”

කුමක් පවසන්න දැයි සදාතන ට සිතා ගත හැකි වූයේ නැත.

“මං ජෙලස් නෑ හරිද..”

ඇය නෝක්කාඩු හුරතලයක් පෑවා ය. 

“මං දන්නව මට වඩා එයාට ආදරේ හිතෙනෝ කියල”

සදාතන තව තවත් අසරණ වෙමින් සිටියේ ය.

“අපිට තව වැඩි දවසක් මේ ප්‍රශ්නෙං හැංගිල ඉන්න බෑ නේද…අපි මේකට ෆේස් කරන්න විදිහක් හිතමුද…අයි මීන්…අපේ තාත්තිට මේක තේරුං කරන්න විදිහක්…”

“ඔයා ඇත්තටම මේක තේරුං අරංද ඉන්නෙ වියානා…”

ඇය හිස සැළුවේ සැබවින් ම මිත්‍රශීලී සිනහවකිනි.

“වෙන කෙල්ලෙක්ව හිතේ උඩිංම තියං ඉන්න කෙනෙක්ව මැරි කරන්න මට පිස්සු නෑ”

“එහෙනං ඔය හැම දේකටම කලින් මට උදව්වක් කරන්න පුළුවන්ද…සියපත් වෙනුවෙන්…”

“උදව්වක්…කරන්නං. මොකද්ද..”

සදාතන ගේ මුහුණ මත ලස්සන සිනහවක් ඇඳිණි. ඒ ඇස් අස්සේ වියානා දුටුවේ සියපත් ව ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles