මල් තුහින – 37

“මං ඔයාගෙන් අහන ප්‍රශ්නෙ අන්තිම අසාධාරණයි ද කියන්න මම දන්නෙ නෑ. ඒ වුණාට මේ ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්නත් බෑ.”

තුහින එසේ කියද්දී රුවිනි කිසිම කැළඹීමක් නැතුව අසා සිටියා ය. ජීවිතය තුළ සිදුවූ සමහර දේවල් නිසා දරුණු රෝගයක් සම්බන්ධ වෛද්‍ය විනිශ්චයක් ලැබුණද දරා හිඳින්නට තරම් ශක්තියක් ඇය තුළ වේ.

“ඔයාලා දෙන්නා ගහයි පොත්තයි වගේ ඇලිලා ඉන්න නිසයි අහන්නෙ.”

තුහින එසේ කියා සමාව අයදින බැල්මක් හෙළුවේ ය.

“ආදරේ කරන්න තීරණය කරන එක පහසුයි. කෙනෙක්ව කසාද බඳිනවා කියලා තීරණේකට එන්නත් පහසුයි. ඒත් අවුරුදු කීපයක් තිස්සෙ එකට ජීවත් වුණු කෙනාව අත් අරින එක පහසු තීරණයක් නෙවෙයි. සමාජ බලපෑම් පැත්තකින් තියමුකෝ. මොන තරම් පීඩා ඇති වුණත්  මොන තරම් විඳෙව්වත් ජීවිතේට ඇලිලා ඉන්න කෙනෙක්ව ගලවා ගන්න එක අපිටම කරන්න ටිකක් අමාරු දෙයක්. බ්‍රේකප් එකකටත් වඩා ඩිවෝස් වෙන තීරණේ අමාරුයි. මට ඇත්තටම තේරෙන් නෑ මලිති වගේ සියුමැලි කෙල්ලෙක් එහෙම තීරණයක් ගන්න හිත හදා ගත්තෙ කොහොමද කියලා.”

තුහින එසේ කියද්දී ඉන්නා තැන ගැන ද සැලකීමක් නැතිව රුවිනි උස් හඬින් හිනැහුණා ය. ඇය සිසිල් බීම වීදුරුවෙන් උගුරක් බී උත්තර දෙන්නට තරමක කාලයක් ගත්තා ය. සැබෑවටම තුහින ඇසුවේ ප්‍රශ්නයෙන් අඩක් බව ඇය දනී. හොඳින් පාඩම් කළ පසු සමහර විභාග ප්‍රශ්න අඩක් කියවීම සෑහුණු බව අද ගන්නා කාලයේදී ඇය දැන සිටියා ය. මේ නැගෙන්නේද එවැනි ප්‍රශ්නයකි. මුල් අදියරේදී ම මුළු ප්‍රශ්නයටම පිළිතුර රුවිනි දැන සිටියා ය.

“ජීවිතේ විඳවන්න ගත්තට පස්සේ අපි කාලයක් යනකම් ඒ විඳවිල්ලට පුරුදු වෙනවා තුහින. සමහර වෙලාවට ලෙඩක් සනීප වුණාමත් හිස්කමක් එන්නේ. අර පරණ ජනකතාවක් තියෙන්නේ ගමරාලගෙන් ගුටි කාලා කාලා ගමරාල මැරුණට පස්සෙ වංගෙඩියෙන් ගුටි ගහගත්තු ගම මහගෙ කෙනෙක් ගැන. අන්න ඒ වගේ. සමහරු දුකම කොයි තරම් මිහිරක් ද කියලා ඒක විඳින්න පටන් ගන්නවා. ඒ වගේම දුක සතුටක් කරගන්න අයටයි දුක දුකක් කියලා තේරුම් ගන්න අයටයි කාටත් කාලයක් යනකොට ඒ දුකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා. එතකොට තමන් සියුමැලිද තමන් නිර්භීත ද කියන දේ ඒ හැටි වැදගත් නෑ. වැදගත් වෙන්නේ තමන් ඉන්න අපායෙන් මිදෙන එක විතරමයි.”

රුවිනි එසේ පවසා හුස්මක් ගනිද්දී තුහින ප්‍රශ්නයේ ඉතිරි කොටස අසන්නට සැරසෙන බව ඇයට පෙනිණ. ඇය එයට ඉඩ නොතබා පිළිතුරු දෙන්නට සිතුවා ය.

“මෙහෙමයි තුහින, මලී සියුමැලී තමා. ඒත් එයා නවීන්ගෙන් අයින් වෙන තීරණේට ආවේ තනියම. ඒ තීරණේ ගන්න මම සම්බන්ධ නෑ. මං පැතුම්ගෙන් අයින් වුණු එක එයා පාඩමක් කරගත්ත කියලා මං හිතන්නෙත් නෑ. මම කරන ස්ටයිල් එකක් කරන එක, මං වගේ අඳින එක යාලුවෙක් හැටියට එයා ඉමිටේට් කරන්න පුලුවං. ජීවිතේ ගැන තීරණයක් ගන්න එක වෙන කාවවත් අනුකරණය කරලා කරන්න තරම් මලී මෝඩියක් නෙවෙයි. මේ එයාගේ තීරණයක්. එයාට ඒ තීරණය ගන්න හේතු උනේ ඇයි කියලා ඔයා එයාගෙන්ම අහගන්න. හොදම යාලුවගෙ වුණත් පර්සනල් දේවල් තව කෙනෙක් එක්ක බෙදා ගන්න මම කැමති නෑ.”

තුහින මඳහසක් හෙළී ය. රුවිනිට ඇත්තේ සෘජු කතාවකි. ඔහු ඒ කතාව ප්‍රිය කළේ ය.

“හැබැයි විඳවන්නෙ නැතුව තීරණ ගන්න කියලා මං එයාට කියලා තියනවා. ඒත් එම තීරණයක් ගන්න හයිය දුන්නේ මම ද කියලා ප්‍රශ්නයක් ඔයා වගේ මනුස්සයෙක්ගෙන් ආපු එක මට පුදුමයි. මං කවදහරි රංගනීනම් එහෙම එකක් අහයි කියලා හිතුවා.”

රුවිනි එසේ කියා හිනැහෙද්දී තුහින ඇගේ සිනාවට එක් වූයේ ය. එය පහසුවෙන් සිනාසිය හැකි විහිලුවක්ද නොවේ. ඔහුට ඔහු ගැන ලැජ්ජාවක් ඉපදිණ.

“මං හිතන්නෙ මලීට හිත හදා ගන්න කාලයක් යයි. ඒ වගේම කාලයක් ඔයාටත් යයි කියලා මම හිතෙනවා. ඉස්කෝලේ කාලෙදි ඔයාට ආදරේ කළානම් මේ දේවල් මෙහෙම වෙන් නෑ වගේ ඒවා හිතන්නවත් එපා. සමහර වෙලාවට ඉරණමට චැලේන්ජ් කරන්න අපිට ඇත්තටම බෑ තුහින. ඇත්තටම අපිට එහෙම කරන්න බෑ.”

කළ යුතු වන්නේ මෙතනින් එහා ජීවිතයක් ඇරඹීම මිස,නව යොවුන් වියේ මඟ හැරුනු දේ  ගැන සිතමින් ළතැවීම නොවන බව තුහිනට ද සිතේ. මලිති ඇගේ වේදනාවෙන් මිදුණු පසු ඔහුට වඩා හොඳ සහකාරයෙකු සොයා ගන්නට ද ඉඩ තිබේ. ඇතැම් විට ඊට වඩා සුදුසු කෙනෙකු ජීවිතයේ ඇවිද යද්දී ඔහුට ද හමුවිය හැකි ය.

කළ යුතු වැදගත්ම දේට ප්‍රමුඛතාවය දෙන්නට තුහින සිතා ගත්තේ ය. ඔහුට වාගේම මලිතිට ද විසඳා ගන්නට මහා විශාල ගැටළුවක් වේ. ඉන් මිදීම අංක එක විය යුතුම වේ.

“මං මලීට ආදරේ බව කිව්වා. එයා ඒක ගැන හිතන්න කාලයක් ගත්ත. ආයේ ආයෙම එයාට මං ඒ ගැන කියලා වදයක් වෙන්න අදහසක් නෑ.”

තුහින රුවිනිට එසේ පැවසුවේ පොරොන්දුවක් දෙන ස්වරයකිනි. පිරිමින්ගේ පොරොන්දු ගැන මැදහත් සිතින් බලන්නට කැමති රුවිනි හිනැහෙන්නට පමණක් තීරණය කළා ය.

පොරොන්දු ඕනෑම මොහොතක බිඳී යා හැකි ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles