දවස් ගෙවුණේ හුලඟක් මෙන් ඉක්මනිනි.
දික්කසාදය සඳහා අවශ්‍ය කරන නිති සහය ලබා ගැනීමට කැළුමිණීට උදව් කලේ අරවින්ද සූරියබණ්ඩාර ය.
“දන්න කෙනෙක් ඉන්නව මම ඉන්න එෆ් බී ගෘප් එකක. එයාගෙනුත් ඕන නම් අහන්න පුලුවන්” කියා කැළුමිණී කිව්වේ අරවින්දට කරදර කරන්නට ඇති අකමැත්ත නිසාවෙනි. එහෙත් අරවින්ද නම් උන්නේ සතුටකිනි. තමා ආදරය කරන තරුණිය වෙනුවෙන් එහෙමවත් දෙයක් කරන්නට ලැබීම ගැන හිත ඇතුලේ පැලපදියම් වූ සතුටකිනි.
“ඒ උනාට ඔය වගේ පර්සනල් වැඩකදි එහෙම කෙනෙක්ව ගන්න එපා. හිතවත් කෙනෙක් ළඟට යන එක හොඳයි. ඔයා දන්නවනෙ මිනිස්සු ඉතින් ගෑණියෙක් අසරන වුණ වෙලාවක වැරදි විදියට ඒවයින් ප්‍රයෝජන ගන්න හදනවනෙ.
හසිතානිව මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳල දන්නව. ඒ නිසා මට ඒ ගැන බයක් නෑ. අනික ඇත්තම දක්ෂ ලෝයර් ල්කෙනෙක්. ඒකමයි මම එයාටම කතා කරේ. මගේ කසින් කෙනෙක්ගෙ ඩිවෝස් එකකදිත් හසිතා තමයි උදව් කරේ සෑහෙන්නම”
අරවින්ද එසේ කියමින් පබෝධා ගෙනවිත් තිබූ හැලප පිඟානෙන් හැලපයක් අතට ගත්තේය. තිදෙනා වාඩි වී උන්නේ පබෝධාගේ නිවසේ කඳු වෙත මුහුන පා සකසා තිබූ ඉස්තෝප්පුවේය. හැන්දෑව නිසාමත් නොවේ කොහොමටත් දෙණියායට උරුම සනීපදායක සිහිලස ඒ මොහොතේත් එහි කරකැවෙමින් තිබුනි. ඈත පේන කඳු යායට එපිටින් බැස යන හිරුගේ රැස් කදම්බයන් එන්සල්වත්තට වැටී තිබුණ අතර ඒ රන්මය සුන්දරත්වයෙන් කැළුමිණී නැහැවී ගොස් තිබෙන අයුරු නෙත පුරාත් හිත පුරාත් දැකගන්නට පබෝධා බාධාවක් බව අරවින්දට සිතුනේ නිකමටය.
ඒ මොහොත රසවත් කරන්න මෙන් පෑහුන කහට කෝප්පයත් හැලප පිඟානත් තිබුනේ ඉස්තොප්පුවේ වූ ලී බංකුව මතය.
“ඒ උනාට අපිට උදව් කරන්න ගිහින් මොකක් හරි ප්‍රශ්නෙකට මූන දෙන්න වෙයිද දන්නෙ නෑනෙ” කියා මද පසුතැවිල්ලක් තැවරුණ සිනහවකින් මුව සරසාගත් කැළුමීනී තම නියගින් හැලපය ඔතා තිබූ කැන්ද කොලය දිග හරින්නට විය.
“කාටද?” ඒ මොහොතේ අරවින්දගේ මුව අග රැව්දෙමින් තිබුනේ කුතුහලයට වඩා ප්‍රේමයට බර සිනහවකි. ඒ සිනහව දෙතොල් අග සැලි සැලී තිබෙද්දී අරවින්දගේ හී සර වන් දෙනෙත් පහරින් මිදෙන්නට මෙන් කැළුමිනී බිම බලාගත්තාය.
“සර්ට”
ඔහුව ඇමතිය යුත්තෙ කෙලෙසකද යන පැනය කැළුමිණීට නොතිබුනා නොවේ. අරවින්ද කියන්නද, මිස්ට සූරියබන්ඩාර කියන්නද, නොඑසේනම් නැන්දා මෙන්ම මහත්තය කියන්නද කියා සිත තුල පැනයක් පෙරලි කරමින් උන් බව ඇත්තකි. එහෙත් ඒ සියල් ආමන්ත්‍රන වලට වඩා සර් යන්න තමාට මෙන්ම ඔහුටද පහසුවක් වනු ඇතැයි සිතා කැළුමිණී අවසානයට සිතුවාය.
“මට ඉතින් මොකද්ද වෙන කරදරේ?” කියමින් අරවින්ද අත දිගු කලේ දෙවනි හැලපයට ය.
“මාත් මේ නොකිව්වට ඕකම හිතුවා මහත්තයො. අන්තිමේ අපි හන්දා මහත්තයට මක්ක හරි ප්‍රශ්නෙකට මූන දෙන්න වෙයි ද කියල”
පබෝධා එය කිව්වේ යටහත් පහත් සිනහවකින් මුව සරසාගෙනය.
“මිනිස්සුන්ට ඉතින් කරදර නේන්නම් වෙන්නෙ. දැන් එහෙම නම් පේ ගෙවල්වල දාන තියෙද්දි ඇවිල්ල උදව් පදව් කරන එක, මට රෑ කෑම මෙහෙන් එවන එක වගේ දේවල් උනත් මිනිස්සුන්ට කතා හදන්න කාරනා වෙන්න එපාය.
ඕකනෙ ඔය පබෝධා මිස් කියන්නෙ නේද? මට නම් කවුරු මොනව කිව්වත් කමක් නෑ. මම දන්නවනෙ මම වරදක් කරේ නැති බව. ඒ උනාට ඔන්න මං මෙහෙ එන එකෙන් ඔයාලට කරදරයක් වෙනවනම් මම නෑවිත් ඉන්නම්.
ඒ ඇරෙන්න මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මේ උදව්වක් කරන එක. අනික මේක උදව්වක් කියල හිතන්න එපා. අපි නොදන්න මිනිස්සු නෙවෙයිනේ”
හිඳගෙන උන් තැනින් නැගිට ගත් අරවින්ද එසේ කිව්වේ ඈත පේන කඳු පංතිය දිහා බලාගෙනය. හිත අස්සේ මොන මොනවා තිබුනද තමා මේ මොහොතේ මේ ගැහැණුන් දෙදෙනාට උදව් කරන්නේ සැබෑම මනුසත්කම නිසා බව දන්නේ තමා පමනකි. ඒ නිසාම පබෝධාත් කැළුමිනීත් කියන්නට තනන කාරණාව තේරුම් ගන්නට අපහසුවක් නැත. අනෙක් අතට විවාහයෙන් මිදී ආ ගැබ්බර තරුණියක සමග වෙනත් පිරිමියෙකු කතා බහ කරමින් හිඳීම පවා මහා ගින්නක් අවුලුවන්නට හේතුවක් වන බව අරවින්ද නොදන්නවා නොවේ.
මේ ගමකි. තමා මේ ගෙවුනු අවුරුදු ගනනාවක්ම මෙහි වාසය කරද, කෙතරම් මිනිසුන්ට උදව් පදව් කරද පදයක් හදන්නට අවස්තාව ආ කල මිනිසුන් තවත් මිනිසෙකුගේ සියල් හොඳ අමතක කරන බව නොදන්නවා නොවේ.
ප්‍රභාත් උන්නේ සිතෙන් කැළුමිනීට සාප කරමිනි. ඒ තමාව රවටා විවාහ කරගැනීම මෙන්ම තමා බීමත්ව ආ මොහොතක තමාව දපනේ දමා ගෙන දරුවෙකු හදා ගැනීම ගැනය. අමීෂා එය සුලු කොට භාරගත්තද ප්‍රභාත්ට පහසුවෙන් එය සිතෙන් මුදවා හරින්නට හැකියාවක් තිබුනේ නැත.
“මිනිස්සු හිතාවි මම මහ නරුමයෙක් කියල දරුවෙක් ලැබෙන්න ඉද්දි ගෑණිව ඩිවෝස් කරාම” ඒ ප්රශ්නය සිත අස්සේ තබා ගෙන ප්‍රභාත් දැවෙමින් උන්නේය.
කෝසල කතා කලේ ඒ මොහොතේය. ඒ ඇමතුම තමා විසින් සම්බන්ධ කරගත යුතුද යන පැනය ප්‍රභාත්ට නොතිබුනා නොවේ. එහෙත් ඒ සිතුවිල්ලට මහ වේලාවක් සිත අස්සේ රැඳෙන්නට ඉඩ නොදී ප්‍රභාත් ඒ ඇමතුම සම්බන්ධ කරගත්තේය.
“ඇයි දැන් උඹ මට ආයෙ කතා කරන්නේ?”
ප්‍රභාත් ඇමතුමට සම්බන්ධ වූයේම කෝපය විසින් රුකුල් දුන් පැනයක් අසමිනි.
එහෙත් කෝසල උන්නේ එකී කෝපයෙන් පිච්චෙන්නට බලා ගෙන නොවේ.
“මොකද උඹ නිකන් මගේ ඇඟට කඩන් පනින්නේ?උඹට කොහොමද කියල බලන්න මම කතා කරේ?”
කෝසලගේ හඬ හා සමගාමීව ඇසෙන ඔහුගේ සමච්චල් සහගත සිනහව සිත මත කෝපයක වැසි වස්සවද්දී වුවද ප්‍රභාත් ඉවසා හිඳින්නට තීරණය කලේය.
“උඹ මචං මගෙ ඔලුවට පාත් කරන්න පුලුවන් ලොකුම ගිනි ගෙඩිය පාත් කරල දැන් ආයෙ කතා කරලා මට කොහොමද කියල බලල වැඩක් නෑනෙ නේද?
උඹ මම දන්නෙ නෑ මොකටද ඒ වගේ දෙයක් කරේ කියල. උබට තරහ තියෙන්නෙ මාත් එක්කද කැළුමිණී එක්කද කියන්න මම දන්නෙත් නෑ.
ඒත් උඹ ආයෙ මට කතා කරන්න එපා. උඹ මට කතා කරල තේරුමක් නෑ. මම කැළුමිණීව ඩිවෝස් කරන්න දාලා තියෙන්නෙ. උඹට ඒකි එක්ක විසඳගන්න ප්‍රශ්නයක් තියෙනම් ඒකිට කතා කරපං. මට කතා කරන්න එපා”
ප්‍රභාත් එක එල්ලේම එසේ පවසා ඇමතුම නිමා කරන්නට උත්සාහ කරද කෝසල උන්නේ තවත් උණුසුම් පුවතක් ප්‍රභාත්ගේ සිත මත තබන්නට සුදානමිනි.
“හෝ හෝ ඉඳපං, ෆෝන් එක තියන්න එපා මචං. මට උඹ එක්ක කිසිම තරහක් නෑ. මට ඒකි එක්ක තරහකුත් නෑ. මම උඹට ඒ කතාව කිව්වේ උබ රැවටිල කියල තේරිච්ච හන්දා. දන්න කොල්ලෙක්ට එහෙම කරන්න උවමනාවක් තිබ්බෙ නැති හන්දා. උඹ මගේ පිට වරද දාන්න හදන්න එපා දැන් ඒකිව ඩිවෝස් කරලා. උඹ නිකන් මේ කතා කරන්නෙ මං කිව්ව හන්දා උඹ ඒකිව ඩිවෝස් කර ගානටනෙ. උඹට ඒකිව ඔච්චර උවමනා නම් ඒකිව ඩිවෝස් නොකර ඉන්න තිබුනානේ.
උඹත් මේ ඒකිගෙන් නිදහස් වෙන්න වගේ ඉඳල අන්තිමේ තුරුම්පුව අතට ආ ගමන් ඒක කරල ඒවට මාව ගාවගන්න එපා බං.
මං උඹට කතා කරේ උඹට මං කිව්ව ඒව අවිශ්වාස නම් ඕන්න ඒව ඇත්තද බොරුද කියල දැනගන්නත් එක්ක ආං අරූ ලංකාවට ඇවිත් ඉන්නෙ. මම උඹට ඕන නම් උගේ නම්බර් එක දෙන්නම්, උබ ඌට කතා කරල විස්තර අහගනින්. ඉන්පස්සෙ උඹට තේරෙයි මම කිව්ව ඒව බොරු නෙවෙයි කියල වගේම උඹ බේරුණා කියල”
කෝසල විසින් කියන්නට යෙදුන ඒ අන්ඩර දෙමලය ප්‍රභාත්ට කිසි ලෙසකින්වත් තේරුනේ නැත. කෝසල විසින් කියූ දෙය ඇත්තක්දැයි තවත් අයෙකුගෙන් අසා දැනගන්නට ඉඩක් කෝසල විසින් ඉතුරු කර තිබුනේ නැත. ඔහු විසින් පෙන්නන්නට යෙදුන ඒ වීඩියෝ පටවල පැහැදිලිවම උන්නේ කැළුමිනී බව තම දෙනෙතට විශ්වාසය.
එහෙත් කෝසලගෙන් අසන්නට ප්‍රභාත්ට ප්‍රශ්නයක් තිබුනි. ඒ ප්රශ්නය නොඑසේනම් දිවා රෑ මුලුල්ලේ තම සිතට වද දෙන බව ප්‍රභාත් දැන උන්නේය.
“මොකාද අරූ කියන්නේ?”
“නිම්න, ඌ තමයි කැළුමිණීව රූම් ඇද්දේ”