සතුටු මන්තර 08

යශෝදර දිය නා ගෙන තෙත පිස දමමින් ම ආලින්දයට ආවේ ය. ඒ වෙත්දීත් මල්කාන්ති ඔහු ගේ තේ එක පිළියෙල කොට අවසන් ය. සාළුව කර වටා දමා ගත් යශෝදර අම්මා අතින් තේ එක ගත්තේ ය.

“දැනටමත් අරෙහෙ හතරවෙනි ලෝක යුද්දෙ පටන් අරං ඉවරයිද දන්නෑ”

පාරමී ජංගම දුරකතනයෙන් ඇස් ඉවතට ගන්නේ නැතිව ම කීවා ය.

“කොහෙද…”

යශෝදර නැගණිය ගේ දුරකතනය ට එබුණේ ය.

“මේකෙ නෙවෙයි අනේ. අරහෙ..ගිම්හාන් අයියලගෙ දිහා”

පුරුද්දට ගිම්හාන් අයියලගෙ දිහා යි කීවාට පාරමී ගේ සිතේ ශෝකී හැඟීමක් පා ව ගොස් සුසුමක් ද බැහැර විණි. නමුත් එසැනෙන් ඇගේ මුවට දඟකාර සිනහවක් ආවේ ය. යශෝදර යාබද පුටුවේ හිඳ ගත්තේ පාරමී කීව ගැන පැහැදිලි නැතිව ය 

“ඇයි ඒ…මොකද්ද එහෙ වෙලා තියෙන්නෙ…”

“එන ගමං උඩහ නතර වෙලා රංගි එක්ක කතා කළා නේද…”

දඟකාර සිනහව දිගට ම පාරමී ගේ මුහුණේ විය. මුළු මුහුණ ම කතා කරමින් තිබුණා සේ ය. නමුත් තවමත් යශෝදර සිටියේ ඇය පවසන්න වටහා ගත නො හැකිව ය.

“ඔව්. ඉස්සර පුරුද්දට වගේ සයුරංගනායි කෙල්ලයි පාර බලං ඉන්නව. පව්…”

“ඔයා රංගනා එක්ක කතා කරනකොට බලන්න එපැයි ගිම්හාන් අයියගෙ අම්ම ඇඟිලි වලින් ඉස්සි ඉස්සි බලපු විදිහ. නියම එන්සිනා”

පාරමී සිනහව පුපුරුවා හැරියා ය. මල්කාන්ති සිනහව දෙතොලේ ම තද කර ගෙන ඉස්සරහා ගෙදර දෙස බැලුවා ය.

“මෙලහකට රංගාගෙ ඔළුව කනව ඇති අපේ අයිය එක්ක කැලේට වෙලා කතා කර කර හිටිය කියල”

“ඒක මාර වැඩක්නෙ”

යශෝදර තරමක් නො සන්සුන් වූයේ ය. ඔහු අම්මා දෙස බැලූයේ ද මඳ අපහසුවකිනි. නමුත් සැබවින් ඔහු ට දැනුණා වූ ඒ ආගන්තුක හැඟීම අම්මා ට හෝ නංගී ට නො දනවා කතා කරන්නට ඔහු පැහැදිලි ව ම උත්සාහ කළේ ය.

“මං යුරංගනා එක්ක කතා කරන්නෙ අද ඊයෙ නෙවේනෙ”

“හරි…මේ අම්මණ්ඩි ඒ කාලෙත් මෙහෙ හිටියනං එහෙම කරයි. අර කෙල්ලට නිවනක් නෑ. හැම වෙලේම රංගි එක්ක එල්ලෙන්නමයි බලන්නෙ”

“තිලකා ඇන්ටි සයුරංගනා එක්ක රණ්ඩු වෙනවද..”

“රණ්ඩුවක් වෙන්න ඉතිං දෙපැත්තක් ඕනනෙ අයියෙ. රංගියා බීරි අලිය වගේ ඉන්නව මොනා කිව්වත්. අර නැන්දම්ම පොඩ්ඩ මේ කෙල්ලව උම්බලකඩේට අරං ලුණුමිරිස් හදනව. වෙලාවට ඔය රංගි ඉන්න තැන මං නොහිටියෙ. මං හිටියනං ඔය ගෑනිගෙ බෙල්ල කඩන්නෙ බෝංචි කඩනව වගේ”

“කට කට කට”

ඒ තරවටුව මල්කාන්ති ගෙනි. නමුත් ඇගේ මුහුණේ තරවටු බැල්මක් වෙනුවට වූයේ ගිලගත් සිනහවකි. 

“පව් රංගනා. හිත රිදෝගෙන ඉන්න වෙලාවෙ ඒ මනුස්සය කෙල්ලට පාඩුවෙ ඉන්න දෙන්නෑනෙ. අනේ මන්දා…අපිත් නැන්දම්මල වුණාම ඔහොම හැසිරෙයිද කියල”

“හපෝ”

“කොහොමද අම්ම අපේ නෑනාව සම්බෝලෙට කොටනකොට”

“ඇඟත් හිරිවැටෙනව ඕයි”

පාරමී මහ හයියෙන් සිනහ වූවා ය. 

“ඔහොම හිනා වෙන්න එපා පාරමී. මොනා වුණත් ගිම්හාන් පුතා නැති වෙච්ච වේදනාව තාම අපේ හිත් වලත් එහෙමමනෙ. මේක මළ ගෙයක් වෙච්ච තැන”

“ඔව්. මේකිට මළ ගෙයක් හරි කමක් නෑ හිනා වෙන්න තියනවනං”

පරමී පමණක් නොව ඒ මුළු පවුල ම සතුටෙන් සිටිනා එකකි. පවුලක් වශයෙන් ඔවුන් අතරේ තිබෙනා සමාදානය ද ආදරය ද ඒ සතුට තීව්‍ර කරවයි. යශෝදර, පාරමී හා තේමිය අතරේ වන සහෝදරත්වය මිත්‍රත්වයක හැඩ දරන්නකි. ඔවුන් නිතර ම සතුටෙන් ඉන්නට හේතු සොයති. සිනහ වෙන්නට කාරණා සොයති. අන්‍යයන් ට උදව් කරති. අම්මා හා තාත්තා ද එසේ ම ය. ඒ නිසා එය සතුටු කැදැල්ලකි.

ගිම්හාන් ලා ගේ ගෙදර ගේට්ටුව ඇරෙනා හඬ ඇසුණේ යශෝදර ලා ආලින්දයේ සිටියදී ම ය. මුලින් ම එසඳි ගේ අත ගත් සයුරංගනා ද ඉන්පසු ජයරත්න ද ඉන් පිටතට පැමිණියහ. යශෝදර වහා අසුනෙන් නැගිට වැරැන්ඩාවට ආවේ ය. එහි සිට බැලූ විට ගේට්ටුවට මත්තෙන් පාර පෙනේ.

“අංකල්…කොහෙ යන්නද මේ තුන් දෙනත් එක්ක…”

“පොඩ්ඩක් මේ…හන්දියට ගිහින් එන්න කියල පුතා”

යශෝදර තුවායෙන් උඩුකය වසා ගනිමින් ගේට්ටුව ඇරියේ ය. පාරමී හා මල්කාන්ති ද ඔහු පිටුපසින් පාරට පැමිණියහ.

“මේ වෙලාවට අව්වත් නෑනෙ. දූයි මායි හෙමි හෙමිහිට ගිහිං මේ පහේ බඩු ටිකක් ගේනනයි කියල”

“අයියෙ රංගිලව එක්කං යනවකො කා එකේ”

“අනේ එපා එපා”

පාරමීගෙන් යෝජනාව එත්දී ම සයුරංගනා ගෙන් එය ප්‍රතික්ෂේප වී තිබිණ.

“ඔෆිස් ගිහිං යශෝදර මේ ආව විතරයි. අපි නිසා මහන්සි වෙන්න ඕන නෑ. ඔය ටික අපිට ඇවිදං යන්න පුළුවන් නේ අප්පච්චි…”

“අනේ මට බෑ. මං තාම චූටි බබෙක්නෙ. මගෙ කකුල් දෙකත් රිදෙනෝ ඇවිදිනකොට. මං යන්නෙ යශෝදර අංකල් එක්ක”

කිරි සිනහවක් එක්ක හිස නගා යශෝදර දෙස බලාගෙන එසඳි එසේ කීවේ කාගෙත් ඇස් ඇය දෙසට හරහා ගන්නා හුරතලයෙනි.

“අනේ…මගෙ තූති කෙල්ලගෙ කකුල් දෙක සිදෙනෝද මැණික් කැටේ”

කියමින් පාරමී දැරිය අල්වා මිරිකුවා ය.

කියන්න කියන්න. යශෝදර අංකල්ට කියන්න බබාගෙ කා එකේ කඩේ එක්කං යන්න කියල. තව ටික දවසෙනෙ. ඊට පස්සෙ අම්මි කා එක ඩ්‍රයිව් කරං යයිනෙ නේ…”

“කී එක ගේන්නකො”

යශෝදර කෙළින් ම සයුරංගනා ගේ මූණ දෙස බලා ගෙන එසේ කීවේ ඇයට යළිත් ප්‍රතික්ෂේප කළ නො හැකි ස්ථිර හඬ තානයකිනි. ඇය ජයරත්න දෙස බැලුවා ය.

“යශෝදර පුතාට කරදරයක් නැත්තං ගිහිං එමු නේද දුව…”

අප්පච්චි ගේ ද එකඟතාවය නිසා සයුරංගනා හැරී ගෙතුළට ගොස් යතුර ගෙන ආවා ය. 

“මේ හන්දියට යන්නත් තෙල් පුච්චන්න ඕනද”

කියා තිලකා කියනු ඇසුණත් ඇය ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ආපසු වත්ත ඇතුළට ගොස් මෝටර් රථය ගෙන ආවේ යශෝදර හා ජයරත්න ය. සයුරංගනා පාර ළඟින් නැග ගත්තා ය. ඒ නැන්දම්මා ගේ ඇනුම්පද අහන්නට ඕනෑ නැති නිසා ම ය. 

අත්‍යාවශ්‍ය බඩු මුට්ටු ටිකක් සමග ම සයුරංගනා ඉටිපන්දම් පෙට්ටියක් ද ගත්තා ය. ගිම්හාන් නිදනා සොහොන වෙත ගොස් එන්නට ඇයට උවමනාව තිබුණේ දවල් සිට ම ය. නමුත් යන්නට සූදානම් වී නම් තිලකා ද නිසැකව ම එන්නී ය. එයින් සිදු වන්නේ සයුරංගනා ගේ හිතේ සාමය ද නැති වී යන එකයි. කඩේ ගොස් එන ගමන් ඇගේ ඉල්ලීම පරිදි යශෝදර කනත්ත වෙතට රිය පැදවී ය. 

රාස්සිගේ අව් රැල්ල පතිත වූ සොහොන් බිම අතිශය පාළු වූයේ ය. ගිම්හාන් නිදනා තැන පස් කන්ද මත පර වූ මල් කළඹ කිහිපයක් තවමත් තිබේ. යශෝදර ඒවා ඉවත් කළේ ය. සොහොන සෙවන කරනා සුදු අරලියා අත්තෙන් මල් කිහිපයක් කඩා සයුරංගනා අතට දුන්නේ ය. සීරුම් තුවාලයක වේදනාව ඇයට පපුව අස්සෙන් දැනිණ. මල් තියා ඉටි පහන් දල්වා ඇය සොහොන ළඟ දණ ඔබා ගෙන සිටියා ය.

“මං දන්නව ගිම්හාන් මෙතන දැන් තියෙන්නෙ ඔයාගෙ දිරල යන ශරීරෙ විතරයි. මෙතන ඔයාගෙ ආත්මෙ නෑ. ඒක තියෙන්නෙ අපිත් එක්ක. ඒක නිසා මං ආයෙ නිතර නිතර මෙතනට එන්නැතිවෙයි ගිම්හාන්. එතකොට මට හිත හදාගන්න අමාරුයි. ඔයාව අමතක කරන්න හදනව නෙවෙයි. මං මැරෙනකල්ම මට ඔයාව අමතක වෙන්නෙත් නෑ. ඒත් ඔයා ගැන හිත හිතම හිටියොත් කවදාවත් මට නැගිටගන්න බැරි වෙයි කියල හිතෙනව. අපේ දුව එසඳි වෙනුවෙන් මං එහෙම කරන්න ඕනෙ කියල ඔයා දන්නවනෙ ගිම්හාන්. ඔයාට ඕනෙ වුණේ එයාව රාජ කුමාරියක් වගේ හදන්න. මාත් එහෙම කරන්න මට පුළුවන් තරං උත්සාහ කරනව. ඩ්‍රයිවින් ලයිසන්ස් ගන්නත් මං හිතා ගත්තෙ ඒකයි. ඔයා නතර කරපු තැන ඉඳං මං කොහොම හරි කරං යනව. ඒකට මං හයිය ගෑනියෙක් වෙන්න ඕනෙ. ඒක නිසා මං වැඩිය මෙතනට එන්නෑ. මෙතන නෙවෙයි කොහොමත් ඔයා ඉන්නෙ මගෙ හිතේ. මගෙ හදවතේ. මට හයිය දෙන්න ගිම්හාන්. ඔයාට ඕන වෙච්ච තැනට දවසක අපේ දුව අරං යන්න මට හයිය දෙන්න”

සයුරංගනා ඒ ආයාචනය කළේ සිතිනි. කතා කළේ කඳුළු ය. ජයරත්න ඉවත බලා ගෙන එසඳි ට සොහොනේ පිපුණ කරාබු මල් කඩා දුන්නේ ය. යශෝදර පපුවේ අත් දෙක බැඳ ගෙන අසීමිත කම්පාවකින් තරුණ වැන්දඹුව  දෙස බලා සිටියේ ය. ඔහු ගෙන් කිහිප වරක් සුසුම් ගිලිහිණ. ඉරණම ඒ තරං අසාධාරණ වූයේ ඇයි දැයි ඔහු ට සිතා ගත නො හැකි ය. ගිම්හාන් යනු ජීවිතය දෙස පුදුම තරම් ධනාත්මකව බැලූවෙකි. ඔහු ගේ මුල් ප්‍රේම සම්බන්ධය බිඳී ගිය අවස්ථාවේ දී ද ඔහු ඉක්මනින් හිත හදා ගත්තේ විවාහ වීම සඳහා සයුරංගනා ව තෝරාගෙන ය.

“මං හිතන්නෙ උඹ ඔච්චර කලබලෙන් ඒ තීරණේ ගන්නැතුව ඉන්නවනං හොඳයි. මොකද උඹ ඔහොම කරන්නෙ උඹට රිදෝපු එකීට එකට එක කරන්නනං…ඒකෙං අසරණ වෙන්නෙ මේ කෙල්ල. සමහර විට දවසක උඹම පසුතැවෙයි මේ කරපු දේ ගැන”

ඒ වෙලාවේ යශෝදර සිය අවංක අදහස මිතුරා වෙත ඉදිරිපත් කළේ ය.

“නෑ බං. මං සයුරංගනා ට කිසි වැරැද්දක් වෙන්න දෙන්නෑ. උඹ දන්නවනෙ යශෝදර  මං පරාද වෙන්න කැමති මිනිහෙක් නෙවෙයි. මේ සැරේ මං දිනන්නෙ මාව විශ්වාස කරං මගෙ ළඟට එන කෙල්ලත් එක්කමයි”

මිතුරා ඒ පොරොන්දුව අකුරට ම ඉටු කරනා අයුරු යශෝදර ඇස් පනාපිට ම දුටුවේ ය. ඔහු ඇයට රැජිනකට සේ සලකන්නට උපරිම තැත් කළේ ය. කිසිදු අඩුපාඩුවකට ඉඩ නො තැබුවේ ය. මේ විදිහට ඇය අතරමගක අතැර යන්නට වෙතැයි සිහිනයෙන් හෝ ඔහු සිතා තිබුණේ නැත. ඉරණම ට ඒ තරම් කුරිරු විය හැකි විණි ද?

ඔවුන් ආපසු ගෙදර එන විට ගිම්හාන් ගේ නැගණිය ශක්‍යා දරු දෙදෙනා ද සමග ඇවිත් සිටියා ය.

“අම්ම මෙහාට වෙලා ඉන්නව මට මේ දෙන්නත් එක්ක තනියම හෙල්ලෙන්නවත් බෑ”

ඇය තිලකා ට චෝදනා කළා ය. බෙහෝ වෙලාවක් අම්මාත් දුවත් කුටු කුටු ගාමින් සිටියහ. යශෝදර එක්ක කඩේ ගිය එකට සයුරංගනා ට දොස් කියන්නට තිලකා ට අමතක වූයේ මේ සිදුවීම නිසා ය.

“අපිටත් හැමදාම ඔයාගෙ තනියට මෙහෙට වෙලා ඉන්න බෑනෙ. නරකද ඔය ළමය දරුවත් එක්ක අම්මල ළඟට ගිහිං තුන්මාසෙ දානෙට ආවනං…”

ඇඟට පතට නො දැනී තිලකා කියා දැමූ කතාවට සයුරංගනාට දැනුණේ ඈ උස්සා පොළොවේ ගැසුවා මෙනි. 

“මොනාද තිලකා ඔයා මේ කියන්නෙ…පිස්සුද…”

ජයරත්න බිරිඳ ගේ ඇඟට කඩා පැන්නේ ය. 

“මට තනියක් නෑ. අම්ම ශක්‍යා අක්කලගෙ ගෙදර යන්න”

සයුරංගනා හිතට දිරි ගෙන කියා ගත්තා ය.

” කොහොමත් එසඳිව ගමට අරං යන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. අපේ තනියට අප්පච්චි ඉන්නවනෙ”

“යසට තියෙයි. අප්පච්චි එක්ක විතරක් තනියම ඉන්න පුළුවන්ද..මිනිස්සු කතන්දරත් හදයි”

“අනේ මේ තිලකා. කට තිබුණ පලියට කටට එන හැම දේම කියවන්න එපා. පුතා ඉන්න කාලෙත් පුතා එනකල්ම මං තමයි මේ දරුවගෙ තනියට මේ ගෙදර හිටියෙ”

ජයරත්න තදින් කතා කළ නිසා තිලකා තරමක් මෙල්ල වූවා සේ ය. එවර ඇය තරමක් හඬ බාල කොට කතා කළා ය.

“එහෙනං ඉතිං මං දවල්ට එහෙ ඉඳල රෑ නිදියන්න මෙහෙ එන්නං. වෙන මොනා කරන්නද…”

සයුරංගනා ගේ හිතට මඳ සැනසිල්ලක් දැනිණ. අම්මාව ගෙදරින් යවන්නට මේ හදිසියේ තීරණය කළේ ගිම්හාන් යයි සිතන්නට ඇය කැමති වූවා ය.

💜️ඔබ තියා යන ආදරය වෙනුවෙන් මගේ හද පිරි ස්තූතිය පිළිගන්න. සයුරංගනා වෙනුවෙන් ඊයේ සේ ම අදත් ඔබේ සෙනෙහස හදවත් සලකුණක් ලෙස හෝ තබා යන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles