මා හද තුළ ඔබ 04

තඹරු පියුම්රා දිවාකර වෙනදාට වඩා මඳක් වේලාසන ගෙදරින් පිටවන්නට සැලසුම් කළා ය. සාමාන්‍යයෙන් ඇය විශ්ව විද්‍යාලයට නික්ම යන්නේ තාත්තා – දිවාකර ගේ සියලු ආවතේව නිමා කොට ය. රන්මුතු පාන්දර අවදි වී දරුවන් දෙදෙනාට ගෙන යාම සඳහා ආහාර පිසියි. සඳැස් තවමත් පාසල් සිසුවෙකි. ගෙදර වැඩත් කැෆේ එකේ වැඩත් සියල්ල කර ගන්නට රන්මුතු ට අසීරු නිසා තඹරු ගේ දොර පිරිසිඳු කොට දිවාකර වෙනුවෙන් කළ යුතු දෑ කර තබයි.

දිවාකර අවසන රෝද පුටුවට සීමා වූයේ ය. ඒ රිය අනතුරින් වෙන් වී කුඩු වී ගිය සිරුරේ කොටස් එක් කොට ඒ තරමට හෝ ඔහු ට යළි ජීවිතය දීම ගැන දෙවිවරුන් වන් වෙදැරදුරන් ට පින් සිදු විය යුතු වේ. යහනත් රෝද පුටුවත් අතරට ඔහු ගේ ජීවිතය සීමා වූයේ වරින් වර සිදු වූ විවිධ සැත්කම් ගණනාවකට පස්සේ ය. ඉන් අනතුරුව කාලයක් යනතුරු ම  සිංහල වෙදකම් එක්ක හැපෙන්නට රන්මුතු ට සිදු විය. දිවාකර අද මේ තරමට ජීවිතය එක්කාසු කරගෙන ඉන්නේ රන්මුතු වන් ගැහැනියකගේ හිතේ හයිය නිසා මිස වෙනකක් නිසා නොවේ. නමුත් මේ ඉතිරි වී තිබෙන්නේ රොඩ්ඩක් මිස ජීවිතයක් නොවේ කියා ඔහු සිතයි. ඒ රොඩ්ඩෙන් ඒ දින වල ම පණ සුන් වූවා නම් යෙහෙකැයි අනන්තවත් ඔහු ට සිතෙයි. ආදරණීය සුදු නෙළුම් මල තඹරු හැරෙන්නට ඔහු ට ජීවිතයෙහි වෙනත් සතුටක් නැත්තේ ය. උදයටත් හවසටත් ඒ වත දකිත්දී පමණක් ඔහු සිනහවක් නගා ගනී. වර්තමානය  එහෙම ය. අතීතය වූ කලී යළි කිසි දා පණ නො ලබන මතක කන්දකි.

තාත්තා ට දත් මදින්නට, මුහුණ සෝදන්නට, රැවුල් කපන්නට, ඇඳුම් මාරු කර ගන්නට සලස්වා තඹරු විශ්ව විද්‍යාලයට යයි. කේක් ඇන්ඩ් කොෆී ග්‍රිල් ගේට්ටුවෙන් දියණිය පාරට බැස යනයුරු දිවාකර මතු මහලේ ජනේලයෙන් බලා ගෙන සිටියේ ය. පසුගිය දින දෙකෙහි ම හැන්දෑ වරු වල කේක් ඇන්ඩ්  කොෆී පැත්තෙන් ඇසුණ ට්‍රම්පට් හඬින් ඔහු ගේ සවන් පිරී තිබේ. තඹරු දකිත්දී ඒ හඬ යළි යළිත් සවන් තුළ පිළිරැව් දෙන්නේ මන්දැයි ඔහු නො දනී. පිරිමියෙකු දියණිය ගේ ජීවිතයට ලං වෙනවාට ඔහු ගේ හද තුළ බියක් තිබේ. එය අනියත බියක් කියා කිව නො හැකි ය.

උදෑසන ට මත්තේගොඩ හරි නිසංසල ය. නැවුම් ය. අලුත් දවසක් වෙනුවෙන් සූදානම් වෙන එය කඩිසර ය. තඹරු සල් ගස් හන්දියේ සිට මත්තෙගොඩ බස් නැවතුමට ඇවිද යන්නේ හෙමිහිට ය. හැමදාම ජීවත් වූ ගම් ප්‍රදේශය වී ද ඇය හැමදාමත් මේ කුඩා නගරය සිය දෑසින් උරා ගනී. දවස ඇරඹෙන්නේ සල් මල් සුවඳිනි. අත පොවන මානයක සල් මලක් කිසි දා නොවන්නේ උදයෙන් ම ඒවා සැදැහැත්තන් ගේ දෝතින් නෙලෙනා බැවිනි. උස අතු වල මල් අනිත් අයට සුවඳ දෙයි. බස් නැවතුමට වන දුර කිසි දා ඇය කණස්සල්ලක් කර ගන්නේ නැත. බසයෙහි තෙරපී යනවාට වඩා එය සිය දහස් ගණයක පහසුවකි. පැණි වළලු අත පත් හත් පෙති මලේ දැරිය වාගේ ඇය හැමදාමත් දකිනා කඩපිල් හා ගෙවල් දෙස බලමින් නිවී සැනසිල්ලේ ගමන් කරයි. මත්තේගොඩ වූ කලී අංගසම්පූර්ණ කුඩා රටකි. එයට නගරයක් නොව කුඩා රටක් කියන්නට තඹරු රිසි ය. මගට වන් කල මීටර කිහිපයක දුරක් තුළ ඕනෑ ම අවශ්‍යතාවයක් සපුරා ගන්නට එනුවරෙහි පිළිවන.

“මයික්‍රො සිටි”

ඇය මඳහසකින් සිතින් මිමිණුවා ය. ඒ මඳහස ඇසිල්ලකින් වියැකී ගියේ කළු පාට ඇක්වා රියට හේත්තු වී මග බලාගෙන උන් සමනල් දිවයුරු රණසිංහ දුටු විටයි. තඹරු වෙනදාට වඩා අඩ හෝරාවකට කලින් ගෙදරින් පිට වූයේ හිතා මතාම ය. සමනල් මෙහි එතොත් ඔහු මගහරින්නට ය. නමුත් ඔහු කලින් ම ඇවිදින් එතැන කල් මරයි.

යුවතිය දුටු තරුණයාගේ දෙතොල් අතරේ සිනහව පිපිණි. ඒ සිනහව දඟකාර ය. ආකර්ෂණීය ය. ඔහු දුටු ගමන් ඇගේ ගමන් වේගය අඩාල විය. සමනල් වූ කලී හිතුවක්කාරයෙකු බව දැනටමත් ඔහු ඔප්පු කොට පෙන්වා තිබේ. ඒ මුරණ්ඩු කමින් යුතුව ඔහු ඊළඟට කරන්නට නියමිත දෑ වල ලැයිස්තුවක් ද පෙර දා හවස කීවේ ය. ඒ දේවල් සිදු වෙන්නට ඕනෑ ම නැත. තඹරු ඔහු මගහරින්නට හැදුවේ එනිසාම ය. නමුත් ඔහු ඇය ට පැන යා හැකි සියල් සිදුරු ආවරණය කරමින් හිඳී.

“ගුඩ් මෝනිං මැඩම්”

ඒ වචන තුන කියන්නට ඔහු කල් ගත්තේ ය. වචන අතරේ ඉඩ තැබුවේ ය. දීර්ඝ අක්ෂර වඩාත් දීර්ඝ කළේ ය. ඒ අකුරු අතරේ පිරිමි සිනහව සරැළි නැගුවේ ය. තඹරු ඒ සියල්ල ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර දෑසින් දැක බලා ගත්තා ය.

“ගුඩ් මෝනිං”

නමුත් ඒ පෙරලා සුබ පැතුම රොකට් එකක් වාගේ වේගවත් එකකි. සිනහවක් අත පොවන මානයක හෝ වූයේ නැත. ඇගේ ඇස් නො ඉවසිල්ලෙන් පෙරමගට දැල්වී ගෙන තිබිණ.

“අදනං බස් එකක එල්ලෙන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් කා එක මෙතන තියෙද්දි මාත් බස් එකේ එල්ලෙනව”

ඇය ඔහු විනිවිද බැලුවා ය. මේ දඩබ්බරයා එහෙම කරන්නට වුව බැරි කෙනෙකු නොවන බව දැන් ඇය දනී.

“හරි මොකද්ද දැං කියන්න තියෙන්නෙ…”

තඹරු අත් දෙක පපුවෙහි බැඳ ගත්තා ය. යෞවනයාට සිනහවක් නැඟිණ.

“ගහගන්න වගේනෙ”

ඔහු ගේ සිත එහෙම කීවාට මුවින් ඒ වචන පිට නො කරන්නට ඔහු ප්‍රවේසම් විය.

“මෙතන ඉඳං කතා කරන එක ඔයාට හොඳ නෑනෙ. අපි යන ගමං කතා කරමු”

ඔහු හැරී රිය දොර විවර කරන්නට හැදුවා පමණි.

“පිස්සුද…”

ඇය කඩා පැන්නා ය.

“නොදන්න මිනිස්සුන්ගෙ වාහන වල නගිනවට වඩා මෙහෙම කතා කරන එක හොඳයි. කියන්න තියන දෙයක් ඉක්මනට කිව්වනං හරි. මට ලේට් වෙනව”

ඇය ජංගම දුරකතනයෙන් වෙලාව බැලුවා ය. නැවත ද රියට හේත්තු වූ සමනල් මේ අමුතු පන්නයේ ගෑනු ළමයා ගේ කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම සිය දෑසින් නිරීක්ෂණය කරන්නට වූයේ ය. ඇයට සිය රියට ගොඩ වන්නට ඇරයුම් කිරීම කෙතරම් අනුවණ කමක්දැයි ඔහු ට දැනෙන්නට වූයේ මේ මොහොතේ ය.

“මං…සමනල්…”

ඔහු සමනල් සරින් ඇගේ දෑස් පොකුණු තුළ කිමිදීමේ උත්සාහයක් ගත්තේ ය.

“ඉතිං…”

ඇය නො සැලකිලිමත් ලෙස ඉවත බැලුවා ය.

“මං…මං…මං…”

සමනල් ට ඊළඟ වචන පෙළ ගලපා ගන්නට පහසු වූයේ නැත. ඒ මේ කෙල්ලගේ පෞරුෂය ඉදිරියේ ය. නැත්නම් ඔහු කෙල්ලන් අරබයා සබකෝලයක් ඇති කොල්ලෙකු නොවේ.

“මං හිතන්නෙ මං…ඔයාට කැමතියි”

ඇය සමච්චල් සිනහවකින් කට ඇද කළා ය. ඔහු ට හිතුණේ පොළොවේ වළක් හාරා ගෙන හැංගෙන්නටයි.

“ඒක විහිළුවක් වගේ දැනෙනවද කියන්න මං දන්නෑ. ඒත් කෙනෙක්ට දැක්ක ගමං තව කෙනෙක් ගැන කැමැත්තක් ඇති වෙන්න බැරි නෑ. ලව් ඇට් ෆස්ට් සයිට් කියල දෙයක් තියනව”

“ඉතිං…”

“ඉතිං…අපිට යාළුවො වගේ හරි කතා බහ කරන්න පුළුවන්නෙ”

නැවතත් ඇය අඩ සිනහවක් පෑවා ය. සොබා දහමේ ලස්සන ම තැන් තියෙන්නේ දුෂ්කර ම ස්ථාන වල සඟවා ය. ඒවා සියැසින් දැක බලා ගන්නට නම් ඒ දුෂ්කරතා තරණය කළ යුතුව තිබේ. සොබා දහම සිය වටිනා ම නිර්මාණ තබන්නේ පහසුවෙන් සොයා ගත නො හැකි ලෙස සඟවා ය. රත්තරන්, මුතු, මැණික්, දියමන්ති වන් අගනා දෑ ලබා ගැනීමට නම් ඉතා අසීරුවෙන් ඒ තැන් ගවේෂණය කළ යුතු වේ. සමනල් ට මේ කෙල්ල දැනෙන්නේත් එසේ ය. ඇය දිනා ගැනීම වෙනුවෙන් ඕනෑ ම දුෂ්කරතාවකට මූණ දෙන්නට ඔහු ඉත සිතින් සූදානම් ය. ඇය වූ කලී අහම්බෙන් නෙත ගැටුණ මැණිකකි. දුර්ලභ කස්තුරි මුව දෙනකි. මුතු දළ ඇතින්නකි. කවුරුවත් නො සිතනා මුතු බෙල්ලකි. පාද පා මුලට ම පෙරළී ආ පඬුරකි. දෙවියන් ගෙන් ලැබුණු තිලිණයකි.

“එච්චරද කියන්න තියෙන්නෙ..”

තඹරු නිකට මඳක් ඔසවා ඇස් කුඩා කරමින් ඔහු දෙස බැලුවා ය.

“දැනට එච්චරයි”

සමනල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දඩබ්බර සිනහවක් නගා ගත්තේ ය.

“එහෙනං මං යන්නං”

ඔහු හා කියනන්නටත් පෙර ඇය අඩියක් පෙරට තබා තිබිණ. රෝස පාට අත් දිග කෙටි ගවොමක් හැඳ, රෝස පාට කවර් ශූස් දමා, වරල හිස් මුදුනට කොට පෝනිටේලයක් දැමි ඕ රෝස සුවඳක් ඉතිරි කොට පවනක් සේ හමා යන්නට වූවා ය. සමනල් පවා නො දැන ඔහු දිගු හුස්මක් ඉහළට ඇද්දේ ය.

“පව් ඕයි. මොනා වුණත් කොල්ලෙක්නෙ. කැමතියි කියාගෙන පස්සෙන් එන කොල්ලෙක්ට ඔහොම ගණං උස්සන්න නරකයි. ලබන ආත්මෙත් කොල්ලෙක් නැති වෙන අකුසල කර්මයක් ඒක”

තඹරු සනාරා ට රැව්වා ය. විශ්ව විද්‍යාල භූමියේ සෙවනැති මැයි ගසක් යට හිඳ ඇය මිතුරියන් දෙදෙනාට අල ගිය මුල ගිය සියලු තැන් කියා සිටියේ සමනල් බරපතල ගැටළුවක් වී ගෙන එන බව දැනුණු නිසාම ය.

“මට මේ කොල්ලෙක් නැත්තෙ අකුසල කර්මයක් නිසා කියලද ඔය කියන්නෙ… විකාර…”

තඹරු මිතුරියන් වෙතට වචන වලින් දමා ගැසුවා ය.

“එතන කොල්ලො ගොඩක්නෙ හිටියෙ. ඒක නිසා ඔය කොල්ලා කව්ද කියල මට මතක් වෙන්නෑ. මට හරි ආසයි ඒකාව බලන්න. ඒ වෙලාවෙ ඔච්චර කෙල්ලො හිටපු නුගේගොඩ…මේ අහංකාර සමයමටම හිත ගිය අසරණය කවුද කියල මූණ බලාගන්න”

යුතාරා අවංකව ම සිය හැඟීම කීවා ය.

“මං එහෙම වුණානං පා දෝවනය කරල සුවඳ දුං අල්ලල ඇස් වහ කට වහ මතුරල පිළිගන්නෙ…දෙයියනේ කොල්ලෙක් තමන්ට එච්චර ක්‍රශ් කියල දැනුණහමත් ඔහොම ගහක් ගලක් වගේ ඉන්නෙ කොහොමද බං…ඊටත් වඩා ඒ කොල්ල ඔච්චර පිස්සු වැටිල ඉද්දි”

“මිනිස්සු ආදරේට පිස්සු වැටෙනව කියන එක ප්‍රතික්ශේප කරන්න පුරුදු වෙනකොට මං ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නැති පොඩි ළමයෙක්…මට ඔය කියන ආදරේ ගැන කිසිම විශ්වාසයක් නෑ”

ඒ තඹරු මින් පෙර කිසි දාක මිතුරියන් හමුවේ කියා ඇති කතාවක් නොවේ. මේ වෙලාවේත් ඈ එය කීවේ ඔවුන්ට නොව තමන්ට ම වාගේ ය. යුතාරාත් සනාරාත් උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles