ලොකු සර් මට දොලහ වසර පන්තියේ පන්ති බාර කම බාර දුන්නා. ඒ මම මීගමුවේ ප්‍රදාන පෙලේ ඉස්කෝලෙකට පත්වීම බාරගත්ත අලූතමයි .ගුරු විවේකාගාරයේ දී මං නිශාන්ති එක්ක කිව්වේ දොලහ ඒ පන්තිය මට දුන්නා කියලයි…
ආ….ෂෝක්….. ඕක නං ඔයාට රැග් එකට දීපු වැඩක් …..දොලහ ඒ පන්තියේ තමයි පුණ්ඩරික ඉන්නේ …..කිසිම ගුරුවරයෙක් ඒ පන්තිය බාර ගන්න කැමැති නෑ…විශේෂයෙන්ම පුණ්ඩරික ඉන්න හින්දා …
මට හිතාගන්න බැරිවුනා. ගුරුවරයෙක් පන්තියක් භාර නොගන්න තරම් අමාරුකාර ළමයෙක් ….
ඒ මොකද ඒ …..
අම්මෝ පුණ්ඩරික ඉන්න පන්තිය තමයි හැමදාම මොකක් හරි ජරමරෙකට අහුවෙන්නේ ….
මහ ගල් ආඳා…….ඒ ළමයගෙ දෙමව්පියෝ බොහොම වැදගත් උදවිය …..මූ නම් ගම කනවා …එහෙම කියපු නිශාන්ති හිනා උනා …
මම පන්තියට යනකොට ළමයි තිස් අට දෙනාගෙන් තිස් හත් දෙනෙක්ම වාඩිවෙලා උන්නා .එක පුටුවක් හිස් වෙලා තිබුණා .
ළමයින්ට මාව අඳුන්වලා දුන්නා ඉන්පස්සෙ මට ඕනෙ වුණා ළමයින්වත් අඳුනගන්න .
කාගේ පුටුව ද පුතේ මේ හිස් වෙලා තියෙන්නේ ..අද ඒ ළමයා ආවේ නැද්ද ….
කතාව පටන් ගන්න ඕන හින්ද මම එහෙම ඇහුවා .
ඔතන ඉන්නේ පුණ්ඩරික ටීචර් …..
.එයා අද ආවේ නැද්ද ……
පන්තියේ ළමයින්ගෙන් මුනු මුනුව විතරයි මට ඇහුනේ …කවුරුවත් මට ඇහෙන්න උත්තර දුන්නේ නැහැ …
මම හිතුවා ළමයි දන්නේ නැතුව ඇති කියලා …මම පාඩම පටන් අරගෙන පැය බාගෙකට විතර පස්සේ සුදු වයසට අනුව උස තියෙන බොහොම සිරියාවන්ත ඒ උනාට ටොම් සෝයර්ගේ පෙනුම තියෙන දඟ පාට කොල්ලෙක් බිත්ති කන්ඩිය උඩින් එබුනා .
ඔයා කවුද පුතේ ….
ටීචර් මම පුණ්ඩරික….හිස් වෙලා තියෙන පුටුව මගේ ….
කොල්ලගෙ උත්තර දීම… මට ටිකක් හිතන්න සිද්ධ වුණා ……
ආ ඔයා ද පුණ්ඩරික කියන්නේ …..කොහෙද මෙච්චර ගිහිල්ලා හිටියේ …..
අනේ ඔන්න මම මෙච්චර වෙලා ප්‍රින්සිපල් ගාව දන ගහගෙන හිටියෙ …මේ බලන්නකො ඕන්නං…. දනිස් වල තාමත් මඩ… ඉකෝන් පීරියඩ් එකේ ඉදලා මම දන ගහගෙන හිටියෙ …දැන් තමයි මට යන්න දුන්නේ …
පුණ්ඩරික එහෙම කිව්වේ දනිස් වල වැලි පිහදාන ගමන්මයි …කොල්ලා උත්තර දීපු විදිහට මට හිනා යන්නත් ආවා.පන්තියේ අනික් උන් නම් හිකි බිකිස් ගාද්දිම මගේ සැර ඇස් බැල්මට බය වෙලා නිහඬ උනා.කිසිම බයක් හැකක් නැතුව තමන්ට වෙලා තිබුණු ඇබැද්දිය ගැන කිසිම ලැජ්ජාවකුත් නැතුව නිර්භීතව උත්තර දීපු එක ගැන මට හිතාගන්න බැරි වුනා .
ඒ මොකද ලොකු සර් ඔයාව දණගැස්සුවේ…
දන්නැද්ද….
එහෙම කියපු නසරානියා නසරාණි විදිහටම මන් දිහා බලල හිනා උනා.
පුණ්ඩරිකට එයාගේ පුටුවෙ වාඩි වෙන්න මං ඉඩ දුන්නා .හවස ඉස්කෝලෙන් පස්සේ පුණ්ඩරිකව නවත්තගෙන මම එයාගේ පොත් බැලුවා .
ඔයා ගෙදර යන්නේ බස් එකේද……
මම එහෙම කොල්ලාගෙන් ඇහුවේ පාසල් සේවයක යනවනම් කොල්ලා අතරමං වෙන හින්දයි .
මිස් යන්නේ මොකේද…..
මම නම් ඉතින් බස් එකේ තමයි ….
හා ……. ආ……… එහෙනම් එච්චරයි ……අපි දෙන්නට ජෝඩු දාලා යන්ට බැරියෑ ….
කියලා කට කොනකින් හිනා වෙච්ච පුණ්ඩරික අතින් පුටුව අනිත් පැත්තට හරවල පුටුවෙ පත්ත තමන්ගේ පපුවට හේත්තු වෙන විදිහට වාඩි වුණා .
පුණ්ඩරික ……ඔයා දන්නවද ඔයාගේ නමේ තේරුම …..
ඇයි මිස් දන්නේ නැද්ද ….
මම දන්නවා ඔයා දන්නවද කියන්නකො …..
ඔහොම කියන්නේ තේරුම දන්නේ නැති අය ……හා පුලුවන්නම් කියන්න බලන්න පුණ්ඩරික කියන එකේ තේරුම …..
කොල්ලා මට කිව්වේ කට උල් කරලා. මට හිතුනා ඒ සමවයසෙ කෙල්ලෙක් එතන හිටියනං පුණ්ඩරික ගෙ මුහුණ හරිම හුරතල් විදිහට පෙනෙයි කියලා .
මට මේ නසරානියා ගේ කතාවට හිනා ගියා .
ඔයාගේ මූණත් ටොම් සෝයර් වගේමයි ….. දැන් බලාගෙන ගියාම කතාව ත් ඒ වගේමයි …..
මම කිව්වේ හිනාවත් එක්කමයි .මට මාක් ට්වේන්ගේ ටොම් සෝයර් කතාව මතක් උනා . ඒ කතාවේදීත් ටොම් සෝයර් මහා ගජබින්න අතාරින්ට ගිහිල්ලා එයාගේ නම අමතක වෙනවා. අමතක වුණයි කියලා කියන්න බැරි හින්දා ඔය විදිහ කපටිකම කින් ආපහු අදාල පුද්ගලයාගෙන් ම එයාගේ නම අහගන්නවා .
ටොම් සෝයර් ඒ කවුද ඒ…….මිස්ලගෙ ගෙවල් ළඟ ළමයෙක්ද ……
හරි හරි දැන් ඒකෙන් වැඩක් නෑ ඔයා පුණ්ඩරික කියන එකේ තේරුම දන්නවද කියන්නකො …..කියල මම ඇහුවා .
මගේ ඇස් දිහා කෙලින් බලාගෙන හිටපු පුණ්ඩරික … බොහොම ස්ථාවර වැදගත් ගැඹුරු කටහඬකින්
පුණ්ඩරික කියලා කියන්නේ නෙළුම් මලට මිස් …..ඒක සංස්කෘත භාෂාවේ වචනයක් …..මහායාන බුදු දහමේ ප්‍රසිද්ධ පොතක් තියෙන්නේ සද්දර්ම පුන්ඩරිකය කියලා ….
එහෙම කියපු නසරානියා එක කකුලක් හොලවන්න ගත්තා. .පුණ්ඩරික ගෙ ඇස් දෙක වීදුරු දෙකක් වගේ දිලිසුනා .එච්චර දෙයක් දන්න කොල්ලෙක් ටොම් සෝයර් නොදැන ඉන්න බැහැයි කියල මට ඒ වෙලාවේ හිතුණා. මුගෙ ආනාදි කම මට හිතාගන්න පුළුවන් උනා .
මම මුකුත් නොකියා හිනාවෙලා පුණ්ඩරික ගෙ පොත් පෙරළලා බැලුවා .ඒ පොත් වල වැඩ කිසිම පිළිවෙලක් තිබුණෙ නැහැ .ගොඩක් සටහන් ලියලා තිබුනෙත් නෑ.
ඇයි මේ පිටු හිස් තියලා ….ඇයි මේ පොත් වල වැඩ කරලා නැත්තෙ……. මං ඇහුවෙ පොත් බලන ගමන්මයි .
පිටු හිස් තිබ්බේ ඕවල ලියන්න ඕන හින්දා …..
හරි ඉතින් ඇයි මෙච්චර හිස් තියලා තියෙන්නෙ …..
අර ප්‍රින්සිපල් මට එන්න දෙන්නෑ නේ පන්තියට… හැමතිස්සේම දණගස්සවා ගන්නවනේ …..
මිස් දන්නවද… එයාට මාව හරි හැන්සම් විදිහට පේනවා ඇති .ඒකනේ වරු ගානක් දන ගස්සගෙන මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ …..
පුණ්ඩරික පුතේ …..මම දැන් ඔයාගේ පන්තිභාර ටීචර් …..මට ඔයා ඇත්ත කියන්න ඕනේ….ඇයි හැමතිස්සෙම ඔයා ප්‍රින්සිපල් දණ ගස්සවලා තියන්නේ …..
එක ඇහැක් වහලා කට කොනකින් හිනාවෙච්ච පුන්ඩරික ……
ප්‍රින්සිපල් ගේ දුව…. අයෝද්‍යා…. ලස්සනයි …. මං එයා දිහා පොඩ්ඩක් බලනවා… ඒකට ඔය…… මං ආසයි මිස් දනගහන් ඉන්න …… මං ඉන්න තැනට කෙලින්ම අයෝද්‍යා ගේ ඩෙස් එක පේනවා. මං එයාට එයාගේ හදවත ගැලවිලා බිම වැටෙන විදිහට බලං ඉන්නවා . මිස් දන්නවා ද….. එයා කදුලු පිහිදනවා මට පේනවා……
පුන්ඩරික ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයේ වගේ නියම තැන හඩ උස් පහත් කර කර ඇස් වලින් දුර ඈතක් බලාගෙන පුදුම ලස්සනට ඒ දෙබස් ටික මට කිව්වේ මාව සීතල කරන ගමන්.
ග්‍රීක වැසියනි …….නුඹලා සොල්දාදුවන් ය …..කියලා අනෝජා වීරසිංහ මේ දැන් ඒ දෙබස කියනවා වගේ මට ඇහුණා. පුටුවෙන් නැගිට්ට කොල්ලා මගේ ලගට ඇවිත් මහා ගැබුරු කටහඩින් රහසින්….
මිස් දන්නවා ද…… ප්‍රින්සිපල් රිද්දන්නේ මට නෙමෙයි……. කිව්වා .
මට හිනායන්න ආවේ උගේ ඇක්ශන් වලට. මොකද්දෝ දෙයක් කොල්ලා ගේ ඇගේ හැංගිලා තියෙනව කියලා මට හිතුනා .
හරි….. ඔයාගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ ….. මං ඇහුවා.
චහ්…. ගාලා කටෙන් සද්දයක් දාපු කොල්ලා හයිරංකාර විදිහට ..
දැං ඒ ප්‍රශ්නෙ කොහොමද මෙතනට අදාල වෙන්නේ…..
කියලා ඇහුවා.
අදාල වෙන්නෙද…… අදාල වෙන්නේ …. ඔයා එයාලගේ පුතා හින්දා ….. ඔයා මේ විදිහට ඉස්කෝලේ වැඩ මග අරින්නේ ඇයි කියලා දැනගන්න ….. සමහර දෙමව්පියෝ ලමයි ගැන සැලකිලිමත් නෑ….. සමහර දෙමව්පියෝ උගත් නෑ.. දරුවා තේරුම් ගන්න දරුවගේ ගෙදර පරිසරය දැනගන්නම ඕනේ..
මගේ මූන දිහා බලාගෙන හිටිය කොල්ලා ගේ ඇස් වල කදුලු පිරුනා. හැබැයි කදුලු එලියට ආවේ නෑ… බිම බලාගත්තු පුන්ඩරික ආයාසයෙන් හිනා උනා..
මගේ පපුව පිච්චිලා ගියා. මම සැක කරපු විදියටම පුණ්ඩරික ගෙ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතුනා.මං නැගිටලා කොල්ලා ගාවට ගියේ පත්තු උනු පපුවෙන්. මේ වගේ හැඩි දැඩි කොල්ලෙක් කදුලු පුරොගෙන වචනෙන් කියන්න බැරි හැගීම් අහුරක් පුරවගෙන ඉන්නවා බලං ඉන්න මට බැරි උනා.
ඇයි පුතේ….. බය නැතුව කියන්න ….. මං කාටවත් කියන්නේ නෑ….
එහෙම කියලා මම බොහොම හෙමින් පුණ්ඩරික ගේ ඔලුවත් අත ගාලා කිව්වේ මගේ වචන වලින් එයාට මං ගැන විශ්වාස උපරිමයෙන් දැනෙන්න ඕන හින්දයි …
පුණ්ඩරික වචනයක්වත් කතා නොකර දිලිසෙන ඇස් වලින් මන් දිහා බැලුවා . තප්පර දහයක් විතර මගේ මූන දිහා කෙලින් බලාගෙන හිටපු පුන්ඩරික ප්‍රෙෂර් එක වැඩි වෙච්ච වායු බැලුනයක් වගේ බකාස් ගාලා මහ හඬින් හිනා වුණා . මට බය හිතුනා .මාව පස්සට විසි වුණා .එකපාරටම මට හිතුනා මම කතාකරන්නේ මානසික රෝගී දරුවෙක් එක්ක කියලා .මගේ බය වෙච්ච මූන දිහාවට ඇඟිල්ල දික් කර කර පෙන්න පෙන්න පුණ්ඩරික දෙකට නැවී නැවී හිනා උනා .
මිස්… ස්… මිස්…. හ්යියෝ.. යෝ…..හ්..මිස්..
මට හිතාගන්න බැරි මූනකින් මං බලං උන්නා .
මිස්…. රැවටුනා නේහ්….. කෝමද…… පුන්ඩරික කාන්ගේ ඇක්ටීටීටීන්……. ආහ්……
කියලා කියපු කොල්ලා තමන්ගේ කොලර් එකේ පැත්තක් උස්සන් යංතං හිනාව නවත්ත ගත්තා .
මිස්….. මගේ අම්මයි තාත්තයි දෙන්නම බාගෙට දැනුම ලබා ගත්ත මිනිසුන්ව සම්පූර්ණ කරනවා …..ඔය ඉතිං මිස් මූණ ඇද කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා … ඒ දෙන්නම කැම්පස් එකේ ලෙක්චර්ස් ලා….
මට හරි පුදුම හිතුනා. කථිකාචාර්යවරුන් දෙන්නෙක්ගේ දරුවෙක් ඇයි මේ විදියට හැසිරෙන්නෙ කියලා….එක අතකට බැලුවහම පුණ්ඩරික ගේ හැසිරීමේ වරදක් නැහැ …. අමුතු නාහෙට අහන්නේ නැති දාංගල ගතියක් නම් තිබුණා ..
ඇයි පුතා නාට්‍ය හා රංග කලාව කළේ නැත්තේ….ඇයි කොමර්ස් තෝරගත්තෙ …මං ඇහුවා .
ටොක්සිඩ් පේරන්ට්ස්…… ටොක්සිඩ් …….
පුන්ඩරික බොහෝම ශාන්ත දාන්ත විදිහට කිව්වා.
ඇයි අම්මලා තාත්තලට එහෙම කියන්නේ…. දෙමව්පියෝ විස සහිත නෑ….. මං කිව්වේ ටිකක් තදින්…….
නෑ මිස්…. මට ඕනේ නාට්‍ය හා රංගකලාව කරන්න …..අම්මලගෙ බල කිරිල්ලට තමයි කොමර්ස් කළේ .
එදා දවස මට ගතකරන්න අමාරු ගතියක් දැනුනා. ඔලුව කැරකැවෙන ගතියක් දැනුනා .අපි හැමෝම තේරුම් නොගත්ත මොකක්දෝ අමුතු දෙයක් පුණ්ඩරික ගේ තියෙනවා කියලා මට හිතුනා .මෙච්චර දවසකට හැමෝම ඒ ළමයා දිහා බලලා තිබුනේ නසරානි යෙක් අන්ඩපාලයෙක් විදිහටයි . ඒ උනාට පුණ්ඩරික ගේ ඇඟ ඇතුලෙන් මොකක්දෝ ලොකු කලාකාමී ගතියක් හැංගිලා තියෙනවා කියලා මට හිතුනා .
පහුවෙනිද උදේ මම ඉස්කෝලෙට යනකොට පුණ්ඩරික තවත් පිරිමි ළමයි දෙන්නෙකුයි කාර්යාලය ඉස්සරහ හිටගෙන හිටියා .
අපෝ අදත් ජංජාලයක් වගේ ..මගේ හිත මටම කිව්වා .
අනික් පිරිමි ළමයි දෙන්නා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්නකොට පුණ්ඩරික මන් දිහා බලල එක ඇහැක් ගහලා නසරානියා ක් විදිහට කට පැත්තෙන් හිනා උනා.උඹ නං කවදාවත් හදන්න බෑ පුතේ වගේ කියමනක් මං මූනෙන් කියන ගමන් මම ඔලුව දෙපැත්තට වනා ගෙනම කාර්යාලය ඇතුළට ගියා .
මම යනකොට විදුහල්පතිතුමා උන්නේ කාට හරි දුරකථනයෙන් කතා කර කර .
බලන්න මිස් තේජානි …..පුණ්ඩරික ඔයාගේ පන්තියෙ නේද …..මූ කරල තියන වැඩේ …. අම්මට කතා කරලා කිව්වහම කියනවා ඉස්කෝලෙට එන්න විදිහක් නැහැලු.. කැමති දඬුවමක් දෙන්න කියලා …
මොකක්ද සර් මෙයා කරලා තියෙන වැඩේ ….
අර මැත්ස් සෙක්ශන් එකේ ඉස්සරහ හදලා තියෙන්නේ පයිතගරස් ගේ පිලිමයක්. මෙයා ගිහිල්ලා ඒ පිළිම කටට කඩල පුරෝලා ඇවිල්ලා .
විදුහල්පතිතුමා කොයිතරම් බැරෑරුම් මුහුණකින් ඒක කිව්වත් මට ,පුණ්ඩරික ගිහිල්ලා පයිතගරස්ගේ කටට කඩල පුරෝන හැටි මැවිලා පෙව්නා. මට හිනා යන්න ආවට මම ඒක තද කරගත්ත . නැත්තම් මටත් ගුටි කන්නයි වෙන්නේ…
එතකොට අනිත් පිරිමි ළමයි දෙන්න කවුද …
ආ…. ඒ ඔත්තු බලපු දෙබාන…. පුණ්ඩරික ගේ අති ජාතයෝ…
බලන්න මිස් මේ ලමයගේ අම්මයි තාත්තයි බොහෝම වැදගත් මිනිස්සු … මේ ලමයා ඒ මිනිස්සුන්ට දෙන වදයක්…. දැන් දැන් අපි කම්ප්ලේන් කලාට ගෙදරින් එන්නෙත් නෑ….
මට පුණ්ඩරික ගැන දුක හිතුනා . පුණ්ඩරික ගේ අවශ්‍යතාවය ගැන ගෙදරින් මීට වඩා තේරුම් ගත්තා නම් හොඳයි කියලා මට හිතුණා .
මම එදා විදුහල්පතිතුමාට පොරොන්දු උනා ආයිත් පාරක් පුණ්ඩරික අතින් වරදක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැයි කියලා .මම එහෙම පොරොන්දු වෙච්ච හින්දා විදුහල්පතිතුමා පුණ්ඩරික ට පන්තියට යන්න අවසර දුන්නා .
ශෙහ්…… මිස් ඔයා ඇයි එහෙම ප්‍රින්සිපල් ට කිව්වේ… බලන්නකෝ මං අයෝද්‍යා දිහා නේ බලාගෙන හිටියේ ….
මට හිනා ගියා .
ඒ අවුරුද්දේ මාස තුන හතරක් යනකොට පුණ්ඩරික මට ගොඩක් ලං වුනා .දරුවෙක්ට වගේ මම පුණ්ඩරික ට ආදරය කරන්න පටන් අරන් තිබුණා .ඒ දඟකාරකම් ඒ මැරකම් මාව අමුතුම ලෝකයකට ගෙනිහින් තිබුණා .අනිත් ගුරුවරු මොනව කියල බැන්නත් ගැහුවත් මට පුණ්ඩරික ට වචනයක්වත් කියන්න හිතුනෙ නෑ …පුණ්ඩරික ගෙ නසරානි වැඩ ඇත්තෙන්ම මගේ යටි හිත කුල්මත් කළා .මට ආපහු මගේ තරුණ කාලය මතක් කළා .විදුහල්පති ධර්මසේන මහත්මයා එයාගෙ දුව අයෝධ්‍යාව වෙන ඉස්කෝලයකට මාරු කළා .අයෝධ්‍යාව වෙන ඉස්කෝලයකට මාරු කරන බව පුණ්ඩරික දැනගෙන තිබුණෙ නැහැ .පුන්ඩරික ඒක දැනගත්තු දවසෙ උදේ වචනයක්වත් කතා නොකර සුදු කම්මුල කපාගෙන තද කොළ පාට නහරයක් මතුකරගෙන ජනේලයෙන් එළිය බලාගෙන ජනෙල් කූරු තදකරගෙන අල්ලගෙන හිටපු හැටි මට තවමත් මතකයි .ගිණුම්කරණ කාලච්ඡේද දෙක අවසානයේදී මම පන්තියෙන් එලියට ගියේ ඊළඟ පන්තියට යන්නට තිබුණු හින්දයි .
එකපාරටම විදුහල්පතිතුමාගේ කාමරය ඇතුලෙන් ඇහුනේ ඩෝං.. ගාන සද්දෙකුයි.හරියටම ඒ වෙලාවේ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයා විදුහල්පතිතුමා හම්බවෙන්ඩ ඇවිල්ලා විශේෂ සාකච්ඡාවක් කරමිනුයි හිටියෙ .උනේ මොකක්ද කියලා තෝරා බේරගන්න බැරි වෙච්ච මන්ත්‍රීතුමාගේ ආරක්ෂකයින් හතර වටේට දුවන්න ගත්තේ කවුරුහරි වෙඩි තිබ්බා කියලා හිතලයි .කලබලයක් සිද්ධ වෙච්ච නිසා ඒ ළඟම හිටපු මමත් ඉක්මනටම දුවලා ගියේ කාර්යාලය පැත්තට .කාර්යාලය ලඟම තියෙන මල් පැලය අස්සේ හඳුන්කූර ක ගැටගහලා තිබුණු රතිඤ්ඤා කරලක් හරි ගානට වෙලාවට පුපුරලා තිබුණා .මේක කවුද කළේ කියලා හොයාගන්න විදිහක් නැති වුණාට ඉන්තේරුවෙන්ම මේක කළේ පුණ්ඩරික බව මම දැන ගත්තා .මම පන්තියට ආපහු ගියා. යනකොට කිසිම දෙයක් නොවුන විදිහට පුන්ඩරික තමන්ගෙ ආසනයේ ඉඳගෙන හිටියා. මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටපු පුණ්ඩරික බිම බලා ගත්තා .වචනයක්වත් කතා නොකරපු මම එනවා යන්න කියලා පුණ්ඩරික වත් ඇදගෙන ආපන ශාලාවට ගියා .පුණ්ඩරික ට ඇතිවෙන්න කන්න රෝල්ස් පැටිස් එක්ක කිරි තේත් අරගෙන දුන්නා . ඒත් පුණ්ඩරික ඒවාට අත තියන්නේ වත් නැතුව අඬන්න පටන් ගත්තා .කන රත්වෙන්න මගෙන් පහරක් හම්බෙයි කියලා බලාපොරොත්තුව හිටපු පුණ්ඩරික ට මගේ සත්කාරය ඉවසගන්න බැරි උනා. හැබැයි ඒ ඇඬිල්ල නම් ඇත්තටමයි කියලා මට තේරුණා .
පුතේ ගෑනු ලමයෙක් වෙනුවෙන් පිස්සෙක් වෙන්න හදන්න එපා ….ඔයාව දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති වෙයි…. ඒ උනාට ඔයා යන්න ඕනේ පාර මම ඔයාට පෙන්නන්නං….ඒ පාරෙ හරියට යමං …..උඹට වරදින්නේ නෑ බයවෙන්නේ නැතුව ඒ පාරේ පලයන් පුතේ….
මොනව හරි දෙයක් කරගන්න ඕන නම් උසස්පෙළට අඩු තරමේ සාමාන්‍ය පාස් තුනක් වත් ගන්න ඕනේ බව මම කොල්ලට කියලා දුන්නා. නාට්‍ය හා රංග කලාවේ මූලික පදනමට අයිති පොත් කට්ටලය මම ඉස්කෝලේ පුස්තකාලයෙන් පුණ්ඩරික ට හොයල දුන්නා .ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව කරන සර්ගෙ පෞද්ගලික පන්තියකට පුණ්ඩරික ව යොමු කෙරෙව්වා .ඒ අතරෙ මම ඌට නොවඳිනා වැඳුම් වැන්ඳ කොහොමහරි උසස් පෙළට සාමාන්‍යය පාස් තුනක් වත් ගන්න කියලා .ඒ අතර ලයනල් වෙන්ට් වල නාට්‍ය හා රංග කලා පුහුණු පාඨමාලාවකටත් යොමු කළා. මම මේ විදිහට දිගටම උදව් කරනවා කියලා පුණ්ඩරික කවදාවත් කිසි කෙනෙක් එක්ක කිව්වේ නැහැ .පුණ්ඩරික බය වුණා එයාගේ අම්මයි තාත්තයි මට දොස් කියයි කියලා .කොහොමහරි බොහොම අමාරුවෙන් කොල්ලා සාමාන්‍ය පාස් තුනක් අරගෙන විෂයන් තුන ෆේල් කරගන්නේ නැතුව බේරුණා . ඊට පස්සේ මට පුන්ඩරික ව මග ඇරුනේ මගේ මහත්තයට ඇමරිකාවේ රස්සාවක් ලැබුණු නිසා මටත් මහත්තයත් එක්ක යන්න සිද්ධ වුණු හින්දයි .ඊට අවුරුදු දෙකකට විතර පස්සේ ඇමරිකාව ප්‍රධාන පත්තරේක ලස්සන ප්‍රවෘත්තියක් පළවෙලා තිබුණා .
මෙවර අන්තර්ජාතික කෙටි චිත්‍රපට තරගාවලියේ දී හොඳම නළුවා ලෙස ශ්‍රී ලංකාවේ පුණ්ඩරික ධර්මදාස සම්මානයට පාත්‍ර වේ..
කියලා තිබුණා .මගේ අත් දෙක මටම පාලනය කරගන්න බැරුව වෙව්ලන්න ගත්තා .මට හිතාගන්න බැරි වුනා .ඉස්කෝලේ කාලෙට වඩා පුණ්ඩරික ගොඩක් ලස්සනයි .ජෙල් තලියක් ගාලා කොණ්ඩේ උඩට කරල තිබුණා .කනේ කරාබු තුන හතරක්ම දාලා තිබුණා .රතු පාට ෂර්ට් එකට උඩින් කහපාට කෝට් එකක් ඇඳල හිටිය .රත්තරන් පාට දිලිසෙන සම්මානයක් උඩට කරගෙන හිනා වේගන ඉන්න රූපයක් තිබුණා ..ලිපියේ එක තැනක තද කළු අකුරින් පුණ්ඩරික ගෙ වචනයක් උලුප්පා තිබුණා .
Actually, I am not the real owner of this award..Tejani Teacher who showed me the right way …..
මම අඩලා තිබුනා.