අනෝරා මල් වැහි 27

“නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි

කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි

නැගෙන වේදනා තුරුණු මා හිතේ අපමණයි

අචල ආදරේ බැඳුණ ඔබ කෙරෙ එලෙසමයි”

යන්නේ නැතැයි කීවාට තාරාට වයිබ්ස් කැෆේ වෙත එදා හවසත් නොයා බැරිවිය. තමා එහි ගියා නොව මෙයැයි කියා කියන්නට නොහැකි හැඟුම් සමුදායක් විසින් තාරාව එහි ගෙනගියාය. 

මහිල්ගෙන් ආ මග හල ඇමතුම් ද කෙටි පණිවිඩ ද බොහොමයක් එයට හේතු නොවන බවත් තමා මෙහි ආවේ මහිල්ව අමතක කර බවත් තාරා තම හිතට කියමින් උන්නාය. එහෙත් ගී ගයන මන්ඩපේ හිඳ තාරා හිඳින දෙසට ඇදී ආ ප්‍රශ්නාර්තයක් රැඳි මහිල් ගේ දෙනෙත අබියස හිත පුරවා උන් අහේතුක කෝපයේත් වේදනාවේත් ගිනි දලු සෙමෙන් නිවී යන බව තාරාට දැනුනි. අකීකරු නෙත විටෙන් විට මහිල් දෙසට ඇදී ගියද මහිල් වෙත සුපුරුදු සිනහව තිළිණ කරන්නට තාරා නොසිතුවාය.

සුපුරුදු මින්ට් තේ කෝප්පය තාරාගේ මේසයට ආවේත් ගී ගැයුම අවසන් කල මහිල් සෙමෙන් කල්පනා බර පියවර තබා එහි ආවේත් එකම මොහොතකය. 

“හෙලෝ, කැන් අයි සිට් හියර්?”

මහිල් සුපුරුදු සිනහව දෙතොලතර රඳවාගෙන තාරා වෙත නැමී ඇසුවේය.

දෙනෙතින් මිස දෙතොලතින් උත්තර දෙන්න තාරා හිතුවේ නැත. හමු වී ගෙවී තිබුණේ තවමත් සති කිහිපයක් වුව තාරාගේ දෙනෙතේ රැඳී තිබුණ ඒ කියමන තේරුම් ගන්න අපහසුවක් මහිල්ට වූයේ නැත. සරස් හඬින් පුටුවක් ඇදුණේත් මහිල් එහි වාඩි වී දෑත මේසය මත තබා තාරා දෙස එක එල්ලේ බැලුවේත් එකම විටය. 

“තාම තරහෙන්ද?”

මහිල් ඇසුවේ සුපුරුදු දඟකාර හඬින් නොව වඩා ගැඹුරු හඬකිනි. ඒ ගැඹුරු හඬේ ආදරයත්, දුකත් ඕනවටත් වඩා මුසු වී තිබුණ වග තාරා හැඳිනුවාය. එහෙත් නම නොදන්නියගේ සරාගී දෙනයන මතක් වෙන වාරයක් පාසා මහිල් දෙස සුපුරුදු මිතුරු කමින් බලන්නට නොහැකි බවක් තාරාට සිතේ. 

“නෑ, මොකටද ඉතින් තරහවෙන්නෙ?”

“ඇයි තාරා ඔයා එදා කියන්නෙත් නැතුව එකපාර ගියේ? වෙනද එහෙම කරන්නෙ නෑනෙ”

“මං ඉතින් කියල ගියත් නැතත් එදා ඔයාට එහෙම මං ගැන ගාණක් තිබුනෙ නෑනෙ මහිල්”

තේ කෝප්පය මදකට මේසය උඩ තබා තාරා තම නුවන් මහිල් වෙත පා කලේ එසේ අසමිනි.

“ඒ කිව්වෙ? ඇයි එහෙම දෙයක් කිව්වෙ”

“ඒක ඉතින් මට වඩා හොඳට ඔයා දන්නවා ඇතිනෙ මහිල්”

“මට ඔයා කියන දේ තේරෙන්නෙ නෑ තාරා. මට දැනගන්න ඕන ඇත්තටම ඔයා ඇයි තරහෙන් ඉන්නෙ කියල. ඒ උනාට දැන් ඔයා ඉන්නේ කතා කරන මූඩ් එකක නෙවෙයිනෙ. ඒ නිසා මම පස්සෙ එන්නම් කතා කරන්න” කියා මහිල් සූදානම් වූයේ හිඳ හුන් තැනින් නැගිටින්නය.

“යන්න එපා” කියා තාරාගේ මුවත් අතත් ඉස්සර වූයේ මහිල්ව එයින් වලකාලමිනි. මහිල් දෙනෙත් මත ප්‍රශ්නාර්තයකුත් දෙතොලේ මද සිනාවකුත් රඳවාගෙනම තාරා දෙසම බැලුවේය.

“අද නැද්ද?”

තාරා මහිල් දෙස යටැසින් බලමින් මින්ට් තේ උගුරක් රස වින්දාය.

“කවුද?”

තාරාගේ මින්ට් තේ කෝප්පය මේසය මත ඇඳි රවුම් වතුර දාරය ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරමින් මහිල් ඇසුවේ ඇත්තටම තාරාගේ ප්‍රශ්නය තේරුම් ගන්නට බැරුවය.

“ඔයාගේ පාට්නර්?”

“පාට්නර්? මට එහෙම කෙනෙක් නෑනෙ, කවුරු ගැනද ඔයා කියන්නෙ?”

“ඔයා නෑ කිව්වට ඔයාලා දෙන්නව එදා දැකපු හැමෝටම හිතෙන්න ඇත්තෙ එහෙම තමයි”

තවත් මින්ට් තේ උගුරකින් දෙතොල තෙමා ගනිමින් තාරා කිව්වේබිඳෙන් බිඳ පහවී යනවේදනා දුක් ගිනි දැල් අතරින් ය. 

එහෙත් මහිල් තවමත් ඉන්නේ කුතුහලය රැඳුණු නෙතිනි. තාරා කියන්නේ කුමක් ගැනද කියා කිසිත් අදහසක් මහිල්ට තිබුනේ නැත. තාරා එදා නොකියාම වයිබ්ස් කැෆේ එකෙන් ගොස් තිබුණ අයුරු දකිද්දී හිතට ආ දුක සහ බය ඇය කිසිත් ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට පිලිතුරු නොදෙද් දී වැඩි වූ අයුරුත්, ඒ නිසාවෙන්ම කිසිම දෙයක් හරියාකාරව කරගන්නට බැරි මානසික පීඩනයක තමා ගිලී උන් අයුරුත් තාරා දන්නේ නැත. 

කොතෙක් පණිවුඩ යැව්වද ඒ කිසිවකට පිලිතුරු නොදුන් තාරා ගැන සිතමින් හුන් නිසාම තමාට පසුගිය රාත්‍රින් දෙකම කිසිත් නින්දක් ලැබුනේ නැත. ඒ රාත්‍රින් දෙක පුරාවටම ඇඳේ එහෙ මෙහෙ හැරෙමින් මහිල් කල්පනා කරමින් ගෙවුවේය. තාරා අද වයිබ්ස් කැෆේ වෙත එනු ඇතැයි බලාපොරොත්තුවෙන් වේලාසනින්ම මෙහි ආවේය.

“කෝ අද නැද්ද එයා?”

“කවුද?”

“එදා ඔයත් එක්ක සින්දු කිව්වේ”

මහිල්ගේ දෙතොල මත ඇඳණු සිනහව නවත්වා ගන්නට විදියක් හිතාගන්නට මහිල්ට හැකිවුයේ නැත.  තාරාගේ අමනාපයට හේතුව මහිල් තේරුම්ගත්තේ ඒ වදන් ඔස්සේය.

මේ සියල් අමනාපයන් පසුපස හේතුව වී හිඳින්නේ නිශාලිය. 

“ඒ නිශාලි”

තාරාව තවටිකක් අවුස්සන්නට හිතා මහිල් ඇගේ නම කිව්වේ තාරාදෙස නොබලා මදහස් බැල්මකින් බිම බලාගෙන මේසය මත ඇඟිල්ලෙන්ඉරි අදිමිනි.

තාරා එය පිලිගත්තේද මහිල් බලාපොරොත්තු අයුරින්ම වේදනවකිනි.පිරිමියෙකුගේ දෙතොල මතට මෙතරම් ම සිනාවක් ගෙන එන්නට සමත් වන්නිය ඔහුබොහෝ ආදරය කරන්නියක නොවේද?

මේ කියන නිශාලි යනු මහිල්ගේ පෙම්වතිය හෝ ඔහු හදවතින් ආලය කරන්නිය බව තාරා සිතා ගත්තාය. ඒ සිතුවිල්ල පවා රිදවුම් සහගතය. වේදනාකාරිය. එහෙත් ඒඅහේතුක රිදවුමකි. අහේතුක වේදනාවකි. තමාගේ හිතේ මහිල් ගැන කිසිත් බලාපොරොත්තුවක් නැති වග තාරා නැවත නැවතත් සිතට කිව්වාය. එහෙත් ඒ වේදනාව බිඳකින්වත් අඩුවූවා නොවේ. 

“ම්ම්ම්”

“නිශාලිව මීට් වුනේ කැම්පස් එකේදි”

“එයා කරන්නෙත් ඔයා කරන කෝස් එකමද?”

“නෑ එයා ඉන්ග්ලිශ් එකේ”

“ඉන්ග්ලිශ් ඩිප්ලෝමා එක කරන ලමයෙක්ව ඔයාට කොහොමද මීට් උනේ?”

තාරාගේ දෙනෙතේ රැඳී ඇති බැල්මත්, ඇගේ ස්වරයේ රැඳී ඇති වෙනසක් කියන්නට තනන කතාව තේරුම් ගන්නට අපහසුවක් මහිල්ට නැත. එහෙත් එය වියහැකිද?  තාරාගේ හිතේ තමා ගැන යම් කිසි හැඟීමක අංශු මාත්‍රයක්වත් තිබෙන්නට හැකිද?” 

“නෑ නෑ. ලන්ච් අවර් එකේදි ඉතින් කැන්ටින් එකේදි හැමෝම මීට් වෙනවනෙ. එතනදී ඉතින් කතා කරද්දි එයා ට මං කිව්ව මම මෙහෙම කැෆේ එකකසින්ග් කරනව කියල. එයා ඇහුවා එයාටත් චාන්ස් එකක් හදල දෙන්න පුලුවන්ද කියල මෙතන සින්ග් කරන්න.මම ඊටපස්සෙ මැනේජර් එක්ක කතා කරල ඒක ඇරේන්ජ් කරේ. නැත්තම් ඉතින්හැමදාම කොල්ලොමනෙ සින්ග් කරන්නෙ. වෙනසකටත් එක්ක හොඳයිනෙ. ඒකයි

ඒ ඇරෙන්න වෙන මුකුත් නෑ තාරා. ප්‍රොමිස්. ඔයා මාත් එක්ක තරහ උනේ මම එයා එක්ක යාලුයි කියල හිතලනම් ඇත්තමයි එහෙම දෙයක් නෑ. ප්ලීස් ආයෙ එහෙම කරන්න එපා. මට මාර අවුල් ගියා ඔයා කියන්නෙම නැතුව ගිහින් තියෙනව දැක්කම. මට හිතාගන්න බැරිඋනා මොකද කරන්නෙ කියල. ඔයා මගේමැසේජ් එකකටවත් රිප්ලයි කරේ නැනෙ. මම බය උනා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියල.

කොටින්ම ඊයෙ ඔයාලගෙ ගෙදර ලඟට පවා මම ආවා ඔයාව දකින්න ලැබේවිද කියල. අර ඔයා කිව්ව ෆන්ක්ශන් එක තිබුන දැක්ක නිසා තමයි මම පොඩ්ඩක් හරි හිත හදාගත්තෙ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් කරදරයක් නම් ගෙදර කීයටවත් ඒ ෆන්ක්ශන් එක තියෙන්නෙ නෑනෙ කියල.

මාත් එක්ක තරහෙන් ඉන්න එපා තාරා. මම ඒ ගර්ල් එක්ක යාලු නෑ”

මහිල් කිව්වේ බැගෑබර හඬකිනි. එහෙත් එහි විශ්වාසවන්ත බව ඕනවටත් වඩා රැඳී තිබුණි. ඒ නොපිලිගන්නට හේතුවක් තාරා ට තිබුනේ නැත. 

“මට අවුල් ගියේ ඔයා එයා එක්ක යාලුයි කියල හිතුන නිසා නෙවෙයි. ඔයා මට ඒ ගැන මුකුත්ම කිව්වෙ නැති නිසා” යැයි අපහසුවෙන් කියාගත් තාරා මින්ට් තේ වීදුරුවෙන් තවත් උගුරකින් දෙතොල තෙමා ගත්තාය.

මහිල් වඩා පැහැබර සිනාවක් දෙතොල මතට ගෙන එන අතරම තාරා දිගු අතැගිලි තම ශක්තිමත් අතැගිලි අගින් වඩා සුමටව අල්ලා ගත්තේය. 

“ශුවර් ද?”

තාරා අත මුදා නොගනිමින්ම මහිල් දෙස යටැසින් බැලුවාය.

“මොකද්ද?”

“දුක හිතුනෙයි මාත් එක්ක තරහ උනෙයි මම ඒ ගැන නොකිව්ව කියල හිතලමයි කියල?”

ඒ ප්‍රශ්නයකට වඩා කියමනකි. හදවතට ආමන්ත්‍රණයකි.

 ඒ මගහරින්නට බැරි බවක් දැනුනද එයට කිව යුත්තේ කුමක්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles