අහිමි  සිහින – ජේම්ස් පැට්‍රික් බල්ගර්

ජේම්ස් පැට්‍රික් බල්ගර්, තමන්ගේ අම්මත් එක්ක එංගලන්තයේ කර්ක්බි කියන ලස්සන ගමේ ජීවත් වුණ පුංචිම පුංචි කොලු පැටියෙක්. ජේම්ස්  ඉපදුණේ 1990 මාර්තු මාසේ ලස්සන දවසක. අම්මගේ  එකම හුරතලා වෙලා, ජේම්ස් හරි සතුටින් ජීවත් වුණා. 

ජේම්ස් ජීවත් වෙලා හිටියා නම් මේ වෙනකොට අවුරුදු තිස් හතරක කොල්ලෙක්. ඒත්, 1993 පෙබරවාරි 12 වෙනිදාවක හීනෙකින්වත් නොහිතපු විදියට අපරාධකාරයෝ දෙන්නෙක්, ජේම්ස්ගේ ජීවිතේ උදුරගත්තා.

අම්මගේ අතෙන් ගිලිහුණු ජේම්ස් 

ඒ අඳුරු දවසේ, ජේම්ස් අම්මා එක්ක සුපිරි වෙලඳසැලට යන්නේ වෙනදා වගේම ගෝ කාර්ට් එකෙන්.  හවස 1.42 වෙනකොටත් ජේම්ස් අම්මගේ ඇස් වලට පේන මානේ හිටියා. ඒත් අම්මා මිලදී ගෙන තිබුණ කුකීස්වල බිල ගෙවන්න ගෙවුම් කවුන්ටරය ළඟ ඉඳලා ආපහු හැරෙන තත්පරේ වෙනකොට ගෝ කාර්ට් එකෙන් ජේම්ස් අතුරුදන් වෙලා තිබුණා. එතකොට වෙලාව හරියටම හවස 1.45යි. ඒ කියන්නේ  අම්මාගේ ඇස් මානෙන් මිදිලා විනාඩි තුනයි ගත වෙලා තිබුණේ. 

ගෝ කාර්ට් එකේ ජේම්ස් නැති බව දැක්ක වහාම, ජේම්ස් ගේ අම්මා වෙළඳසැල් කාර්‍යමණ්ඩලය ඒ ගැන දැනුවත් කළා.  හැමෝම කලබල වුණා. කොහොම හරි හැමෝගෙම ඇස් වලට හොරෙන් පුංචි ජේම්ස්ව සුපිරි වෙළඳසැලෙන් එලියට අරගෙන යන්න ඒ අපරාධකරුවෝ සූක්ෂම වෙලා තිබුණා. 

“තමන්ගේ ඇස් මානෙන් දරුවාව ඈතට ගියාට පස්සේ, ගෙවෙන තත්පරයක් වුනත් දැනෙන්නේ පැයක් වගේ…”

මේ සිද්දියෙන් අවුරුදු තිහකට පස්සේත් ජේම්ස් ගේ අම්මා කඳුළු පුරවගෙන එහෙම කියනවා. 

මුළු වෙළඳසැල් කාර්‍යමණ්ඩලයම වෙළඳසැල තුල වගේම ඒ අවටත් ජේම්ස් ව හොයන්න වෙහෙසුණා. ජේම්ස් ගේ අම්මා ඇඬූ කඳුලින් ඉවසගෙන බලාගෙන හිටියා. ඇයට කරන්න ඕනි දෙයක් ගැන කිසිම අදහසක්වත් තිබුණේ නැහැ. 

ජේම්ස් අතුරුදන් වුන වෙලාවේ ඉඳන් විනාඩි හතලිහක් ගත වෙනකොටත් ජේම්ස් ගැන පොඩි ආරංචියක් වත් නැතිවෙනකොට හැමෝගෙම කලබලය වැඩි වුණා.  තවදුරටත් තනියම ජේම්ස් ව හොයන එකෙන් ජේම්ස්ව හොයාගන්න තියෙන ඉඩ කඩ ඇහිරෙන බව තේරුම් ගත්ත වෙළඳසැල් කාර්‍යමණ්ඩලය ජේම්ස්ගේ අම්මවත් එකතු කරගෙන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. 

අවුරුදු දෙකක පොඩි දරුවෙක් අතුරුදන් වෙලා කියන පැමිණිල්ල බූට්ල් පොලිසිය ඉතා බැරෑරුම්ව භාර ගත්තා. අතුරුදන් වුණ කෙනෙක් හොයාගන්න මුල් පැය  කොයි තරම් වැදගත්ද කියලා දන්න නිසාම ඔවුන් ඉතාම ඉක්මනි  සෙවීමේ කටයුතු ඇරඹුවා.

ජේම්ස්ගේ අම්මා ඉන්නේ පියවි සිහියෙන් පිටත වීම නිසා පොලිස් ප්‍රශ්න කිරීම් වලට ඇයගෙන් ලැබෙන්නේ ඉතාම අල්ප සහයෝගයක්. ඒත් පොලිසිය ඉතාම යුහුසුළුව වෙහෙසුණා.  වීදියක් ගානේ ජේම්ස්ව හොයන පරීක්ශණ කණ්ඩායම් ගමන් කළා. 

“අනේ එයා හරිම මිත්‍රශීලි දරුවෙක්… එයාව සෙල්ලම් කරන්න කියලා එක්කන් යන්න ඇති…”

ජේම්ස් ගේ අම්මා අඬ අඬා කිව්වේ ඒක.

ජේම්ස් අතුරුදන් වෙලා පැය හතරක් යනකොටත් පරීක්ෂණ ප්‍රගතිය තිබුණේ ශූන්‍ය යේ. පොලිස් පරීක්ෂණ වල ප්‍රගතිය අවම නිසා පරීක්ෂණ  කටයුතු වලට රහස් පොලිස් සහයත් ලබා ගැණුනා. 

පළවෙනි ඔත්තුව 

ඒ තරම් වෙලා සුපිරි වෙළඳසැළ ලඟටවෙලා ජේම්ස් වෙනුවෙන් මඟ බලපු අම්මව පොලිසියට එක්කගෙන යන්නේ ඒ අතරේ.ඒ ඇයගේ මානසික සුව පහසුව ගැන හිතලා. මහ රෑ කියලා නැවතීමක් නැතුවම  පොලිස් පරීක්ෂණ කෙරුණා. ඒ අතරේ තමයි එදාම හවස හයට  සුපිරි වෙළඳසැල තිබුණ ප්‍රදේශයේ උමං මාර්ගයක් දිගේ අඬ අඬා ගිය ළමයෙක්  ගැන පොලිසියට ඔත්තුවක් ලැබෙන්නේ. ඒත් ඉන් එහාට ඒ ළමයා ගැන තොරතුරක් ලැබෙන්නේ නැති නිසා ජේම්ස් ගේ අතුරුදන් වීම අභිරහසක් විදියටම දිග් ගැස්සුණා.

ජේම්ස් අතුරුදන් වෙලා පැය නවයක් ගෙවෙනකොට ආරක්ශිත කැමරා වල දර්ශන විශ්ලේෂණය ආරම්භ කෙරුණා. එතනදි රහස් පොලිසිය බොහෝම ඍජු සාක්ශියක්   සොයා ගන්නට සමත් වුණා. 

  ඒ කුඩා පිරිමි ළමයෙක්ව අත් දෙකෙන් අල්ලගෙන යන අවුරුදු දහයක විතර පිරිමි ළමයි දෙන්නෙක්ගේ දසුනක්. ජේම්ස් ගේ අම්මා ඒ ජේම්ස් වෙන්නම ඕනි කියලා කියනවත් එක්කම,  පොලිසිය ප්‍රකාශ කලා :  ජේම්ස් ව පැහැර ගැනීමකට ලක් වෙලා බව.  

ජේම්ස් ගේ අතුරුදන් වීමෙන් පැය දහ අටකට පස්සේ වෙනකොටත් කිසිම සජීවී  ආරංචියක් ලැබෙන්නේ නැහැ. ආරක්ශිත කැමරා දර්ශන පස්සේ දුවන ගමන්,සොයා බැලීමේ කටයුතු දිගටම කෙරුණා.  

පුවත්පත්, රූපවාහිනී, දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ කටයුතු දිගින් දිගටම කරා. ප්‍රදේශ වාසීන් පවා සෙවීමේ කටයුතු වලට උපකාර කරා.

ජේම්ස් අතුරුදන් වෙලා පැය තිහක් ගෙවුණා. පොලිස් කණ්ඩායම් ඒ වෙනකොට ජේම්ස් ගේ ආරක්ශාව ගැන බොහොම කලබලවෙලා හිටියේ. ඒ ජේම්ස් ගෙදරින් ඈත් වෙලා ගෙවෙන දෙවෙනි රැය. ආහාර, ජලය, අම්මගේ උණුහුම නැති වීම තුළ ජේම්ස් ඉන්නේ  මානසිකව වගේම ශාරීරිකවත් පීඩනයක බව ඔවුන් පැහැදිලිවම දැනගෙන හිටියා. 

අවසානේදි, පරීක්ෂණ කණ්ඩායම් වලට  ව ඇමතුමක් ලැබුණා.

ඉතාම අමානුෂික විදියට  වදදීලා මරල දාලා තිබුණ ජේම්ස් ගේ  සිරුර හමුවෙන්නේ ඔහුව පැහැරගැනීමට ලක් කරපු  සුපිරි වෙළඳසැලට  කිලෝමීටර් හතරක් විතර ඈතින් තිබුණ වෝල්ටන් කියන ප්‍රදේශයේ  රේල් පාරක් අයිනක තිබිලා. ජේම්ස් අතුරුදන් වීමෙන් දවස් දෙකකටත් පස්සේ හමුවෙන සිරුර දකින පොලිස් නිළධාරීන් පවා කම්පනයට පත් වෙනවා. ඇඟ පුරාම තුවාල එක්ක මිය ගිහින් ඉන්නේ තමන්ගේ කුඩා බෑණනුවන් බව හඳුනගන්නේ ජේම්ස්ගේ මාමා.

මරණ පරීක්ෂණ කටයුතු අතරේ, ජේම්ස් ගේ පොලිස් පරීක්ෂණ කටයුතු දිගටම සිද්ද වුණා. ඒ අනුව ආරක්ෂිත කැමරාවේ දර්ශන පදනම් කරගෙන, අදාල ප්‍රදේශයේ ඉන්න අවුරුදු දහයත් දහ අටත් අතර සියළුම ළමයින් ගැන විස්තර එකතු කරා.ඒ අතරේ, ඔවුන්ගෙන් ප්‍රචණ්ඩකාරී ළමයින්  පිළිබඳව තොරතුරු වෙනමම හෙව්වා. 

ඒ අතරේ වෝල්ටන් වීදියට යන පාරේ තිබුණ කැමරාවකින් ජේම්ස් පැහැරගෙන ගිය ළමයි දෙන්නා ඉතාම කලබලෙන් ජේම්ස් සමඟ ඇවිදගෙන යන දසුනක් පොලිසියට ලැබුණා.  ඒ වෝල්ටන් විීදියට යාබද  කඩේක තිබුණ ආරක්ෂිත කැමරාවකින්.  එතැන තිබුණ කොට තාප්පයක් එක්ක සසඳලා ජේම්ස්ව පැහැරගත්තු ළමයි ගැන අවබෝධයක් ගන්න පොලිසියට පුලුවන් වුණා. ඒක ඉතාම ප්‍රබල සාක්ශියක් විදියට පොලීසිය ලබා ගත්තා 

ඒ අතරේදි වෝල්ටන් වීදියේ සේවයේ  යෙදිලා උන්නු  පොලිස් නිලධාරියෙක්  වයස දහයක විතර ළමයෙක් කලබලයෙන් වෝල්ටන්  පාරේ ඇවිදගෙන යන  බවට දැනුම් දීමක් ලැබුණා. පොලිසිය වහාම ඒ ළමයා ගැන විස්තර හෙව්වා. එතැනදී අසල්වැසි කාන්තාවකගෙන් විස්තර ලැබුණා ඔහු  ජොන් වෙනබල්ස් කියන පාසැල් වයසේ ළමයෙක් බව. 

සැකකරුවන් තහවුරු කරගැනීම 

පොලිසිය වහාම ජෝන්ගේ පාසැලට ඇමතුමක් ගත්තා. ජෝන් වෙනබල්ස්  කියන අවුරුදු දහයේ දරුවා  රොබට් තොම්සන් කියන   ළමයා එක්ක සිකුරාදා  පාසැලෙන් පැනලා ගිහින් තිබුණ බව තහවුරු වුණා.

තොම්සන් ගේ පවුල ගැටුම් කාරි තත්ව වලට මැදිවෙන පවුලක් බවට පොලිස් වාර්තා වලින් තොරතුරු අනාවරණය වුණා. ඒ වගේම තොම්සන්ගේ ගෙවල් තියෙන්නේ වොල්ටන් වීදියට ඉතාම ආසන්නයෙන් බවත් හෙලි  වුණා.

ළමා අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම 

ඒ අනුව පොලිසිය තීරණය කළා, ජෝන්ව   ප්‍රශ්න කිරීම් සඳහා අත් අඩංගුවට ගන්න. මිනීමැරුමක් සඳහා ළමයෙක් අත් අඩංගුවට ගැනීමේ අවදානම පවා දරාගනිමින් ඒ  තීරණය ගැනෙන්නේ  ජේම්ස් ගේ සිරුර හොයාගෙන දවස් පහකට පස්සේ.

ප්‍රශ්න කිරීම් කරනකොට ජෝන්, රොබර්ට්ගේ නමත් කිව්වා.   රොබර්ට් සියලු දේ කරන්නට යෝජනා කල බවත් ඔහු පවසන්නේ දැඩි ආත්ම විස්වාසයක් පෙන්වාගෙන. 

ඒ අනාවරණය එක්ක  රොබර්ට්ගේ නිවස අසල රඳවලා හිටපු පොලිස් කණ්ඩායම ඔහුගේ  ගෙදර ට ගියා. පොලිසිය දකින  රොබර්ට්  ඒ තමා කිසිවක් නොකල බව කියමින් අඬන්න ගත්තා.

රොබර්ට්ව  සන්සුන් කරවගෙන, වෙනම පොලිස් ස්ථානයක ප්‍රශ්න කිරීම් වෙනුවෙන් රොබර්ට්ව අරගෙන  ගියා. ප්‍රශ්න කිරීම් ආරම්භ කරනකොටම ජේම්ස් ගැන සත්‍යම සිද්දිය රොබර්ට් හෙළිදරව් කරන්න ගත්තා. සුපිරි වෙළඳසැලේ ඉඳන් ජේම්ස්ව එලියට අරගෙන ආව බව පිළිගත්තා. නමුත් ඔහු දිගින් දිගටම අඬන එක නම් නැවැත්තුවේ නැහැ.

ඒ අතරේ ජෝන් දිගටම රොබර්ට් ගේ සාක්ශි මුසාවන් බවම කිව්ව. . එහෙම දෙයක් සිදු නොකල බවම දැඩිව කිව්වා.  ඊට පස්සේ ජෝන්ගේ අම්මවත් පොලිසියට ගෙන්නුවා. අම්මා එක්ක කරපු කතා බහේදී ජෝන්  පිළිගත්තා ඔහු රොබර්ට් එක්ක එකතු වෙලා  කුඩා ජේම්ස්ව මරා දමපු බව. 

“අපි ජේම්ස්ව එක්කරගෙන ගියේ වෝල්ටන් පාරට එහා දිය පාරට තල්ලු කරන්න. ඒත් එයා වතුර ළඟට ගියේම නෑ. ඒ නිසා අපි ආයෙම එයාව එක්කගෙන ආවා. කෝච්චි පාර ළඟට එනකොට එයා අඬන්නයි, දඟලන්නයි ගත්තා. අපි ගඩොල් වලින් එයාට ගැහුවා. ඊට පස්සේ එයා ඇඬුවේ නෑ. අපි ඉක්මනට ගෙදර ගියා..”

කාගේම හෝ වරදක් 

මිනීමැරුම සිද්ද වෙලා දවස් අටකට පස්සේ පුංචි ජේම්ස්ගේ පැහැරගැනීම සහ මරාදැමීම වෙනුවෙන්   රොබට් සහ ජෝන්ව  සැක පිට අත් අඩංගුවට ගත්තා. බරපතල වැඩ එක්ක  දඬුවම් නියම කෙරුණා. 

හැබැයි ඊට සෑහෙන්නම කාලෙකට පස්සේ 2003 අවුරුද්දේදී,  මේ ළමයින් දෙන්නව තරුණ වයසේදී නිදහස් කෙරුණා. රොබර්ට්ගේ අම්මා සාධාරණය ඉල්ලලා ආයෙම සටන් කලත් ඒ වෙනුවෙන් සාධාරණය ඉටුවෙන්නේ නැහැ. කොහොම වුණත්, නිදහස් වෙලා අවුරුදු කිහිපයකට පස්සේත්   ළමා අපචාර සිද්දියක් නිසා රොබර්ට්ව ආයෙම අත් අඩංගුවට ගත් බවත් වාර්තා කෙරිලා තියෙනවා. 

අම්මාගේ වේදනාව 

 තමන්ගේ විනාඩි කිහිපයක අත් වැරදීමක් නිසා තමන්ට ජීවිත කාලේ පුරාම මඟ හැරුණ දරුවා ගැන කල්පනා කර කර රොබර්ට්ගේ අම්මා තවම ජීවත්වෙනවා. ජෝන්ගේ වගේම රොබර්ට්ගෙ අම්මලත් තවම තමන්ගේ දරුවන්ගේ වැරදි නිසා සමාජෙන් කොන් වෙලා ජීවත් වෙනවා.

අම්මලාගේ අතපසුවීම් නිසා දරුවන්ටත් , දරුවන්ගේ අතපසුවීම් නිසා අම්මලාටත් ජීවිත කාල පුරාම විඳවමින් ජීවත් වෙන්න කාරණා සිද්ද වෙන බවට මේක ගැලපෙනම කතාවක්.

ඒ වගේම නිතියේ හිඩැස් වලින් රිංගලා සමාජෙට එන අපරාධකරුවන්, ආයේ ආයෙම ඒ වැරදි වලම නියැලෙන බවත් මේ බිහිසුණු කතාවේ අතුරු කතා අපිට පැහැදිලි කරනවා.

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles