දවස් ගානක් එකම තැනක හිරවෙලා එකම වාතය ආශ්වාස ප්‍රශ්වාස කර කර එකම හිනාව එකම කතාව අහගෙන නියමිත දවස එනකන් බලාගෙන හිටපු වර්ණාසිගෙත් ජාදුගේත්..
ඇමැති දියණියකගේත් ආරක්ෂකයෙකුගේත් අතර තියෙන සම්බන්ධයට වඩා බොහොම හොඳ යාළු මිත්‍ර ගොඩනැගීමකට පොඩ්ඩක් එහා ගිය ජීවිතය පුදන්නට ආදරය කරන්නට තරම් බැඳීමක මෙහා නැවතුන තවමත් හරියට කිසි කෙනෙක් නමක් ගමක් හොයාගෙන නැති අමුතු බැඳීමක කොටස්කාරයින් වෙලා උන්නා.
සුදු බත් එක්ක ලුණු ඇඹුල් පදමට දාපු පොල් සම්බෝලයකට හරියටම ගැලපෙන්නේ වැලි හාල්මැස්සො තෙල් දැමිල්ලක් හින්දා ජාදු හතර අතට සුවඳ විහිදෙන විදිහට හාල්මැස්සො තෙල් දැම්මා.වර්ණාසි නැගිටලා එනකම් බලාගෙන ඉන්න බැරි උනේ උදේ තේ එක නිවෙන හින්දා.ගෑණු ළමයෙක් නිදාගෙන ඉන්න කාමරයකට යන්න හොඳ නෑ කියලා ජාදු ට කවුරුවත් කියලා දීලා තිබුණෙ නැතත් ඉවෙන් වගේ දැනිලා තිබුණා .තේ එක නිවෙන්න ඉස්සරවෙලා වර්ණාසි ට තේ එක දෙන්න උවමනාවකුත් ආවා.කාමරයේ දොරට තට්ටු කරන්න හදනකොටම ආපු හුළඟකින් දොර රෙද්ද ඈත්වෙලා කාමරේ නිදාගෙන හිටපු රෝස මල් කුමාරිව දැක්කා.ඉඳිකටුවක් ඇනිලා නින්ද ගිය කුමාරිත් මේ විදිහටම නිදාගෙන ඉන්න ඇති කියලා ජාදු ට හිතුනා.
රෝස මල් කුමාරී
නුබයි සුරගෙන කතාවේ
බලා හිඳුමට හිතෙන්නේ
හාදුවට නිදි බිඳෙයි නම්
නෑම නෑමයි හාදු දෙන්නේ
වර්ණාසි රෑ කියවපු පොතක් උකුල උඩම පෙරළිලා තිබුණා.
වෙන්න හැකිනම් මටත්
අකුරු පිරි පොත් රාජයෙක්
ඉන්න තිබුණා වරුවක්
උකුල උඩ නෑ සැකයක්…
ජාදු ට තනියම හිනා ගියා. චිත්‍රපටියක වගේ තමන්ගේ දකුණු අතින් තමන්ගෙම නලලට හෙමින් ටොක්කක් ඇන ගත්තා ගත්තා. වරුවක් වුණත් බලන් ඉන්න පුළුවන් ඒ මැණික් රශ්මිය ඇහැරවන්න ජාදු ට දුක හිතුණා.මේ තරම් සියුමැලි මනුස්ස දුවක් කිසිම අණක් ගුණක් නැති තමාට විතරක් බාර දීලා මේ තරම් නොපෙනෙන දුරකට එවන්න කේසර සර් තමාව කොයිතරම් විශ්වාස කරන්න ඇතිද කියලා ජාදු ට ආඩම්බර හිතුන.
ගෑණු ළමයෙක් පිරිමියෙක් එක්ක දවසක් එළියේ හිටියත් ඒ ගෑනු ළමයාගේ ගෞරවයට අපහාසයක් වෙනවයි කියන එක ජාදු වගේ කෙනෙකුත් දැනගෙන හිටපු දෙයක්.ඒ වගේ තත්ත්වයක් තියෙන කොටත් කේසර සර් කිසිම බයක් හැකක් නැතුව තමන්ට මේ වගකීම බාර දීලා මේ විදිහට එවන්න තරම් කේසර සර්ගේ හදවතේ තමන් කොතනද ඉන්නේ කියන එක දැනිලා ජාදුට ලොකු සතුටක් දැනුනා.
කවුළුවෙන් එහා හැන්දෑවට ගලාගෙන හැලෙන මීදුම දිහා බලාගෙන හිටපු වර්ණාසිගේ ඇස් ගස්වල තියෙන දළු දිහා බලාගෙන හිටියට හිත ඔහේ පාවෙලා ගියේ මීට අවුරුදු ගණනාවකට කලින් තමන්ගේ අම්මා නාන කාමරේ වැටිලා හිටපු වෙලාවේ අම්මා අම්මා කියලා තමන් කෑගහපු කටහඬ දෝංකාර දිදී කොහේදෝ ඈතක ඉඳන් ඇහෙනවා වගේ දැනෙන කොටයි. අතීතයට කතා කරන්න පුලුවන් නම් හැංගිලා තිබිච්ච කොයි තරම් දේවල් මේ වෙනකොට එළිවෙලා තියෙයිද කියලා හිතනකොට වර්ණාසිට පුදුම හිතුනා. තමන් නොදන්න මොකක් හරි ලොකු දෙයක් අතීතය අස්සෙ හැංගිලා තියෙන්න ඇති කියලා, වර්ණාසිට නිකමට හිතුනා.ඒ ගැන අහන්නවත් බලන්නවත් හරියටම දන්න කියන කෙනෙක් නැති හින්දා අතීතය හරියට නිකන් ඉතිහාස කතා පොතක් වගේ ලූ ලූ ලූ ප්‍රත්‍යයෙන් ලියපු එකක් කියලා වර්ණනාසිට හිතුනා. ජෙරම් ලංකාවේ ඉතිහාසයට කොයිතරම් ආසාවෙන් හිටියද කියලා වර්ණාසිට මතක් වුණා.ඒ දවස්වල ජෙරම් ඉංග්‍රීසියෙන් ලිවිල තිබිච්ච ශ්‍රී ලංකන් හිස්ට්‍රි වගේම සිලෝන් බර්ත් වගේ තඩි පොත් දවස් දෙකෙන් කියවපු බව වර්ණාසිට හදිස්සියේ මතක් වුණා.
ඉතිහාසයේ ඔයාලගේ ලංකාවේ මිනිස්සු බොහොම දක්ෂ මිනිස්සු.ඒවා ඔක්කොම මේ ඉතිහාස පොත්වල බොහොම ලස්සනට තියෙනවා.ඒ කාලේ සමහරවිට අපේ ජාතීන් ඉන්න ඇත්තේ කැලේ කොලේ වෙන්න ඇති. හොඳයි වර්නා ඔයා පුලුවන්නම් කියන්න අකුණු සන්නායක ගැන ඔයා මොනවද දන්නේ?.
වර්ණාසි ජෙරම් ගේ ඇස් දිහා ඔහේ බලාගෙන හිටියා . ඇත්තටම ඒ වගේ ඉතිහාසය ගැන දැනුමක් වර්ණාසි ළඟ තිබුණේ නැහැ.හැබැයි ජෙරම් කතා කරන ඒ විස්තර අහගෙන ඉන්න නම් ඕනම කෙනෙකුට ආස හිතෙනව.
ඕගොල්ලන්ගේ රුවන්වැලි මහා සෑය හතර කොනේත් තිබිලා තියෙනවා අකුණු සන්නායක හයි කරලා.මහා විශාල ගල් කුට්ටි දෙකක් එකට තියලා ඒ මැදට යකඩ ලෝහය දාලා තමයිලු ඒවා හදලා තිබිලා තියෙන්නේ.ගොඩක් ඒවා දැනට විනාශ වෙලා තිබුනට දැනට කීපයක් ඉතුරු වෙලා තියෙනවලු.මහාචාර්ය රාජ් සෝමදේවගේ ලියපු එක ලිපියක මම දැක්කා ලංකාවේ එක හරියක..මං හිතන්නේ අම්පාර පැත්තෙ වෙන්න ඇති..කැලයක් මැද මිනිස්සු දාහතර දෙනකුගේ වටප්‍රමාණයක් තියෙන මහා විශාල කළුගල් දෙකක් එකට එක උස්සලා තියෙන තැනක් තියෙනලු.
එතනින් එහා පැත්තේ තියෙන්නේ ලොකු මිටියාවතක්ලු.ඒ දවස්වල මිනිස්සු මේ මිටියාවතට එනවලු හරක් දක්කගෙන හරක්ට කන්න දෙන්න.මෝසම් වැස්ස පටන් ගන්න කොට අකුණු ගහන එක බොහොම ස්වාභාවික දෙයක්.එතකොට ඒකාලේ හුඟක් මිනිස්සු අකුණු ගහන හින්දා මේ මිටියාවතේදී මැරුණලු.ඒක නවත්තන්න තමයි මේ මිටියාවත ළඟ මේ අකුණු සන්නායකය හදල තියෙන්නේ කියලයි ඒ මහාචාර්යවරයා කියන්නේ..
මේක නම් මට හරියටම ශබ්ද කරන්න තේරෙන්නේ නැහැ.බලන්න ඔයාට මේක කියවන්න තේරෙනවද කියල..
එහෙම කියපු ජෙරම් පොතක පිටුවක පෑනකින් ඉරක් ඇඳපු පාලි වචනයක් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා වර්ණාසිට පෙන්නුවා.
වජ්ර චුම්බට….
වර්නාසි කියෙව්වා.. පාලියෙන් වජ්ර කියලා කියන්නේ අකුණු වලට.චුම්බට කියලා කියන්නේ කාන්දම් ශක්තියට..සමහර විට අකුණු ඇදගන්න බලය කියන තේරුම වෙන්නැති ඔතන දෙන්න උත්සාහ කරලා තියෙන්නේ..වර්නාසි තමන් දන්න පුංචි දේ මේ මහාචාර්යවරයාට තේරෙන විදියට කියලා දුන්නා..
වජ්ර චුම්බට…. අකුණු ඇදගන්න කාන්දම…වර්ණාසිට තනියම හිනා ගියා.. අපේ ජීවිතයත් හරියට මේ අකුණු සන්නායක වගේම තමයි..අහක යන වේදනාවල් අහක යන කුණු ගොඩවල් අපි අපේ ජීවිත වලට ඈඳ ගන්නවා…
අකුණක් ගහනවා වගේ වර්ණාසිගේ ඔළුවට එකපාරටම ආවේ අම්මගේ පරණ ඩයරියයි.
සිංහලෙන් ලියලා තිබිච්ච ඩයරිය සිංහල අකුරු නොදන්න නිසා කියවගන්න බැරි වෙච්ච හින්දා හරි අපූරුවට ඒකෙ තියෙන දේවල් ඔහේ හැංගිලා තිබුණා.මේක තමයි හොඳම වෙලාව වර්නාසිට හිතුනා.
කවුරුවත් නැති මේ පාළු ගේ ඇතුලේ මොන රහස එළිවුණත් ප්‍රශ්නයක් නෑ කියලා වර්නාසි ට හිතුණා.තමන් ගොඩාක් විශ්වාස කරන ජාදු ලව්වා මේ පොත කියව ගන්න පුලුවන් නම් හොඳ බව වර්ණාසි ට හිතුනා.
අනෝරා වැහි වැහැපු දවස් දෙක තුනක් තිබුණා. හවස හතර විතර වෙනකොට ගන කළුවකින් මුළු පරිසරයම වැහිලා ගියා. තද සීතලක් එක්ක මුළු අහසම අකුණු පුපුරන්න පටන් ගත්තා.
ඈත අහසේ අකුණු පුපුරලා යන හැටි වර්ණාසි බලාගෙන උන්නේ ජාදු හදලා දුන්නු උණුම උණු කළු කෝපි කෝප්පයට කටින් පිඹින ගමන්මයි.
“ජාදු අර බලන්නකෝ ..අර අකුණු වල ලස්සන ..”
වර්ණාසි ජාදු ට කතා කරලා අකුණු වල ලස්සන පෙන්නුවා.සුරංගනා කතාවක ඉන්න සුරංගනාවක් වගේ ලස්සනට වර්ණාසිව ජාදු ට පෙනුනා. කැරලි ගැහිච්ච කොණ්ඩ කෑලි වර්ණාසිගේ සියුමැලි මුහුණ පුරාම විසිරිලා තිබුණා.
අහස පුරා පිස්සුවෙන් වගේ දුව පනින විදුලි රේඛා විවිධ හැඩතල වලට වර්ණාසිගේ ඇස් වලට පෙනුන.ඒ ලස්සන බලන්න තමන්ගේ ඇස් විතරක් මදි නිසා තමයි හවුල්කාරයෙකුටත් වර්ණාසි අඬගැහුවේ..
“අර… අර.. බලන්න ..ඒ අකුණ හරිම ලස්සන මෝස්තරයකට අහසෙ ඇඳෙනවා.”
වර්ණාසි පොඩි ළමයෙක් වගේ අකුණු වල ලස්සන ජාදු ට පෙන්නුවා.
“..බේබි ඕවා ලස්සන ඈත පත්තු වෙනකන් විතරයි… ඔලුව උඩ පත්තු වුනොත් ඔක්කොම සුනේ සුන්…”
එහෙම කියපු ජාදු හැට පහේ වත්තෙ ඉන්න තංගම්මා වගේ කැත හිනාවක් දැම්මහම වර්ණාසි මූණ නරක් කරගෙන බිම බලා ගත්තා.
“මම ජාදු ත් එක්ක තරහයි. මම මොනවා කිව්වත් ජාදු ඒකට හිනා වෙනවා”…
“බේබි මාත් එක්ක තරහ උනාට මට නම් බේබි එක්ක තරහා වෙන්න බෑ… තනියම තරහ වෙන එක වැඩක් නෑනේ…”
ජාදු ආයිමත් හිනා වෙන ගමන් කිව්වා.