ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් වලට අයත් අංශ ගණනාවක ප්‍රධානීන් සමග දුරකතනය ඔස්සේ කළ සාකච්ඡා සමූහයක් අවසානයේ තඹරු රිසීවරය තැබූවේ වෙහෙසිනි. නමුත් විශාල වැඩ කොටසක් නිමා කිරීමේ සැනසිල්ල ඇයට දැනෙමින් තිබිණ. දිවා ආහාර වෙලාව පසු වෙන තුරුත් ඒ දුරකතන සංවාද දිග්ගැසුණ බැවින් මිස්ට පෙරේරා ද කෑමට ගියේ ය. සිහින් කුසගින්නක් යන්තම් සංඥා නංවනු තඹරු ට දැනුණි. ඇය බත් මුලත් ගෙන නැගී සිටියා ය. ප්‍රධාන විධායක නිලධාරී කුටියේ සීතල වීදුරු දොර තල්ලු කළ ඕ මුළුමනින් ඇතුළු නොවී අඩ වශයෙන් කුටිය තුළට එබී ගත්තා ය. සමනල් කිවයුරු රණසිංහ සිටියේ අසුන හරවාගෙන, පිටුපසින් වූ ලිපිගොනු රාක්කයකින් ලිපිගොනුවක් විපරම් කරමින්, දොරටුවට මඳක් පිටුපා ය.
“ලන්ච් වලට ගියෙ නෑ නේද…”
තඹරු ගේ හඬින් ඔහු එසේ සිටිවන පුටුව මඳක් කරකවමින් හැරී බැලුවේ ය. තඹරු ගේ ඇස් කතා කරයි. වීදුරු දොරට එක් කම්මුලක් තෙරපී එතැන රෝස පැහැයකට හැරී තිබේ. කෙහෙ රොදක් කම්මුල් වල ස්පර්ශ වෙමින් දඟයක් පායි. දොරෙන් ඇතුළට තැබුණු පාදයේ, කොට සායෙන් නිරාවරණය වූ කෙණ්ඩා කොටස කහ පැහැති ය. පාවහනෙහි ඒ මේ අතට හරස් වූ සිහින් පටි ඒ සුදු පාද බදා වැළඳ හිර කරගෙන සිටී. සමනල් ගේ බැල්ම ඇගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් දුවන අයුරු තඹරු ට දැනිණ. ඒ පිරිමිකාර බැල්ම ඉදිරියේ ලැජජාශීලී අපහසුවකට පත් වන්නට පෙර ඇය මුණිවත බින්දා ය.
“යං යං කෑම කන්න. නැත්තං හවසට ගෙදර යනකල්ම ඔහොම බඩගින්නෙ ඉඳී”
ක්ෂණික ව අසුනෙන් නැගිට ගත් යෞවනයා යුවතිය වෙතට පැමිණියේ ය. ඇය ළඟින් සල්මල් සුවඳ වහනය වේ. සමනල් ගේ ඇස් නතර වූයේ එක පැත්තකට පහත් වී උරහිස මඳක් නිරාවරණය කළ බ්ලවුසයේ කර වෙතට ය. තිසර පටෙහි දම් පැහැති පටිය යන්තම් පෙනෙමින් තිබිණ. ඔහු සිය අතැඟිලි වලින් අල්වා බ්ලවුසයේ කර මඳක් ගෙල දෙසට කළේ ය. අතැඟිල්ලක් හෝ තඹරු ගේ සිරුරෙහි ස්පර්ශ නොකරන්නට ඔහු වග බලා ගත්ත ද අකුණු සරක් සිරුර පුරා දිව ගිය සෙයක් තත්පරයෙන් හැටෙන් එකක් තරම් වූ ඒ සුළු මොහොතේ දී ඇයට දැනිණ.
“ඇයි අද ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නැද්ද…”
සැනෙකින් සමනල් අර තත්පරයකටත් අඩු මායාමය නිමේශයෙන් බිමට අඩිය තැබුවේ ය.
“බෝයි ෆ්‍රෙන්ඩ්…”
“ඔව්. වෙනදට නැට්ට වගේ ලන්ච් වලට එල්ලන් යන්නෙ…”
“මිස්ට පෙරේරද…”
ඇය ඇසිල්ලක සිනහවකින් පිබිදුණා ය.
“මිස්ට පෙරේරාට බෙහෙත් බොන්නත් තියනවනෙ. මගෙ වැඩේ ඉවර වෙන්න ටිකක් වෙලා යන නිසා මං කිව්ව කන්න කියල”
“යන්න. මං එන්නං”
තඹරු හා කීවේ ඇස් වලිනි. වීදුරු දොර වැසිණ. සමනල් ගේ හිත මඳක් ගැස්සී තිබිණ. අම්මා ගැන මතකය අතීතයට එක් වූවාට පස්සේ ම ඒ විදිහේ ළෙංගතුකමක් හදෙහි දනවමින් ඔහු ට කිසිවෙකු කෑම කන්නට මතක් කළා විය යුතු ය.
තඹරු භෝජනාගාරය වෙත ගියේ ඉක්මන් පියවර නගා ය. හිතේ කැරකෙන සුළි සුළඟක් සමනය කර ගන්නට ඇයට ඕනෑ වී තිබිණ. පොළොවේ ගැටෙනා සිය පාවහන් අඩි නිසා නැගෙනා හඬ පවා හදවතෙහි දෝංකාර දෙන්නට විය. කැළඹිලි සන්සුන් කරගනු වස් ඇය කෑම එක මයික්‍රෝවේව් අවන් එකට දැමුවා ය. සමනල් ද කන නිසා කෑම එක මඳක් උණුහුම් කොට ගන්නට ඇයට සිතිණ. අත් දෙක පපුවෙහි බැඳ ගෙන ඇය අවන් එක දෙස ම බලා ගෙන සිටියදී සමනල් ළඟට ම පැමිණ සිටියේ ය.
“මං හිතුව තව පරක්කු වෙයි කියල. ඒකයි අවන් එකට දැම්මෙ”
ඇය මන්දස්මිතයක් නැගීමේ උත්සාහයක් දැරුවා ය. නමුත් සමනල් ගේ මුහුණේ සිනහ පොදක් වූයේ නැත. ඒ බැල්ම කැළඹුම තවත් වැඩි කරන්නට සමත් වී ද තඹරු ඒ ප්‍රවාහය ඈතට පළවා හැරීමේ උත්සාහයක් ගත්තා ය.
“බඩගිනිද…”
යුවතිය ගේ සුසුදු ගෙලෙහි ඇලී තිබි කෙහෙ රොදක් දෙස බලා උන් ඔහු පිළිතුරු දීමට කලබල නොවුණේ ය.
“මං අම්මට කිව්ව කෑම ටිකක් වැඩිපුර දාන්න කියල. ඒක නිසා බඩ පිරෙන්න කන්න හරිද…මට මදිවෙයි කියල හිතන්නැතුව”
ගෙල මඳක් හරවා ඇස් ඔසවා බැලු ඕ සමනල් ගේ බැල්මට වාචික නොවන තරවටුවක් කළා සේ ය. ඔහු අත් සෝදාගෙන ගොස් පුටුවක් ඇද හිඳගත්තේ ය. සුදු පිඟානක් මත තැබූ බත් මුලෙන් කෙසෙල් කොළය රත් වූ සුවඳ හැමුවේ ය. තඹරු කඩිසර ලෙස විත් පිඟාන ඔහු ට ලං කරමින් මේසය මත තැබුවා ය.
“තාත්තගෙ වෙනසක් දැනෙනවද…”
තඹරු කෙසෙල් කොළය ඈත් මෑත් කරනා ගමන් මඳක් කල්පනා කළා ය.
“එහෙමට ලොකු දෙයක්නං දැනුන්නෑ. හැබැයි වෙනදට වැඩිය එයා රිලැක්ස් කියල හිතෙනව”
“ෆස්ට් ඩේනෙ. තව සෙශන්ස් දෙක තුනක් යනකොට වෙනසක් වෙයි”
“අම්මයි තාත්තයි දෙන්නවම එකට තියල කතා කරන්න ඕන කියල කවුන්සලර් ගත්ත තීරණේට මං කැමතියි”
“හ්ම්..ගෑනු එක්ක ජීවත් වෙන එක කවුන්සලින් යන්න වෙන වැඩක් තමයි”
සමනල් ගේ දෙතොල් අතරට දඩබ්බර සිනහවක් ආවේ ය. ඔහු එය අඩ වශයෙන් යටපත් කර ගත්තේ ය. තඹරු බත් පතට රැව්වා ය.
“අවුරුදු දහය දොළහ පරණ දේවලුත් හිතේ තියං ඉන්නෙ මොනාටද අප්ප”
“ෆොගිව් ඇන්ඩ් ෆොගෙට් කිව්වට…තමංගෙ ජීවිතේම කරගත්ත පිරිමියෙක් වරදක් කළා කියල දැනගත්තහම සමාව දෙන්නවත් අමතක කරන්නවත් ගෑනුන්ට බෑ. මං කියන්නෙ…ඒ සම්බන්දෙට අවංක වෙලා හිටිය ගෑනුන්ට බෑ. ගෑනුන්ට විශ්වාසෙ බිඳුනට පස්සෙ මොනාත් ඉතුරු වෙන්නෑ. යුතුකං ඉෂ්ට කළත් ඒ මනුස්සකමට. තමන්ගෙ දරුවන්ගෙ තාත්ත කියන හැඟීමෙන් විතරයි. පිරිමියෙක් කවදාවත් තමන්ට අවංක වෙලා ඉන්න ගෑනියෙක්ට වරදක් කරන්න නරකයි. රහසින්වත් වරදක් කරන්න නරකයි. ඒ රහස එළි වෙන මොහොතක ඒ ගෑනිව එයාට නැති වෙලාම යනව කියල ගොඩක් පිරිමි හිතන්නෑ. අවංක හිත හයිය ගෑනු පිරිමින්ගෙ වැරදි වලට සමාව දිදී ආයෙ ආයෙ ඒ වැරදිම කරනව බල බල ළඟට වෙලා ඉන්නෑ. එහෙම ඉන්නෙ මුකුත් කරකියා ගන්න බැරි දුර්වල ගෑනු. ශක්තිමත් ගෑනු අත්අරින්නෙ මුළු හිතෙන්ම. නීති බැඳීමක් ඉතිරි වුණත් ඒක හදවතේ බැඳීමක් කරං හයිය නෑ”
තඹරු කතා කළේ උගුර යටිනි. ඇගේ පපුව රිදෙමින් තිබිණ. දශකයකටත් වැඩි කාලයක් තිස්සේ වචන බවට හරවා ගන්නට රන්මුතු නො දැන සිටි හැඟීමකට තඹරු ඉවසීමෙන් වචන දුන්නා ය. ඒ වෙලාවේ ඇය අම්මා ගේ අත්මයට ආවේශ වී සිටියා ය. නොහොත් සමස්ත අවංක ගැහැනිය නියෝජනය කරමින් සිටියා ය.
“කන්න”
සමනල් මිමිණිලි සරකින් කීවේ ය. බත් පත අත පත ගාමින් සිටියා මිස ඇය බත් කටක් නොකෑ බව ඔහු ගේ නිරීක්ෂණයට ලක් විය.
“මං කැමති එහෙම ශක්තිමත් ගෑනියෙක්ට. එහෙම ගෑනු තමංගෙ ජීවිතේ ඉන්න පිරිමියට පැලෙන්න ආදරේ කරනව කියල මට හිතෙනව. මං වගේ පිරිමියෙක්නං දකින දකින ගෑනු නිසා අර වගේ පැලෙන්න කරන ආදරයක් නැති කරගන්න හීනෙකින්වක් හිතන එකක් නෑ. එහෙම හිතන්න වුණත් බය වෙයි. තමන්ගෙ ගෑනි නැති වෙයි කියන බය තියනවනං කිසි පිරිමියෙක් ඒ ගෑනිට හොරෙංවත් වැරදි කරන්නෑ කියල මං හිතනව”
“අපේ අම්ම වගේ කෙනෙකුටත් බොරු කරන්න පිරිමියෙක්ට පුළුවන්නං…මන්දන්නෑ…මට හිතා ගන්න බෑ කොහොමද පිරිමි විශ්වාස කරන්නෙ කියල”
“හැමෝම එක වගේ නෑ”
“අම්මිත් නිතරම මට ඕක කියනව. ඒත්…මන්දන්නෑ”
“අංකල් වගේ කෙනෙක්…ආන්ටිට වරදක් කරන්න හිතන්න ඇති කියල මට හිතෙන්නෑ. එක මොහොතක් හැම දේම වෙනස් කළා වෙන්න පුළුවන්. අපි මිනිස්සු මිසක් දෙවිවරු නෙවෙයිනෙ. එක මොහොතක හැඟීමක් නිසා හීනෙකින්වත් හිතල තිබුණෙ නැති වරදක් වෙන්න ඉඩ තියනව. විශේෂයෙන්ම පිරිමි අතින්”
“මටනං ඒ වගේ නිදහසට කාරණයක් ඕන නෑ. තමන්ට ආදරේ කරන ගෑනි වෙනුවෙන්…තමන්ගෙ දරුවො වෙනුවෙන් තමන්ගෙ හැඟීම් ඔළුවෙන් පාලනය කර ගන්න පිරිමියෙකුට බැරිනං…මටත් අම්මට වගේම එහෙම පිරිමියෙක් ඕන නෑ. මගෙ ආදරේ සමාව දීල වැරදි අමතක කරනව කියල එකක් ඇත්තෙම නෑ. මට වරදක් කළොත් සමාවයි වැරදියි ඔක්කොම එක්ක ඒ පිරිමියව හදවතින් අත්අරින එකයි වෙන්නෙ. ආයෙ කවදාවත් ඕන වෙන්නෙත් නෑ. ආදරය යනු යන්න දීමය ආයෙ ආවොත් ඉන්න දීමය කියල වර්ණරසිකාගෙ කවියක තිබුණට එහෙම එකක් මගෙ ආදරේටනං අදාලම නෑ”
මඳ හති ගතියක් දැනුණත් තඹරු ගේ හිතට සැහැල්ලුවක් දැනෙන්නට විය. කාලයක් තිස්සේ හිතේ හිර වී තිබූ හැඟීම් පොදියකින් ඇය නිදහස් වී සිටියා ය. හරි ම දෙවොලට ඇවිත් නිවැරදි ම දෙවියන්ට ගතු කියූවා සේ ඇය සැහැල්ලුවට පත් ව සිටියා ය.
ඊළඟ උපදේශන සැසිය නියමිත ව තිබුණේ සිකුරාදාට ය. නමුත් තඹරු ඒ සඳහා සෙනසුරාදා වෙලාවක් ඉල්ලා සිටියේ දිගට ම ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටිය නො හැකි බැවිනි. සෙනසුරාදා උදේ වරුව කැෆේ එක වසා දමන්නට තීරණය විය. දිවාකර මුල් දවසට වඩා උනන්දුවෙන් එහි යාමට සූදානම් වූයේ ය. රන්මුතු ට නම් දෙගිඩියාවක් නො දැනුණා නොවේ. නමුත් ඔහු ගේ කායික මානසික සුවය වෙනුවෙන් අතීතයේ දී සේ ම දැනුත් ඕනෑ ම දෙයක් කළ හැකි බව ඇය දැන සිටියා ය.
“රන්මුතු මොකද හිතන්නෙ දිවාකර ගැන…ම්…දිවාකර ගැන දැනෙන ඕනම දෙයක් කතා කරන්න ඔයාට අයිතිය තියනව. අපි කවුරුවත් ඒක වලක්වන්නෙවත් ඔයාගෙ අදහස් වලට බාධා කරන්නෙවත් නෑ. සමහර විට…කවදාවත් කාටවත්…අඩු ගානෙ දිවාකරටවත් කියාගන්න බැරි වුණ කතාවක් ඔයාගෙ හිතේ ඇති. හැම දේම කියල හිත නිදහස් කරගන්න මේක වෙලාව කියල හිතන්න…ඒ දේවල් ගැන දිවාකරගෙ පැත්තෙන් ඇත්ත කතා කරන්නත් අපි අවස්ථාවක් දෙමු. ම්…”
රන්මුතු දිවාකර දෙස බැලුවේ සැලෙනා හිතකිනි. මීට දශක කිහිපයකට පෙර අතීතයේ දී ඇය දිවි හිමියෙන් විශ්වාස කළ මිනිසා ඔහු තුළින් නැගී සිටිනු ඇයට දැනිණ. ඇගේ බැල්ම දරා ගත නො හැකිව ඔහු ඉවත බැලුවේ ය.