වර්ණාසි කඩදාසි පෙට්ටිය තමන්ගේ කකුල් දෙක ගාවින් තියාගත්තා.නර්මදාගේ ඇද උඩින් වාඩිවෙච්ච වර්ණාසි මේ පුංචි කොළ කෑලි එකින් එක අරගෙන අකුරු හැඩ රටා දිහා බලාගෙන හිටියේ සිංහල කියවන්න බැරි හින්දයි.
සෙනෙහසට හැකිනම්
දරන්නට රිදුමන්
හිඳිමි ඉවසා මං
නුඹට නොකියා රහසින්
ඇස පිනයි
ඔබේ රුව
කනපිනයි
ඔබේ හඬ
සිත දවයි
පෙලා හදවත
මව් කෙනෙක් නැති නිසා
මව්කිරිත් නැතුව ඇති
තාත්තෙක් නැති නිසා
සිහිනවත් මිහිරි නැති
මට
රන් මලක් සේ පිපුණු
ඔබව හිමි නැතුව ඇති…
නර්මදා ගේ කටහඬත් අවසාන පද පේළිය වෙනකොටම බිඳිල තිබුනා.
“මේ කොල්ලා කොයි වෙලාවේ ලියපුවද මේවා.. ඉගෙන ගත්තෙ නෑ කිව්වට ලස්සනට හිතිවිලි කවි කරලා .. තුවක්කු පිස්තෝලයක් එක්ක හිටියට කවිකාරයෙක් හැංගිලා ඉදලා..”
නර්මදාගේ උරහිසට ඔලුව තියාගත්තු වර්ණාසී ඉකි ගහලා අඬන්න පටන් ගත්තා ගත්තා. ජාදු ගේ හිනාව.. කතාව ..
තමන්ගේ හිත වෙනස් කරන්න කරපු එක එක විකාර…
තමන්ව රැක ගන්න දරපු වෙහෙස ඒ හැමදේම චිත්‍රපටයක පුංචි පුංචි කපා ගත්තු දර්ශන කෑලි වගේ වර්ණාසිගේ ඇස් ඉස්සරහා මැවි මැවී පේන්න පටන් ගත්තා.තමන්ගේ අම්මගේ විඳවපු විඳවීම… ජීවිත කාලයේම පන වගේ රැකපු ජාදුව සතෙක් වගේ අයින් කිරීම… තමන්ගේම දුව වෙච්ච තමන්ව මේ තරම් පහත් විදිහට රැවැට්ටීම…. ජීවිතේම නිවී සැනසෙන්න පුළුවන් විදියට තමාට සෙනෙහස පාන නර්මදා ආන්ටි ට කරපු දේ….. මේ සේරම දේවල් තමන්ගේ ජනාධිපති තාත්තා ගැන වර්ණාසිගේ හිත තත්පරයක් තත්පරයක් ගානේ අප්‍රසන්න හිතුවිලි ගෙනාවා.
“
පුතා හෙටම යන්න.. පුතාගේ ටිකට් වල.. වීසා වල ගැටලුවක් නැති නිසා හෙටම යන්න පුළුවන්නේ… මම හෙමින් සීරුවේ ටිකට් හදාගෙන පුතා ළඟට එන්නම්…”
නර්මදා බොහොම හෙමින් වර්ණාසිගේ ඔලුව අත ගගා කිව්වා.
“ඒක කවදාවත් කරන්න බැරි වැඩක් ආන්ටි ..මම මෙහෙන් ගියහම සමහර වෙලාවට තාත්තා ඔයාව මෙහෙ හිර කර ගනී.එතකොට සිද්ධවෙන්නේ ආපහු සැරයක් ඔයාව මෙහේ හිර වෙන එක.ඔයා හොඳට හිතලා ගත්තු තීරණයක් නේද… මාත් එක්ක යනවා කියන එක..”
“ඔව් දරුවෝ.. මට නිකන් මේ වෙච්ච දේවල් තාමත් හීනයක් වගේ..හෙට කේසර දිවුරුම් දෙනවා.ඒ උත්සවයට අපි දෙන්නම එයි කියලා තමයි එයා බලාපොරොත්තු වුණේ. මෙච්චර ඉක්මනින් ඔයා ඇත්ත දැනගනියි කියලා එයා හිතුවේ නැහැ.ඔයාට මේ හැමදේම කිව්වෙ මම කියලා එයා දැන් දන්නවා.මං හිතන්නෙ කේසර ඉන්නේ මං ගැනත් තරහෙන්.”
“ආන්ටී .. මට ජාදු වෙනුවෙන් දානයක් දෙන්න ඕනේ. මම ඒක එහෙ ගිහිල්ලා හරි දෙන්න ඕනේ..ජාදු කියන්නේ මගේ ජීවිතයේ මට වැඩිපුරම ආදරේ කරපු මනුස්සයෙක්.මේ කිසිම දෙයක් නොවී සාමාන්‍ය විදිහට අපේ ජීවිත ගෙවුණා නම් ජාදු කියන්නේ මට ආදරණීය සහකාරයෙක්.. එයාගේ අතීතයෙන් මට වැඩක් නෑ.. හුස්ම ගන්න පුළුවන් අනාගතයක් හදාගන්න පුළුවන් වෙන්නෙ තමන්ව තේරෙන සහකාරයෙක් එක්ක විතරයි..ජාදු මගේ හිතේ හැමදාම ඉදියි ආන්ටී …”
වර්ණාසිගේ කඳුළුවලට උත්තරයක් දෙන්න නර්මදාට ඕන උනත් කේසර ගේ වාහනය එන සද්දෙ ඇහුන නිසා නිහඬ උනා.
වාහන ශබ්දයට ප්‍රතික්‍රියා දක්වපු වර්ණාසි ඉක්මනින්ම පල්ලෙහාට දුවගෙන ගියා. කේසරගේ මූණ වෙහෙසෙන් මිරිකිලා තිබුණා. පහුවදාටත් එළිවෙන්න තරමට කල්ගත වෙලා තිබුණ වෙන දවස්වල නම් වර්ණාසි හරි නර්මදා හරි දුවගෙන ඇවිල්ල ඇහුවේ
අදට වඩා හුඟක් වෙනස් දේවල්..ඒත් මේ වෙලා තියෙන දේවල් වල හැටියට අද ඒ දේවල් අහයි කියලා හීනෙකින්වත් කේසරට හිතන්න බැහැ.
කිසිම හැඟීමක් දැනීමක් නැති මැරිච්ච ඇස් දෙකකින් සුදු මැලි වෙලා ගිය මූණකින් හෙම්බත් වෙච්ච මූනකින් පඩි පෙලේ පළවෙනි පඩි දෙක උඩ ඉඳගෙන වර්ණනාසි කේසර දිහා බලාගෙන හිටියා. පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස්දෙනාම අහන ප්‍රශ්න වලට උත්තර දුන්නත් තනි ගෑනියෙක් ඉස්සරහ අද තමන් අසරණ වෙලා කියලා කේසරට හිතුනා.තමන් තමන්ගේ හීනයට යන්න තෝරගත්තු පාර වැරදියි කියලා තේරෙනකොට ආපහු හැරෙන්න පුළුවන් කිසිම අතුරු පාරක් නැහැයි කියලා කේසරට දැනිලා තිබුණා.
” මටයි ආන්ටිටයි හෙට මෙහෙන් පිටවෙලා යන්න ඕනේ..මෙහෙන් කියලා කිව්වේ ලංකාවෙන්.. මට ඕනේ මේ ප්රශ්නය මෙතනින් ඉවර කරන්න.තාත්ති මට දරුවෙකුට වගේ නොසැලකුවට මම තාමත් මිනිස් ගති ගුණ තියෙන සාමාන්‍ය මනුස්සයෙක්.ජාදු වෙනුවෙන් ජීවත කාලයටම වැන්දඹු වෙච්ච කෙනෙක්… ජයමහා අංකල් එක්ක එකතු වුණා නම් මේ තත්ත්වය මීට වඩා හුඟක් වෙනස් වෙන්න තිබුණා.මම තර්ජනය කරනවා කියලා හිතන්න එපා..පුළුවන් නම් කරලා බලපන් කියලා කියන්නත් එපා..කරුණාකරලා මේ ජරා වලෙන් මාව අයින් කරලා දාන්න..”
වේදනාව පිරිච්ච ඇස් දෙකෙන් කේසර වර්ණාසි දිහා බලාගෙන හිටියා.පඩිපෙළේ උඩම පඩියේ ඉඳන් තමන් දිහා නර්මදා බලාගෙන ඉන්නවා කියන එකත් කේසර දැක්කා.තමන්ගේ හීනයට යන්න තමන් ලෙයින් ජාතක කරපු දරුවාව ටිකක් පාවිච්චි කලාට කමක් නැහැයි කියන හිතුවිල්ල තාමත් කේසරගේ හිත ඇතුලේ තිබුණා.හැබැයි ඒ දරුවා ඇතුලේ ඇට ලේ මස් නහර තියෙන මනුස්සයෙක් ඉන්නවා කියන එක කේසරට අමතක වුණා. වචනයක්වත් කතා නොකරපු කේසර තමන්ගේ නැශනල් සාක්කුවට අත දාලා ගුවන් ගමන් බලපත්‍ර දෙකකුයි නර්මදාගේ අලුතෙන් හදපු ගුවන් ගමන් බලපත්‍රයයි වර්ණාසිගේ අතින් තිබ්බා. තමන් තනියම ගියා නම් ගුවන් ගමන් බලපත්‍රයක් හදාගන්න කොයිතරම් කරදර වෙන්න වෙනවද කියන එක ලංකාවෙ ජීවත් වෙලා ඉන්න නර්මදා හොඳටම දැනගෙන හිටියා. බලය කියන දෙයින් කොයිතරම් දේවල් තත්පර ගානකින් කරන්න පුළුවන්ද කියන එකට මේක හොඳ උදාහරණයක් කියලා නර්මදාට තනියම හිතුනා.
මේ සිද්ධිය මෙතනින්ම ඉවර කරලා දාන්න ඕන නම් මේ විදිහට කරන්න ඕනෙයි කියන එක කේසරට හිතිලා තිබුණා.ඕනම දෙයක තියෙන උෂ්ණය ටික කාලයක් යද්දි අඩුවෙලා යනවා කියලා කේසර අත්දැකීමෙන් දැනගෙන උන්නා.ඒ විදිහට ආපහු සැරයක් නර්මදාවයි වර්ණාසිවයි තමන්ට ලං කරගන්න පුළුවන් වෙයි කියලා කේසර හිත යටින් හිතාගෙන හිටිය. ඒ හින්දා මේ වෙලාවේ ටිකක් ඔළුව නමන විදිහට ඉන්න එක නුවණට හුරුයි කියල කේසර තීරණය කරලා තිබුණා.
ලංකාව වගේ රටක බලය තියෙන පැත්තට කවදාවත් නීතිය ක්‍රියාත්මක කරවන්න බැරි බව නර්මදා වර්ණාසි ට බොහොම හොඳින් තේරුම් කරලා දුන්නා.කේසර මේ වෙලාවේ කොයිතරම් වැරදි වුනත් කරන්න තියෙන හොඳම බුද්ධිමත් දේ මේ වෙලාවේ රටෙන් පිටවෙලා යන එක බව හොඳින් දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෙක් හැටියට නර්මදා වර්ණාසි ට තේරුම් කරලා දුන්නා. ජයමහ කියන්නේ කවුද කියන එක කේසර වගේම නර්මදා ත් බොහොම හොඳින් දැනගෙන හිටියා හිටියා. ලේ රත් වෙලා තියෙනවා ඕනම කෙනෙක්ව යකඩයක් නමනවා වගේ බොහොම පහසුවෙන් නමන්න පුළුවන් බව දේශපාලන තෙලෙන් තෙම්පරාදු වෙලා හිටපු කේසර බොහොම හොඳින් දැනගෙන හිටියා. දැන් තමන් එක්ක තරහෙන් ඉන්න වර්ණාසිව ඕනම වෙලාවක ජයමහට ඕනම විදිහකට නමාගන්න පුළුවන් බව කේසර හොඳින් දැනගෙන හිටියා.ඒ හින්දා වැඩි කතාබහක් නැතුවම වර්ණාසි රටෙන් පිටවෙලා යන එකට කේසර හිත යටින් කැමැත්තෙන් හිටියා.දේශපාලන කුමන්ත්‍රණ කියලා කියන්නේ කුණු පොල් ගෙඩියක් වගේ කියන එක දේශපාලන ගැටවලට අහු වෙච්ච නර්මදා හොඳින් දැනගෙන හිටියා.ඒ කුණු පොල් ගෙඩියේ ගඳ අහිංසක වර්ණාසිගේ ඇඟේ ගෑවෙයි කියන බය නර්මදාගේ හිත ඇතුලේ තිබුණා. අනවශ්‍ය දිරිගැන්වීම් වලට යන්නේ නැතුව ඉක්මනින්ම දරුවාව මේ නරා වලෙන් ඈත් කරන්න නර්මදාටත් ඕන වුණේ ඒකමයි.
හොඳට හෝ නරකට හෝ පහුවදා උදේ තිබුණු යූඑල් විසිදෙකයි අසූ අට ගුවන් යානයෙන් නර්මදායි වර්ණාසියි ලංකාවෙන් පිටවෙලා යනකොට උදේ අටයි හතලිස් පහට යෙදුණු සුභ නැකතින් විල්තෙර සිරිදම්ම ණිකේතනයේදී ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ විධායක ජනාධිපති ලෙසට කේසර අත්සන් තබනු ලැබුවා. ඒ වෙනකොටත් කේසරගේ පවුලේ කිසිම කෙනෙක් ජනාධිපති ධූර අත්සන් කිරීමේ උත්සවයට සහභාගි නොවී තිබීම විරුද්ධ පාර්ශ්වයේ උකුසු ඇසට ලක්වෙලා තිබුණා. වර්ණාසිගේ පැහැර ගැනීමේ සිද්ධියේ ඇති සැකකටයුතු තැන් ගැන විරුද්ධ පාර්ශ්වයේ දේශපාලන ප්‍රබලයින් දැඩි ලෙස පුවත්පත් හා ෆේස්බුක් හරහා කතා කරමින් උන්නා.
මෙච්චර කාලයක් තමන්ගේ ජීවිතයේ හැම දුකක්ම බෙදා හදාගත්ත ජාදුව තමන්ට අයින් කරන්න සිද්ධ වීම ගැන ඇත්තටම කේසරගේ හිතේ තිබුණේ කණගාටුවක් වුණත් ජාදු ජීවත් වෙලා ඉඳිල්ලෙන් තමාගේ දේශපාලන ජීවිතයට වෙන්න තිබිච්ච හානිය ඊට වඩා ප්‍රබල හින්දා ඒ කණගාටුව බොහොම ආයාසයෙන් තැන්පත් කරගන්න සිද්ධ වුණා.
කේසර පුරුදු විදිහටම එදා රෑ ගෙදර තමන්ගේ විස්කි බෝතලයත් එක්ක තනි උනා..
…අවසාන කොටස හෙට…