අයියාගේ තර්ජන කෙටි පණිවිඩ නිසා මහේල මා සමඟ රැඳෙන කාලය වැඩි විය. වැඩි වෙනවායැයි කීමටත් වඩා ගැලපෙන්නේ මහේල මුලු දවසම මා පේන මානයේ තබා ගැනීමට උත්සාහ කලාය යන්නය.
මහේල නිවසේ නොසිට මා සමඟ රැඳීම පිළිබඳව මහේලගේ අම්මා කිහිප වරක්ම මහේලට පවසා ඇති බව මම මහේලගෙන් දැනගත්තෙමි.
” අම්මා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි , තවුසේ එක්ක ඉඳලා මගේ සිල් බිඳේවි කියලා ..”
මහේල ඉතා සැහැල්ලුවෙන් සිනාසී ඒ සියල්ල යටපත් කර දැම්මේය.
සති දෙකකට පසු එක්වරම අයියා නිහඬ විය. මහේල කීවේ ගොදුරු වලට කඩා පනින්නට පෙර සිංහයන්ද නිහඬව සිටින බවය එහෙත් ඔහු එයට ඌණ පූරණයක්ද එක් කලේය.
” දන්නවාද අසේකා …. ගොදුරකට පනින්න කලින් සිංහයොත් කුරුමානම් අල්ලනවා නිහඬව… හැබැයි ඉතින් ඔය අයියා කාරයා නම් සිංහ වෙස් ගත්ත බල්ලෙක් නිසා ඒ කතාව ආදේශ කරන්නත් බැහැ…..”
මම මහේල සමඟ තර්ක නොකලෙමි. අයියා පිලිබඳව මහේලගේ කිනම් අර්ථ දැක්වීමක වුවද වරදක් නැතිවග මම දැන උන්නෙමි.
චමත්කාර ෆ්ලෝරා වෙනුවෙන් මගේ දායකත්වය මට අදහා ගත නොහැකි තරමින් බව මම වටහා ගත්තේ මහේල පැහැදිලි කරද්දීය. සිද්ධාන්ත සහිතව ලැබූ උපාධිය ප්‍රායෝගිකව අත් හදා බැලීම උපරිමයෙන් සිදුවෙමින් තිබුණි.
හැකි සෑම විටකම මම මල් සැකසුම් කලාවේ නියැලුනෙමි. මහේල අරන්දර ඒ සඳහා වඩ වඩා මා ධෛර්යමත් කලේය.
” මල් හදන විදිය බලන් ඉන්න එකම පිස්සුවක් අප්පා…”
කිසිවෙකු ළඟ පහතක නැති වන තෙක් බලා හිඳ මහේල අරන්දර කොඳුරන්නේය. ඒවා මට මහා සම්මානය.
වසර දෙකක් ගෙවී යමින් තිබුණි. අප එකිනෙකා කෙරෙහි වන අප්‍රමාණ ප්‍රේමයකින් බැඳී යමින් තිබුණි. වඩා බරසාර දරාගැනීම්, වගවීම්, කැපකිරිම් මහේල අරන්දර පසින් විය. එහෙත්, අපට ක්ශය වන්නට හේතු යෙදුනේ නැත.
මහේල මා නවාතැනට ඇරලවා යලි කිරිබත්ගොඩ ට ගියේය. ඉහල මට්ටමකයැයි සැලකිය හැකි පැකේජයක් වෙනුවෙන් ඇණවුමක් වෙනුවෙන් ඇමතුමක් ලැබී තිබුණි
” දොර වහගෙන ඉන්න අසේකා.. මං ඇවිල්ල කෝල් කරන්නම් …. “
මහේල දෙවතාවක්ම අවධාරණය කලේය. ඔබ විශ්වාස කල යුතුය, මට මා ගැන නොතිවූ වග වීම මහේල දැරුවේය. ඔහු එතරම් ප්‍රවේශම් වීත්, මට විනාඩි කිහිපයක් වෙනුවෙන් මා රැක ගත නොහැකි විය.
කිසිවෙකු දොරට තට්ටු කරනු ඇසුණි. මට එහි අවදානමක් සිහි වූයේ හෝ නැත. මම දොර විවෘත කලෙමි. ඉනික්බිති සියල්ල කලුවර විය. මා සිහි ලැබුවේ මා පෙර උන් සිර ගෙදර මගේ කාමරයේදීය.
මම හැකි උපරිම හඬ යොදා කෑ ගැසුවෙමි. දෑත් දෙපා අවසඟව ඇති වග දැනෙයි.
මම යළි කෑ ගැසුවෙමි. විවෘත වූ දොරෙන් අම්මා කලබලයෙන් ඇවිද ආවාය. මගේ උරිස්සට පහරක් ගැසුවාය. මම ඇය දෙස රවා බැලුවෙමි. ඇය ඉන් කෝප ගෙන මට බැන වැඳුනාය
” මොන විකාරයක් ද මේ… ඇයි මාව මෙහෙම උස්සන් ආවේ ? …”
මම වඩා උස් හඬින් කෑ ගසද්දී අම්මා මගේ මුව මිරිකා හැරියාය. මම ඇයට බැන වැදුනෙමි.
” ඔයා මගේ අම්මා නම් වෙන්න බෑ… ඇයි මට වද දෙන්නේ මෙහෙම… “
“උඹ මගේ කුසින් වදාපු එකියක් වෙන්නත් බෑ අසේකා.. එහෙම වුනා නම් එක බඩ වැල කඩාගෙන ආව සහෝදරයාට වින කරනවද උඹ පිට එකෙක් ලොකු කරගෙන …”
“මොකද්ද අම්මා මම කරපු විනේ … මොකක් ද? මගේ මුලු ජීවිතේ ම විනාස කරන්නේ අයියා
නෙවෙයි ද? එයාගේ විකාර වැඩ වලට නාස්ති කරන්නද මම නැහිලා නැහිලා හම්බ කරන්නේ අම්මේ… එයා නූගතෙක් , මෝඩයෙක් නෙවෙයි .. සොෆ්ට් වෙයාර් ඉන්ජිනියරින් කරපු කෙනෙක්…ඇයි එයාට එයාගේ පාත් එක හදාගෙන අර්න් කරන්න බැරි ?”
“අනේ උඹේ කියවිල්ල… ලෑස්ති වෙයන්.. අපි ගමනක් යන්වා…”
අම්මා අනෙක් පසට හැරී කිවාය.
” මම කොහෙවත් යන්නෙ නෑ. මට යන්න දෙන්න.. මහේල ළඟට යන්න ඕනි මට…”
“අනේ උඹේ නල්ලමලේ මහේල..”
අම්මා සහ අයියාත් මා නොදැන උන් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු ත් බලෙන්ම මා ඔසවාගෙන වෑන් රථයේ නංවා ගත්තෝය. යන්නේ කොහිදැයි මට අවබෝධයක් නැති වන්නට මෙන් මගේ දෑස් ගැට ගසා දැම්මෝය.
මම කෑ ගසන්නට ගත්තාට පසු අයියා මට බැණ වදිමින් මගේ මුවද ගැට ගසා දැම්මේය.
මට හැඬුණි. එතෙක් වෙලා නොහඬා සිටින්නට මට වූ ශක්තිය ලෙහී ගොස් තිබුණි.
මට මගේ මහේල අරන්දර සිහි විය. මේ වෙද්දී ඔහු පිස්සෙක් වී ඇතිවාට සැක නැත.
.
.
.
අම්මා මා අසලින් හිඳගෙන යමක් පැහැදිලි කරන්නට උත්සාහ කලාය. මට ඒ කිසිවක් පැහැදිලි වූයේ නැත.
එහෙත් ඒ හැම වචනයකම මහේල අරන්දර සහ මහේශිකා අරන්දර ගේ නම් සහ ඔවුන්ට වන විපත ලියැවී තිබුණි.
” මොකද්ද අම්මේ මේ කියන්නේ ? ඇයි මෙහෙම කරන්නේ ?”
එතෙක්වේලා නිහඬවම අසා උන් මම ඉන් පසුව හිතට වීරිය ගත්තෙමි. මේ සියලු කතන්දර හිතලු බව මට විශ්වාස ය. එහෙත්, මේවා මෙතරම් විශ්වාසී ලෙසින් පවසා මට තර්ජනය කිරීම ගණනකට නොගෙන සිටිය නොහැක.
” උඹ නොසෑහෙන්න නැටුවා නේ අසේකා… දැන් ඒ නාඩගම් ඉවරයි …”
“මගෙත් එක්ක තියෙන නාඩගම් වලට ඇයි මහේලලාව පටලවාගන්නෙ ? ඇයි ?”
“මං පටලවා ගත්ත එකක් නෑනේ ළමයෝ ..ඌ මැදට පැන්නා මිසක් …”
“මොකද්ද දැන් අම්මා කියන්නේ දෙය්්‍යනේ …”
“අයියා ගේ යාලුවෙක් උඹට යෝජනාවක් ගෙනල්ලා…”
අම්මා ඉතා සැහැල්ලුවෙන් කීවාය. මම තිගැස්සුනෙමි.
” මො .. මොන යෝජනාවක්ද ?”
” වෙන මොන යෝජනාවක්ද ළමයෝ … උඹව කසාද බඳින්න අහලා.. අයියා කිව්වා ඒකා සල්ලි කඳක් කියලා … අයියා කියලා කැමතියි කියලා …”
මම යක්ශාවේෂ වුනෙමි. මෙතෙක් කල් සියල්ල දරා හිඳීම අවසන් කල යුතුවග වටහා ගත්තෙමි. අයියා සහ අම්මාට තවදුරටත් මා ඔවුන්ගේ රූකඩයක් කර ගත දිය යුතු නැත.මා පමනක් පෙලිම මම කෙලෙසක හෝ ඉවසා ගනිමි. එහෙත් මහේල සහ අක්කා ඒ නාඩගම් මැද්දට ඇද ගැනීම ඉවසිය යුතු නැති වගට ඔබ එකඟ නොවේද ?
” මං මහේලව බඳින්නේ අම්මේ …. මං ඒක තීරණය කරලා ඉවරයි .”
“උඹ ඒ මිනිහාව බඳින්නේ නැත්නම් ඒ මිනිහා කරන දේ මම උඹට පැහැදිලි කරලා කිව්වා අසේකා… මුලින් අයියා කියලා උඹ මහේල අරන්දර එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා .. ඊට පස්සේ ඌ කියලා උඹව කසාද බඳින්න තියෙන හැම බාධාවක්ම අයින් කරනවා කියලා …”
” මොන නාඩගමක්ද මේ ?”
” උඹ බලපං මේ වීඩියෝ ව …”
අම්මාපෑ වීඩියෝව බැලුවෙමි. මහේශිකා අක්කා මිතුරන් පිරිසක් සමඟ කොහෙදෝ ඇවිද යමින් උන් හ.
පසුබිමින් හඬක් ඇසිණි.
” බොස් ටාර්ගර්ට් එක එක්ක තව පහක් ඉන්නවා…”
” හරි අද ඉඳන් ඒකිව වෙනම ෆලෝ කරපල්ලා.. අනෙක් පහ වෙනම ….මං කියන වෙලාවේදී ටාර්ගට් එකටයි, අනෙක් කෙනෙකුටයි තියන්න ලෑස්ති වෙයං … ”
| අපේක්ෂා ගුණරත්න |