උදෑසන කාලයේදි මේ දේවල් කරන්න එපා..

ඔබ උදෑසන කාලය ගත කරන විදිය අනුව ඔබේ සම්පූර්ණ දවසම හැඩගැහෙනවා. ඔබ උදෑසන කාලය අර්ථවත් විදියට ගත කරන්නේ නැත්නම් ඔබේ දවසේ ඉතුරු කාලය උදාසීන සහ ප්‍රයෝජනවත් නොවන එකක් බවට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා පුරුද්දක් විදිහට උදෑසන කාලය ඉතාම සැලසුම් සහගත විදිහට සහ නැවුම් විදිහට ගත කරන්නට ඕනේ. ඒ නිසා ඔබ උදෑසන කාලයේදී නොකළ යුතු දේවල් කිහිපයක් ගැන ඔබට කියන්න අපි හිතුවා.

ප්‍රමාද වී අවදි වන්නට එපා 

ඔබ ප්‍රමාද වෙලා අවදි වීමෙන් සිදුවන්නේ ඔබට ඔබ වෙනුවෙන් ගත කරන්නට කාලයක් නොමැති වීම හෝ ඔබ වෙනුවෙන් කාලය අඩු වීමයි. අවදි වීමෙන් පස්සෙ ගත කරන පළවෙනි පැය ඔබ වෙනුවෙන් විතරක් ගත කරන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. මේ පළවෙනි පැය තුළ ඔබට රසවත් කෝපි කෝප්පයක් රස විඳින්න , පොතක පිටු කිහිපයක් කියවන්න , ඔබේ දවස සැලසුම් කරන්න වගේම මනස සුවපත් කරන සංගීතයක් රස විඳින්න වුනත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම වෙනුවෙන් ඔබ ටිකක් උදේම ඇහැරෙන්න ඕනේ.

අවදි වුණ පසුවත් ඇඳේ ඉන්න එපා

බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි උදෑසන අවදි වුණාට පස්සේ තව ටික වෙලාවක් ඇඳේ ගත කරන එක. මේකෙන් සිදු වෙන්නේ ඔබ තව ටිකක් කම්මැලි වෙන එක. ඒ කියන්නේ ඔබට හිතනවා ඔබ තව ටිකක් නින්දට යා යුතුයි කියලා.  ඉතින් අවදි වුණාට පස්සෙත් ඔබ දිගු වෙලාවක් ඇඳේ රැඳිලා ඉන්න කෙනෙක් නම් ඒ පුරුද්ද සම්පූර්ණයෙන්ම නතර කරගන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වෙනුවට ඔබට අවදි වුණාට පස්සේ ඔබේ අලුත් දිනය වෙනුවෙන් ස්තුතිවන්ත වීම , භාවනා කිරීම හෝ ඉතා හොඳින් ස්නානය කිරීම කළ හැකියි. 

සමාජ මාධ්‍ය පරීක්ෂා කරන්න එපා 

බොහෝ දෙනෙක් උදෑසන අවදිවුන ගමන් කරන පළවෙනි දේ තමයි දුරකථනය අතට අරගෙන සමාජ මාධ්‍ය පරීක්ෂා කරන එක. සමාජ මාධ්‍යවල සතුටුදායක දේවල් වගේම අසුභදායක දේවලුත් පලවෙන නිසා උදෑසන ඔබ අවදි වුන ගමන් සමහර දේවල් දැකීමෙන් ඔබේ මනස කම්පනයට පත් වෙන්නට හැකියාව තියෙනවා. මෙය ඔබේ දවසේ ඉතිරි කාලය සඳහා ඔබේ මනසට වක්‍රාකාරව බලපෑම් ඇති කරන්නට පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක උදෑසන අවදි වූ සැණින් සමාජ මාධ්‍ය පරීක්ෂා කරන්න එපා.

ඔබේ ඇඳ සකස් කරන්න අමතක කරන්න එපා 

ඔබ උදෑසන අවදි වූ සැණින් ඔබේ ඇඳ ඉතාම ලස්සනට සකස් කරන්න අමතක කරන කෙනෙක් නම් ඔබ ඒ පුරුද්ද වහාම අත්හැර ගත යුතුයි. සමහර වෙලාවට කාර්යබහුලකම නිසා ඔබට මෙය මග හැරෙන්න පුළුවන්. නමුත් ඔබේ වටපිටාව , ඔබ වැඩිපුරම කාලයක් ගත කරන තැන වෙන ඔබේ නිදන කාමරය ඉතාම පිළිවලට සහ පිරිසිදුව තිබීමෙන් ඔබේ මනස සැහැල්ලු සහ පැහැදිලි එකක් බවට පත් වන්නට පටන් ගන්නවා. 

ජනෙල් දොරවල් වසා තබන්න එපා 

ඔබ දිනපතා කාර්යාලයට යන කෙනෙක් නම් ඔබේ නිවසේ ජනෙල්, දොරවල් සහ කවුළු උදෑසන කාලයේ ඇර තැබීම ගැන උනන්දුවක් නොදක්වනවා ඇති. නමුත් ඔබ අවදි වුන සැනින් නිවසේ ජනෙල් දොරවල් විවෘත කරලා උදෑසන නැවුම් වාතය හොඳින් ආශ්වාස කර බලන්න. මෙය ඵලදායි දවසක් සඳහා ඔබේ මනසට ඉතා හොඳ උත්තේජනයක් ලබා දෙනවා. 

කාලය නාස්ති කරන්න එපා 

ඔබ කාර්යබහුල දවසක් ගත කරන කෙනෙක් නම් ඔබට අවදි වූ වේලාවේ සිට සෑම විනාඩියක් ම ඉතාම වැදගත්. ඒ නිසාමයි ඔබ හොඳ උදෑසන චර්යාවකට , එහෙමත් නැත්නම් Morning routine එකකට පුරුදු වී සිටිය යුතු වන්නේ. උදෑසන අවදි වුණාට පස්සේ ඔබ ඊළඟට කළයුතු වන්නේ කුමක්දැයි ඔබ නොදන්නවා නම් ඔබේ කාලය නිකරුනේ නාස්ති වීමේ හැකියාව වැඩිවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ හොඳ Morning routine එකකට පුරුදු වෙන්න අමතක කරන්න එපා.

උදෑසන ආහාර වේල අමතක කරන්න එපා 

ඔබට දවස ඇතුළත මොන තරම් කාර්යයන් සම්පූර්ණ කරන්න තිබුණත් කිසිම විටෙකත් ඔබේ ප්‍රධාන ආහාර වේල් අමතක කිරීම නොකළ යුතුයි. විශේෂයෙන්ම ඔබ ඔබේ උදෑසන ආහාර වේල පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම එය සමබර ආහාර වේලක් වීමත් වැදගත්. රස කළ යෝගට් වර්ග , කෙටි කෑම වර්ග හෝ සීරියල් වර්ග වැනි විකල්ප ආහාර වර්ග ඔබට නැවතත් ඉක්මනින් කුසගින්න ඇති කරනවා. ඒ වගේම එයින් ඔබේ ශරීරයට නිසි පෝෂණයක් හෝ ශක්තියක් ලැබෙන්නේද නැහැ. ඒ නිසා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි. එමගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම සමතුලිත කිරීම සහ ඔබට දිගු කාලයක් පූර්ණ බවක් දැනීම සිදුවෙනවා.

ජලය පානය කරන්න අමතක කරන්න එපා 

බොහෝ දෙනා උදෑසන අවදි වූ සැණින් පුරුද්දක් ලෙස කෝපි පානය කිරීම සිදු කරනවා. ඔබේ ශරීරය පැය හතක හෝ අටක කාලයක් විජලනය වෙමින් පවතින නිසා උදෑසන කාලයේදී ඔබේ ශරීරය මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ජලය මිසක් කෝපි නොවේ. එනිසා උදෑසන අවදි වූ සැණින් ඔබේ ශරීරයට ඉතා හොඳ උත්තේජනයක් ලබා දීමට සහ තවදුරටත් විජලනය වීම වැළැක්වීම සඳහා අවම වශයෙන් වතුර වීදුරු දෙකක් වත් පානය කරන්න උත්සාහ කරන්න. 

මෙවැනි පුරුදු වලින් වැළකීම මගින් ඔබට ඔබේ උදෑසන කාලය අර්ථවත් ලෙස ගතකරන්න හැකියාව ලැබෙනවා වගේම දවසේ ඉතිරි කාලය ඉතාම ඵලදායී ලෙස ගත කරන්නත් හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles