“ආහ් කල්පනා කරනවා ඇත්තෙ ඊයෙ නටපු ඩාන්ස් පාට්නර් ගැන වෙන්න ඇති නේද?” කියාගෙන ධම්මිකා රදන්පොල මියුරුගේ කාමරයට ආවේ ඔය ගැන හීන් සීරුවේ කොල්ලා එක්ක කතා කරන්න හිතාගෙනය. දැන් සමාජයේ ඔක්කොටම වඩා පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ කොල්ලන්ව බව ධම්මිකා දනී. දැන් ඉන්න සමහර කෙල්ලන්, කෙල්ලො නොව හැපින්නියොය. අනික් අතට මායම් හැට හතරට එකසිය විසි අටක් දන්න කෙල්ලන් ය. එහෙම කෙල්ලෙක්ට මේ ඇස් දෙක වගේ හදපු පොඩි එකා අහු උනොත් ඉතින් විනාශ වෙන්නේ කොල්ලා විතරක් නොවේ මුලු රදන්පොල පවුලම බව ධම්මිකාට අමුතුවෙන් කියන්න උවමනා නැත.
මොකක් හෝ වාසනාවකට අමයුරු යාලුවෙච්ච කෙල්ල පවුලට ගැලපෙන, හොඳට ඉගෙන ගත්ත, පෑහෙන කෙල්ලෙකි. මියුරු හොයාගන්නවානම් හොයාගන්න ඕනත් කවදහරි එහෙම කෙල්ලෙකි.
“ඔයාට ඕන විදියට ලමයිව උස් මහත් කරන්න පුලුවන් උනාට උන් කසාද බඳින කෙල්ලන්වත් ඔයාට ඕන විදියෙ අය වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා ධම්මිකා. උන් කසාද බඳින්න ඕන උන්ට එකට සන්තෝසෙන් ජීවත් වෙන්න පුලුවන් ගෑණුන්ව මිසක් මේ ඔයාගෙවත් මේ පවුලෙවත් නම්බුව ගැන විතරක් හිතන කෙල්ලන්ව නෙවෙයි” කියා ක්ලීටස් ධම්මිකාට කියූ අවස්තා අනන්ත ය. එහෙත් ධම්මිකා රදන්පොල අනිත් හැම දවසකම වගේ කට වචනයෙන් තමන්ට උවමනා දේ කියා ජයගන්න දෙපාරක් හිතුවේ නැත.
“කසාදයක් කියන්නෙ මේ තමන්ට විතරක් ගැලපෙන කෙනෙක් හොයාගෙන දරුමල්ලො හදන එක නෙවෙයි ක්ලීටස්. කසාදයක් තමන්ට වගේම පවුලට නෑයන්ට පවා ගැලපෙන්න ඕන. නැත්තම් ඒ කසාදෙ හරියන්නෙ නෑ. වත්කම්, උගත්කම් ගැලපුනොත් විතරයි හිතවත්කම් වලට රැඳෙන්න පුලුවන්. මෙච්චර කල් ජීවත් වෙලත් ඔයාට තාම ඒක තේරුම්ගන්න බැරිවෙච්ච එකනෙ පුදුමෙ. අපි දෙන්නම හොඳ ෆැමිලීස් වලින් ආව දෙන්නෙක් හන්දා තමා අමයුරුට වීරසිංහල වගේ ෆැමිලි එකකට ජොයින් වෙන්න පුලුවන් උනේ. මොකද අපි දෙගොල්ලන්ගෙ ෆැමිලි ස්ටේටස්, ලයිෆ් ස්ටයිල් එක වගේ. එහෙම නැතුව පඩිපෙලේ අපිට වඩා අඩි දෙක තුනක් හරි පල්ලෙහයින් ඉන්න ෆැමිලි එකක කෙල්ලෙක් එක්ක අමයුරු යාලු උනා නම් ඔයා හිතන්නේ ඒ මිනිස්සුන්ට ඇවිල්ල අපේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්න ඉන්න පුලුවන්ද?
ඊටත් වඩා එහෙම තැනක මිනිස්සු එක්ක පෑහෙන්න අපිට පුලුවන්ද?”
“මං ඔයා කියන කතාව වැරදි කියන්නෙ නෑ ධම්මිකා. කසාදයක් බඳිද්දි ඒ පවුල් දෙක ගැලපෙන්න ඕන බව ඇත්ත. හැබැයි මං කියන්නෙ ඔයා කොල්ලන්ගෙ තීරණවලට ඕනවට වඩා ඇඟිලි ගහන්න යන්න එපා කියල. උන්ට උන් කැමති තීරණ අරගන්න දෙන්න. ඔයා ඒවයි හොඳ නරක කියල දුන්නට කමක් නෑ හැබැයි ඕනවට වඩා ඇඟිලි ගහන්න යන්න එපා. ඒකයි මම කියන්නෙ”
ක්ලීටස් එහෙම කියද්දි ධම්මිකා කරේ සමච්චල් සහගත හිනාවක් ක්ලීටස් වෙත විසිකරපු එකය. ඒ සමච්චලය තමන්ගේ ඇතුළාන්තය දක්වාම විහිදිච්ච එකක් බව දන්න හන්දාම ක්ලීටස් ගල් පාරක් වැදිච්ච බල්ලෙක් අඬාගෙන පැත්තකට වෙනවා වගේ මදකට පැත්තකට වුණේය. ඒ ධම්මිකාට කැමති විදියට රඟන්න ඉඩ දීලාය.
“තමන් කැමති දේවල් කරන්න පුලුවන් තමන්ට තමන්ගෙ කකුල් දෙකෙන් හිටගන්න පුලුවන් වෙච්ච දවසට. මේක මගෙ ගෙදර මේ ගෙදර ඉන්නවනම් වෙන්න ඕන මට ඕන දේවල් මිසක වෙන දේවල් නෙවෙයි ක්ලීටස්. ඒක ඔයාට වගේම දරුවො දෙන්නටත් අදාලයි” කියා කාමරයෙන් එලියට යන්නට ගිය ධම්මිකා ආයෙ මදකට දොර ලඟ නැවතී ක්ලීටස් දෙස බැල්මක් හෙලුවාය.
“සමහර අයට නම් කාලයක් යද්දි තමන්ගෙ ස්ටේටස් අමතක වෙන බව මට අමතක නෑ ක්ලීටස්. හැබැයි මේ ධම්මිකා කියන්නෙ එහෙම ගෑණියෙක් නෙවෙයි. මැරුණත් මැරෙන්නෙ ස්ටේටස් පිට මම කියල ඔයා හොඳටම දන්නවනෙ. සමහර වැරදි වලට මං සමාව දුන්න එක ඇත්ත. හැබැයි ඒ සමාව දුන්නෙ මම මේ අනිත් මෝඩ ගෑණු වගේ මිනිහෙක් නැතුව ගෑණියෙක්ට තනියෙම ජීවිතේට මූන දෙන්න බෑ කියල හිතපු හන්දා නෙවෙයි. සමාජෙ ඉස්සරහ මට මගෙ තත්ත්වෙ රැකගන්න ඕන හන්දා. ඒ හන්දා ඔයා කරපු වැරදි පුතාලා ලව්වත් කරන්න හිතන්න එපා ක්ලීටස්. එකපාරක් එක දේකට සමාව දුන්නට මම එකම වරදට දෙපාරක් සමාව දෙන්න තරම් මෝඩ ගෑණියෙක් නෙවෙයි”
ධම්මිකා මියුරුගේ කාමරයට ආවේ ඔය කතාබහ ආයෙම වතාවක් මතක් කරමිනි. මේ ජීවිතය මේ අන්දමෙන් ලස්සනට, වැදගත් විදියට ගෙවන්නට, සමාජයට ආදර්ශයක් වෙමින් ජීවත්වන්නට තමන්ට කරන්නට වූ කැපකිරීම් ද දරාගන්නට වූ දරාගැනීම්ද අනන්ත බව ධම්මිකා කවදාවත් අමතක කර තිබුණේ නැත. ඉතින් මේ ආදරයෙන් ද වෙනස් කරන්නට හදන්නේ අනාගතයේ වෙන්නට පුලුවන් වරදක් ය.
“අයියෝ අම්මා ශී ඊස් ජස්ට් මයි සෙක්‍රටරි” කියා කිව්වද මියුරුගේ දෙතොලේ ඇඳී තිබුන සිනාව නම් ඊට වඩා දුර දිග ගිය හැඟුම් සමුදායක් නිසා ඇතිවුන එකක් බව තේරුම්ගන්නට බැරි අම්මෙකු නොවේ ධම්මිකා.
“ආහ් ඉතින් මම වරදක් කිව්වේ නෑනෙ” කියා ධම්මිකා කලේ ඇඳ උඩ වාඩි වී උන් මියුරු ළඟින් වාඩි වී ඔහුගේ හිස අතාගන එකය. තමන් මේ ආදරය පෙන්වමින් කරන්න හදන්නේ තමන්ට උවමනා දෙයක් බව දන්නවා උනත් ධම්මිකා ඒ වරදක් යැයි හිතුවේ නැත.
“අම්මල හැමදේම කරන්නෙ දරුවන්ට තියෙන ආදරේට. කිසිම අම්මා කෙනෙක් දරුවෙක්ට වරදක් කරන්නෙ නෑනෙ” කියා ධම්මිකා තමන්ගේ සිතුවිලි සාධාරණීකරණය කරගත්තේත් ඒකය.
“මොකද්ද ඉතින් ඒ ළමයගෙ නම?” ධම්මිකා අහන්නේ හීන්සීරුවේය. මියුරුට ඉතින් ඕවා ලැජ්ජ හිතෙන කතාය. අනික් අතට නදීට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියාවත් තවම සැක හැර දැනගන්නට බැරි එකේ අම්මා මෙහෙම අහන එක හිතට අරගෙන එන්නේ පොඩි පහේ ලැජ්ජාවක් නොවේ.
“නදී, ඕකනෙ ඉතින් අම්මා නිකන් විස්තර අහන්නේ මම මේ එයා එක්ක යාලුවෙලා වගේනේ අනේ”
“අයියෝ ඕකට ඉතින් ඔච්චර තරහ ගන්න ඕන නෑනෙ ළමයො. මම කිව්වද ඉතින් ඔයා යාලුයි කියලා නෑනෙ? මම ඇහුවෙ ඒ ගර්ල් කවුද කියල. හරි ලස්සනයි ඒ ළමයා” ඒකයි කියමින් ධම්මිකා හීන් සීරුවේ ආයෙම වරක් උත්සහ කරේ මියුරු මොකක් හෝ හැඟීමක් හිත අස්සේ හංගගෙන ඉන්නවනම් ඒකෙන් පොටක් අල්ලගන්න බලාගෙනය.
“එයා ඉතින් මගෙ සෙක්‍රටරි, එච්චරයි ඉතින්”
“ඒ උනාට පාටි එකට ඇවිල්ල ඉඳපු ගොඩක් අය මගෙන් ඇහුවා එයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද කියල, ඔය දෙන්න ඩාන්ස් කල විදියට”
“ඉතින් අම්මි ඔව් කිව්වද?”
“ඒ කියන්නෙ ඔව් කියන්න දෙයක් ඔයාලා දෙන්න අතරෙ තියෙනවද?”
“අනේ අයියො නෑ නෑ, එහෙම දෙයක් නෙවෙයි මම ඇහුවෙ අම්මා මොකද කිව්වෙ කියල”
“මං ඉතින් කිව්වා මම නම් තාම හරියටම දන්නේ නෑ. මියුරු තාම එහෙම දෙයක් නම් මට කියල නෑ කියල”
“කියන්න දෙයක් නෑ ඉතින්, තාත්තා මොකද කිව්වේ?”
“මුකුත් කියන්න තාත්තා ඉතින් ඒ ගර්ල්ව දැක්කෙවත් නෑනෙ. තාත්තා විමලසුරේන්ද්‍ර අංකල්ලා එක්ක එළියෙ කතා කර කරනෙ හිටියෙ. තාත්තා දන්නෙවත් නෑ මෙහෙම දෙයක් උනා කියල”
“අම්මිලා මේ බොරුවට කතා හදනවා මේ ඒ ගර්ල් ලස්සන නිසයි මාත් එක්ක ඩාන්ස් කල නිසයි. එහෙම දෙයක් නෑ අම්මා, එයා ජොයින් උනෙත් ලඟදි”
“ඉතින් කොල්ලො කැමතිනෙ ලස්සන ගෑණු ළමයින්ට, හ්ම්ම්ම්”
“ඒක තමයි ඉතින් එයා ලස්සන නිසා එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇති, ලස්සන බෝයිස්ල ගර්ල්ස්ලට අෆෙයාර්ස් තියෙනවනෙ ඉතින්”
“ඉතින් ඔයත් ලස්සනයිනෙ, ඒ කියන්නෙ ඔයාටත් දැන් කෙල්ලෙක් ඇති නේද?”
“ඕකනේ අම්මා ඉතින් බැරි, කොහෙන් ගියත් ඔතනින් තමා අම්මා කතාව නතර කරන්නේ, නිකමට මට මහන්සිද කියලවත් ඇහුවෙ නෑ, වෙනද වගේ ඔලුව අතගෑවෙත් නෑ, මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් ගැන අහනවා බොරුවට”
“හරි හරි, මං ආයෙ ඔයා මුකුත් කියනකම්ම ඒ ගැන අහන්නෙ නැතුව ඉන්නම්කො. හැබැයි ඔන්න ඒ ලමයා හරි වෙන කෙනෙක් හරි කවුරුහරි අපිට ගැලපෙන තැනක, හොඳ වැදගත් ළමේක් නම් අපි අකමැති නෑ හරිද? දැන් ඉතින් ඔයාලා ඕව හිතන්න ඕන කාලෙනෙ. අයියාගෙ වෙඩින් එකෙන් පස්සෙ ඉතින් ඊලඟට ඉන්නෙ ඔයා තමයි. ඉස්සරහට ඉතින් මේව බලාගන්න ඕන ඔයා තමයි”