සැරිසරන්නී -36

රවීන්!  මගේ හිතේ මුලින් ම මැවුණු රුව ඔහු ගේ ය. ඒ සිතිවිල්ල ත් එක්ක ම මම තත්පර ගණනක මිදී යාමකට බඳුන් වුණෙමි. ඇඳෙන් බැහැ ගන්නට ඕනේ වූවාට මගේ දෙපා ගල් වී තිබුණේ ය. මට මතක් වුණේ අධි ශීතකරණයකින් පිටතට ගනු ලැබූ, මස් පිණිස වන කුකුළෙකි.

නංගී සිනහ වෙවී සිටියා ය. ආච්චා හයිය හත්තිය ඇති වෙළඹක සේ ඇඳෙන් බිමට පැන ඉස්සරහා පැත්තට ගියා ය. අසීරුවෙන් මුත් මම ද අඩිය බිම තියා ගතිමි.

රවීන් නොවේ! අසුනක හිඳ අම්මා සමග කතා කරමින් සිටියේ මල්සර ෆ්ලෝරා හි හිමිකරු රුවන් පීරිස් ය.

“මොන අපරාදයක්ද මේ දරුවට කරන්නෙ…මිසිස් දුනුකේබණ්ඩාරල දැන උගත් මිනිස්සුනෙ. සනුකි කියන්නෙ කොච්චර දක්ෂ ළමයෙක්ද..ඒ වගේ ළමයෙක්ගෙ දක්ෂකමක් මේ විදිහට ගෙදර හිර  කරගෙන චප්ප කරල දාන්නද හදන්නෙ…”

මම දෙපා වාරු කර ගෙන ඔහු ඉදිරියට ගොස් “සර්” කියා හිනැහුණෙමි. රුවන් පීරිස් මා ඉදිරියේ නැගී සිටියේ ය.

“සනුකි. ඔයා වගේ ඊස්තටික්  ළමයි කොච්චර අඩුද දරුවො…ඔයාගෙ දක්ෂතා වලින් වැඩක් අරගෙන ඒකෙන් මුදල් හම්බ තරනව මිසක්…ගෙදරට හිර වෙලා බත් තම්බන්න ඕන ජාතියෙ ගෑනු ළමයෙක් නෙවෙයි ඔයා”

මම මළානික සිනහවක් පෑවෙමි.

“ඇත්තටම මං මේ ආවෙ මිස්ට දුනුකේබණ්ඩාරව මීට් වෙලා කතා කරන්න. එයා ඉතිං මේ වගේ තරුණ ළමයි දහස් ගණනක් එක්ක වැඩ කරපු සහ කරන ගුරුවරයෙක්නෙ. ආදර සම්බන්ධයක් වගේ දේකදි ළමයින්ව හිර කරපු එක හුඟක් පරණ ප්‍රාථමික ගණයෙ දඬුවමක් මිසිස් දුනුකේබණ්ඩාර. ඒ කාලෙවත් ඒ දඬුවමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණෙ නෑ කියල අපි ඉතිහාසෙන් ඉගෙන ගෙන තියෙනවනෙ. අනික…සනුකි කියන්නෙ ඒ වගේ දඬුවමක් දෙන්න තරං…මෙල්ල කරන්න බැරි හික්මීමක් නැති ළමයෙක් නෙවෙයිනෙ. මේ ළමයා කොච්චර ෆ්ලෙක්සිබල්ද…මං ඒක දැං අවුරුදු හතර පහක් තිස්සෙ දන්නවනෙ. ඇත්තටම ගෙදර ඇවිත් රෑට නිදිය ගත්තට ඒ අවුරුදු හතර පහේම සනුකි දවල් දවස ගත කළේ අපේ කම්පනි එකේනෙ. ඒක නිසා මං හොඳට දන්නව මේ ළමය කොහොම හැන්ඩ්ල් කරන්න පුළුවන් ළමයෙක්ද කියල”

මගේ ඇස් වලට කඳුළක තෙත කාන්දු වෙමින් තිබිණි. රුවන් පීරිස් වාගේ ව්‍යාපාරිකයෙකු ට එක සනුකි කෙනෙක් යන්න ගිය විට තවත් සනුකිලා සිය ගණනක් එතන වැඩට ගන්නට පුළුවන. නමුත් ඔහු මා වෙනුවෙන් අපේ ගෙදරට ම ඇවිත් තිබේ. ඒ නිහතමානිකම හැමදාමත් මා ගෞරව කළ එකකි. මා මල්සර ෆ්ලෝරා හි බඳවා තැබූ එක ය.

“සනුකි කියන්නෙ මටනං මිල කරන්න බැරි තරං වටින දරුවෙක්. ඉතිං මිසිස් දුනුකේබණ්ඩාර…අපි වැඩිහිටියො හැටියට ළමයින්ගෙ ප්‍රශ්න ගැන මීට වඩා සොෆ්ට් විදිහට හිතුවනං නේද හොඳ…සනුකි බුද්ධිමත්නෙ. එයා වැරදි තීරණ අරං තියෙන ළමයෙක් නෙවෙයිනෙ මෙච්චර කාලෙකට”

කකුලේ මහපට ඇඟිල්ලෙන් මම පොළොව හාරමින් සිටියෙමි. පොළොවේ වළක් හාරාගෙන හැංගෙන්නට පිළිවන් කමක් විණි නම් මා එසේ කරනු ඇත.

“අනික මං කියන්නෙ නෑ සනුකි හැමදාම මගෙ කම්පනි එකේ වැඩ කර කර ඉන්න ඕනයි කියල. තනියම අලුත් ගමනක් යන්න එයාට  පුළුවන්. දැන් ඒ ෆීල්ඩ් එක ගැන එයාට ඒ තරම් එක්ස්පීරියන්ස් තියෙනව. ඉතිං මිසිස් දුනුකේබණ්ඩාර පොඩ්ඩක් හිතල බලන්න. මිස්ට දුනුකේබණ්ඩාරටත් කියන්න..සනුකි කියන්නෙ කොච්චර වටින ළමයෙක්ද කියල තේරුං ගන්න බලන්න”

එහෙම කියමින් හෙතෙම අසුනෙන් නැගී සිටියේ ය.

“මේ ළමයට මේ අපරාදෙ කරන්න එපා”

එහෙම කියමින් ඔහු පිවිසුම් දොරටුව දෙසට අඩියක් දෙකක් කැබුවේ ය.

“අනේ සර් තෑන්ක් යූ මං වෙනුවෙන් මෙහෙම ආවට”

මම පිටුපසින් ගොස් මිමිණුවෙමි.

“ඔයාගෙ හිත මන් දැකල තියෙනවනෙ සනුකි. එයා වොන්ඩෆුල් මෑන් කෙනෙක් වෙන්නම ඕනෙ”

ඔහු ඒ ටික කීවේ අම්මා ට නෑසෙන්නටත් මට පමණක් ඇසෙන්නටත් හෙමිනි. මම මඳහසකින් බිම බැලුවෙමි.

සමහර මිනිසුන් දේව දූතයන් සේ ය. ඔවුහු කොතැනක හෝ සිට අවශ්‍ය ම වෙලාවේ දී අපේ ජීවිත වෙත පහළ වෙති. ඔවුන් ගේ දිව්‍යාලෝකයෙන් අපේ මාවත එකළු කරති. මේ වෙලාවේ මට රුවන් පීරිස් ව දැනුණේත් එලෙස ය.

“ඔය යකා කරන්නෙ කපටි කමෙන් අපෙං හම්බ කර ගන්න එක”

ආයතනයේ සමහරුන් එසේ රුවන් ගැන කියනු මම අසා ඇත්තෙමි. ආයතනය ඔහු ගේ ය. අපට වැටුප් ගෙවන්නේ ඔහු ය. ඒ වෙනුවෙන් ඒ අගයට මඳක් වැඩියෙන් අප ආයතනය වෙත සේවය කළ යුතු ය යන්න මගේ නම් අදහසයි. නමුත් සමහර මිනිසුන් සිතන්නේ ඒ වැඩේට තමන්ට වඩා සුදුස්සෙකු ලොවෙත් නැති බව ය. එක් පුරප්පාඩුවක් වෙනුවෙන් දහස් ගණනක පෝලිමක් පිටත බලා සිටින බව ඔවුන් දන්නේ නැද්ද සිතන්නට අකමැති ද කියා මා දන්නේ නැත. නමුත් රුවන් පීරිස් යනු හොඳ ව්‍යවසායකයෙකු බව මම හැමදාමත් සිතුවෙමි. ආයතනය දියුණු වෙනවා නම් සේවකයන්ටත් හොඳ යයි සිතුවෙමි. රුවන් කියන්නේ බොහෝ ආයතන හිමිකරුවන්ට වඩා මිනිස්කම් ඇති මිනිසෙකු බවත් මුල සිට ම දැන සිටියෙමි..ඒ සියල්ල නිසාවෙන් මගේ උපරිම දායකත්වය ආයතනය වෙත ලබා දුන්නෙමි. රුවන් පීරිස් සිය සේවකයෙකු ගේ ගෙදරට මේ විදිහට පැමිණියේ ඒක ය. යමක් ලබන්නට නම් අප ද යමක් දිය යුතු ය. පරිත්‍යාගයන් කළ යුතු ය. කැප විය යුතු ය. අප ලෝකයට දෙන දේ මත අපටද දේවල් ලැබෙනු ඇත. ඒ සරල න්‍යාය තේරුම් නොගන්නා මිනිස්සු හැමදාමත් අනුන්ගේ දොස් දකිමින් ද අනුන් විවේචනය කරමින් ද සිටිති.

“ඕක ඉතිං මං මුලින් ම කිව්වනෙ. මෙන්න මේ කෙල්ලව වැඩට යවන්න ජනරංජනී….ලෝකෙට විහිළුවක් නොවී”

ආච්චා අවධාරණ කළා ය. නමුත් අම්මා ට එහෙම කරන්නට තව දුරටත් ඕන වුණේ නැත.

“අපිට බැරි කමක් නෑනෙ සනුකිගෙ ඕන එපාකං බලා ගන්න. කවදහරි එයා බඳින්නෙත් එයාව ජීවත් කරවන්න පුළුවන් කෙනෙක්ව මිස හිඟන්නෙක්ව නෙවෙයිනෙ. එයා ගෙදර හිටපුදෙං”

අම්මා තව දුරටත් මුරණ්ඩු වූවා ය.

“මොන රජෙක්ව බැන්දත් සනුකි ජොබ් එකක් කරන්න ඕනෙ. කාගෙන්වත් යැපෙන්න බලා ගෙන නෙවෙයි මං ඒගොල්ලන්ට ඉගැන්නුවෙ”

තාත්තා අම්මා ට එරෙහි ව ප්‍රථම වෙඩි මුරය එල්ල කළේ ය. මට නම් එය මල් වෙඩි සේ දැනිණ. අම්මා වචනයක් වත් කියන්නට ඉදිරිපත් නොවී මූණ හකුළා ගත්තා ය. කොහොමටත් ඇය තාත්තා ගේ වචනයකට පිටින් හ්ම් කියා හෝ නො කියන්නී ය.

“හරියට හරි දුනුකේ. සනූ මට දානෙ වියදමට කියල කීයක්නං අතට දුන්නද…තවත් වියදං කරනව. පිරිමියෙක් බැඳල පිරිමියෙක්ගෙ සල්ලි වලින් ජීවත් වුණානං කවදාවත් එහෙම කරන්න බෑනෙ. තමන්ගෙ දෙයක් කර ගන්න වුණත් ඒ කෙනා දෙනකල් බලං ඉන්න වෙනව..කවදහරි බැන්ද කාලෙක වුණත් අපිටත් බලන්න උන්ට පුළුවන් වෙන්නෙ තමුන්ටම කියල ආදායමක් තියෙනවනං විතරනෙ. අපි අපේ කෙල්ලො ශක්තිමත් කරල යවනවනං උං ට කවදාවත් අපේ ලොකු පුතණ්ඩියගෙ දෝණියැන්දා වගේ ළමයෙකුත් ඔක්කෙ ගහගෙන අඬාගෙන ගෙදර දුවං එන්න වෙන්නෙ නෑනෙ”

ආච්චා ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හිතේ තිබුණ දේ කියා ගත්තා ය. මා හිටියේ පුළුන් රොදක සැහැල්ලුවට පත් සිතිනි. ආයේ මේ සිර මැදුරෙන් පිටතට යන්නට තියෙනවා නම් ඒ කවර නම් මානසික සුවයක් ද? ලෝකය සරා විත් වැටෙන්නට අපට ගෙයක් තිබිය යුතු බව ඇත්ත ය. නමුත් ඉගිලෙන්නට තටු තිබෙනා තාක් කල් ඉගිලෙන්නට නිදහස තිබිය යුතු ය. එසේ නොවනා කල ගෙදර ද හිර ගෙදරක් බවට පත් වේ.

ඒ අනුව යළි රැකියාවට යන්නට මට අවසර ලැබිණ. නමුත් අම්මා සිටියේ සතුටකින් නම් නොවේ.

“හිතන්නෙපා මේ ඔයාට ඕන දේවල් කරන්න ලැබුණ පර්මිට් එකක් කියලනං. එක එක්කෙනාගෙ කාර් වලට නැගල තිබුණොත් එහෙම බලා ගන්නං. ඔයා එළියෙ මොනා කළත් ගෙදරට ආරංචි නොවී තියෙන්නෙ නෑ සනූ. අන්න ඒක මතක තියා ගන්න..ආයෙ අපි එපා කියපු දෙයක් හිතුවක්කාර කමට කරල තිබුණොත් ඔය කවුරු ඇවිත් කතා කළත් ඔයාට එළියට බහින්නවත් දෙන්නෙ නෑ”

අම්මා එහෙම දොස් කියත්දීත් මගේ මුහුණ මත දිගට ම වූයේ මඳහසකි. මිනිස් සන්තානය සතුටෙන් පිරුණ විට කිසිදු දෝමනස්සයක් අපට ලොකු බලපෑමක් කරන්නට සමත් නොවෙනා බව මම පසක් කර ගනිමින් සිටියෙමි.

එදා වැඩට යන්නට මා දොට්ට බැස්සේ රාජ්‍යයන් ගණනාවක් දිග්විජය කරන ලද අධිරාජිනියක සේ ය. සිර ගත බවෙන් මිදෙනවා කියන්නේ ම ලොකු දෙයකි. මල්සර ෆ්ලෝරා හි මල් එක්ක වැඩ කරත්දී ඉබේට ම මගේ මනස ලිහිල් වේ. එතකොට ප්‍රශ්න වලට මූණ දෙන්නට අවශ්‍ය ප්‍රතිශක්තිය මා තුළ ජනනය වන්නේ ය.

බස් නැවතුමේ මා සිටියදී රවීන් ගේ මෝටර් රථය පැමිණ නැවතිණ. ලොකු අයියා ද එහි වූයේ ය.

“නගිමු නගිමු ලෙච්චමී”

මා රිය වෙත ගියේ ඉතා හෙමිහිට බියෙන් වාගේ ය. මගේ මූණේත් බියගුළු විකට පෙනුමක් වන්නට ඇත.

“එපා නේද…මං බස් එකේ එන්නං”

මම කට උල් කොට කීවෙමි.

“යකෝ ඔහොම බය වෙලා පුළුවන් ද ලව් කරන්න…”

ලොකු අයියා කෑ ගෑවේ ය. කාටවත් ඇසුණා දැයි මම වට පිට බැලුවෙමි. ආපසු හිස හරවා බලත්දී රවීන් ගේ දෙතොල් පෙති මත ලස්සන සිනහවක් පිපී තිබුණේ ය.

“නැගපං නැගපං”

එතැන ප්‍රදර්ශන භාණ්ඩයක් වෙන්නට බැරි කමට මම රිය තුළට රිංගා ගතිමි. නමුත් හිතේ සැහැල්ලුවක් වූයේ නැත. මගට බහින්නට පෙර අම්මා දුන් අවවාද උපදෙස් වලට, විනාඩි කිහිපයක් ගත වෙන්නට පෙර මා පිටුපෑවා නේදැයි සිතෙත්දී හිත රිදුණේ ය. දුක හිතුණේ ය.

කොහොමටත් මම කුඩා සා වියේ පටන් ම අකීකරු දැරියක නො වුණෙමි. අම්මා තාත්තා සතුටු වෙන දෙයක් කිරීම මගේ සතුට විය. නංගී වාගේ මා මුරණ්ඩු කම් කළේ නැත. වාර විභාගයකදී ලකුණක් අඩු වුණත් එය මගේ හිතට වේදනාවක් විය. ඒ තාත්තා ට දුක හිතේවි කියා සිතා ය. අම්මා එපා කියන දෙයක් කිසි දා මම නො කළෙමි. මේ හිතා මතා එවැන්නක් සිදු වෙන්නට හැරි මුල් ම අවස්ථාව බව මතක ය.

“ඔය බයේද ඉන්නෙ…”

ලොකු අයියා පිටුපස හැරී ඇසුවේ ය. මම හෙමින් හිස එසෙව්වෙමි.

“මේකි ඇත්තටම ලව් කරන පළවෙනි සැරේ මේක කියල ශුවර්. මොංගලියෙ…ලව් කරනව කියන්නෙ ඕකට තමයි. ගෙදරට බොරු කියන්න වෙනව…හොර ගමන් යන්න වෙනව…එපා කියන දේ කරන්න වෙනව…වයසට ගිය කාලෙක මතක් කරල සතුටු වෙන්න හරි තියෙන්නෙ ඕව තමයි”

“ඒත් ලොකයිය…මට බය ඔෆිස් යන්න හරි හම්බ වෙච්ච මේ නිදහස ආයෙ මට නැති වෙයි කියලයි”

“එහෙනං ඉතිං ඔය සම්බන්දෙ නතර කරපං. මචං රවීන්. උඹ වෙන අතක් බලා ගනිං කොල්ලො”

මම ලොකු අයියා ගේ හිසට අතින් ඇන්නෙමි. රවීන් ගේ ඇස් මත වූයේ මට සිප ගන්නට හිතෙනා තරමේ ආදරයකි.

“සනූ කියන්නෙ ඇත්ත..අපි එයාලව ගණං ගන්නෙ නෑ කියල දැනුණොත් තවත් එයාල සනූව ටයිට් කරන්න පුළුවන්”

“මූ බලපංකො. කසාද බඳින්නත් කලින් ම ගෑනි කියන එකට එහෙයි කියන්න අරගෙනනෙ..”

ලොකු අයියා ගේ විහිළු තහළු හිතේ බිය තුනී කළ ද මුළුමනින් එය තුනී ව ගියේ නැත. සමහර විට අයියා එය තේරුම් ගන්නට ඇත.

“උඹ බය වෙන්න එපා. අවුලක් වුණොත් මං කියන්නං මමයි කතා කළේ කියල. ඒ වගේම සනූව ඩ්‍රොප් කරනකල් ම මාත් කා එකේ හිටියයි කියල”

මා බැස ගත්දී ලොකු අයියා කීවේ ය. හිස සලා එකඟ වෙමින් ම මම අහිංසක බැල්මකින් රවීන් දෙස බැලුවෙමි. ඔහු ගේ ඇස් මා සිප ගත්තේ ය.

සුනෙත් ගේ සමාගමය නිසා යළිත් ජීවිතය පෙර රිද්මයෙන් ගලන්නට පටන් ගැනිණ. කෑම විවේකයේදී, කෑමට පෙර රවීන් කතා කළේ ය. ඔහුත් එක්ක මා ප්‍රේමයෙන් බැඳීම ගැන අම්මා දැඩි සේ විරුද්ධ බව මට මුළුමනින් අමතක ව ගියා සේ ය.

හැන්දෑවේ ඔහු මල්සර ෆ්ලෝරා අසලට පැමිණියේ ය. රවීන් ගේ රියට නැගීමේ බියක් ද ආශාවක් ද එක වර මම අත් වින්දෙමි.

“මගින් බැහැල පලයං හරිද”

සුනෙත් සමු ගන්නට පෙර කීවේ ය. ඒ විනාඩි ගණන ඉක්මනට ගෙවී ගියා කියා සිතමි. අප ඉදිරියේ වන බාධක ගැන නොතැවී අපි ප්‍රේමයට ආවේණික මිහිර තුල ඒ පුංචි කාලය තුළ සතුටෙන් සිටියෙමු. අතර මගක දී ඔහු ගේ රියෙන් බැස බස් එකේ ගෙදර ගොස් කිසිත් නොවුණා වගේ සිටියෙමි. ලොකු අයියා කීවා සේ කිසිත් වැඩිපුර හිතට ගන්නට යන්නේ නැති ව සිටීමේ සැහැල්ලුව ටික වෙලාවක් භුක්ති විඳිත හැකි විය.

ලොකු අයියා රෑ වී ගෙන ගෙට ගොඩ වූයේ ඒ සැහැල්ලුව මොන තරම් තාවකාලික ද යන්න මට පසක් කොට දෙමිනි.

“රවීන් ඇක්සිඩන්ට් වෙලා”

ඇඳි පුටුවේ හිඳ ගෙන හිස තරමක් බිමට නැඹුරු කර ගෙන ලොකු අයියා ඒ ආරංචිය කීවේ කාටදැයි මා දන්නේ නැත. ඔහු ගේ මූණේ වූයේ මගේ මූණ දෙස බලන්නට බැරි කමකි. අම්මා වහා මහන මැෂිම නතර කළා ය. එපමණකුදු නොව මුළු ලෝකය ම නතර විය. මට  කිසි දෙයක් නෑසී ගියේ ය. නො පෙනී ගියේ ය.

“අනේ…හ්”

මගේ උගුර යටින් කියවිණි.

“සනූ”

කියාගෙන ලොකු අයියා මා අල්ලා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles