වෙනසකටත් එක්ක බිත්තර කරියක් හදමුද?

බිත්තර කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ කෑම පිඟානට හරිම හුරුපුරුදු අපේ පෝෂණ අවශ්‍යතාව ඉතාම හොඳින් සපුරාගන්න පුළුවන් සාමාන්‍යයෙන් අධික මිළ නොවන ආහාරයක්නෙ. 

කුඩා දරුවන්ගෙ ඉදල වැඩිහිටි පුද්ගලයො වෙනකම් කන්න කැමති බිත්තර අපි ගොඩක් වෙලාවට පිළියෙල කරගන්නෙ බිත්තර බුල්සායි, බිත්තර ඔම්ලට්, තම්බපු බිත්තර හෝ තම්බපු බිත්තර එකතු කරල හදාපු සලාද විදිහටනේ. 

ඔන්න අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ වෙනස් රසට බිත්තර කරියක් හදාගන්න කොහොමද කියලයි. 

මේ විදිහට එකපාරක බිත්තර හදල රස බැලුවොත් මේ ක්‍රමය ඔබේ කැමතිම බිත්තර උයන ක්‍රමය වෙනව කියල අපිට විශ්වාසයි. 

ගෙදර අයට විතරක් නෙමෙයි අමුත්තන් ආව වෙලාවක වුනත් සංග්‍රහ කරන්න පුළුවන් මේ විදිහට බිත්තර හදන්න අවශ්‍ය කළමණා මොනවද කියල අපි මුලින්ම බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර බැඳගැනීමට 

තම්බපු බිත්තර 10 ක් 

තෙල් තේ හැඳි 02 ක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

මිරිස් කුඩු තේ හැඳි 01ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

බිත්තර කරිය සඳහා

තෙල් මේස හැඳි 03 ක් 

අබ ඇට තේ හැඳි ½ ක් 

සූදුරු තේ හැඳි 01 ක් 

කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩි 01 ක් හෝ 02 ක් 

කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 04 ක් 

අඹරාගත් සුදුළූණු ඉඟුරු මිශ්‍රණය තේ හැඳි 02 ක් 

කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 03 ක් 

මිරිස් කුඩු තේ හැඳි 01ක් 

කොත්තමල්ලි කුඩු / බැඳපු මිරිස් කුඩු තේ හැඳි 01 ½ ක් 

ලුණු කුඩු තේ හැඳි 01 ක් 

ගම්මිරිස් කුඩු තේ හැඳි 02 ක් 

වතුර කෝප්ප 01 ½ ක් 

කරපිංචා ඉත්තක කොළ

සාදාගන්නා ආකාරය 

මුලින්ම අපි බිත්තර බැදගමු. ඒ සඳහා, තම්බාගත් බිත්තර දෙකට මැදින් පලාගෙන පසෙකින් තබාගන්න. 

තැටියක් ලිප තබා එයට තෙල් එකතු කර තෙල් රත්වන විට තෙලට කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර අඩු ගින්දරේ හොඳින් කලවම් කරගන්න. 

තප්පර කීපයකට පසු පලාගත් බිත්තර වල කහමදය යටට හිටින සේ තෙල් මිශ්‍රණය මත ප්‍රවේශමෙන් අතුරා ගන්න. 

විනාඩි 02 කට 03 පසු ප්‍රවේශමෙන් බිත්තර අනෙක් පැත්ත හරවා ඒ පැත්තත් (සුදු මදය) විනාඩි 02 ක් 03 ක් බැදගන්න. 

මේ විදිහට බැඳගත් බිත්තර සහිත තැටිය පසෙකින් තබාගෙන ඊළඟට අපි බිත්තර කරිය උයාගමු. 

ඒ සඳහා මුලින්ම භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වන විට අබ සහ සූදුරු එකතු කරගන්න. 

අබ ඇට පිපිරී අවසන් වුනු පසු කුඩාවට කපාගත් ලූණු එකතු කර ලූණු මැලවී රන්වන් පාට වනතෙක් තබාගන්න.

ඉන්පසු එයට කපාගත් අමු මිරිස්, ඉඟුරු සුදුලූණු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ඉඟුරු සුදුලූණු බැඳී සුවඳ ඉවත් වූ විට කුඩාවට කපාගත් තක්කාලි එකතු කරගෙන හොඳින් කලවම් කරන්න.

තක්කාලි මෘදු වී තෙල් වෙන් වෙන ප්‍රමාණයට පැමිණි පසු මිරිස් කුඩු, බැඳපු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. 

එයට වතුර කෝප්ප 01 ½ එකතු කර හොඳින් කලවම් කර විනාඩි 05 ක් පිසගන්න. 

විනාඩි 05 කින් වතුර රත්වී කුඩා බුබුළු ඇතිවෙන බව දැකගන්න පුළුවන්. 

(තුනපහ අවශ්‍ය ප්‍රමාණයට යොදා ඇත්දැයි බලා ඔබේ රස අනුව අවශ්‍ය අඩු වැඩිය එකතු කරගන්න)

මේ අවස්ථාවෙදී බැදගත් බිත්තර ප්‍රවේශමෙන් එකතු කර නැවත විනාඩි 05 ක් පිසගන්න. 

අවසානයට කරපිංචා කොළ එකතු කරගෙන විනාඩියක් පමණ තබා බිත්තර කරිය ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න රසම රස බිත්තර කරියක් සූදානම්. 

මේ වගේම රසවත් තවත් කෑමකින් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා. 

රසට කන්න ! සුවෙන් ඉන්න ! 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles