ඇඟිලි ඇට කැඩීම නිසා ඇත්තටම දෑත් අවලස්සන වෙනවද?

අපි අතරෙ ඉන්න සමහරුන්ට යම් සතුටක් ලබාගන්න ඇඟිලි වල ඇට කඩන පුරුද්දක් තියෙනව කියල ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවද?

සමහරවිට ඔබටත් මේ පුරුද්ද ඇති. 

ඔබට සතුටක් දෙන මේ පුරුද්ද සමහරු ගණන් ගන්නෙවත් නැති වුනාට සමහරු නම් ඔබේ මේ පුරුද්දට අකමැතිත් ඇති. 

ඒ අතරින් බොහෝ දෙනෙක් ඇඟිලි වල ඇට කැඩීම සෞඛ්‍යට අහිතකර පුරුද්දක් විදිහට හඳුන්වනව ඔබට ඇහිල තියෙනවද ? 

ඇඟිලි වල ඇට කැඩීම ඇත්තටම ශරීර සෞඛ්‍යයට අහිතකර ද නැද්ද කියල කතා කරන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ. 

ඒ ගැන දැනගන්න එකතු වෙන්න ඒනම් අපිත් එක්ක. 

ඇඟිලි වල ඇට කැඩීම යනු කුමක්ද ?

ඇඟිලි සන්ධි අතර පවතින අවකාශය වැඩි කිරීම ඇඟිලි වල ඇට කැඩීම ලෙස හඳුන්වනවා. 

මේ නිසා සන්ධියේ පවතින සන්ධි තරලයේ ඇති වායු බුබුළ පුපුරා ගොස් පිටතර ශබ්දයක් ඇසීම සිදුවෙන්න පුළුවන්. 

මේ පුපුරා යන වායු බුබුළ නැවත එකතු වීමට යම් කාලයක් ගතවන නිසා එකවර දෙවරක් ඇඟිලි වල ඇට කැඩීමේදී ශබ්ද නිකුත්වීම සිදුවෙන්නෙ නෑ. 

ඇඟිලි වල ඇට කඩන්නෙ ඇයි 

ඇඟිලි වල ඇට කඩන්න පැහැදිලි හේතුවක් හඳුනාගන්න නොහැකි වුවත් එකිනෙකාට අනන්‍ය වූ හේතු කීපයක් තියෙන්න පුළුවන්. 

ඒ අතර, 

ඇට කැඩීමේදී ඇතිවන ශබ්දයට ඇති ප්‍රියතාවය,

ඇඟිලි වල ඇට කැඩීමේදී දැනෙනවා යැයි හැඟෙන ඇඟිලි වල නම්‍යශීලි බවේ වැඩිවීම, තද ගතියේ සහ පීඩනයේ අඩුවීම, 

කලබලකාරී බව, මානසික ආතතිය සහ පීඩනය අඩුකර ගැනීමට සහ 

පුරුද්දක් ලෙස ඇඟිලි වල ඇට කැඩීම සිදුකරන බව සොයාගෙන තිබෙනවා. 

අතුරු ආබාධ තියෙනවාද ? 

ඇඟිලි වල ඇට කැඩීම නිසා ඇඟිලි මහත්වීම, වේදනාවක් ඇතිවීම හෝ ඇඟිලි වල හැඩය විකෘති වීම සිදුවෙන බව දැනට සොයාගෙන නෑ.

නමුත්, ඉතා තදින් ඇඟිලි ඇදීමට ලක් කරද්දි සන්ධි වලින් ඉවතට ඇඟිලි ඇටය ඇඳී ගොස් තුවාල වීම හෝ විවිධ ආබාධ ඇතිවීමේ ඉඩකඩ තියෙන්න පුළුවන්. 

ඒ නිසා ඇඟිලි ඉඳිමීම, වේදනාවක් ඇතිවීම හෝ ඇඟිලි වල හැඩයේ වෙනස්වීමක් ඇතිවුනොත් ඒ ගැන ඔබ සැසැළකිලිමත් විය යුතුමයි. 

ඇඟිලි වල ඇට කැඩීමේ පුරුද්ද නතර කරගන්නෙ කොහොමද ?

මේ පුරුද්ද නතර කරගන්න ඔබට අවශ්‍ය නම් වෙන ඕනෑම අනවශ්‍ය පුරුද්දක් නතර කරගන්නව වගේම ඒ ගැන තියන අවධානය පියවරෙන් පියවර අඩුකර ගන්න ඔබ කටයුතු කරන්න ඕන. 

ඔබ ඇඟිලි වල ඇට කඩන්නෙ ඇයි කියන කාරණාව මුලින්ම හොයල බලන්න ඕන. 

කලබල වුන වෙලාවට මේ ගැන තියන අවධානය අඩු කරන්න ඔබට ඒ වෙලාවට ඔබේ අතට ස්පොන්ජ් බෝලයක් වැනි යමක් ගෙන එය තදකරමින් ඉන්න පුළුවන්. 

ඊට අමතරව හිත පීඩනයට සහ ආතතියට පත්වෙන වෙන අවස්ථා ස්වසන අභ්‍යාස වැනි පීඩනය පිටකරන වෙනත් ක්‍රම සොයාබලන්න ඔබට පුළුවන්. 

ඉතිං, අද අපේ මේ ලිපියෙන් ඔබට තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර අරන් එන්න පුළුවන් වුණා කියල අපි විශ්වාස කරනවා. 

මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles