සුපිරි නිරූපිකාවක් වූ මුඩුක්කු කෙල්ලකගේ කතාව

හීන දකිනවා කියන්නෙ ජීවත්වෙන මිනිස්සු දිනපතා කරන දෙයක්. හීන නොදැක, නොදැක්ක අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න අපිට බැහැ.අපි දකින හීන තමයි අපිව ජීවත් කරවන බලාපොරොත්තු වෙන්නෙ.  සමහර වෙලාවට අපි හිතනව අපි ජීවත්වෙන වටපිටාව, අපේ ජිවිත රටාව අනික අපි දකින සමහර හීන හැබෑ කරගන්න එක හිතන්නවත් බැරි දෙයක් කියල.

ඉතින් අද මේ ලිපියෙන් අපි අරගෙන එන්නෙ ඒ වගේ නොහිතපු තැනක ඉපදිලා නොහිතපු විදියට ජීවිතේ හීන හැබෑකරගත්ත පුංචි කෙල්ලෙක් ගැන.

මේ කතාව මුඩුක්කුවක ඉපදිලා අවසානයේ සුපිරි නිරූපිකාවක් උන මලීශා කර්වා ගැනයි.

මලීශා ඉපදෙන්නෙ ඉන්දියාවේ ප්‍රසිද්ධ ධාරාවී මුඩුක්කු ආශ්‍රිතව. මලීශාගෙ වයස අවුරුදු පහලවයි.අද වෙද්දි ලෝකෙ බොහෝ දෙනෙක් අඳුරන, ඉන්ස්ට්‍රගෑම් ෆලෝවර්ස්ලා 300,000ක් විතර ඉන්න මලීශා එයාගෙ ඉන්ස්ටග්‍රෑම් බයෝ එකේ ලියලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

“මිනිස්සු කියන්නෙ මම මුඩුක්කු කෙල්ලෙක් කියල. ඒ උනාට මම මගේ ජීවිතයට ආදරෙයි. කවදහරි මගේ සිහිනය සුපර් මොඩ්ල් කෙනෙක් වෙන එක”

මුඩුක්කුවක ඉපදෙන කෙල්ලෙක්ට දකින්න පුලුවන් හීන, යන්න පුලුවන් දුර සහ ජීවිතය විඳින්න පුලුවන් ප්‍රමාණය හරි අල්පයි කියල මේ දවස්වල ඔයාලා අපේ Smartlady වෙබ් අඩවියේ කියවන මියුරු පෙම් වසන්තේ කතාවෙ නදී හිතුවට, ඇත්තටම මුඩුක්කුවක ඉපදුණ මලීශා නම් හිතන්නෙ ඊට වඩා සහමුලින්ම වෙනස් විදියට.

මලීශාගෙ වයස අවුරුදු පහලවක්. මලීශා ජීවිතේ වෙනස් වෙන්නෙ හරිම අහඹු විදියකට. මුඩුක්කුවක ඉපදුනාට මලීශා කියන්නෙ දැන් Vogue, Cosmopolitan වගේ දැවැන්ත ෆැශන් මැගසින්ස් වල කවර්ස් වලත් පෙනී ඉන්න කෙල්ලෙක්.

ඉතා මෑතක දී, යෞවනයන් ඉලක්ක කරගත් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක් වෙන ඉන්දියානු සුඛෝපභෝගී සම ආරක්ෂණ සන්නාමයක් වන Forest Essentials Face එක විදියටත් තෝරගත්තෙ මලීශාව. මලීශාගේ මේ ගමන ආරම්භ උනේ 2020 අවුරුද්දෙදි. ඒ මුම්බායිවල මියුසික් වීඩියෝ එකක් ශූට් කරන්න ආව හොලිවුඩ් නලුවෙක් වෙන රොබට් හොෆ්මන් මලීශාව හොයාගැනීමත් එක්ක. ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හදලා දෙන එකේ ඉඳලා GoFundMe සමූහ අරමුදලක් පිහිටුවල මලීශාට එයාගෙ හීනෙට යන්න උදව් කරන්නත් හොෆ්මන් කටයුතු කරනවා.

කාලෙත් එක්ක තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙ ෆලෝවර්ස්ලා ලක්ශ ගණන් පිරිලා ඉද්දිත් මලීශා තමන්ගෙ මේ ගමනට යන්න උදව් කරපු අයට ස්තුති කරන්න අමතක කරන්නෙ නැහැ.මලීශාගෙ අරමුණ, බලාපොරොත්තුව උනේ සුපිරි නිරූපිකාවක් වෙන එක උනාට මේ එන අතරමග ගමනෙදි එයා රඟපෑමත් කරල තියෙනවා. එයා Live your fairytale කියන කෙටි චිත්‍රපටයේත් රඟපාලා තියෙනවා.

තමන්ගෙ රූපය පත්තරවල, පෝස්ටර්වල දකිද්දි තමන් ඉතාම සතුටු වෙන බව මලීශා මාධ්‍යයට කියලා තියෙනවා. ඒ වගේම පුංචි තැනකින් උනත් ඇවිත් තමන්ගෙ හීනෙට ගිය මේ පුංචි කෙල්ල ගැන හැමෝම කතාකරන්නෙ හරිම ආඩම්බරෙන්. සමාජ මාධ්‍යයවලින් මලීශාගෙ මේ කතාව කියවපු බොහොමයක් දෙනා මලීශාව, සුප්‍රකට Slumdog Millionaire චිත්‍රපටයේ එන ජමාල්ගෙ චරිතයට සංසන්දනය කරන්නෙ ඒ දෙදෙනාටම තියෙන්නෙ එක වගේ කතාවක් හන්දා.

මලීශා 2023 අවුරුද්දෙ තමයි “තරුණ ආත්මයන් සවිබල ගැන්වීමේ” සමාජ මුලපිරීමක් වන Forest Essentials හි “යුවති” එකතුවේ මුහුණුවර බවට පත්වෙන්නෙ.

Vogue India සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Forest Essentials හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී Mira Kulkarni කියන්නෙ, “යුවති එකතුව තුළින් අපි මලීෂාගේ සිහිනයට සහාය දෙනවා පමණක් නොව, තරුණ මනස සවිබල ගැන්වීමේ කොටසක් ලෙස එයට දායක වෙමු. මෙම එකතුවෙන් ලැබෙන ආදායමෙන් 10%ක් පාට්ශාලා ව්‍යාපෘතියට පරිත්‍යාග කරන්න, වැඩි දීප්තියකින් යුත් ඉන්දියාවක් පිළිබඳ බලාපොරොත්තුව ඇතිව දුගී පවුල්වල දරුවන්ට අධ්‍යාපනයට ප්‍රවේශය ලබා දෙන්න අපි කටයුතු කරනවා” කියලා.

මලීශා මේ ප්‍රොජෙක්ට් එකෙනුත් අරගෙන එන්නෙ හීන හැබෑ කරගන්න පුලුවන් කියන කතාව. අපේ හීන හැබැ කරගන්න, අපේ හීනවලට යන්න අපි ආවෙ කොහෙන්ද කියන එක වැඩක් නෑ. වැදගත් වෙන්නෙ අපිට යන්න ඕන කොතනටද කියන කාරණාව බව තමන්ගෙ මේ ප්‍රොජෙක්ට් එක ගැන කතාකරන හැම වෙලාවකම මලීශා කියන්නෙ හරිම ආඩම්බරෙන්.

ඉන්දියාව කියන්න සුදු පැහැ හමක් තියෙන තරුණියන්ට වැඩි ඉඩක් ලැබෙන රටක් බව අපිට අමුත්තක් නොවෙයිනෙ. ඉතින් එහෙම රටකින් තමන්ගෙ දුඹුරු පාට ලස්සන හමත් එක්ක ඉස්සරහට එන්න, තමන්ගෙ හීන හැබෑ කරගන්න මලීශා වගේ පුංචි කෙල්ලෙක්ට පුලුවන් උනා කියන්නෙ ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්.

පැහැපත් සමක් ගැන ඉන්දියාවෙ පවතින මතයන් අතර කාන්තාවකගේ සුන්දරත්වය බොහෝ විට තීරණය වන්නේ ඇගේ සමේ වර්ණය අනුව. සම පැහැපත් කරන නිෂ්පාදන ඉන්දියාවේ රූපලාවන්‍ය වෙළඳපොලෙන් 50% ක් නියෝජනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සොයාගෙන තියෙනවා. එහෙම රටක මලීශාට අවශ්‍ය වන්නේ ඇය වැනි තරුණ ගැහැණු ළමයින් තමාගේම ස්වභාවික සුන්දරත්වය වැළඳ ගැනීමට දිරිමත් කරන එක.

“මම හැම දේකම සුන්දරත්වය දකිනවා. බොහෝ අය සිතන්නේ පැහැපත් සම පමණක් ලස්සන බවයි. මම හිතන්නේ ඒක මෝඩ වැඩක් කියලා විතරයි. මම ලෝකය දකින්නේ එහෙම නෙවෙයි. ලස්සන මුහුණක් හොඳයි, නමුත් අභ්‍යන්තර සුන්දරත්වය වඩා වැදගත් වේ. මම මගේ සමට ආදරය කරන අතර එය පරිපූර්ණයි කියල මම හිතනවා.

ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට අනුගමනය කළ යුතු නිවැරදි රීතියක් නොමැති බවට පණිවිඩය බෙදා ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඔවුන්ට කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් ඔවුන්ට කළ හැකි අතර මට අවශ්‍ය වන්නේ අනෙක් ගැහැණු ළමයින්ව දිරිමත් කර ඔවුන් විශේෂ යැයි ඔවුන්ට පැවසීමටයි” කියලා මලීශා අදහස් බෙදාගන්නෙ අන්න ඒ හන්දා.

හැම කාන්තාවක්ම, හැම ගැහැණු ළමයෙක්ම තමන්ගෙ හීන ගැන දැනගෙන ඉන්න ඕන. ඒව හැබෑකරගන්න විදිය දැනගෙන ඉන්න ඕන.

හීන අපිව ජීවත් කරනවා කියල අපි කියනවානෙ. සමහර වෙලාවට අපි හැබෑකරගන්න අපේ හීන තව කෙනෙක්ට හීන දකින්න කරන උදව්වක් වෙන්න පුලුවන්.

ඉතින් අන්න ඒ නිසයි අපි හීන දකින්න ඕන. අපි හීන හැබෑ කරගන්න ඕන.

ඉතින් හීන දකින්න, ඔයා වෙනුවෙන් වගේම අපි හැමෝම වෙනුවෙන්.

Related Articles

Don't Miss


Latest Articles