නුඹ තරම් ප්‍රේමයක් – 25

විසි පස් වැනි නෙත් සැරිය

තමාගේ නමට ආ පාර්සලයේ ඇත්තේ යළි ආරෝපණය කල හැකි  වර්ගයේ වන මිල අධික විදුලි බල්බ දෙකක් වග අයත්මා දැනගත්තෙ නිවෙසට පැමිණ එය විවෘත කර බැලූ පසුය. වටිනාකම රුපියල් අට දහසක් ලෙසින් තිබුණි. එය එවූ තැනැත්තෙකුගේ නම, ලිපිනය වෙනුවට තිබුනේ ආයතනයේ නම සහ ලිපිනයය. එහි දුරකතනය අංකයක්ද නොවීය. අයත්මා මුහුණු පොතෙන් ඒ ආයතනය සෙව්වාය. 

කෙටි පණිවිඩයක්ද තැබුවාය. අයියා එවන්නක් ගෙන්වාගත්තා නම් ගෙන්වා ගන්නේ නිවෙසටය. මෙවැනි මිල අධික යමක් තමා වෙනුවෙන් මිලදී ගෙන නමක් හෝ නැතිවම එවන්නට තරම් කෙනෙකු පිලිබඳව ඉඟියක්වත් ඇයට කල්පනාවට ආවේ නැත.

ඇණවුම අයත්මාට බාර දි ඇති බවට වන කෙටි පණිවිඩය චත්‍ර දුටුවේ සවසය. ඔහු අදාල ආයතනයේ හිමිකරු වන මිතුරාට ඒ වෙනුවට ස්තූතිවන්ත වෙමින් කෙටි පණිවිඩයක් තැබුවේය. එසැනින් මිතුරාගෙන් වට්සැප් ඇමතුමක් ආවේය.

” ආං උඹේ ප්‍රේමවන්ති යක්සනී වෙලා.. කවුද එව්වේ කියලා දැනගන්න එක එයාගේ අයිතියක් කියලා ඩෙගා නටනවා ..”

” උබ මගේ නම්බර් එක යවපං ..”

” සිරාවටම ?..”

” ඔව්…”

” දැන් ඊයේ උබ හෙන කතාවක් කිව්වා නේද ඒකිට මූණ දෙන්න බෑ ගගා…උබෙන් ලොකු වැරැද්දක් වුනා ගගා”

” වැරදි වෙන්නේ මිනිස්සු අතින් නේ.. බලමු උඹේ රීචාර්ජබල් බල්බ් එකේ පිහිටෙන් මට සමාවක් ලැබෙන පොටක් පෑදේවිද කියලා..”

” අනේ මන්ද න් නෑ බං උඹලත් .. උඹලා පාර්ලිමේන්තුත් යන්න ඉන්න මිනිස්සු කියලා මතක් වෙනකොට බඩ පපුව දාලා යනවා..”

චත්‍ර මිතුරාට බැණ වැඳුනේ සිනාසෙමිනි.  මිතුරා නාට්‍යානුසාරයෙන් තම අංකය අයත්මාට ලබා දෙන බව චත්‍ර දනී. ඉන් පසුව ඇගේ ඇමතුම තමා වෙත එන්නට ගත වන කාලය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

” උබ අයත්මාට මගේ නම්බර් එක යවලා,  එයා රිප්ලයි කලාම මට මැසේජ් එකක් දාපං ඈ…”

ඔහු එලෙසින්ද පණිවිඩයක් තැබුවේය.

ආයතනේ මැසෙන්ජර් ගිණුමෙන් අංකයක් එවා ඇති බව දුටු වහාම අයත්මා ඒ අංකය  ජංගම දුරකතයේ සඳහන් කලාය. එය එවා තිබුනේ අංක වෙන්ව නිසා එක්වර ඇමතුමක් ලෙස ගන්නට හැකියාවක් වූයේ නැත. අංකය දුරකතන මුහුණතේ සඳහන් කර එය සෙවු විට දුරකතන මුහුනතට ආ නම දැක අයත්මා තිගැස්සී ගියාය. හදවත තුළ මල් යායක් පිපෙන්නට ගත්තේය. කුස තුල වන සමනල් සේනාවක් දැනෙන්නට ගත්තේය.

” මට අංක වැරදෙන්න ඇති..”

ඕ ඒ තිගැස්ම නිවා ගත්තාය. මල් යාය මරා දැම්මාය. සමනල්ලු යටපත් කර ගත්තාය. ඕ දෙවන වරටද අංකය දුරකතන මුහුනතේ සඳහන් කලේ එය කොල කැබැල්ලක ලියමිනි.

එවරද වෙනසක් වූයේ නැත. චත්‍රගේ අංකය එහි විය. අයත්මා කෝකටත් කියා අංකය නාද කර බැලුවේය.

මිතුරාගේ පණිවිඩයෙන් විනාඩි අටකට පසු අයත්මාගේ ඇමතුම චත්‍රගේ දුරකතන තිරයේ මැවී තිබුණි.

” හෙලෝ ..”

චත්‍රගේ හඬෙහි බලාපොරොත්තුවකට මුහු වුන නැවුම් හැඟීමක් විය. එය අයත්මාට එතරමට දැනුනේ නැත. ඕ උන්නේ මේ කුමක් වන්නේදැයි සිතා ගන්නට නොහැකිවය.

” හෙලෝ …”

චත්‍ර දෙවන වරට සිහිපත් කරවනතුරුම අයත්මා කතා කලේ නැත.

” හෙලෝ .. අ.. මේ.. මන්ත්‍රීතුමා .. සොරි මම ඩිස්ටර්බ් කලානම් …”

” නෑ .. නෑ ..කියන්න ..”

චත්‍ර එවර ආචාරශීලි වූයෙය.

” මේ .. අද මට ඉස්කෝලේට කූරියර් පාර්සල් එකක් ආවා..  ඒකේ තිබුණේ රීචාර්ජබල් බල්බ් දෙකක් .. ඒ එවපු තැනින් ඇහුවම කවුද මට මේක එව්වේ කියලා මට මේ නම්බර් එක දුන්නේ ..”

” අහ් ඔව් .. මම එව්වේ ..”

අයත්මා අතින්  ජංගම දුරකතනය ගිලිහෙන්නට ගියේය. ඕ වහා එය සවනට තද කර අල්ලා ගත්තාය.

” පොඩි සෝශල් වර්ක් එකක් .. ඉස්කූල් ටීචර්ස්ලාට රෑට වැඩ කරගන්න බාධා වෙනවනේ කරන්ට් ගියාම . එහෙමයි කියලා පහුවෙනිදා ළමයින්ට උගන්නන්නේ නැතුව ඉන්න බෑනේ… අනෙක සමහර ටීචර්ස්ලා කරන්ට් ගියාම නිරපරාදේ බය වෙලා අඬාගෙන කෝල් ගන්නවා හතර වටේ…එහෙම දේවල් වලින් ටීචර්ස්ලාව අවොයිඩ් කරගන්න තමා අපි එහෙම කලේ ?…”

චත්‍ර ගේ හඬෙහි වූයේ දේශපාලන වේදිකාවකදී මිනිසුන් නම්මවා ගැනීමට තරම් වන විශ්වසනීය බවකි. එහෙත් දෙතොල් අග අයත්මාට අදහා ගන්නට නොහැඛි තරමේ මන්දස්මිතයක් විය. අයත්මා යළි ජංගම  දුරකතන තිරය දෙස බැලුවාය. චත්‍ර මන්ත්‍රීතුමා ලෙසින් වූ ආමන්ත්‍රනය එලෙසම තිබුනේය.

” හෙලෝ….” 

අයත්මා උන්නේ වචන පිට කරගන්නට තරම් සිහියක් නැතිවය.

” තැන්ක් යූ ..”

ඕ එලෙස පවසා ඇමතුම විසන්ධි කලාය. චත්‍රද ඉන් පසුව ඇය අමතන්නේ නැතිව සිනාසෙමින් දුම් වලලු වලින් රටා හඳින්නට ගත්තේය. අල්මාරියේ යටම සඟවා තිබූ ඇගේ රාත්‍රී ඇඳුමෙන් තවමත් දැනෙන ඇඟේ සුවඳින් පපුව පුරවා ගත්තේය. 

අයත්මා යහනට වැටුණේ දෑතින්ම පපුව අල්ලාගෙනය. ඒ චත්‍ර බව විශ්වාසය. ඔහු පැවසූ සියල්ලද කිසිඳු  අපැහැදිලි බවක් නැතිවම ඇසුන බව විශ්වාසය. එහෙත් එතරම් ලයාදර විශ්වසනීය බවකින් තමා අමතන්නට තරම් ඔහුට සිදු වුයේ කුමක්දැයි අයත්මාට වටහා ගන්නට හැකි වූයේ නැත.

හම්බන්තොට ගිය දවසේ පවා ඔහු උන්නේ වෙනමම මවාගැනීමක බව ඇයට මතකය. ඒ පෙර උන් චත්‍රට වෙනස් කෙනෙකි. තමා දුටු විට ඇස් වලින් සිනහ වැසි වස්සවමින් තමා දෙස බලා උන් චත්‍රට වඩා වෙනස් කෙනෙකි.

 එහෙත් මේ ලයාදර බව තුළ තමාට චත්‍රගේ පෙර හැසිරීම් සිහි වන්නේ ඇයිදැ්‍ි අයත්මා සිතුවාය. ඇයට වටහ අගන්නට හැකි වූයේ නැත. ඕ එහෙමම යහනේ ගුලි වූවාය. යළි යමක් සිහි වී මෙන් බල්බයක් මාරු කලාය. ඕ රැය පහන් කලේ විදුලි බල්බ එලි එක්කය. ඒ විදුලි එළි යට, චත්‍රගේ උණුසුම යට සිටිනවාය යන හැඟීම සුව පහසු හැඟීමක් වී ඇයට දැනෙන්නට ගෙන තිබුණි.

දින තුනක් ගෙවෙනතුරු කිසිත් සිදු වූයේ නැත. දෙදෙනාගේ සිත් තුළ ලෝක යුද්ධ තරමේ වන හැඟීම් ඝට්ටන පමණක් සිදු විය. එහෙත් දෙදෙනාට දෙදෙනාවත්, ඔවුන් වටා උන් කිසිවෙකුවත් ඒවා දැනගත්තේ නැත.

 අමතර සවස පන්තියක් පවත්වා නිවෙසට එන්නට අයත්මා පාසැළෙන් පිට වෙද්දී සවස හතර පසුවී තිබුණි. ප්‍රධාන පාරට වන තෙක් පයින් යන්නට ඕ තීරණය කර තිබුනේ යම් හුදෙකලාවක් අවැසි ව තිබූ නිසාය. එහෙත් පාසල පෙනෙන නොපෙනෙන මානයේදී ඇගේ ගතේ ගෑවී නොගෑවී තරමට ලෙසින් කැබ් රියක් නැවතුණි. අයත්මා අඩියක් පිටුපසට ගෙන මාර්ගයේ අයිනට වී ඒ දෙස බලමින්ම නැවතුණය.

කැබ් රිය හඳුනා ගන්නට ඇයට ගතවූ කාලය මිනිය නොහැක. කාලයක් තිස්ස්සේ ඇස් රිදෙනතුරු මඟ බැලූ යමක් හදිසියේ දෑස් අද්දර මතු වීමේ ප්‍රහර්ෂයෙන් ඕ ඔද වැඩෙමින් තිබුණි. එහෙත් ඊළඟ පියවර විය යුත්තේ කුමක්දැයි ඇයට වැටහුනේ නැත. සැනින් ඕ උන් පසින් කැබ් රියේ දොර විවෘ ත විය.

” නඟින්න …”

” මම ?…”

අයත්මාට එලෙස නොවිමසා සිටිය හැකි වූයේ නැත. තතපරයක ඇසිල්ලෙන් ඔහු අසල උන් නන්නාදුනන යුවතියද සිහි විය.

” තව කවුරු හරි ඉන්නවා නම් පිටිපස්සෙන් නඟින්න කියන්න …”

චත්‍ර මන්දස්මිතයක් සමඟින් කීවේය. අයත්මා උන්නේ නනාඳුනන යුවතියගේ සිහියෙනි.

” කමක් නෑ .. මං .. හෙමින් යන්නම් මන්ත්‍රීතුමා…”

චත්‍ර කිසිවක් නොපවසා ඍ ජුවම ඇය දෙස බලා උන්නෙය.

” මට කතා කරන්න ඕනි …. නඟින්න…”

” මොනවාද ?..”

චත්‍ර ඇය දෙස බලා උන්නා පමණි. ඕ කැබ් රියට ගොඩ වී දොර වසා ගත්තාය. චත්‍ර කැබ් රිය ධාවනය කලේය. දෙදෙනාම කිසිත් කීවේ නැත. අයත්මා උන්නේ බෑගය තරයේ අල්ලාගෙනය. හදවත අසීමාන්තික වේගයකින් ගැහෙන බව දැනෙයි

ප්‍රේමය පොරොන්දුවක් නම්, චත්‍ර ඇයට දුන් පොරොන්දුවක් නැත. ඇයට ප්‍රේම කරන බව ඇය ඉදිරියේ පවසා හෝ නැත. ප්‍රේමය හිමි වීමේ ප්‍රහර්ෂය තරමටම එය අහිමි වීමේ වේදනාවද දරා ගත යුතු බව වටහා දුන්නේ පොඩි හාමුදුරුවන්‍ය. ප්‍රේමය වඩා උත්කෘ ෂ්ට වන්නේ එවිට බව චත්‍ර දැන් දනී.

” ඔබ මගේ ලඟ නොඋන් දින වල පවා මම මට පොරොන්දු වුනෙමි. ඒ කෙදිනක හෝ ඔබේ දෑස් ඉදිරියේ හිඳ මගේ ප්‍රේමය කියන්නටය. ඉතින් පෙම්බරිය, ඔබට දැන් අසා සිටීමටම සිදුවේ. මෙතෙක් කල් මා උන්නේ දැවෙමිනි. අදින් ඒ සියළු දැවීම් අවසන් වන බව මට හැඟේ. මම මගේ ආත්මයම ඔබට පවරා දෙන්නට රුචිමි. මම මගේ හදවත තුළ නුඹ නමින් වන මාලිගාවක් තන්නට රුචිමි…   ඔබ මගේ ජීවිතයට එබෙමින් සිටින බව දැන් මම දනිමි. පෙම්බරිය.. බය නොවන්න … එබි එබී හිඳිය යුතු නැත. ඔය ගිරි දුර්ග, ජල දුර්ග ඉක්මවාගෙන මේ  හද ද්වාරයෙන් ඇතුලට පැමිනෙන්න …….”

කැබ් රියේ වාදනය වෙමින් තිබූ රේඩියෝ චැනලයේ නිවේදකයා චත්‍ර වෙනුවෙන් පාඨයක් කියවමින් උන්නේය. ඉන් නොනැවතී ගීතයක්ද වාදනය කලේය. ඉඳින්, අයත්මා උන්නේ ඒ වචන වල අතරමංව ගල් ගැසීගෙනය. චත්‍රගේ ටත්වයද වෙනසක් වූයේ නැත.

” ඔබගෙන් තරම් … ලැබූ පෙම් වදන් … ඉතින් ආදරෙයි නම්…. බොහොමයි හැඟුම්……”

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles