මියුරු පෙම් වසන්තේ – 55

කතාව පටන් ගන්න ඕන කොහොමද කොතනින්ද කියා ඇත්තටම අදහසක් ක්ලීටස්ට තිබුනේ නැත. මේ ගමන ආවේ ඇත්තටම තමන් වෙනුවෙන් නොවේ මියුරුත් ධම්මිකාත් වෙනුවෙනි.එහෙම එකේ මේ ආ ගමනෙන් කියන්න ඕන සියල්ලම කියා යා යුතු බව ක්ලීටස් දැන උන්නේය.

වසන්තා එක්ක යාලු වෙලා ඉන්න කාලයේවත් ක්ලීටස් අල්විස් වත්ත පැත්තට පැමිණ තිබුනේ නැත. වසන්තාව හමුවුනේ අතරමගදීය. කිසිවෙකුත් එනවා යැයි සැක නොහිතන කුඩා කුලී කාමරවලදීය. එහෙත් අද දෛවෝපගත විදියට කිසිම දිනක කිසිම ලෙසකින් පයගහන්නට නොඋන් තැනකට පයගහන්නට උනේ ඒ සියලු රහස් හමුවීම්වලට වන්දි ගෙවීමක් ලෙසිනි. මේ ගමන ආවේ තමන්ගේත් ධම්මිකාගේත් දරුවා වෙනුවෙන් බව ඇත්තක් උනත් විවර වුන ලී දොරෙන් එහා කුතුහලය පිරුණ දෑසක් සමග රැඳී උන් නදීගේ දෙනෙත් අස්සේ හෝ මුහුණ අස්සේ වසන්තගේ රූපයට යටින් තමන්ගේ කියා කිසිම හෝ සලකුණක් සැඟවී තිබේ දැයි හොයන්න ක්ලීටස් උත්සහ නොකලා නොවේ.

දුවේ කියා ඇය වැලඳගන්න සිතුණත් ක්ලීටස් ඒ හැඟීම හිත අස්සේම හංගාගත්තේ මේ එයට වෙලාව නොවන බව දන්නා නිසාම නොවේ. කිසිදිනක දැක නැති තාත්තා කෙනෙකු විත් ආදරයෙන් වැලඳගත්තද ඒ පිළිගන්න වැඩිමහල් කෙල්ලෙක්ට බැරිබව දන්න හන්දාය. නදීට තමන්ගේ පිය පදවියෙන් වැඩක් නැති බව දන්න හන්දාය.

නදී මියුරුගේ තාත්තාව අඳුන නොගත්තා නොවේ. එහෙත් තමන්ගේ දෙනෙත් අස්සේ ඇඳී තිබෙන කුතුහලයට හේතුව නම් “මියුරුගේ තාත්ත ඇයි මෙහේ?” කියා හිත අහපු ප්‍රශ්නය බව නදී දනී. 

“සර්” කියා නදී කිව්වේ තව දුරටත් නිහඬව ඉන්න පුලුවන්කමක් නැති හන්දාය. වෙන තැනක වෙන කෙනෙකු උනානම් ඇත්තටම ඔහුව ආමන්ත්‍රණය කල යුත්තේ තාත්තා කියා නමුත් ඒ ආමන්ත්‍රණය තමන්ට තව බොහෝ දුර බව දන්න හන්දාම නදී සර් කියා ක්ලීටස් රදන්පොල්ව ඇමතුවාය.

“ඔයා නදී නේද? මාව දන්නවද දුව?” කියා ක්ලීටස් විමසුවේ හිත අස්සෙන් කෑගසා හඬන දුවෙක්ගේ පියෙක්ගෙ හදකින් නැගෙන වේදනාබරිත විලාපය අපහසුවෙන් සඟවාගනිමින් එතනට මියුරුගේ තාත්තා කියන ආමන්ත්‍රණය ආරූඪ කරගනිමිනි.

“ඔව් සර්, මියුරුගෙ තාත්තා නේද?” කියා නදී ඇහුවේ මේ මිනිසා මෙහි ඒමට හේතුව තමාත් මියුරුත් අතර තිබෙන ප්‍රේම සබඳතාවය විය හැකිබව තේරුම්ගනිමිනි. මියුරු අද උන්නේ තාත්තාට කතා කරන්න බව දන්නා නමුත් ක්ලීටස් රදන්පොල ඔහුට කලින් ක්‍රියාත්මක වී තිබෙන අයුරකි. 

 මියුරු ඔහු සමග කතාකරන්නට කලියෙන් ක්ලීටස් රදන්පොල මේ ආ ගමනේ පිටුපස්සේ සුන්දර බලාපොරොත්තුවක් තියාගන්න නොහැකි බව අමුතුවෙන් තේරුම්ගන්න නදීට උවමනා නැත. මියුරු කොච්චර “තාත්තා අම්මා වගේ නෙවෙයි හරි හොඳයි” කිව්වත් ඕනම අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු දරුවෙක්ව ආදරේ නාමයෙන් පමණක් විවාහ කර නොදෙන බව තේරුම් ගන්න නදීට අපහසු නැත.

“ඔව් දුව, මට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද?” කියා ක්ලීටස් ඇහුවේ අන්ධකාරයේ ගිලී තිබෙන නදීගේ ගේ ඇතුලට දෙනෙත යවමිනි. මේ තරම් වසර ගණනාවකට පස්සේත් මේ ගෙවල් දොරවල් තිබෙන්නේ මෙයාකාරයෙන් නම් වසන්තා එක්ක තමන් බැඳී හිඳින කාලයේ ඇය ගෙවන්නට ඇති ජීවිතය ගැන ක්ලීටස්ට අදහසක් ගන්න අමාරු උනේ නැත. 

“ආච්චියි තාත්තයි නම් ගෙදර නෑ සර්” කියා නදී කිව්වේ කෙල්ලෙක් තනියම ඉන්න ගෙයක් ඇතුලට තමන්ගේ තාත්තගේ වයසේ වැඩිමහල් පිරිමියෙකු උනත් ඇතුලු වීම නොහොබිනා බව කියන්න මෙන් නවුනත් ක්ලීටස් ඒ ගැන වරදක් හිතුවේ නැත. විස්සෙ කණුවෙ අල්විස් වත්තෙ උනත් කොළඹ හතේ බාන්ස් පෙදෙසේ උනත් අල්ලපු ගෙවල්වල ඉන්නේ සීසීටිවි කැමරා බවත් කටකතාවක් හදන්නත් කටකතාවක් පතුරුවන්නත් එහෙමකට කියා වෙලාවක් නොයන බව අත්දැකීමෙන්ම ක්ලීටස් දනී.

“ඒකට කමක් නෑ මම මෙතනින් වාඩිවෙන්නම් ඇත්තටම මට කතාකරන්න ඕන ආච්චිටවත් තාත්තටවත් නෙවෙයි දුවට” කියා ක්ලීටස් කියද්දී නදී මේ කතාබහ තමාත් මියුරුත් ගැන බව ආයෙම වරක් හිතට ඒත්තු ගැන්වුවාය. එසේනම් තමා බයෙන් උන් සැකෙන් උන් ඒ මොහොත නොහිතූ වෙලාවක නොසිතූ විරූ අයුරින් තමාගේ දෙපා ලඟටම ඇවිත් තිබේ.

“කියන්න සර්” කියා කිව්වද තමන්ගේ හඬත් දෙපාත් වෙව්ලන බව නදීට තේරේ.

“දූව මම එදා ඔෆිස් පාටි එකේදි දැක්කෙ නැහැ, එහෙම දැක්කා නම් සමහරවිට මේ කතන්දර මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා දුව” කියා ක්ලීටස් කිව්වේ කතාව පටන් ගන්න හොඳම තැන එතන බව හිතමිනි. එහෙත් නදී උන්නේ ඒ කතාවේ තේරුම කුමක්ද කියා හිතාගන්නට බැරුවය. ඔය කියන ඔෆිස් ෆන්ක්ශන් එක කාලයේ තමන් සහ මියුරු අතර කිසිමාකාරයක සම්බන්ධයක් නොවූ බව නදීට මතකය. එහෙම එකේ “එදා පාටි එකේදි දැක්කනම් මේ කතන්දර මීට වඩා වෙනස් වෙන්නෙ තිබුණා” කියා ක්ලීටස් රදන්පොල කියන්නේ කුමනාකාරයේ කතාවක්ද කියා තේරුම්ගන්න නදීට අපහසු ය.

“මට තේරුණේ නෑ සර් කිව්ව දේ”

“දූ ඔයාගෙ අම්මා වගේමයි. අම්මගෙම කපාපු පලුව” කියා ක්ලීටස් කිව්වේ කෙලින්ම ප්‍රශ්නයට එන්ටර් වෙන්න බැරුව වටේ ගහමින් ඉන්න අතරය. මේ කතාව හිතන තරම්, ධම්මිකාට පොරොන්දු වෙච්ච තරම් කියන්න පහසු කතාවක් නොවන බව ක්ලීටස්ට උනත් තේරුම් ගියේ ඒ කතාව කියන්නට පටන් ගත්තයින් පස්සේය.

“සර් අපේ අම්මව දන්නවද?” කියා නදී ඇත්තටම ඇසුවේ කුතුහලයෙනි. කොළඹ හතේ මාලිගාවක වෙසෙන ධන කුවේරයෙක් බඳු මේ මිනිසා විස්සෙ කණුවෙ අල්විස් වත්තෙන් ආ තමන්ගේ අම්මා වැනි ගැහැණියක හඳුනන්නේ කෙසේද යන්න ගැන නදීට හීනයකින්වත් හිතාගන්න අපහසුය. 

“මම හිතන්නෙ මම දුවටත් වඩා හොඳට දුවගෙ අම්මව අඳුරනව දුව” කියා කියන්න තිබුනානම් හොඳ නමුත් ක්ලීටස්ට ඒ සිතුවිල්ල වචන කරගන්න එහෙම ලේසියෙන් පුලුවන් උනේ නැත. අනෙක් අතට තමන් කොහොම කීවත් ඒක අසන්නා කොහොම අසාවිද කියන බයත් ක්ලීටස්ගේ හිතේ නොතිබුනා නොවේ.

“දුව මියුරු එක්ක යාලු බව මම දන්නවා. දූ හොඳ දරුවෙක් වෙන්නැති. කසාදයකදි දෙන්න පෑහෙන්න ඕන සිතුවිලි වලින් අදහස් වලින් විතරයි කියල අපි හිතුවට ඇත්තටම ජීවත්වෙන්න උනාම තමයි ඊටත් වඩා දේවල් ගැලපෙන්න ඕන බව අපි දන්නේ.

දූ ඉපදිච්ච තැනයි මියුරු ඉපදිච්ච තැනයි අතරෙ ලොකුම ලොකු පරතරයක් තියෙනව. ඒත් මියුරු කියන්නෙ මෝඩ දරුවෙක් නෙවෙයි, ආදරේ අන්ධ බව ඇත්තක් උඅන්ත් මියුරු කියන්නේ මෝඩ දරුවෙක් නොවන බව මම දන්නවා. ඒ නිසාම මියුරුව දූව මියුරුගේ පාට්නර් විදියට තෝරගත්ත එක ගැන මම පුදුම වෙන්නෙ නෑ. දූගෙ පෙනුම, ඉගෙනීම, රස්සාව මේ ඔක්කොම මියුරුට ගැලපෙනවා ඇති. වෙන දරුවෙක් උනා නම් මම මේ ගමන එන්නෙ නෑ දූ ඔයාලා දෙන්නට ආශිර්වාද කරනවා ඇරෙන්න

ඒත් මේ කාරණාවෙදි මට ඒක කරන්න විදියක් නෑ’ කියා හිඳගෙන උන් තැනින් නැගිට්ට ක්ලීටස් අල්විස් වත්තේ වත්ත මැදින් වැටී තිබිච්ච පාරත් තීරුවක් වගේ මිදුලත් වෙන් කරන ගරාදියක් වගේ හයි කර තිබූ පැළලි වැටට අත තබා බිම බලාගෙන කල්පනා කරන්නට උනේය. 

‘සර් මේ කතාව මියුරු එක්ක කතා කරාද?”

“මේ කතාව මට මියුරු එක්ක කරන්න පුලුවන් කතාවක් නෙවෙයි දුව. මම ඒකමයි මෙහෙම දූව හම්බෙන්න ආවෙ. දූගෙන් විතරයි මට මේ ඉල්ලීම කරන්න පුලුවන්. මගේ වයිෆ් ඒ කිව්වෙ මියුරුගෙ අම්මා මං හින්ද ඕනතරම් දුක් විඳලා තියෙනව දුව. මං අතීතෙ කරපු වැරදි මගෙ දරුවන්ගෙ ජීවිත විනාශ කරන්න හිතාගෙන ඉස්සරහට එද්දි තවත් ඒ ගෑණිට දුකක් දෙන්න බැරි හන්දමයි දුව මම මෙහෙම කතාකරන්න ආවෙ.

මම ඇත්තටම ආවෙ දුව එක්ක කතාකරන්නම නෙවෙයි, දුවගෙන් ඉල්ලීමක් කරන්න”

“මට තේරෙන්නෙ නෑ සර් කියන්න හදන දේ”

“දූ මියුරු එක්ක තියෙන අෆෙයාර් එක නවත්තන්න ඕන දුව”

“ඇයි ඒ?”

“දූ හිතනවටත් වඩා ළඟ සම්බන්ධයක් තමයි මමයි දුවගෙ අම්මයි අතරෙ තිබුනේ දුව”

“ඒ කිව්වේ?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles