නුඹ තරම් ප්‍රේමයක් – 34

තිස් හතර වැනි නෙත් සැරිය  

අයත්මාලගේ නිවසේ  ගිණි ඇවිලුණි.. අවිශ්ක හිටියේ යක්ශාවේෂ වීගෙනය.ඔහු අතින් ඔහුගේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණි.  ඒ නිසාම අයත්මාට අවිශ්කගෙන් ගුටි පහර දෙක තුනක්ම දරා ගන්නට සිදු විය.

” මට ඇත්ත කියනවා…එදා රෑ එහෙම දෙයක්ද වුනේ?.. තමුසේ ඒ ඔක්කොම හංගගෙන හිටියේ මං අරූව මරාවි කියලාද?..එහෙම නැත්නම් ඌ එක්ක හැප්පෙන්න ගිහින් මට කරදරයක් වේවි කියලාද ?

 ඇත්ත කියනවා මට …  එහෙම දෙයක් වුන නිසාද තමුසේ එකපාරටම ඌට කැමති වුනේ?… ඌ තමුසේට කරදරයක් කරාද අයත්මා… කතා කරනවාකෝ ඕයී ..ඔය ඇඬිල්ල නවත්තලා මට කියනවකෝ..නිමලා අම්මේ මේකිගෙන් අහන්නකෝ..අහන්නකෝ…. 

ඇත්තමයි… ඇත්තමයි මම අරූව මරනවා අයත්මා…උඹ කතා කරන්නේ නැත්නම් මම යන්නද ඌ හොයාගෙන ..යන්නද මම ?…..”

අවිශ්ක උන්නේ නොසන්සුන්ව කෑ ගසමිනි. අවිශ්කගේ හඬට බියවී හඬන කුඩා දියණිය වඩාගෙන උන් නිමලා අම්මාටද අවිශ්කව පාලනය කරන්නට කිසිත් කර ගත හැකි වූයේ නැත. 

උදෑසනම මේ කඩා පහත් වුණු හෙණය කුමක්දැයි අයත්මාද උන්නේ වටහා ගන්නට නොහැකිවය.  ඇය  වඩා බිය වූයේ චත්‍ර පිළිබඳවය. මේ සියල්ල ඔහුටද ආරංචි වී ඇතිනම් මේ වෙද්දී ඔහු ඇත්තේ කිනම් මානසිකත්වයකදැයි අයත්මාට සිතා ගන්නටවත් හැකි වූයේ නැත. ඔහුගේ වෙවුලන ඇස් සිහි විය. 

අතුකෝරල නිවස තුල ගිණි ඇවිලී ඇතැයි ඇයට සිතුණි. කොහොමටත් ඔවුන් සිතා සිටින්නේද වෙනකකි. ඒ නිසාම චත්‍ර ඉබේම වරදකරු වෙයි. එහෙත්, චත්‍රට ඇමතුමක් දෙන්නට ජංගම දුරකතනය ගන්නට කාමරයට යන්නටවත් නොහැකි තරමටම ඕ ගල් ගැසී උන්නාය.   

” අයත්මා……කියනවා නංගී … මම තමුසේගේ අයියානේ.,..මට කියනවා…මොනවද ඒ පෝස්ටර්වල තියෙන්නේ…”

“අනේ අයියේ…”

අවිශ්ක අයත්මා වැළඳගත් විට අයත්මාට නොහඬා සිටින්නට හැකි වූයේ නැත. එහෙත් ඔහු ඇසිල්ලෙන් ඇය අතැර පසෙකට වූයේය. චත්‍ර අතින් කුමක් සිදුවූයේදැ යි යලි යලි විමසමින් කෑ ගසන්නට පටන් ගත්තේය. ඉන්  විනාඩි කිහිපයක් ගත් වෙන්නට පෙර චත්‍රගේ කැබ් රිය මහ හඬින් අයත්මලාගේ මිදුලේ නැවතුනේය. අවිශ්ක හැරී බලන විට චත්‍ර උන්නේ නිවසේ දොරකඩය.

“බ… ල්ලා තෝ…”

අවිශ්ක චත්‍රගේ යටි තොළ පැලී යන තරමේ අතුල් පහරක් ගැසුවේය. ඉන් චත්‍ර විසිවී ගියද බිත්තිය අල්ලාගෙන නොවැටී සිටින්නට චත්‍රට හැකි විය. ඔහු බලා උන්නේ අයත්මා දෙසය.

 රාත්‍රී නිදන ඇඳුමෙන්ම සෙටියේ කොනකට වී පෙඟුන ඇස් සහ කොපුල් සමඟින් සිටින යුවතියගේ දසුන චත්‍රට දුරින් සිට දරා ගත හැකි වූයේ නැත. ඔහු වහා ඇය වෙතට යන්නට ඉස්සර වූයේය. එහෙත්  අවිශ්ක දැවැන්ත පවුරක්ව දෙදනා අතරට් ආවේය. චත්‍රගේ කමිස කොලරයෙන් අල්ලාගත්තේය. ඔහුගේ මුහුණටම එබුනේය.

” තෝ ..කොහොමද බල්ලෝ මගේ අහිංසකීට එහෙම කලේ?…”

“අහපං … අවිශ්ක අහපං …”

චත්‍ර යමක් පැහැදිලී කරන්නට උත්සාහ කලේය. එහෙත් අවිශ්ක උන්නේ කිසිවක් වටහා ගන්නට හැකි මානසිකත්වයක නොවේය. ඔහු චත්‍රට තවත් පහර කිහිපයක්ම එල්ල කලේය. චත්‍ර අවිශ්කට විරුද්ධව කිසිත් නොකරම යටහ් වෙමින් උන්නේය. එය ඉවසා සිටින්නට අයත්මාට හැකි වූයේ නැත.

ඕ වහා නැගිට විත් අවිශ්ක සහ චත්‍ර අතරට රිංගා ගත්තාය. අවිශ්ක දෙස බලමින් චත්‍රට පිටුපා සිට ගත්තේය. චත්‍රගේ එක් අතක මැණික් කටුව  අසලින් අල්ලා ගත්තේය.

” එයා මුකුත් කලේ  නෑ …”

ඇය අවිශ්ක ඉදිරියේ ගින්නක් සේ ඇවිලුනාය. චත්‍ර ගේ හදවතේ ඇවිලෙන ගින්න තමා වෙත පවරා ගන්නට උත්සාහ කලාය. 

“බොරු ..බොරු..උඹ දන්නවා මම මූව මරණ බව… ඒක නිසයි ඔය බොරු කියන්නේ…”

අවිශ්ක ගුගුරා හැලුණේය. 

” අයියේ … විකාර කියවන්න එපා…. එයා මට ආදරෙයි අයියේ .. ඔයා දන්නවනේ ඒක …අද ඊයේ ඉඳන් නෙවෙයිනේ එයා ආදරේ කලේ මට… ඉතින් , ඉතින් ,  …මොකටද චත්‍ර මාව රේප් කරන්නේ ?…. 

එයා මාව බලාගෙන කොච්චර කල් උන්නද?.. එහෙව් එයා මොකටද මාව රේප් කරන්නේ?.. අනෙක , අනෙක .. එයා මාව රේප් කලානම් මම එයාට ආදරේ කරාවි කියලා ඔයා කොහොමද හිතන්නේවත් …. ඔයාගේ අයත්මා එච්චර දුර්වලද?…”

අවිශ්ක ඉන් මදක් පසු බැස්සේය.

” එදා … එදා චත්‍ර මාත් එක්ක කතා කරන්න ඕනි කිව්වා. මම බෑ කිව්වම එයා මගේ අතින් අල්ලගෙන මාව වාඩි කරගන්න හැදුවා..මම කෑ ගහලා පැනික් වුණා… එදයින් පස්සේ මම චත්‍රව බය කලා ආයේ පස්සෙන් ආවොත් මම හැමෝටම කියනවා කියලා, මාව රේප් කරන්න හැදුවා කියලා… ඒ නිසයි එයා ඈත් වුනේ… ඒත්, ඒ ඈත් වුනාට පස්සේ මම තේරුම් ගත්තා අයියේ… මමත් ආදරේ කරලා බව…”

අයත්මා අවිශ්කගේ ගෙලෙහි එල්ලී හඬා වැටුනාය. චත්‍ර උන්නේ උන් තැනම නොසෙල්වීගෙනය. අයත්මා ඔහු දෙස හැරුනේ ඉන් පසුවය. නළල වැසෙන්නට වැටී තිබූ හිසකේ පසෙකට කල ඕ නලල ඉම්බාය.

” ඉඳගන්නකෝ…”

අතින් අල්ලාගෙනම චත්‍රට අසුනක් පෑවාය. අයියාටද එලෙසින්ම ඉඳගන්නට  ඉඩ  හැදුවේය.

“නිමලා අම්මේ … කිරි උණු කරමුද?.. බබා මට දෙන්න …”

එහෙත් අවිශ්ක දියණියව වඩාගෙන මිදුලට බැස්සේය. නිමලා අම්මා කුස්සිය දෙසට ගියාය. අයත්මා චත්‍ර අසලින් ඉඳගත්තාය.

” රිදෙනවද?…”

ඕ ඔහුගේ යටි තොලද, කොපුලක්ද ඇඟිලි තුඩින් අත ගෑවාය. චත්‍රගේ දෑස් සිහින්ව ගියේය. ලේ පුරා ඇති තොළ රිදුම් දෙන්නේය. එහෙත්, ඒ වේදනාවන් සුව කර ගැනීම පහසුය. සුව කර ගන්නට බෙහෙතක් පෙනෙන මානයකවත් නැති තුවාලයක් තමා වසාගෙන ඇති බව චත්‍රට දැනෙන්නේය.

” චත්‍ර ?…”

චත්‍ර අයත්මා දෙස බැලුවේ ඒ ස්වරයේ වූ ඇලීමෙන් මිදෙන්නට හැකියාවක් නොවූ නිසාය.

” ලයිව් එකක් ගිහින් කියන්න ද මම  අපි දෙන්නා යාලුයි කියලා…. එතකොට ඔය කතා ඔක්කොම යටපත් වේවි…”

චත්‍රගේ දෑස් ගැස්සූණු වේගයට අයත්මාද ගැස්සුණාය. ඕ ඔහුගේ එක් අතකින් අල්ලා ගත්තාය.  චත්‍ර උන්නේ සීතල වෙමිනි

” එහෙම නැත්නම් අපි කපල් ෆොටෝ එකක් දාමු…?”

අයත්මා ඒ ස්වරය වෙනස් නොකරම අවසර ඉල්ලීඉමක් ලෙසින් විමසුවාය.

” පි ..ස්.. සු.. ද ?….”

චත්‍ර ගේ ස්වරවල වූයේ බිඳීමකි. ඔහුගේ නෙත් පුරා වූ තෙතින් අයත්මාගේ හදවතද පෙඟී ගියේය. ඕ ඔහුගේ වත තම දෑතට මැදි කරගත්තේය. චත්‍ර දෑස් වසා ගත්තේය.

” ඔහොම වැටෙන්නෙපා චත්‍ර …ප්ලීස් … එදා සිද්ද වුනේ මොකද්ද කියල අපි දෙන්නම දන්නවා.. කවුරු කොහොම මොක කිව්වාත් අපි දෙන්නාට එදා දවස මතකයි නේද?.. ඇයි මේ ?… ඔයා ඔහොම කඩාගෙන වැටුනම ඉබේම ඔයා වැරදිකාරයා කරාවි ….

 අයියා කලබල වෙලා ඉන්නේ .. එයා සාධාරණයි … එයා මේ වෙච්ච දේවල් දන්නේ කනපිට පෙරලුණු සිද්දි විදියටනේ … ඉතින් එයාට මේ මුකුත් හිතාගන්න බැරුව ඇති.. ඔයාලගේ ගෙදර තත්වේ මීට දරුණුත් ඇති….

ඒ කොහොම වුනත්,  ඒ ඔක්කොම එහෙම තියෙද්දීත් ඔයා මෙහෙම දුවගෙන ආව එක ගැන මට හරියට ආදරේ හිතෙනවා… ඇත්තමයි …”

අයත්මා චත්‍රගේ වතටම එබී යළි නළල ඉම්බාය.  චත්‍ර උන්නේ දෑස් වසාගෙනමය. නළලෙන් ඇතුළු වූ හැඟීමක් මුහුනෙහි පේශි හරහා කාන්දු වි හදවත තෙක්ම රූටන බව ඔහුට දැනුණි.

” චත්‍ර …. “

අයත්මා යළි කොඳුළාය. චත්‍ර දෑස් විවර කලේය. ඇය උන්නේ හාදුවක දුරින් වුවද, ඔහුට ඇයව සිප ගන්නට සිතුනේ නැත. මෙච්චරක් කල් ලෝකයාගෙන් රැකුණු මලක් තමා නිසා පොඩි පට්ටම් වී ගොසිනි. දැන් ඉඹින්නට අයිතියක්  කොහෙද?..

” ඉස්සෙල්ලාම ගෙවල් වල අයව සෙට්ල් කරගෙන ඉමු .. අපේ අයියා දැන් තේරුම් අරන් ඇති.. අපි ගිහින් ඔයාලගේ ගෙදර අයට කතා කරමු … ඔයා මුකුත් කියන්න ඕනි නෑ… මම කියන්නම්…. හරිද?..”

චත්‍ර එයට එකඟනැති බව කියන්නට මෙන් හිස සැළුවේය. අයත්මා ඒ යෝජනාව අනිවාර්‍යෙන්ම ක්‍රියාත්මක වන බව පවසන බැල්මකින් ඔහු දෙස බලා උන්නේය. එහෙත් චත්‍ර ඇයට එකඟ නොවන බවම පෙන්මවමින් බලා උන්නේය.

ඇගේ දෑත් තම වත මතින් මුදවාගෙන උකුල මත දෑත් අතරේ තදින් අල්ලා තියා ගන්නට චත්‍ර ඊළඟට පැකිලුනේ නැත. එහෙත් ඔහුට කිසිත් කියා ගන්නට හැකි වූයේ නැත.

” ඇයි ?…”

”  මට සමාවෙන්න කෙල්ල …”

චත්‍ර මහ හඬින් හඬා වැටුණේය. ඒ හඬට අවිශ්කද දිව විත් නැවතුනේ සාලයේය. චත්‍ර උන්නේ අයත්මාගේ උරය මතට කෙලින්ම හිස තබාගෙනය. අයත්මා අවිශ්ක දෙස බලා දෙතොල් නොපිට පෙරලා ගත්තේය.

 | අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles