තිස් පස් වැනි නෙත් සැරිය
අවිශ්ක නිමලා අම්මා රැගෙන ආ කිරි වීදුරු හතර සහිත බන්දේසිය මේසය මත තබන්නට ඉඟි කලේය. ඉන් පසුව දියණිය ඇයට දුන්නේය.
” දෝණිවත් එක්කන් කාමරෙන් ඉන්න නිමලා අම්මා.. උදේ උයන්න ඕනි නෑ… අයත්මා ඉස්කෝලේ යන එකක් නෑ ….”
අවිශ්කගේ හඬින් චත්‍ර අයත්මාගේ උරයෙන් පසෙකට වූයේය. එහෙත් අයත්මා ඔහුගේ අල්ලා ගත් දෑත් අත් හැරියේ නැත. මේ දැනෙන ළබැඳියාව දිනක දෙකක ඉපදීමක් නොවේය. කලක පටන් යටපත් කර දමා, නමක්ද නැතිවම තියාගෙන උන් කාරණාවල ඉස්මතු වීමකි. එසේ නැතිනම් අයත්මා මෙතරම් සවියක් වී චත්‍ර අසල රැඳෙන්නේ නැත.
අවිශ්ක දෙදෙනාටම සවන් දුන්නේය. පෝස්ටර් ගසා ඇත්තේ සීසීටීවී කැමරා නොමැති ස්තාන ගැන සැලකිලිමත් වෙමින් බව තම මිතුරන් පැවසූ බව චත්‍ර කීවේය. අලවන්නේ නැතිව අත් හැර දමා තිබූ පෝස්ටර් මිටියක් තිස්සමහාරාමය සුපිරි වෙළඳසලක් අසල තිබී හමුවී ඇති බව මිතුරෙකු පණිවිඩයක් එවා තිබූ බවද, සුපිරි වෙළඳසැලෙහි කළමනාකාරවරයා මුණ ගැසී එහි ආරක්ශිත කැමරා දර්ශන පිළිබඳව සොයා බැලීමට ඔහු එහි රැඳී සිටින බවද චත්‍ර කීවේය. එදින රාත්‍රියේ සිදුවීමක පිළිබඳව දන්නේ පවා තම නිවසේ අය පමණක් බව චත්‍ර දිවුරමින් කීවේය.
” අඩුම මගේ බොක්කේ ෆිට් උන්වත් එදා අයත්මා අසනීප වුන සිද්දියට අදාල මොකවත්ම දන්නේ නෑ බං…. උන් මාව හොයාගෙන ඇවිල්ලා හිටියෙත් මොකද්ද සීන් එක හිතාගන්න බැරුව.. සරලවම මාත් එක්ක මෙහෙම කෙළවගන්න ඕනි එකෙක් මට හිතාගන්නවත් බෑ බං.. කොටින්ම මම නොමිනේශන් පවා එපා කියලා තියෙද්දී මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ කාටවත් …..”
චත්‍ර වගකීම් සහගත හඬකින් කීවේය. අයත්මා තමා විශ්වාස කරන බව මෙතරමට දැනෙද්දී චත්‍ර දුර්වල වූ සිතුවිලි යළි ශක්තිමත් කරගන්නට උත්සාහ කරමින් උන්නේය. ඇය මෙතරම් හය්යකින් තමා දරා ගනීවියැයි සිතා තිබුනේ හෝ නැත. එහෙත් ඕ තමාටද වඩා අවබෝධයෙන් ප්‍රශ්නය දරා ගන්නට සූදානමින් සිටින බව චත්‍ර වටහා ගත්තේය. තමාට වඩා එම චෝදනාවේ වින්දිත පාර්ශවය වෙන්නට යන්නේ ඇය බව දැනි දැනීම තමා වෙනුවෙන් පෙනී සිටින යුවතිය ගැන හදවත පිරෙන ප්‍රේමය චත්‍රට වාන් නොදමා නවතා ගන්නට කිසිලෙසකින්වත් හැකි වූයේ නැත.
අවිශ්ක ඔහුගෙ හිතවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඇමතුවේය. ඒ අතරේ අයත්මා ගත දොවාගෙන ගවුමකට මාරු වී ආවාය. චත්‍රටද මුහුණ සෝදාගෙන ඇඳුමක් ඇඳ ගන්නට දෙන්නයැයි අවිශ්ක කීවේ ඔහු කමිසයක් ගත ලාගෙන එන්නට ඇත්තේ සූදානම් වීමකින් තොරවමයැයි සිතමිනි. අයත්මා චත්‍රව කැටුව අවිශ්කගේ කාමරයට යාබදව තිබු කාමරයට ගියාය. අවිශ්කගේ කොට කලිසමක් සහ ටී ශර්ටයක් සමඟ තුවායක් ඔහුට පෑවේය.
චත්‍ර බලා උන්නා පමණි.
” යන්න ..දැනට මීට වඩා බෑ… “
අයත්මා ඇස් නටවා කීවාය. රෝමය ගිණි ගනිද්දී නීරෝ නම් වූ අධිරාජ්‍යයා වීණා වාදනය කෙරූ කතාව චත්‍ර අසා තිබුණි. එහෙත් එහි වර්තමාන පුනරූපනය මෙලෙසින් විය හැකි බව සිතා තිබුණේ නැත. චත්‍ර අයත්මා දෙසට අඩි කිහිපයක් ඇවිද්දේය. ඇය තමා ආක්‍රමණය කරමින් නැගෙන්නේය. ඇය උන්නේ එවැන්නක් හැකිවා හෝ ලෙසින් නොවේය.
” මගෙ ළඟින් මෙහෙම ඉන්න බව දන්නවා නම්, මමම ඒ පෝස්ටර් ටික ගස්සවනවා……. කලින්ම ……”
ඇගේ ගත හී ගඬු නැඟෙන ස්වරයකින් එලෙසින් පැවසූ චත්‍ර නාන කාමරය තුළට රිංගා ගත්තේය. අයත්මා පියවි සිහියට එලැඹියේ විනාඩි කිහිපයකට පසුවය. ඕ හිස දෙපසට සලමින් කාමරයෙන් පිටතට ආවාය.
සිදුව ඇත්තේ පහසුවෙන් නිවැරදි කල හැකි දෙයක් නොවන බව අයත්මා දනී. මේ වනවිට මේ සිදුවීමේ අහුකොන් තිස්සමහාරාමය ප්‍රදේශයේ පමණක් නොව, ලංකාව පුරාමත්, ලෝකය පුරාමත් සිතා ගත නොහැකි අහුමුල්ලක පවා තැවරී ඇතිවා විය හැකි බවද අයත්මාට වැටහෙයි. දැන් ලෝකය විශ්වීය වී තිබීමේ ආදීනව එලෙසින් බවද ඇ්‍ට වැටහෙයි. යමක් පෞද්ගලික මට්ටමේ තබා ගැනීමට නොහැකිව ගිලිහී යාමෙන් ඒ ගැන යළි පෞද්ගලික මට්ටමින් කතා කිරීමට ඉඩක් නොලැබෙයි. එය න් පසුව පොදු තැණකට වැටෙයි. පෞද්ගලික සීමාවේ පාලනයෙන් ගිලිහෙයි. එහෙත් වඩා ශක්තිමත්ව දරා ගැනීම සහ උක්ත පරිදි වන මුදා හැරීම් නිසා තමාට වන හානියකට එරෙහිව නැගී සිටීම පෞද්ගලික සීමාවෙන් ඇරඹිය හැකි බව අයත්මා දැන උන්නේය.
චත්‍ර යනු සල්ලාලයෙක් හෝ ගැහැණු විෂයෙහි පෙරේත කම් පාන පිරිමියෙකි නොවන බව අයත්මා දනී.
” මට ඕනි ආදරෙන් දියවෙලා යන්න අයූ.. මම කල්පනා එක්ක උන්නේත ඒ අවුරුදු ගානම, ඒකි මට පැලෙන්න ආදරේ කල නිසා විතරක් නෙවෙයි …එතන කතන්දර ගොඩක් .
.
.. මං එතනදී මහ අසාධාරනයි කියලා මම දන්නවා ඒත් … ඒකිට ආදරේ කරන්න මට පුලුවන් නොවුනත් මට ඒකිව ඈතට කරන්න බැරි වෙන්න හේතු තිබ්බා අයූ …
කල්පනා මට ආදරේ කලා.. ඔයා නිසා මම කඩාගෙන වැටුම හැම දවසකම එයා මාව අහගෙන හිටියා ….තවම මම ක්ල්පනාට මෙච්චරක් රෙස්පෙක්ට් කරන්නේ ඒකයි.. මං එයාට සදාකල් ණයයි ….”
ඔහුගේ විදෙස්ගත ජීවිතය පිළිබඳව කතා බහකදී චත්‍ර පැවසූ අයුරු අයත්මාට සිහි විය.
කලණ සහ අයත්මාගේ නැන්දා සහ මාමා කලබලයෙන් නිවෙසට පැමිණෙද්දී චත්‍රද සාලයට පැමිණ උන්නේය. අයත්මාද උන්නේ ඔහුට යම් දුරකිනි. කලණ අඩියට දෙකට විත් අයත්මා වැලඳගත්තේය. අවිශ්ක චත්‍ර දෙස බැලුවේය. ඔහුගේ දෑත් මිට මෙලවී තිබුණි. ඔහු උන්නේ කොටියෙකු මෙන් මානාගෙනය.
කලණ ඉන් පසුව අයත්මාගේ දෑ උරෙන් අල්ලා ඈ මදක් ඉදිරියට කර ඇය දෙස හොඳින් බැලුවේය. සිතා උන්නේ ඇය හඬා වැටී නැගිටගන්නට හෝ නොහැකිව සිටිනවා විය යුතුය කියා වුවද ඇය මෙතරම් සාමාන්‍ය ලෙසින් සිටීම කළණවද පුදුමයට පත් කර තිබුණි.
” ලොකු පුතේ .. මේ අතුකෝරල ගෙදර කොල්ලා නේද? .. මේ මිනිහා මොකද මෙහෙ කරන්නේ ?…”
මාමා අවිශ්කගෙන් විමසමින් චත්‍ර දෙසට ඇවිද ගියේය. චත්‍ර සන්සුන් වන්නට උත්සාහ කරමින් නැගිට්ටේය. කලණ චත්‍ර එහි සිටින බව දුටුවේ ඒ මොහොතේය. ඔහු වහා අයත්ම උන් තැන පසු කර, අයත්මාගේ මාමාද පසු කර චත්‍ර වෙත පිවිසියේය.
” බල්ලා ….”
කලණ චත්‍රට දැඩි අතුල් පහරක් එල්ල කලේය. අයත්මා මහ හඬින් කෑ ගැසුවාය. ඇයට මහ හඬින් හැඬුණි. නැන්දා අයත්මා අල්ලා ගන්නට උත්සහා කලාය. අවිශ්ක උන්නේද කුමක් වූයේදැයි සිතා ගන්නට නොහැකිවය.
චත්‍ර එක් අතකින් කම්මුල අල්ලාගෙන කලණ දෙස බැලුවේ යළි කෙලින්වෙමිනි. ඔහුගේ දෑස් වල වූයේම ගින්දර පමණි.
” තෝ බලාගනින් කරන දේ …”
කලණ චත්‍රගේ කමිස කරෙන් අල්ලා ගත්තේය. අවිශ්ක සහ අයත්මා දෙදෙනාම ඔවුන් දෙදෙනා අතරට වූයේ තත්පර කිහිපයක වෙනසක් පමනක් ඇතිවය. අයත්මා කලණව පසෙකට තල්ලු කලාය. චත්‍ර වැලඳ ගත්තාය. කලණ කිසිවක් වටහා ගන්නට නොහැකිව මෙන් අවිශ්ක දෙස බැලුවේය.
අයත්මා චත්‍රගේ පපුව වටා දෑතම යවා ඔහු බඳාගෙන උන්නීය. ඔහුගේ හදවත මත දෙතොල් තබාගෙන හඬ නොනැඟෙන්නට සමාව අයැද්දාය. හැඬුවාය. චත්‍ර එතරම් වෙලා ගිණි පිඹිමින් උන්නා වුවද, අයත්මාගේ කඳුළින් ඔහු නිවෙන්නට ගෙන තිබුණි. ඔහු ඇගේ හිස පිරිමැද්දේය
” අයත්මාට පිස්සු හැදිලද අයියේ ?…”
කලණ උස් හඬින් ඇසුවේය.
නැන්දා සහ මාමාද උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය. අවිශ්ක ඔවුන්ට සන්සුන් වන ලෙස කීවේය. එතැනින් පසෙකට යන්නට ඉඟි කලේය.
” උන් දෙන්නා යාලු වෙලා ඉන්නේ බං … මේක මේ චත්‍රයා එක්ක අවුලකට කොහෙන් හරි පත්තු කරපු ගින්නක්… ඔය කියන විදියේ දෙයක් උගෙන් අපේ නංගීට උනානම් ඒකි මෙහෙම ඉන්නේ නෑනේ බං … අනෙක මාමේ චත්‍ර නංගීට කැමැත්තෙන් හිටියේ අද ඊයේ ඉඳන් නෙවෙයි කියලා අපිත් දන්නවනේ …”
කලණ එය විශ්වාස කිරීමට අකමැති සෙයින් අවිශ්ක වෙත විමතිය පිරි බැල්මක් හෙලුවේය.
අපේක්ෂා ගුණරත්න