කාලය ගෙවී ගියේ වේගයෙනි. දිනකට පැය විසි හතරක් ප්‍රමාණවත් නැති ය කියා සිතෙන තරම් වේගයෙනි. චන්දුල තරග වැදුණු සියලු වට වලදී විනිශ්චය මණ්ඩලය විසින් ඔහුව ඉදිරි වටය සඳහා නිර්දේශ කරනු ලැබිණ. එන්න එන්න ම තරගකාරීත්වය වැඩි විය. චන්දුල වැඩි වැඩියෙන් පුහුණුවීම් කළේ ය. ඔහු තරග වැදෙනා වටයක් රූපවාහිනියේ විකාශය කරන දවස් ලොන්ඩරි වත්තට ම ප්රබෝධය ගෙන ආවේ ය. මුළු ලොන්ඩරි වත්ත ම චන්දුල වී සිටියේ ය. ඒ දවසට රිදී ගේ කුඩා නිවස ඉදිරියෙහි වට වී ප්‍රීති ඝෝෂා නගමින් ඔවුහු රූපවාහිනිය නැරඹූහ.
චන්දුල ගේ දක්ෂතා එන්න එන්න ම තීව්ර වූයේ ය. නිරන්තර විනිශ්චය මණ්ඩලය ඒ බව තහවුරු කොට සිටියේ ය. ඔහු අවසාන තරග වටයේ දී දැකිය හැකි වනු ඇති බවට අනාවැකි පල කෙරිණ. නමුත් සිය පුතු ගේ ගැයුමක් දෙස බලා හිඳිනා හැම විටෙක ම දැන් රිදී ගේ හදවතේ කටුවක් ඇනී තිබේ. කොහේ හෝ හිඳ සිසිර පුතා දෙස බලා හිඳින බැව් දන්නවා වී ද ඇයට රිදේ. චන්දුල ව දුටු මුල් වතාවේ ම ඔහු ලොන්ඩරි වත්තට දිව ආ වෙලේ නිසි පිළිගැනීමක් කරන්නට බැරි වීම ගැන ඈ තුළ වන්නේ දරාගත නො හැකි පසුතැවීමකි. එදා ඔහු ව සොම්නසින් පිළිගත හැකි වී නම් ඇතැම් විට ඔහු ද චන්දුල ගේ ගීත දකින්නේ ඔවුන්ගේ රූපවාහිනියෙන් වන්නට තිබිණි. එහෙම වුණා නම් මේ සතුට කෙතරම් සම්පූර්ණ ද කියා නො සිතා ඉන්නට ඇයට බැරි ය.
චන්දුල ක්‍රමයෙන් ඉදිරි වට සඳහා පියවර තබත්දී ඔහු රට පුරා ජනප්‍රිය වන්නට වූයේ ය. ඔහු ගේ ගීත අන්තර්ජාලය තුළ නැරඹුම් වාර මිලියන ගණනින් සනිටුහන් වූයේ ය. තරු කිරුළු දරන්නටත් කලින් තරු දීප්තිය ඔහු වෙත ළඟා වෙමින් තිබිණ. ලොන්ඩරි වත්තේ රෙදි ඇපිල්ලූ චන්දුල අළු ගසා දමා අවදි වෙමින් සිටියේ ය. රන් රුවක් වන් ඔහු ගේ පිරිමි දේහය ලොන්ඩරි වත්තට කිසි සේත් අයිති නැති සේ පෙනෙන්නට ගත්තේ ය. සුව පහසුවට සරුවට හැදුණු වැඩුණු කුමාර ලීලාවක් ඔහු වෙතින් දිස්වන්නට වූයේ ය. වත්ත ඇතුළේ ම නිරායාසයෙන් ඔහු වැදගතෙකු වෙමින් ද තරුවක් වෙමින් ද සිටියේ ය. අලුත් ප්රභාවක් ඔහු වෙතින් විහිදෙන්නට ගති.
ඊට සාපේක්ෂව උමා හේබා යමින් සිටියා ය. හැකිළී යමින් ද පසුබා යමින් ද සිටියා ය. චන්දුල කෙරේ බලය පතුරුවන එක ටික ටික අඩු වී ගියේ ය. ඈ ඔහු ව මගහරින්නට වූවා ය. චන්දුල ගෙදර රැඳෙනා වෙලාවට එහි පැමිණෙන එක අඩු කළා ය. නමුත් පාරුල් සමගින් ඇගේ මිතුරුදම නො වෙනස් ව පැවතිණ. දැන් චන්දුල ට ඈ නො ගැලපෙන බව උමා වටහා ගනිමින් සිටියා ය. ඒ තේරුම් ගැනීම මත ඇය තුළ ද්වේශයක් වෛරයක් හෝ ශෝකයක් ජනිත වූයේ නැත. ඒ ඇය ඉත සිතින් ඔහු ගේ යහපත පැතූ බැවිනි. චන්දුල ගේ නමින් තරගයට අයදුම් පතක් යොමු කරත්දී ඔහු ඉතා කෙටි කාලයක දී මේ සා දීප්තිමත් තරුවක් වනු ඇතැයි ඇතැම් විට ඇය සිහිනයෙන්වත් නො සිතන්නට ඇත. ජනප්‍රියත්වය චන්දුල වෙත පැමිණෙමින් තිබුණේ දෝරෙ ගලාගෙන ය. ඉවුරු බිඳගෙන ය. මේ වන විට ඔහු ගේ නම නො දන්නා කෙනෙකු සොයා ගැනීම පහසු නැති තරමට ඔහු සිංහල ගීත ශ්රාවකාගාරය අතික්‍රමණය කරමින් සිටියි. එහෙව් පුරුෂයෙකුට ලොන්ඩරි වත්තේ නිකං ම නිකං උමා කන්දසාමි කෙනෙකු කුමට ද? ඕනෑ තරම් රූමත් ධනවත් යුවතියන්ගේ අත් ඔහු වෙත දිගු වෙනු ඇත. දැන් ම බිම බලාගෙන නිහඬ වෙන එක වඩා හොඳ යයි උමා තීරණයකට ආවා ය.
ඒ දේවල් එහෙම සිදු වෙමින් තිබියදී ටික දිනක් පසන් ඉරුගල්බණ්ඩාර නිහඬව හොර ගල් අල්ලමින් සිටියේ ය. ඔහු හා පාරුල් අතරේ පැවති සම්බන්ධතාවය තව දුරටත් නො පවතින බව දැනෙත්දී රෝහලේ දන්නා කියන අය ඒ ගැන කතා කරන එක වැළකිය හැකි වූයේ නැත. පාරුල් වෙතින් ඇතැමෙක් ඒ ගැන විමසුම් කළහ.
“දැන් ඒ අෆෙයා එක නෑ. අපේ මැච්වෙන්නැති තැන් නිසා අපි ඒක නතර කළා”
ඇය වඩාත් විනීත ලෙස අවශ්‍ය කොටස පමණක් ඔවුන් හා පැවසුවා ය. සම්න්ධයක් යනු දෙදෙනෙකු අතරේ පවතින්නා වූ ගෞරවනීය ගනු දෙනුවකි. ඒ ගනු දෙනුව යම් කිසි අවස්ථාවක දී අතරමග නතර කොට දමන්නට හේතු ඇති විය හැක. ඒ අවස්ථාවේ දී ගනුදෙනුව නිමා විය යුත්තේ ද ගෞරවනීය ලෙසයි. පාරුල් ඒ බව තරයේ විශ්වාස කළා ය. එබැවින් ඔවුන් අතරේ ඇති ව තිබූ අර්බුධ මතු නොව පසන් ගේ පෞද්ගලික ලිංගික රුචිකත්වය ගැන සිදුවීම පවා ඇය වෘත්තීය සගයන් කිසිවෙකු සමගින් පැවසූවේ නැත. හැකිතාක් පසන් මගහැර සිටින්නට උත්සාහ කළ ද එසේ මගහැර යා නො හැකි වෙලාවක ඔහුගේ මුහුණ බලා සිනාසිය හැකි ආත්ම විශ්වාසයක් ඇයට තිබිණි. නමුත් පසන් ඒ මිනිසත් බව හෑල්ලුවට ලක් කළේ ය.
“ඩොකෙක් වගේද මේයර් කෙනෙක්… “
ඔහු සමච්චල් අඩ සිනහවක් නගාගෙන කීවේ ය.
“දෙව්රූ කොළඹ කොරියාවකලු. මේයර් සෙට් වෙලා තියෙන්නෙ ඉලෙක්ශන් කාලෙ. මගෙන් ගැලවිලා පොරගෙ ඇඟේ එල්ලෙන්න ඕන වුණේ. නගරාධිපතිය මටත් සද්ද දාගන ආවනෙ. මේ කොරියාවක කෙල්ලෙක් නිසා මට දේශපාලන පළිගැනීම් එයි කියලයි මං බයේ ඉන්නෙ”
බාහිරයට දිස් වූයේ ඔහු තුළ වූ ද්වේශය නොව ඔහු පෙන්වූ අහිංසකකමයි.
“කොච්චර ඉගෙන ගත්තත් හරි හමං පවුලකින් එන කෙනෙක් නෙවෙයිනං කසාදයක් කරගන්න එපා කියන්නෙ ඕකනෙ. ජන්ම ගති යවන්න බෑ”
කිසිදු විමසීමකින් තොර ව ඔහු ව විශ්වාස කළ අය සිටියහ. එහෙව් අයගේ සහාය නිසා අළු යට ගිනි පුළිඟු සේ වූ පසන් ගේ නො මිනිස් ගති යළි දැල්වෙන්නට ගති. සමහරු පාරුල් ගේ මූණට ම සමච්චල් කළහ. ගගුල් විජයවීර නගරාධිපති අළලා අශෝභන කතා කීහ. පාරුල් නෑසුණා සේ ඉවසාගත්තා ය. ඕනෑ ම දෙයක් මිනිසුන්ට මතක තියෙන්නේ සති දෙකක උපරිම කාලයකි. ඉන් පසු ඔවුන්ට කතා කරන්නට අලුත් මාතෘකාවක් සොයාගනිති. එබැවින් පාරුල් මේ ගැන චන්දුල ට හෝ ගඟුල් ට දැනගන්නට තැබුවේ නැත. ඔවුන් අනවශ්‍ය ගැටළු වල පටලා සිය දෛනික කටයුතු වල සාමකාමී බව විනාශ නොකරන්නට ඇය සිතට ගත්තා ය.
ගඟුල් විජයවීර නගරාධිපතිවරයා කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන අඩු පහසුකම් ලාභී ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියේ ය. දැන් ලොන්ඩරි වත්තේ තරුණ දරුවන් කිහිප දෙනෙකු ම වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා කාර්මික විද්‍යාල වලට යොමු වී සිටිති. ආශ්‍රිතව ඉදි වුණ මහල් නිවාසය වත්තේ ජනතාවගේ අයිතියට පැවරීම වෙනුවෙන් ගඟුල් ලොකු සටනක නියැළේ. ඒ විපක්ෂ මන්ත්‍රීවරුන් සමගින් පමණකුදු නොව ඔහු නියෝජණය කරන්නා වූ පක්ෂයේ ද දේශපාලකයන් සමග ය. මහල් නිවාසය ලොන්ඩරි වත්තේ ජනතාව වෙනුවෙන් වෙන් කරන්නට ඔවුන්ට කිසිදු උවමනාවක් නැත. ඔවුන් තලු මරමින් සිටින්නේ එයින් නිවාස කිහිපය බැගින් සියතට ගන්නට යි. ඊට පස්සේ ඒවාට සිදු වෙන දේවල් තීරණය කරන්නේ ඔවුන් ය. සිය බලය පවත්වාගනු වස් ඒවා පිරිනමන්නට ඕනෑ තරම් පිරිස් දේශපාලකයන් ට සිටිති. විශේෂයෙන් ම දේශපාලන ආධාරකරුවන් තමන් සමීපයෙහි රඳවා ගන්නට මේ වාගේ දොළ පිදේනි පිදිය යුතුව තිබේ.
“තමුසෙත් ඔය උදව් කරපු කීප දෙනෙක්ව සනසන්න ඔයින් දෙක තුනක් දීල දානව. හැබැයි මේක කුට්ටිය පිටින් වත්තෙ එවුන්ට පුදල බෑ. මොකෝ මේව උන්ගෙ අම්මගෙ අප්පගෙ දේපළ නෙවෙයිනෙ”
ගගුල් ගේ සටනට ගෙතුළින්, සිය පියාගෙන් ම විරෝධය එල්ල වූයේ එසේ ය. ගඟුල් සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.
“ඒ වගේම මේව මේ කිසිම පොලිටීශියන් කෙනෙක්ගෙ අම්මගෙ අප්පගෙ දේවල් නෙවෙයිනෙ තාත්තෙ. මේව රජයේ දේපල. රජය කියල කියන්නෙ දේශපාලකයන්ට කියල ඕගොල්ලො හිතං ඉන්නවනං ඒකම තමා අවුල. රජය කියන්නෙ මහ ජනතාවට. මහජනතාවට ලැබෙන්න ඕන දේවල් හරියට කළමනාකරණය කරල එයාලට ලැබෙන්න සලස්වන්න පත් කරපු රාජ්‍ය සේවකයො තමයි දේශපාලකයො කියන්නෙ. ඒක තනතුරක් රස්සාවක් විතරයි. නැතුව මේ රටයි රටේ දේපළයි කිසිම දේශපාලකයෙකුට අයිති නෑ. ෆ්ලැට් එක ඇත්තටම ලැබෙන්න ඕනෙ ලොන්ඩරි වත්තෙ මිනිස්සුන්ට. ඒක ඒ මිනිස්සුන්ට අයිති කරල දෙන්න මං මේ නගරාධිපතිකම ඇතුළෙ කරන්න පුළුවන් හැම දේම කරනව”
ගගුල් කතා කළේ ඉතා සන්සුන්ව ය. නමුත් සුරත් කෝවිලේ කපුවා සේ ආවේශ වූවේ ය.
“තමුසෙට මොකද්ද ලොන්ඩරිවත්තෙ එවුං ගැන ඔච්චරට තියන අමාරුව… මට ආරංචියි… උං එක්ක පාටි දානවලු… නාඩගං නටනවලු… තමුංගෙ තත්වෙ තියාගන්නව අයිසෙ”
කියන්නට ඕනෑ තරම් දේවල් ගඟුල් ගේ නොව නිර්ධා ගේ මුව නළියෑවේ ය. නමුත් ඕ තමන් පාලනය කරගෙන සිටියා ය.
කොළඹ නගර සභා සීමාවේ අඩු පහසුකම් ලාභී ජනාවාස ආශ්‍රිතව වෛද්‍ය සායන පෙළක් ක්‍රියාත්මක කරන්නට ගඟුල් සැලසුම් කරමින් සිටියේ මේ දිනවලයි. අත්දැකීම් සහිත වෛද්‍යවරියක වන සිය මවගේ දායකත්වය ඒ වෙනුවෙන් ලබා ගැනීම ඔහු ගේ අරමුණ විය. බටහිර වෛද්‍ය සායනයට සමගාමීව දේශීය වෛද්‍ය සායනයක් ද දන්ත හා අක්ෂි වෛද්‍ය සායන ද පැවැත්වීම ඔහු ගේ අපේක්ෂාව විය.
“අනේ කොයිතරං හොඳද ගඟුල්… සමහර වෙලාවට ඔයා මේ හිතන විදිහ ගැන ඇස් වලට කඳුළු එනව”
ඒ පුවත දැනගත් වෙලාවේ සැබවින් ම පාරුල් සංවේදී වූවා ය.
“ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගිහිං නිකං බේත් ටික ගන්න පුළුවන් වුණත් ගොඩක් අය ලෙඩ තියාගෙනත් යන්නැතුව ඉන්නව… එකක් ඉස්පිරිතාල පෝලිමට දවස ගත වුණාම එයාලට රෙද්දක් අපුල්ලගන්න වේලගන්න වෙලාවක් නැතුව යන නිසා. කොහොමත් ගොඩක් මිනිස්සු උගත් අය නෙවේනෙ. ඒගොල්ලොන්ට අසනීප වල බරපතලකම ගැන කිසිම අවබෝධයක් නෑ. බෙහෙත් නොගත්තත් ඉබේ ලෙඩ හොඳවෙයි කියල හිතන අයයි දෙවියන්ට පූජා පවත්වල බාරහාර වෙලා ලෙඩ සනීප කරගන්න පුළුවන් කියල හිතන අයයි ඕන තරං. වෙන ලෙඩ කොහොම වුණත් ඇස් ගැනයි ඕරල් හෙල්ත් ගැනයි මේ මිනිස්සුන්ගෙ දැනුමයි උනන්දුවයි බින්දුවයි. මේකනං හරිම පින් සිද්ද වෙන වැඩක්”
“මං හැමදේම ඕගනයිස් කරන්නං. වත්තෙ ක්ලිනික් එක දවසට පොඩ්ඩක් උදව් කරන්න ඔයාට පුළුවන්ද…”
“අනේ ඉතිං අහන්නත් ඕනද…”
පාරුල් ගේ ඇස් මත සිනහවට යටින් තෙතමනයක් විසිර තිබිණි. ගඟුල් ගේ මඳහසෙහි නලියෑවේ බලාපොරොත්තුවකි.
“අම්මයි අම්මගෙ යාළු ඩොක්ටර්ස්ල කීප දෙනෙකුයි එන්නෙ. අම්ම ආසාවෙන් ඉන්නව ඔයාව දකින්න”
“මා… ව… අනේ ඇයි ඒ…”
ඇගේ බැල්මේ විශ්මය ද හඬේ අවිහිංසක බව ද සම අනුපාත වලින් තැවරී තිබිණ.
“ඔයා ආස නැද්ද අපේ අම්මව දකින්න…”
ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දිය යුත්තේ කෙසේ දැයි සිතා ගන්නටවත් පාරුල් ට හැකි නොවිණ. එබැවින් ඈ සිටියේ ඒ ප්රශ්නය මැද්දේ අතරමං වී ය. ගඟුල් ගේ පියා වන සුරත් විජයවීර ව පාරුල් බෝ කාලයක සිට ම දනී. ඔහු කිසි දාක ඇගේ සිත්හි ප්‍රිය මනාප බවක් ජනිත කරන්නට සමත් වූවෙකු නොවේ. මේ හදිසියේ ගඟුල් ගේ අම්මා ගැන චිත්ත රූපයක් හෝ මවාගන්නට පාරුල්ට නුපුළුවන. ඇය කෙබඳු තැනැත්තියක විය හැකි ද? ඇය දැකීමේ ආශාවකට වඩා ඇයට මුහුණ දීමේ ගැස්මක් පාරුල් ට දැනේ. අවිනිශ්චිත බවක් ද දෙගිඩියාවක් ද හිත අවුරා හිඳී. නමුත් දිගට ම ඈ සිටියේ සිනහ වීගෙනයි.