මතක මන්දිර – 7

0
5905

සාමකාමීව ගලා යමින් තිබූ ගඟකට වුව අතරින් පතර හමුවන ගල්කුළු, කඳු හේතුවෙන් තම සාමකාවී බව දිගුකාලීනව පවත්වාගෙන යෑම අසීරුය.
එවන් ගංගාවක සාමකාමී ජල රැළිති මතට අනෝරා වර්ෂාවක් ඇද වැටෙන්නට පටන් ගත්තොතින්?
අතීතයේ කෙඳිරුම් හඬක්, අතීතයේ ගැවසුණ වටපිටාවක මහෝඝයක් වන්නට හේතු කාරණා යෙදුණේ කිමද යන්නට පිළිතුරු කාලින්දීට නැත.
වෙනත් දිනයක තමා විසින් මෙහෙයවනු ලැබූ යම් කිසි රාජකාරියක ප්‍රශංසාව ඉදිරියේදී “නෝ නෝ ක්‍රෙඩිට් ගෝස් ටු අවර් අමේසින් ටීම්. දේ ඩිඩ් අ ග්‍රේට් ජොබ් ඈස් යූෂුවල්” ලෙස පවසන වදන් සිත තුළ සිරවී, හුස්ම ගැනීමෙ අපහසුතාවයයකට සමාන යම් හැඟීමක් කාලින්දීට දැනෙන්නට විය.
වසර හතකට පෙරාතුව තමාව අතැර දැමූ ප්‍රේමවන්තයා පිළිබඳව සොයන්නට බලන්නට මුල් කාලයේ උත්සුක වුවත්, කාර්‍යබහුල ජීවන රටාව අවසානයේ තනිකම තුළ ගිලී යද්දි වුව ඔහු ගැන විස්තර සොයා බලමින් සිත රිදවා ගන්නවාට වඩා අතීතයේ සොඳුරු සැමරුම් අතර තනිවීම සිත වඩාත් රුචි කළ දෙය විය.
එවන් කාල වකවානුවක, තවමත් සිත පතුලේ බිඳුණු ප්‍රේමයක නටඹුන් තිබෙන කාලයක එකී බිඳීමට හේතු වූ පුද්ගලයා යලිත් දකින්නට ලැබීම සතුටට පත් විය යුතු කාරණාවක්ද, දුකට පත් විය යුතු කාරණාවක්ද යන්න සිතන්නට තරම් නිදහසක් කාලින්දීගේ හිතට තිබුණේ නැත.
තමන් පමණක් නොව එකී කැළඹිලි හැඟුම් ප්‍රවාහයට හසුව සමුද්‍ර පවා කලබලයට පත් ව ඇති බව පෙර ඔහුගේ සිරුරේ සෑම අංශුවක්ම නෙතින් උකහාගෙන ඇත්තියට තේරුම් ගත හැක. වෙව්ලුම් සහගත අතකින් තම අත සෙමින් සොලවද්දී ටී ලෞන්ජ්හි වායු සමීකරණයෙන් නැගුනු සීතලටත් වඩා සිහිලසක් ඔහු අතේ රැඳී ඇති බවටත්, එය ඔහුගේ සිරුරේ සුපුරුදු උණුහුමට වඩා බොහෝ වෙනස් බවත්, එයම ඔහු කලබලයටත්, කැලඹීමටත් පත්ව ඇතිවග පැහැදිළි කරන්නා වූ සාධකයක් වැන්න.
“ටේක් අ සීට් මිස්ට අබේසූරිය” යැයි පවසමින් කේසර හිස් අසුනකට දෑත දිගු කරද්දී “කෝල් මී සමුද්‍ර” යැයි හිතවත් බව පලකරමින් අසුන්ගන්නා අතරවාරයේ දෙනෙත් කෙලවරකින් කාලින්දී දෙස බලා සිනාසෙන්නටත් සමුද්‍ර අමතක නොකලේය.
මේ අතීතය පසෙක තබා වර්තමානයෙ ඇතිවී තිබෙන රාජකාරිමය හමුවීම දෙපාර්ශ්වයටම පහසු කරගත යුතු වේ.
මෙනු පත රැගෙන ආ වේටර්වරයාට තවත් වොඩ්කා මුසු වූ ලෙමන් වීදුරුවක් ඇණවුම් කරද්දී, කාලින්දී දෙස දෙනෙත් නලලේ තබා බලා සිටින්නට වූයේ පෙර සිටි පෙම්වත් සමුද්‍රද නොඑසේනම් අද දින මෙසේ අහඹුවෙන් හමු වූ සේවාදායක සමුද්‍රද යන්න සොයාබලන්නට කාලින්දීට දැඩි උවමනාවක් විය.
“කාලෙ හොඳටම වෙනස් වෙලා සමුද්‍ර, දැන් ඉන්නෙ ඉස්සර ඔයා ලඟ ඇඳ වැටුන, වැඳ වැටුණ කාලින්දී නෙවෙයි” යැයි පවසන්නට ඉඩක් තිබුණානම් කෙතරම් අගනේද?
“සමුද්‍ර ළඟදිද එස් කේ එකට ජොයින් වුණේ?” සුපුරුදු පරිදිම කතාව අරඹන්නට මුල් ගල තැබූ කේසර වෙත් යොමුවන්නට සමුද්‍ර මෙතෙක් කාලින්දී වෙත යොමුවී තිබුණු දෙනෙත් මුදාගත් පසු කාලින්දීට මද අස්වැසිල්ලක් දැනුණි.
“ඔව් දැන් වන් ඇන්ඩ් අ හාෆ් මන්ත්ස් වගේ ඇවිල්ල.”
“කලින් වර්ක් කරේ කොහෙද එතකොට?”
“මම හිටියෙ ඔසීවල, කැඩ්බරි බී.එම් විදියට”
“ඒ වගේ ඔපචුනිටි එකක් දාලා ලංකාවට එන්න හිතුණෙ ඇයි”
“දන්නෙ නැද්ද ඉතින් ඕනම මනුස්සයෙක්ට දවසක හිතෙනවනෙ තමංගෙ රටට යන්න ඕන කියල” තමන්වම අස්වසාගන්නට මෙන් සිනාසුණු සමුද්‍ර යමක් සඟවාගන්නට මෙන් වේටර්වරයා රැගෙන ආ බීම වීදුරුව තොලඟ තබාගෙනම පසෙක ඇති වීදුරුවෙන් පෙනෙන ඈත ආකාශය දෙස බලා හිඳිමින් කල්පනා කරන්නට විය.
ගෙවුණු සත් අවුරුද්දක් පමණ වන කාලය බාගදා තමන්ට මෙන්ම් සමුද්‍රටත් දුක්ඛ දායක් වූවා නොහැකිද?
සබඳතාවය ගිලිහුණු මුල් අවුරුද්දක් එකහමාරක පමණ කාලය තුළ මුහුණු පොත හරහා සමුද්‍රගේ තතු සොය බැලූ සාම්ප්‍රදායික බිඳුණු හිතක් ඇති පෙම්වතියකගේ චරිතය රඟපෑ කාලින්දී දන්න විස්තර අනුව ඉතාම ධනවත් ව්‍යාපරික පියෙකුගේ දියණියක හා විවාපත්ව ඔස්ට්‍රේලියාව කරා පියඹා යන්නට සමුද්‍රට අවස්තාව ලැබිණි.
ඉන් අනතුරුව ඉතා දිගු ගමනක් යන්නට වෙහෙසෙමින් උන් කාල වකවානුව තුළ සමුද්‍ර ගැන මුහුණු පොතේ නොසොයා ඉන්නට තරම් කාලින්දී පරිණත බවක් අත්පත් කරගත්තාය.
සිතෙන් පමණක් ඔහු පිළිබඳව් සිතමින්, තැවෙමින්, සිත් හදාගන්නට උත්සාහ කරමින් හුන් අවදියක නොසිතූ නොවිරූ අයුරින් සමුද්‍ර දැකගන්නට ලැබීම පිළිබඳව කාලින්දී පුදුමයට පත් වූයේ එබැවිනි.
අතීතයේ අලු දුහුවිලි පතිත වීමෙන් සිත නැවතත් රෝගී වේදැයි යන බය අතරම, දැන් ඉතින් දිගින් දිගටම මෙම රාජකාරීමය කටයුතුවලදී පෙර දකින්න් බොහෝ පෙරුම් පිරූ, දැන් මහගරින්නට උත්සාහ කරන රුව දකින්නට ලැබීම ගැන ලතැවුලෙනි.
“මම තවමත් සමුද්‍රට ආදරෙයිද?”
කාලින්දීට තවමත් සැකහැර දැනගත නොහැකි වූ එකම දෙය නම් එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here