කෝපි වලින් ලස්සන වෙමු

කෝපි කියන්නේ ලෝකයේම ජනප්‍රිය පාන වර්ගයක්. නමුත් එය පානය කිරීම සඳහා පමණක්ම නොව රූපලාවන්‍ය කටයුතු සඳහාද ස්වභාවික අමුද්‍රව්‍යක් ලෙස බහුලව භාවිතා කරනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ රූපලාවන්‍ය වැඩිදියුණු කර ගැනීම සඳහා කෝපි භාවිතා කළ හැකි ක්‍රම ගැනයි.

ස්ක්‍රබ් එකක් ලෙස 

සමේ මියගිය සෛල ඉවත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි හොඳම අමුද්‍රව්‍ය අතරින් එකක් ලෙස කෝපි සැලකෙනවා. පොල්තෙල් හෝ ඔලිව් තෙල් සමග කෝපි මිශ්‍ර කර භාවිතා කරන්න. මෙය ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කර මෘදු සහ පැහැපත් සමක් ලබා ගැනීමට උපකාරී වනවා.

ඇස් වටා අව පැහැ ගැන්වීම් නැති කර ගැනීමට

කෝපි වල අඩංගු වන කැෆේන් මගින් ඇස් වටා ඉදිමීම සහ අඳුරු ගතිය ඉවත් කරන අතර ඔබේ සමට ප්‍රබෝධමත් පෙනුමක් ලබා දෙනවා. මේ සඳහා කපු පෑඩ් දෙකක් ගෙන භාවිතයෙන් පසු සිසිල් කර පෙරන ලද කෝපි වල පොඟවා ඇස් යට තබන්න.

පාද පොඟවා ගැනීමට 

විඩාපත් පාද සමනය කිරීමට සහ දුර්ගන්ධය නැති කිරීමට ඔබට කෝපි භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ මද උණුසුම් වතුර බේසමකට කෝපි එකතු කර ඔබේ දෙපා එහි බහා පැය බාගයක් පමණ සිටින්න. ඉන්පසුව සාමාන්‍ය ජලයෙන් දෙපා පිරිසිදු කරගන්න.

Hand exfoliate

කෝපි වලට නැවුම් එළකිරි ස්වල්පයක් එකතු කර එය දෑත්වල ආලේප කර විනාඩි පහක් පමණ තිබෙන්නට හැර ඉතා මෘදු ලෙස ස්ක්‍රබ් කරන්න. මෙම සත්කාරය සතියකට වරක් පමණ සිදු කරන්න. එමගින් ඔබේ දෑත් වල ඇති රළු ගතිය ඉවත් වී මැරුණු සම ඉවත් කර දෑත් වලට මෘදු බවක් ලබා දෙනවා.

හිස කෙස් වල වර්ණය වැඩිකර ගැනීම සඳහා 

උතුරන වතුර කෝප්පයකට කෝපි මේස හැඳි තුනක් පමණ එකතු කර හොඳ සාන්ද්‍රනයකින් යුතු කෝපි කෝප්පයක් සකස් කරගන්න. මෙය සිසිල් වන්නට හැර එමගින් ඔබේ හිස කෙස් සෝදා හරින්න. මෙම සත්කාරය මගින් ඔබගේ හිස කෙස් වල වර්ණය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

Face mask

කෝපි මේස හැඳි එකකට මී පැණි ස්වල්පයක් සහ යෝගට් ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. මෙම පැක් එක පිරිසිදු කරගත් මුහුණේ ඒකාකාරීව ආලේප කරන්න. මිනිත්තු පහළොවක් පමණ තිබෙන්නට හැර ඉතා මෘදු ලෙස පිරිමදිමින් සෝදා හරින්න. මෙම සත්කාරය මගින් ඔබේ සමේ වර්ණය වැඩි දියුණු කර ගැනීමට සහ සම එල්ලා වැටීම වළක්වා ගැනීමට හැකි වනවා. 

කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා 

සමේ ඇති බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට කෝපි වලට හැකියාව ඇති අතර සමේ අතිරික්ත තෙල් නිෂ්පාදනය පාලනය කිරීමටද කෝපි වලට හැකියාව තිබෙනවා. කඩල පිටි මේස හැඳි එකකට කෝපි තේ හැඳි තුනක් , මී පැණි ස්වල්පයක්, කෝමාරිකා ජෙල් ස්වල්පයක් එකතු කර පැක් එකක් සකස් කර ගන්න.මෙම පැක් එක පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

හිරු එළියට පිළිසුණු සම සමනය කර ගැනීමට

කෝපි වල අඩංගු වන පොලිෆෙනෙල් පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කරන අතර සම අධික හිරු එළියට නිරාවරණය වීම නිසා සම මත ඇතිවන සියුම් රේඛා සහ පිළිස්සුම් සමනය කරනවා.මේ සඳහා කෝපි මේස හැඳි එකකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි පහළොවක් තිබෙන්නට හැර සෝදා හරින්න.

ඕනෑම නිවසක තිබෙන ස්වාභාවික අමුද්‍රව්‍යයක් වන කෝපි ඔබේ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගත හැකි ආකාර කීපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන ආවේ.

Related Articles

Don't Miss


Latest Articles