‘ හා මැඩම්, ඔව් මැඩම් ‘ කීවාට ඉන් එහා ගිය කිසිවක් ප්‍රියංකා ආන්ටී අත්තම්මා හා පැවසූයේ නැත.දැන් දැන් දිනාරාගේ සිත වන්නේ කුතුහලයේ උපරිම තැනකය. එහා පස සිටින අත්තම්මා පවසන වදන් වලට අවනතව වරින් වර වෙනස් වන ප්‍රියංකා ආන්ටිගේ මුහුණේ ඉරියව් දෙස දිනාරා බලා සිටියේ ඇස් පිල්ලමක්වත් නොගසමින්ය.
අවසන ඕ දුරකථනය විසන්ධිකර පසෙකින් තැබුවේ දිගු සුසුමක් මුදා හරිනා අතරේය. දිනාරා තවමත් දෑස් විසල් කර ඈ දෙස බලා ගත් ගමන්ය.
“ ඇයි ආන්ටි…”
අවසන දිනාරා ඇසුවේ තව දුරටත් ඒ කුතුහලය දරා සිටින බැරි වූ තැනය.
“ විශේෂ දෙයක් නෑ පුතේ.ඔයාවයි මල්ලිවයි පරිස්සමට බලාගන්න ඕන විදිහ තමයි කිව්වේ…ආත්තම්මා ඔයාලා ගැන බයෙන් ඉන්නේ “
ඈ එසේ කීවාට ඉන් එහා ගිය යමක් අත්තම්මා පවසන්නට ඇතැයි දිනාරාට සිතුනේ නිකමට නොවේ. තත්පර කිහිපයක් යනතුරු දෙදෙනා අතර වූයේ නිහඬ බවකි.ඒ නිහඬ බව තුලත් ප්‍රියංකා ආන්ටි කිහිප වරක්ම සුසුමක පා කර යමක් වසංගන්නට උත්සාහ කරන අයුරු දිනාරා අසාගෙනය.
“ යන්න පුතේ දැන් ගිහිල්ලා නිදාගන්න.හෙට උදේට ඔෆිස් යන්නත් ඕනනේ.මං ගෙනියන්න ඕන කරන කෑම ටික වෙන වෙනම බාස්කට් වලට දාලා වෙන් කළා. ලොකු දෙයක් නෑනේ පුතේ. “
දිනාරා හිස වැනුවේ ඇයට එකඟවය. දිනාරා එවේලෙහිත් උත්සාහ දරමින් උන්නේ ප්‍රියංකාගේ දෑස් වල වන තෙත් බව වටහාගන්නටය.
“ අත්තම්මා ආන්ටිගේ හිත රිදෙන්න මොනවා හරි කිව්වද.”
ඕ එසේ ඇසුවේ ප්‍රියංකාගේ දෑත් වලින්ම අල්ලාගෙනය.
“ අනේ නෑ පුතේ.මිලිනා මැඩම් මොකට මගේ හිත රිද්දන්නද ..අනිත් එක එහෙම දෙයක් කිව්වත් මැඩම්ගේ වයසේ හැටියට වැඩම්ට වෙලා තියෙන දේවල් වල හැටියට අපි ඉවසන්න ඕනේ කියලා මං ඔයාට හැමවෙලාවකම කියනවනේ පුතේ.මේක එහෙම දෙයක් නෙමෙයි..මැඩම් ඕනවට වඩා ඔයා ගැන හිතනවා පුතේ.එයා ඔයාට යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේ කියලා හැමතිස්සෙම තැවෙනවා.”
“ ආත්තම්මා කියන දේ අහන්නේ නෑ ආන්ටි ..අපි හොඳින් ඉන්නේ.අපි සතුටින් ඉන්නේ..ඇයි ඉතින් එයා දුක් වෙන්නේ”
“ එහෙම කියලා අත්තම්මට අත්තම්මගේ වගකීම් වලින් නිදහස් වෙන්න බැරුව ඇති පුතේ.යන්න හොඳ ළමයා වගේ දැන් ගිහිල්ලා නිදාගන්නකෝ..”
එවර දිනාරා නැගී සිටියේ ප්‍රියංකාගේ වදන්වලට අවනතවය.කාමරයෙන් නික්ම යන්නට පෙර ඕ ප්‍රියංකාගේ කම්මුලකට සිපුමක් තැබුවාය. වෙනදා අම්මා බදාගන්නවා සේ ප්‍රියංකාව බදා ගැනීමට , තුරුළු වීමට, සිප ගැනීමට පෙර වූ දුරස්ථබව දැන් දිනාරාගේ සිතෙහි නොවේ.
“ පුතේ…”
ඕ යළිත් පැවසූයේ දිනාරා අඩි දෙක තුනක් ඉදිරියට තබද්දීය.
“ පරිස්සමට ඉන්න ඕනේ පුතේ.අත්තම්මා ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.”
දිනාරා හිස වැනුවා පමණි.ප්‍රියංකාගේ වදන් විශ්වාස කරන්නට තරම් සිතක් ඇයට වූයේ නැත.හොඳම සාක්ෂිය වූයේ අත්තම්මා හා කතා කරද්දී ඇගේ මුහුණෙහි ඉරියව් වෙනස් වූ ආකාරයයි. සිතෙහි මෙතුවක් වූ සැනසුම අහිමිකල සිතුවිලි වලට ඉඩ දෙමින් යුවතිය නවකතා පොත පසෙක තැබුවේ කොට්ටයකුත් තුරුළු කරගෙන ඇඳ මත වැතිරෙන ගමන්ය.
======######=======######========
ලිප්ටන් වටරවුමෙන් ආපසු මරදාන දෙසට හැරවූ වාහනය ඇස් වාට්ටුව ඉදිරිපස වූ මල් කඩයක් අසල නතර කළේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. ඉදහිට සිතෙහි මතුව එන දඟකාර සිතුවිල්ලකට ඉඩක් නොදී සිටීමට අකලංකට හැකි වූයේ නැත.නටුව මදක් දික්ව තිබූ රතු රෝස මලක් ඔහු තෝරා ගත්තේත් සිතා මතා සැලසුම් කර නොවේ. ඔහුට ඊළඟ ප්‍රශ්නය වූයේ මෙම රතු රෝස මල කාර්යාලය තුළට ගෙනයාමය.
කාර්යාලයේ පවිත්‍රතා සේවිකාවක ඔහුට හමු වූයේ රිය අංගනය තුළ වාහනය නවතද්දීය.තම කාර්‍යය පහසුවෙන් කර ගැනීම සඳහා ඇගේ උදව් පැතිය හැකි බව ඔහුට සිහි වූයේත් ඒ හදිසියේමය.අවසන කාරයේ වූ ඉටි බෑගයක් තුළ අර පරිස්සමට තැබූ රෝස මල පොඩි නොවන ආකාරයෙන්ම රැගෙන තමා පසුපසින් පැමිණෙන්නයැයි ඔහු ඇයට අණ කළේය.කාර්යාල කාමරයට ඇතුළු වන දොර අබියසදී රෝස මල අතට ගත් අකලංක ඉටි බෑගය යළිත් ඇය අතට දුන්නේ කුණු කූඩයට දමන්නයැයි පවසමින්ය.
ඔහුට ඕනෑ වූයේ දිනාරා කාර්යාලයට පැමිණෙන්නට පෙර මේසය මත වූ මල් බඳුන ඒ රතු රෝස මලෙන් සරසා තබන්නටය. එහෙත් වෙනදා සේම අදත් ඔහු ප්‍රමාදය..කාර්යාලයේ දොර අරිද්දීම ඉස්සර වූයේ මේ දිනවල සිහිනෙනුත් තමා වටා දැවටෙන ඒ පිච්ච මල් සුවඳය.ඉන්පසු කෝපි මල් සිනහවක් මුව මත රඳවාගෙන දිනාරා සිට ගෙන උන්නේ උදෑසනට සුබ පතන්නට බලාගෙනය. තමා මිත්‍රශීලී වීමට උත්සාහ දැරුවත් ඇය තවමත් යටහත් පහත් සේවිකාවක සේය.
ඇය ඔහු අත වූ රතු රෝස මල දුටුවේ මදක් ප්‍රමාදවය.මේසය මත වූ මල් බඳුනේ සුදු පැහැ රෝස මලක් විය.
“ අද සර්රුත් මලක් ගෙනත්…ඒකත් හොඳයි සුදු රෝස මලට රතු රෝස මල මැච් කරහම හරි ලස්සනට තියෙයි..”
යුවතිය පැවසූයේ පෙර වූ සිනහ වතින්මය.
“ මේක ඔයාගේ ටේබල් එකට..”
ඔහු රෝස මල ඈ වෙත දිගු කළේ එසේ පවසමින්ය.එහෙත් දිනාරා මදක් පසුපසට වූයේ තම දෑත් දිගු නොකරමය.ඔහුගේ දෑස්වල වූ අමුතු බැල්ම දිනාරාව බියපත් කරන්නට විය.
“ මගේ ටේබල් එකේ වාස් එකක් නෑනෙ සර්.”
“ කමක් නෑ මේක මම ගත්තෙ ඔයාට දෙන්න..දිනාරා මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනේ..”
“ ඇයි සර්…”
“ මේක ඔයාගේ ටේබල් එක උඩින් තියලා එන්නකෝ..”
දිනාරා කිසිත් නොකියා ඔහුට එකඟ වූයේ ගැහෙන හදවතින්ය.එළඹ තිබෙන්නේ දින කිහිපයක සිට ඇය අපේක්ෂාවෙන් උන් මොහොතයි.කිසි දිනක සිදු නොවන්නයැයි කියා පැතූ පැතුමයි.
දිනාරා ඔහුගේ මේසය වෙත ඇවිද ගියේ බියෙන් සැකයෙන් ගැහෙන සිත අපහසුවෙන් දරාගෙනය.
“ සර්….”
“ දිනාරා..ඔයා දන්නව ඇති අපේ කම්පැනි එකේ අවුරුදු හතරකට පාරක් තරඟයක් තියෙනවා. ඒ තමයි අපිට අලුත් ප්‍රඩක්ට් එකක් කරන්න පුළුවන් රෙසපි එකක් තෝරන එක.දිනාරා අපි මේ දෙසැම්බර් තමයි ඒ ඉවෙන්ට් එක තියන්න බලාපොරොත්තු වෙන්නේ.ඊයේ තාත්තා මගෙන් ඇහුවා මේ සැරේ ඒ ඉවෙන්ට් එක සංවිධානය කරන්න මගේ ඩිවිෂන් එකට බාර දෙන්නද කියලා.අපිට ටිකක් වැඩ වැඩි වෙයි..දිනාරා මොකද හිතන්නේ ඒ ගැන.”
යුවතිය හරි හැටි දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ එවේලෙහිය. මේ ඈ බිය වූ කාරණය නොවේ.ඒ මුව මත මදහසක් ඇඳී ගියේ නිරුත්සාහිකවමය.
“ සර්ට හිතෙනවනං ඒක අපේ ඩිවිෂන් එකට කරන්න පුළුවන් කියලා අපි ඒක බාරගමු..”
“ ඔයා ඕකේද..”
“අලුත් දෙයක් කරන්න මං ආසයි සර්..”
“ එහෙනම් අපි භාරගමු..ටිකක් මහන්සි වෙන්න වෙයි.”
“ ඒකට කමක් නෑ සර්..ඒක සර්ටත් හොඳ අත්දැකීමක් වෙයි.”
“ අනිවාර්යයෙන්ම..තාත්තා මට චැපේන්ජ් එකක් තමයි මේ කරන්නේ”
“ එහෙනම් බාර ගන්නම වෙනවා සර්.”
“ ඒක අපේ ඩිවිෂන් එකෙත් ඕනම කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන් තරඟයක්.ඔයාටත් පුළුවන්. හැම අවුරුද්දකම වෙන රටකින් චෙප් කෙනෙක් ගෙන්නනවා ජජ් බෝර්ඩ් එකට..මේ අවුරුද්දේ අපි ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් තමයි ගෙන්නන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.අහලා තියෙනවද චෙෆ් ආදිත්‍ය රහුමාන්ව..”
“ ඔව් සර්…මං අහලා තියෙනවා.මේ තරඟය ගැන මම ටිකක් දන්නව ටී වී එකේ එහෙම දැකල තියෙනව.ලක්ෂ දහයක විතර ලොකු මුදල් තෑග්ගකුත් දෙනවා නේද සර්.”
“ ඔව්. තාත්තා හිතනවා මේ පාර ඒ මුදල වැඩි කරන්න ඕන කියලා..ඔය බිලින් අච්චාරු ප්‍රඩක්ට් එක , කෝමාරිකා බීම ප්‍රඩක්ට් එක, අඹරැල්ලා චට්නි එක එහෙම මේ ඉවෙන්ට් එකේ රෙසපි වලින් හදපුවා තමයි”
“ අපි ලස්සනට ඒක කරමු සර්.අපේ ඩිවිෂන් එකේ අයත් ආස වෙයි.මේක වෙනසක්නේ..”
“ ඔයා කියන දෙයක් තමයි ඉතින්..”
දිනාරා තරුණයා ඉදිරිපසින් නැගී සිටියේ සිනහමුසුවය.ඒ සිනහවේ වූයේ සැහැල්ලුවය. තවත් තත්පර කිහිපයක් ඉක්ම ගියාට පසුව ඇය තම මේසය මත වූ රතු රෝස මල ගෙනැවිත් ඔහුගේ මේසය මත වූ වීදුරු බඳුනටම දැමුවේය.
“ තනියෙන් ඉන්නවට වඩා ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා නේද…”
තත්පර කිහිපයක් කල්පනාකාරීව උන් තරුණයා එසේ ඇසුවේ දිනාරාගේ මුව මත සිනහවක් සටහන් කරමින්ය.
“ කොල්ලෝ උඹත් එක පොටකට ඇවිල්ලා..”
අවසන අකලංක එසේ මුමුණා ගත්තේ තමාටමය.මෙවේලෙහි සිටින්නට තිබුණේ මිතුරන්ය.තමාගේ මුව ගොළුව තිබුණාට ඔවුන් දහසක් දේ පවසනවා නියතය.
විනාඩි කිහිපයකට පසු දිනාරා කාර්යාල කාමරයෙන් නික්ම ගියේ මහින්ද වෙත ගෙන යා යුතු ලිපි කිහිපයක් ඇතුලත් ලිපිගොණුවක් සමගමය.යුවතිය යන මග දෙස තත්පර කිහිපයක් බලා උන් තරුණයා සුවපහසු අසුනට බර වූයේ මඳ සිනහවක් මුව මත ඇඳී යද්දීය.
උදෑසන සිදු වූයේ සිතා මතා සැලසුම් කළ සිදුවීමක් නොවුනත් ඇය යම් තරමකට හෝ තමා ගැන වටහාගෙන ඇතැයි යන සිතුවිල්ල අකලංකගේ සිතට විශ්වාසයෙන්ම දැනෙන්නට විය.ඕ රෝස මල මේසය මත තබා තමා සමීපයට පැමිණියේ මවාගත් සන්සුන්කමකින් යැයි අකලංකට සිතිණ.
එවේලෙහි ඈ උන්නේ ගැහෙමින්ය.ඒ කොපුල් රතුව ලේ උනා තිබිණ.දෙතොල් පට තද කරගෙන පැමිණි යුවතිය බියෙන් සැකයෙන් යුතු දෑස් බිමට හරවා ගත්තේ තමා ඉදිරිපිටදීය.
“ ඒ කියන්නේ ඔයා ඒක බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක්…”
අකලංකා එසේ සිතුවේ ජයග්‍රාහී සිනහවක් මුව මත තබාගෙනය. දැන් ඔහුට අවැසි දිනාරාව දුරින් තබා ගන්නට නොව තම හදවතෙහි ඇයට හිමි තැන පෙන්වා දෙන්නටය.
ඔහු වෙනුවෙන් ඇය ගෙන ආ රෝස මලක හැඩයට අයිසින් කර තිබූ කප් කේක් බඳුන තවමත් මේසය මතය.තවත් එවැනි කප් කේක් බඳුන් කිහිපයක් ඈ සොහොයුරාගේ කාර්යාල කාමරය දෙසට රැගෙන යනු ඔහු බලාගෙනය. නර්මදා වෙනුවෙන් වෙනමම ගෙන ආ කෑම පාර්සලය සොහොයුරාට දෙන්නයැයි පැවසූයේත් අකලංකමය.
සෑම විටම ඈ අභියස ඔහු වින්දේ නිවීමකි.ඒ අසීමිත ආදරයක් සමඟ මුසු වූ නිවීමක් බව විශ්වාසය.
( යළිත් හමු වෙමු දයාබරව )