පිරිස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටතට පැමිණෙද්දී මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.අකලංක ගැන කිසිදු තොරතුරක් නොවීම ඔවුන්ව නොසන්සුන් කරවන්නට සමත් විය.මිතුරන්වත් ඔහු පිළිබඳව දැන සිටියේ නැත.දිගින් දිගටම අකලංකගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම සැමටම මහත් ගැටලුවක් වී තිබිණි.කිසිවෙකු උන්නේ සිත් හොඳකින් නොවේ.
“ අනේ ලොකු පුතා මගේ පපුවත් එක්ක ගැහෙනවා. මේ දරුවට මොකද උනේ.”
තේජා පැවසුවේ නිවසට යාම සඳහා වාහනයට නගින්නට ප්‍රථමවය.
“ බයවෙන්න එපා අම්මෙ..ඉන්නකො අපි කොහොම හරි කන්ටැක් කරගන්න බලමු”
“ විශ්ව දිනාර හිටියෙත් නෑ..”
නර්මදා පැවසුවේ එවේලෙහිය.
“ මං එයාගේ ෆෝන් එකටත් ගත්තා ඒ ෆෝන් එකත් ඕෆ් කරලා.ඊට පස්සේ ප්‍රියංකා ආන්ටිට ගත්තා.දිනාරාගේ මල්ලි කෙනෙක් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා එයා එතනට ආවලු.මල්ලි එයා එක්ක ආවේ නැහැලු.”.
“ දිනාරා ගිහිල්ල ගොඩක් වෙලා යනකලුත් මල්ලි හිටියා මම දැක්කා.මල්ලි එයා එක්ක යන්න විදිහක් නැහැ විශ්ව.”
“ කොහේ ගියත් මේ බූරුවා දැනගන්න එපැයි ඉන්න තැනකින් කෝල් එකක් දෙන්න.”
“ අනේ මහින්ද මොනවා හරි කරන්න මේ දරුවා කොහෙද ගියේ.වාහනේ අරගෙන යනවා කුමාර දැකලා තියෙනවා.”
“ මොනවා කියලා කරන්නද තේජා.ලොකු පුතා අපි පොඩ්ඩක් පාර පැත්තට යමුද…”
නිවසට පැමිණියත් ඔහු පැමිණේයැයි බලා සිටින්නට තරම් සන්සුන් සිතක් කිසිවෙකුට වූයේ නැත.
“යමු තාත්තා. අම්මා..කියන දේ අහන්න අඬන්නෙ නැතුව ඉන්න.මල්ලි පොඩි ළමයෙක් නෙමෙයි නේ.මොකක් හරි අවශ්‍යතාවයකට එළියට ගියාද දන්නේ නැහැ.”
“ එහෙම ගියත් මේ විදිහට ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නේ නෑනේ පුතේ කවදාවත්..”
“ අනේ විශ්ව ඔයාලත් පරිස්සමට යන්න.අනේ..මට තේරෙන් නෑ..”
නර්මදා පැවසුවේ හැඬුම් මුසුවය.
“ ඒ පාර ඔයත් අඬන්න තියාගත්තද බබා..ඌ කරදරයක් නෑ ඌ එහෙම කරදර කරගන්න මනුස්සයෙක් නෙමෙයි නේ..”
රියදුරු අසුනට නැගුනේ විශ්වය.මහින්ද උන්නේත් කල්පනාකාරීවය.මේ රාත්‍රියේ ඔහුට තමනටවත් මිතුරන්ටවත් නොකියා යන්නට තැනක් නොවේ.එහෙත් කලබල විය නොහැක.ඔහු සන්සුන් වූයේ අවිත් අය වෙනුවෙන්ය.අවසන කොළඹ වීදි දිගේ සැරිසැරූ මහින්දත් විශ්වත් නිවසට පැමිණියේ පාන්දර තුනට පමණය.
“ අනේ මහින්ද පුතා කොහෙවත් හිටියේ නැද්ද…”
තේජා සේම නර්මදාත් ඉදිරියට දිව ආවේ හඬා ගෙනය.දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදුන් අම්මා මින් විනාඩි කිහිපයකට පෙර තාත්තාගෙනුත් බැණුම් ඇසුවාය
“ හෙට උදේ වෙනකල් චුට්ටක් බලමු අම්මා.මේ රෑ මුකුත්ම කරන්න බැහැනේ.”
“ අනේ දෙයියනේ අපේ දරුවා..මොනවා උනාද මේ දරුවට..කොහේ ගියත් කතා නොකර හිටියේ නෑනේ පුතේ.කරදරයක් උනාද මේ දරුවට “
“ නෑ ..අම්මා..නෑ…කියන දේ අහල දැන් දෙන්නත් එක්ක චුට්ටක් කාමරේට යන්න..තාත්තයි මමයි ආයෙ වතාවක් බලන්නම්..කියන දේ අහලා ඔය දෙන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්න..”
තේජා අසල වූ පුටුවකට නඩා වැටුනේ වෙහෙසකර අයුරින් ය.නර්මදා සිය සැමියා අසලට ලං වූයේ ඒ අවසරයෙන්ය
“ රිලැක්ස් වෙන්නේ කොහොමද විශ්ව මේ කිසිම ආරංචියක් නැතුව ඉන්නේ මල්ලි ගැන…”
“ ඔයා හිතන්නේ මට දුක නෑ කියලද මම ඉන්නෙ බයෙන් නෙමෙයි කියලද. මූ කොහේ ගියාද කියලා මටත් හිතාගන්න බෑ.ඒ වුනාට කලබල වෙන්න බෑ බබා.එහෙං අම්මා අනිත් පැත්තෙන් තාත්තා…උදේ වෙනකල් ඉවසන්නම වෙනවා අපිට”
“ අනේ විශ්ව දැන් පැය කීයක්ද.එයාට කරදරයක් නැත්නම් කවදාවත් අපිව මෙහෙම බය කරන්නේ නෑ.ඔයා දන්නවනේ එයා අපට කොච්චර ආදරේද කියලා.”
“ ඔයා තාත්තවයි අම්මවයි චුට්ටක් බලන්න මං ආයෙ එළියට යනවා.කොහොමහරි එයාව හොයා ගමු.”
“මමත් එන්නද..”
“ මේ තත්යෙන් ඉඳලා ඔයාට එහෙම යන්න බෑ බබා..කියන දේ අහන්නකෝ පුළුවන් තරම් තාත්තවයි , අම්මවයි සන්සුන් කරගන්න.මං කොහොම හරි ග ඌව හොයාගන්නවා..”
එසේ පැවසූ විශ්ව යළිත් වරක් සිය වාහනය පණ ගන්වාගෙන නිවසින් පිට වූයේ සොයුරාව සොයා යන්නටය.
අකලංකට බොහෝ වේලාවක් ළමා රෝහල තුළ වන බංකුවේ අසුන්ගෙන සිටීමට ඉඩක් ලැබුනේ නැත.ආරක්ෂක අංශ නිලධාරියකු පැමිණ ඔහුට පිටව යන්න යැයි පැවසූයේ මදක් දැඩි හඬින්ය.රෝහල් ගේට්ටුවෙන් පිටතට පැමිණ තම වාහනයට නැගුණු තරුණයා පාළු පාරවල්වල රිය පදවාගෙන ගියේ අරමුණකින් නොවේ.බත්තරමුල්ල දියත උද්‍යානය පසු කරමින් තවත් බොහෝ දුර ගිය ඔහු අවසන නතර වූයේ මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග පාරේය.මධ්‍යම රාත්‍රියත් පසුව තිබූ නිසා වාහන කිසිවක් නොවූ පාර සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් තිබිණ.තරුණයා මාර්ගය අයිනට වන්නට වූ ගසක් යට වාහනය නවතා සිය අසුන සුවපහසු වන සේ මඳක් පසුපසට තල්ලු කරමින් ඊට බර වූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
‘ ඔයාට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතුනත් මේ වගේ දෙයක් ගැන මං කොහොමටවත්ම හිතුවේ නෑ දිනාරා…ඔයා හරි.. ඔයාට මැරේජ් එකකට යන්න බැරි සාධාරණ හේතුවක් තමයි තිබිලා තියෙන්නේ.ඒත් මෙච්චර පොඩි වයසකින් ඔයාට මොකද වුණේ…කෝ ඒ බබාගේ තාත්තා..ඇයි දිනාරා මට මේ හැම දෙයක්ම හැංගුවේ..”
එවර ඔහු පවසා ගත්තේ තමාටමය..දෑස් දෙපසින් රූරා හැලෙන කඳුළු පිසදා ගන්නට හෝ නවතා ගන්නට වුවමනාවක් තරුණයාට වූයේ නැත.අවසන ඔහු කාත් කවුරුත් නොමැති පාළු මාර්ගයේ දොරගුළු ලා තිබූ වාහනයට වී ඉකි ගසා හැඬුවේය.මේ රාත්‍රිය ගැනවත් ගතව යන වේලාව ගැනවත් ඔහුට හැඟීමක් වූයේ නැත.
පාන්දර ඔහු නැගී සිටියේ වාහනවල නලා හඬත් සමඟය.පාළුවට තිබූ මාර්ගය යළිත් කාර්යබහුල වී තිබිණ.මේ උදා වී ඇත්තේ අලුත් දවසක් බව විශ්වාසය.එහෙත් ඉර එළිය දකින්න ඒ සිතෙහි වූයේ බියකි..අම්මාත් තාත්තාත් සොයුරාත් සිහිව ඒ පපුව රිදුම් දෙන්නට විය..වහ වහා තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කළ තරුණයා තුන්සියයකට වඩා මගහැරී ගිය ඇමතුම් සංඥා දෙස බැලුවේ පුදුමය.මුළු රාත්‍රියම ඔවුන් තමා සොයා වෙහෙස වන්නට ඇත.ඒ අතර කෙටි පණිවිඩ ද විය..අකලංක සොහොයුරාගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ සිය දෑස් පිටි අත්ලෙන් පිසදා ගත්තාට පසුවය.
“ තමුසෙ කොහෙද අයිසේ ඉන්නේ.පිස්සු හැදිලද ඉන්න තැනකින් කතා කරලා කියන්න බැරිද..”
විශ්වගේ හඬෙහි වූයේ පෙර නොඇසූ තරම් කෝපයකි.
“බ්‍රෝ….”
“ කියනවා තමුසෙ කොහෙද ඉන්නේ මොකද වුනේ..මේ ගෙදර මිනිස්සුන් හාර්ට් ඇටෑක් හැදෙනවා තව ටිකෙන්.. හැමදේකම සීමාවක් තියෙනවා මිනිහෝ.මං දන්නවා උඹ දිනාරා ගැන හිතලා පිස්සු කෙලින්නේ කියලා..උඹ සැහැල්ලුවෙන් හිටියට ගෙදර මිනිස්සුන්ගේ ආදරය සැහැල්ලුව කරගන්න එපා.බලහං ඊයෙ රෑ අපි එක්කෙනෙක්වත් තත්පරයක්වත් ඇහැ පියෙව්වේ නෑ.මම රෑ දොළහේ ඉඳලා පාරක් පාරක් ගානේ රවුම් ගහනවා.කොහෙද මිනිහෝ ඉන්නේ…”
“ අයියේ චුට්ටක් අහන්නකෝ..”
“ කියහං”
“ මම දවස් කීපයකට ගෙදර එන්නේ නැහැ.මට කරදරයක් නෑ මම හොඳින්..අම්මටයි තාත්තටයි අක්කටයි කියන්න.ලොකු දවසකට නෙමෙයි.දවස් දෙක තුනකට වගේ.”
“ කොහෙද ඉන්නේ ඇත්ත කියහං..කරදරයක්ද මොනවා හරි..”
“ නෑ මං හොඳින් අයියේ.මං ෆෝන් එක ඕෆ් කරනවා.මං යාළුවෙකුත් එක්ක කොළඹින් පිට යනවා.එහෙම යන්නේ ටිකක් රිලැක්ස් වෙන්න..ෆෝන් එක ඕන් කලාට පස්සේ මම කෝල් එකක් දෙන්නම්.ලොකු කාලෙකට නෙමෙයි. වැඩිම උනොත් සතියක් වෙයි.”
“ තමුසෙ කොහෙද යන්නේ යන තැනකට මමත් එන්නම්.මේ වෙලාවේ මයින්ඩ් රිලැක්ස් කරගන්න හදිස්සියේ දඟලන්නේ මොකටද.දිනාරත් එක්ක තමුසේ මොනවාහරි ප්‍රශ්නයක් දා ගත්තද..ඒ කෙල්ලව අමතක කරපං බං.”
“ නෑ ඊයේ හෝල් එකෙන් ආවට පස්සේ මට එයාව හම්බ වුණේ නෑ.එයා මේ මොකුත් දන්නෙ නෑ.ටික දවසක් දෙන්න මං පුරුදු මල්ලිම වෙලා ආපහු ගෙදර එන්නම්.මට මෙහෙම තමුසෙලා එක්ක ඉන්න අවුල් බ්‍රෝ එතකල් අම්මවයි තාත්තවයි නෑනවයි ශේප් එකේ තියාගන්න.”
“ අනේ මන්ද ඔය තමුසෙත් කරන වැඩ..යන මඟුලක කියලා ගියානං ඉවරයිනේ..”
දුරකථනය විසන්ධි වී ගිය සැනින්ම විශ්ව පහත මාලයට පැමිණියේ කෑ ගසාගෙනය.පාන්තර තුනට නිවසින් පිටව ගිය ඔහු යළි නිවසට පැමිණියේ හයට පමණය.ඒ වත්දීත් කුඩා දියණිය ඇරෙන්නට අන් සියල්ලෝම වූයේ ඇහැරීගෙනය.
අවසන විශ්වත් මහින්දත් තීරණය කර තිබුණේ ළඟම ඇති පොලිස් ස්ථානයට යාමටය. සිදුව තිබුනේ අතුරුදහන් වීමක්ද එසේත් නොමැතිනම් පැහැර ගැනීමක්ද එසේත් නොමැති නම් අකලංකට අනතුරක් සිදුවූවාද යන්න කිසිවෙකුට සිතාගත හැකි එකක් වූයේ නැත.සියල්ලෝම පසුවූයේ වේදනාත්මක කිහිපයක් ගෙවා දමමින්ය.
“ ඇයි ලොකු පුතා ..ඇයි මල්ලි කතා කරාද…”
සුවපහසු සෝපාව මත වැතිර උන් තේජා නැගී සිටියේ තිගැස්සීගෙනය.ඒ ඉදිරිපස අසුන්ගෙන උන් මහින්දගේ ස්වරූපය දුටු විශ්වගේ සිතෙහි ඇතිවූයේ දුකකි.මේ එක රාත්‍රියට ඔහුගෙන් දිස් වූයේ වසර ගණනක් වියපත් වූ ස්වරූපයකින්ය.තමා ගැබිනියක බව අමතක කළ නර්මදා පවා පහත මාලයට පැමිණියේ පඩිපෙළ දිගේ දුවගෙන සේය.
“ මල්ලි තමයි කතා කලේ කරදරයක් නෑ කියලා කිව්වා.එයාට ටිකක් රිලැක්ස් වෙන්න කොළඹින් පිට යන්න ඕනේ කිව්වා.ෆෝන් එක ඕෆ් කරනවලු.යාළුවෙක් එක්ක යන්නේ කියලා පුළුවන් වෙච්ච ගමන් කතා කරන්නම් කියලා කිව්වා.”
“ මේ යකාට ඕක කියන්න මෙච්චර වෙලා ගියාද.”
එවර කෑගැසුවේ මහින්දය.සාමාන්‍යයෙන් ඔහු කෝප ගන්නා පුද්ගලයකු නොවේ.
“ මමත් ඒක ඇහුව තාත්තා.අපි ඌ හැදිලා කියලා හිතුවට ඌ තවමත් කිසි බරක් පතලක් නැති විදිහට හිතන්නේ “
“ ඔයාට තේරෙන්නෙ නැද්ද විශ්ව මල්ලි ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක.එයා එහෙම කරන කෙනෙක් නෙමෙයි..”
“ මොකක්ද ප්‍රශ්නය..ඊයේ අච්චර ලස්සනට හැමදේම ලෑස්ති කරලා අපි කාටවත් නොකියි කොළඹින් පිට යන්න තරම් මොකක්ද ඌට තියෙන ප්‍රශ්නේ.මේකත් ඌ ප්ලෑන් කරලා කරපු වැඩක්..”
“ ඒක තමයි දුව.ඒ ළමයා හරි ලස්සනට හිනා වෙවී හිටියනේ..”
“ අනේ අම්මා…,පහුගිය දවස් ටිකේම එයා හිනාවෙවී හිටියට හිටියේ හිත හොඳකින් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවනේ.ඊයේ මොනවා හරි දෙයක් සිද්ද වෙන්න ඇති.දරාගන්න බැරි තරම් රිදුණු දෙයක්..විශ්ව මල්ලිව බලන්න ටිකක්..”
“ අපිට උගේ පස්සෙන් යන්න බෑ නේ. ඉන්න තැනක් කියන්නෙත් නෑ යන තැනක් කියන්නෙත් නෑ.මොන මඟුලක හරි කමක් නෑ ගිහිල්ලා මේ ප්‍රශ්න ඉවර කරගෙන ආවොත් ඇති.ඇත්තටම මේ දිනාරානම් ලොකු ප්‍රශ්නයක් උනා..කවුද දන්නෙ මූ මෙහෙම පිස්සු කෙලින්න පටන් ගනී කියලා.”
අවසන විශ්වගේ කෝපය පිට වූයේ දිනාරා පිටින්ය.
“ මං ඒ හැම දෙයක්ම සෙට්ල් කරලා පුතා තිබුනේ.මේ ඉවෙන්ට් එක ඉවර වෙනකල් හිටියේ එයා එක්ක කතා කරන්න.”
“” මොනවා කතා කරන්නද අම්මා..ඇත්තමයි ප්‍රියංකා ආන්ටි නොවුනනම් මං ඔය කෙල්ලව අස්කරන දාලා..”
“ ලොකු පුතා දැන් කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ.සැරින් සැරේ මල්ලිට ගන්න.එයාව කන්ටැක් කර ගන්න පුළුවන් වෙච්ච ගමන් මට ෆෝන් එක දෙන්න.මම එයා එක්ක කතා කරන්නම්.”
“ තමන්ව ප්‍රතික්ෂේප වෙන තැනක තවදුරටත් බලෙන් රැඳෙන්න උත්සාහ කරන්න අවශ්‍ය නෑ කියලා තේරුම් ගන්න ඕනේ එයාම තමයි
සතියක් දෙකක් නෙමෙයි. අවුරුදු දෙක තුනක් හරි ඉන්න තැනක හොඳින් ඉඳලා එයා හිත හදාගෙන මේ ගෙදරට ආයෙ ආපුවාවේ .මේ ගෙදර ඉන්න අනිත් අය රෑ දවල් නැතුව නිදි මරාගෙන අඬ අඬා දුක් වෙවී හේතු හොයන්න අවශ්‍ය නැහැ.”
එවර මහින්ද පැවසූයේ මඳක් දැඩි වූ හඬකින්ය.ඒ සැමටම කරන අණ දීමක් වග විශ්වාසය.
( යළිත් හමුවෙමු දයාබරව )