දෙවෙනි මල් දම
දිලුම් රන්දුලාව සම්බන්ධ කර ගැනීමට දැරූ කිසිඳු උත්සාහයක් සාර්තක වූයේ නැත. අම්මලා විදෙස් සංචාරයක යෙදෙමින් උන් නිසා නිවසේ සිටින්නේ සේවය කරන අයවලුන් පමණක් බව දිලුම් දැන සිටි නමුත් එවෙලෙහි රන්දුලා මඟ හැර සිටීමට ඔහුට හැකි වූයේද නැත.
” අක්කේ .. මම හොස්පිට්ල් එකට ගිහින් තත්වේ බලලා එන්නම් …”
” ඔයා ලීව් කීවනේ?.. අනෙක දැන් රෑ දොළහටත් කිට්ටුයි …”
” ඔව්.. අර ලේඩිගේ සිටුවේශන් බලලාම ආවොත් හොඳයි කියලා හිතෙනවා… ඔයා ඉන්න… මං කැබ් එකේ යන්නම්… ටාර් ගාලා එන්නම් …”
නිම්නාවීට එයට එරෙහි වන්නට හැකියාවක් ලැබුනේ නැත. ඕ හිස සැලුවාය. දිලුම් වහා නිවෙසින් පිටත් වූයේය. රන්දුලා අද රාත්‍රි සිටින්නේ බෝඩිමේ බව මතකයෙන් දිලුම් ඇගේ බෝඩිම අසලටම කැබ් රියෙන් ගියේය. කැබ් රිය බෝඩිම් මිදුලට ඇතුලු කරනවාට රන්දුලා බයය. ඒ නිසාම කැබ් රියේ හෝ යතුරු පැදියේ හ්ඬ ඇසෙද්දීම ඕ අතට හසු වන ඇඳුමක් ගතෙහි ලාගෙන ගේටූවෙන් පිටතට එන්නේය්. රැය, දවාලය කියා වෙනසක් නැතිව ඕ එයට පුරුදුවී උන්නාය.
“ඇයි ?..”
රන්දුලා කැබ් රියේ ඉදිරිපස අසුනෙන් හිඳගෙන ඇසුවේ දිලුම් දෙස නොබලාමය.
” අර මම විස්තර අහපු ලේඩ්ඩි අපේ අක්කගේ අතින් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ රන්දූ .. ජිනාලාගේ ගේ ළඟදී …. අක්කා තවම ස්ටේබල් නෑ.. එව්ලේ හිටියේ පැනික් වෙලා වගේ.. මං කලබල වෙලා හිටියේ රන්දූ .. මට සමාවෙන්න .. මං හිතලා කිව්වා නෙවෙයි …”
රන්දුලා වහාම දිලුම් වෙත හැරී හිඳගෙන ඔහුගේ දෑතම අල්ලා ගත්තේය. ඒ අක්කාට මේ මල්ලී කොහොම නම් ආදරේ කරනවාදැයි රන්දුලා දනී. ඉතින් ඒ කලබලයත්, නොසන්සුන්කමත් වටහා ගන්නට හැක.
” අක්කා දැන් හොඳින්ද දිලුම් ?..”
දිලුම් හිස සැලුවේය.
” මම තත්වේ සැර අඩුම කරලා කීවා… ශේප් දැන් ….”
” ඔයා ගියාට පස්සේ ඒ අම්මගේ පුතා ආවා…. යකෙක් වගේ මිනිහෙක් … එයාට ගොඩාක් කන්ටෑක් තියෙනවා….. මට හිතෙන්නේ ප්‍රයිවට් මාරු කර ගනී ….”
” එහෙමත් සීන් එකක්ද?.. එතකොට අපිට විස්තරයක්වත් බලාගන්න බැරි වෙනවා නේ ?..”
” නෑ .. බලමුකෝ ..ඔයාට කොහොමටත් ඇතුලට ගිහින් කතා බහ කරන්න විදියක් හදලා දෙන්නම් …”
දිලුම් රන්දුලාගේ සහකම්පන සිතුවිලි ආදරයෙන් දරා ගත්තේය.
” ඒක නෙවෙයි ..ඔයා මේ මහ රෑ අක්කාව ගෙදර දාලා ආවේ ඇයි ?…”
” අවුලක් නෑ කට්ටිය ඉන්නවනේ …”
” ඒ වුනත්, අම්මලා නෑනේ ?… එයා තවම ඇත්තේ වුන දේ හිතාගනන් බැරුව..”
” මාත් හිටියේ වුන දේ හිතාගන්න බැරුව… තමුසේ රන්දු පලිගන්න ගත්තාම නැයින්න වගේ පලිගනන්වනේ.. එක කෝල් එකක් ආන්සර් කරේ නෑ.. එක මැසේජ් එකකට රිප්ලයි නෑ …. මං දන්නවනේ බඩගින්නේ හූල්ල හූල්ල ඉඳලා හෙට ශිෆ්ට් එක අඳින්න යන බව … මං රයිස් එකකුත් අරන්ම ආවේ… කාලා ඉන්නවා ඕමම මටත් කටක් කවලා “
රන්දුලා දිලුම්ගේ කොපුලක් සිප ගත්තාය. ඔහු ගැන දැනෙන හැඟීම නිරාමිස බව රන්දුලාට ඔහුට පවසන්නට අවැසි විය. එහෙත් ඕ සුසුමකින් පමනක් සැනසුනාය. රන්දුලාට දිලුම් ගැන ලෝබකම් නොදැනෙනවා නොවේ. එහෙත් දිලුම්ගේම යහපත වෙනුවෙන් දිලුම් අත් හැරීඉමට සිදු වන ඕනෑම මොහොතක ඔහුගෙන් ඈතට වන්නට රන්දුලා හිත පුහුණු කරමින් සිටින්නීය. දිලුම්ට වඩා දෑවුරුද්දක් වැඩිමල් රන්දුලාට දිලුම්ව මුණ ගැසුනේ වසර අටකට එපිට බ්ණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ වූ ප්‍රදර්ශනයකදීය. රන්දුලා උන්නේ මිතුරිය මඟ හැරී බියපත්වය. ඇයගේ ජංගම දුරකතනයද මිතුරියගේ බෑගයේ වූ නිසා ඇමතුමක් ගන්නට නොහැකිව ඕ බියපත්ව වටපිට බලමින් උන්නාය. දිලුම් ඇයව දැක ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන මිතුරිය සොයා දුන්නාය. ඒ ඇමතුම අද මෙච්චරක් දුර ඇවිත් ය. පදවියේ අතිශය දුප්පත් පවුලක වැඩිමහල් දියණිය වූ රන්දුලා පලමු අවස්තාවෙන්ම හෙද විදුහලට ඇතුලු ව උන්නේ යළි උසස් පෙලට පෙනී සිටින්නට තරම් වත්කම් නොවූ නිසාය. එහෙත්. ඕ තමා ප්රාණැ සමව පෙම් කරමින් උන් දිලුම් බණ්ඩාරව වෛද්‍ය විද්‍යාලය තෙක් රැගෙන ගියාය. පලමු වර එක් විෂයක් අසමත් වූ දිලුම් තෙවැනි වර ඒ සාමාර්ත තුනක්ද සමඟ රාගම වෛද්‍ය පීඨයට ඇතුලු විය.
” රන්දු නිසා තමයි මම මෙඩිසින් ආවේ…”
දිලුම් එසේ නොකියූ දවසක් නොතිබූ තරම් විය.
නිම්නාවී දිලුම් පැමිණෙන තුරුම උන්නේ අවදියෙනි. දිලුම් අනතුරට පත් වූ කාන්තාව ගේ තත්වය යහපත් ලෙසින් පවසා, තහවුරු නොකර ගත් වෛද්‍ය වාර්තාවක් කියවූ ලෙසින් නිම්නාවීට තොරතුරු කීවේය. නිම්නාවී ඉන් මදක් සැනසුනා වුවද, ඇයට දිවා කාලයේ වූ ඒ සිදුවීම අමතක කර දමන්නට හැකි වූයේ නැත. ඕ සෙටියේම වැතිරී උන්නාය. ජිනේන්ද්‍රගේ නිවසේ වූ ආරක්ෂිත කැමරා පද්දතියේ ගැටලුවද විසඳා දැමූ බව පවසද්දී නිම්නාවී දරාගන්නට නොහැකි තරමේ සෙනෙහ්සකින් දිලුම් දෙස බලා උන්නේය. ජිනේන්ද්‍ර තමා සමඟින් සිටින්නේ කෝපයෙන් වුවද, මල්ලී නිසා එලෙසින් කරන්නට ඇති වග සිතුවේය.
නිම්නාවී කාමරයට ගියේ දිලුම් සමඟ පැයකටත් වැඩි කාලයක් කතා කරමින් හිඳය. සැබැවින්ම ඕ පවසන වචන දෙක තුනකට දිලුගේ සැනසුම් බස් අසා සිටීම ඕ කලාය ලෙසින් කීම වඩා නිවැරදිය.
නිම්නාදී යහනේ උඩු බැලිව වැතිරුණාය. දැන් තමාට අවුරුදු විසි නවයකි. අවුරුදු විසි නවයේදී ජීව්තය කණපිට පෙරලෙන යමක් සිදු වන බව සුදු අත්තම්මා පැවසූ බව සිහි විය. එය යහපතක්ද අයහපතක්ද නොකී නමුත් වේදනා විඳීන්නට සිදු වන බවද සුදු අත්තම්මා කී වග නිම්නාවී සිහිපත් කලාය.
” අනේ අත්තම්මා .. ඔයා ඇයි මාව දාලා ගියේ .. මට හරිම පාලුයි …. මල්ලිත් වැඩි කාලයක් ඉන්නෙකක් නෑ මෙහෙ.. මමා රන්දූ ගැන දැනගත්ත ගමන් මල්ලී ඩිසිශන් එකක් ගනීවි .. එතකොට මම මෙහේ තනියම … ඇයි මටම මෙහෙම වෙන්නේ අත්තම්මා…. බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් අතේ තියාගෙන මට මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ ඇයි අත්තම්මා .. අර පසන්ව බැඳලා උගේ පිස්සූ ආසාවල් එක්ක ජීවත් වෙන්නද වෙන්නේ මට ?….”
නිම්නාවී ගලා යන කඳුලු නවතන්නේ නැතිවම උන්නාය. අඩුම තරමේ දුක කියන්නට, සතුට සමරන්නට මිතුරෙක්වත් උන්නානම් කියා නිම්නාවිට නොසිතෙනවා නොවේ. එහෙත් ළඟින් උන් සියල්ලන්ම මව සහ පියාගේ අනුචිත හැසිරීම් හමුවේ තමා අත් හැරි බව ඇයට අමතක නොවේ. එනිසාම ඉන් පසුව ඕ සමීප මිතුරු නඩ සකසා නොගන්නට තරම් සැලකිලිමත් වූවාය. ඒ අන් කිසිවක්නිසා නොව මිතුරන් ඉදිරියේ දෙමාපියන්ගේ හැසිරීඉම් හෑල්ලු වී යනු ඉවසා සිටිය නොහී නිසාය.