ගෙවල් දෙකේ ම කිරිබත් සීතල වෙමින් තිබිණ. කිසිවෙකුගේ කුසට අහරක් වැටුණේ නැත. නමුත් කුසගින්ක කියා දෙයක් දැනුණේ ද නැත. නමුත් නො සිදු විය යුතු ව තිබූ, නමුත් සිද්ධ වූ අපරාධයෙන් කම්පාවට පත් වූවා සේ උදේ සිට ම අහස බුම්මාගෙන සිටී. විටින් විට පොද වැහි අත්හරී. කොයි මොහොතක හෝ අනෝරාවක් ව වැටී මේ අවනඩුවට විරෝධය පාන්නට බලාගෙන හිඳී.
හැම කෙනෙක් ම තැන් තැන් වල වැටී සිටියහ. නික්මුණේ සුසුම් පමණකි. පුංචි ආයු මහානාම මලානික ව සිටියේ ය. සාංකාවට පත්ව සිටියේ ය. කුමක් හෝ නරක දෙයක් සිදු වී ඇති බව දැනුණ ද කොයි මොහොතක හෝ අම්මා ඔහු ළඟ පෙනී සිටිනු ඇතැයි ආයු ට සිතේ. අද ගෙදර මූලික අවධානය යොමු වී ඇත්තේ ඔහු වෙතට ය. ඔෆිස් යන්නට සූදානම් වූ තාත්තා නොයා ගෙදර නතර වූයේ ය. ඔහුව වඩාගෙන, තුරුලු කරගෙන තාත්තා කල්පනා කරයි. ආයු අම්මා ගැන විමසනවාට ඔහු කැමති නැති සැටියෙකි.
“මගෙ පුතුට තාත්ති ඉන්නෙ පැටියො”
කියමින් ඔහු අම්මා ගැන කතා මගහරියි. ආයු ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැත. තේරෙන්නේ මේ තරම් වෙලාවක් අම්ම කුක්කු නැතිව ඉන්නට බැරි බව පමණකි. අම්ම කුක්කු සිහි වෙත්දී ආයු ගේ පුංචි මුව ඇද වී මූණ බෙරි වී බෝල ඇස් කඳුළු ගුලි දෙකකින් බර වේ.
“ඇයි ඉතිං අඬන්නෙ ආයෙත්…”
කියා තාත්තා අසන්නේ සැරට ම නොවේ. නමුත් එතකොට බිළිඳා ගේ හිත ගැස්සේ.
“බබාට අම්ම කුක්කු මතක් වෙනානෙ ඉතිං”
කියා ඔහු කියන්නේ හැඬුම දරා ගන්නා උත්සාහයක් ගනිමිනි. එතකොට ආර්ය ගේ පපුව පැලෙන්නට එයි. ආයේ නිධී එන්නට ඕනේ ම නැති බැව් ඇත්ත ය. නමුත් මින් ඉදිරියට කොහොම මූණ දෙන්න ද කියා ඔහු ට තේරෙන්නේ නැත. වෙන මොනවා නැතත් ඔහු ආයු ට අම්මා ව දෙන්නේ කෙසේ ද?
කාර්යාලයට කතා කොට, හදිසි පෞද්ගලික කාරණයක් මත රාජකාරියට වාර්තා කළ නො හැකි බැව් දැනුම් දී ආර්ය ගෙදර නතර වූයේ හිස අවුල් වී ඇති බැවිනි. ජනවාරි පළමුවනදාවක් වී ද වෙන නිකල්පයක් නොවේ. කුමක් කොතනින් අරඹා කෙසේ නිරවුල් කරගන්න ද කියා ඔහු දන්නේ නැත. සියල්ල එක ම අවුල් ජාලයකි.
පූජා වට්ටියක් සේ උදේ සිට ආයු ගෙදර අයගේ අතින් අතට මාරු වෙයි. මණී ට මේ නො දරුවා ගැන වාවා ගත නො හැකි වේදනාවක් දැනේ. “ලොකු අම්ම ඉන්නවනෙ පුතේ” කියමින් සිඹ සිඹ ඈ ඔහු නලවයි. “උකු අම්මත් ඕනෙ අම්මිත් ඕනෙ” කියා ආයු හඬන්නට කට හදයි.
“ආයු එන්න අපි සෙල්ලං කරමු”
කියා ශාක්‍ය ඔහු තමන් භාරයට ගනී. මොහොතකට බිළිඳාට දුක අමතක වී සෙල්ලම් කරයි.
“ශා බාපි අම්මි…”
කියමින් මඳකින් ඔහු යළිත් නිධී සිහිපත් කරයි. එතකොට පූජන ඇවිත් ඔහු ව පිටෙහි තබාගෙන ලුණු ඔප්පු ගෙනයයි. ඊළඟට ඔහු පූ බාප්පා ගේ පිට මත අස්ස ගුඩුං යයි. ආයු දැඩි සතුටකින් මඳ වෙලාවක් ගත කරයි. නමුත් ඒ සතුට තාවකාලික ය. නැවත ද ඔහු ට අම්මා සිහි වේ.
“පූ බාපි අම්ම කුක්කු ඕනෙ”
කියමින් ඔහු හැඬුම්බර වෙයි.
“ආ එන්නකො ආයු අපි බයික් එකේ වටයක් ගිහිං එමු හොඳේ”
කියමින් ඊළඟට රුසිරු දරුවාව රැගෙන යයි. අනිත් හැම දේටම වැඩිය ඔහු මේ බූම් සෙල්ලමට නං කැමති ය. රුසිරු සිය ස්කූටරයේ ඉදිරියෙන් වාඩි කරවාගෙන ආයුව හෙමිහිට පාරේ උඩ පහල ගෙන යයි.
“පරිස්සමෙන් චූටි පුතා”
කියමින් මණී ඉකිබිඳුම් සරකින් කියයි.
“බබා බය නා. නේ රූ බාපි…”
ආයු සතුටෙන් ද ආඩම්බරයෙන් ද කියයි. කෙසේ වෙතත් සැලකිය යුතු වෙලාවක් ආයු ට නිධී අමතක කොට තබා ගන්නට රුසිරු ගේ ස්කූටරය සමත් වේ.
ඔවුන් හැම කෙනෙකු ගේ ම හදවත් වල ගින්දරක් ඇවිලෙමින් තිබිණ. නමුත් අනිත් අයට පේන්නට හැඬුවේ මණී පමණකි. පිරිමින් ට කඳුළු නැතිවා නොවේ. ඔවුන් ලෝකයට පේන්නට හඬන්නට බිය වෙති. ඒ කුඩා කල පටන් පිරිමි හිත් මත පටවා ඇති සිතිවිල්ලක් නිසා ය. පිරිමින් හඬන්නේ නැත! හඬනවා නම් ඒ ගැහැනියකි!
කිසිවෙකුට නො පෙනෙන සේ ආර්ය එක් වරක් පමණක් ආයු තුරුලු කරගෙන හැඬුවේ ය. ඔහු කඳුළු පිසදා ගත්තේ ආයේ කවදාවත් නො හඬන්නෙමැයි දැඩි කරගත් සිතිනි.
මල්වත්තගේ පවුල ද සිටියේ මහා ප්‍රපාතයක ගිලී ගියා බඳු ළතැවුලකයි. මැණිකක් වාගේ ඔවුන්ගේ පවුලට හිටියේ එක ම කොල්ලෙකි. කෙල්ලන් තුන් දෙනෙකු අතරට එක කොල්ලෙකි. ඒ කොල්ලා මේ හදිසියේ හොරු අරගෙන ගියා සේ අතුරුදන් වී තිබේ.
අශ්විනී ට තවමත් සිය හැඬුම නතර කරගත හැකි වූයේ නැත. විඩාපත් වී යන්තම් හැඬුම තුනී වී යත්දී යළිත් ඇයට හැඬේ. සන්දේශ් කුඩා කොලුවෙකු කාලයේ පටන් අප්‍රමාණ සිදුවීම් සිනමා පටයක් සේ ඇගේ හිතේ ඇඳී මැකී යයි. කොලු ගැටයෙකු කාලයේ ඔහු ට අක්කා නොව අම්මා වන්නට අශ්විනි ට සිදු විය. බත් ටික කැව්වේ නැත්නම් ඔහු යන්තම් අත පත ගා ඉතිරි කොට තබයි. මස් මාංශ ටික විතරක් කමින් එළවළු හා බත් ඉතිරි කොට තබයි.
“මේ පොඩි උන් දෙන්නගෙන්වත් නෑනෙ මෙයාගෙන් වගේ වදයක්”
කියමින් අශ්විනී එතකොට ඔහු ගේ බත් පත අතට ගෙන කවන්නට පටන් ගනී. අක්කා කවන විට එළවළු මාළු මැල්ලුම් කොළ සියල්ල යහමින් දමා අනයි. අක්කා කවන බත් වල දිව්‍යලෝක රසයක් වන බව සන්දේශ් දනී. විටෙක ඔහු බත් පත අත ගා එහෙම ම තබන්නේ ම අක්කා ට කියා කවාගන්නට ය. මුළු ගෙදරක වැඩ ඇය මත පැටවී තිබුණත් අශ්විනි කන්කෙඳිරියකින් තොරව, ඒ සිය වගකීම සේ සලකා නො පිරිහෙලා ඉටු කරයි. සමහර දාක ඇය ලොකු බත් මැටිකෝප්පයක් එකට ම බෙදාගෙන විත් මල්ලීටත් නංගිලා දෙදෙනාටත් එකවර කවයි. ගැටවරයෙකු කාලයේදීත් සන්දේශ් නාත්දී ඇඟ සෝදත්දී සබන් ගාන්නට සිදු වූයේ අශ්විනි ට ය.
“මල්ලිට එයාගෙ වැඩ තනියම කරගන්න අරින්න ආශ් පුතා. දැන් එයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ”
විටෙක දුරේෂ් මල්වත්තගේ ලොකු දූට අවවාදයක් දෙයි.
“කොච්චර ලොකු වුණත් හරියට සබන් ටිකවත් ගාගන්නෑනෙ තාත්ති. මේ කකුලෙ නියපොතු…දණිස් කළු වෙලා”
එහෙම කියමින් ඇය මල්ලි ගේ ඇඟේ සබන් උලා අතුල්ලයි. ඒ ආදරේ අක්කා මල්ලී අතරේ දිගට ම නො වෙනස්ව පැවතිණ. ඉලන්දාරියෙකු වූ පසු අක්කාව කොල්ලන්ගෙන් ආරක්ෂා කළේ ඔහු ය. හැඩකාර අශ්විනි පන්ති ගියේත් පාසල් බස් රිය තෙක් ගියේත් සන්දේශ් ගේ රැකවරණය මැද්දේ ය. ඇයට විහිළු කළ කොල්ලන් කිහිප දෙනෙකු සමග ම සන්දේශ් පැටලෙන්නට ගිය අවස්ථා අශ්විනි ගේ මතක ඉතිහාසයෙහි වේ.
“මගෙ පොඩි එකාව මෙහෙම දේකට පටලෝගත්තෙ ඇයි මේ ගෑනි…”
ඇය නිධී ගැන අප්‍රසාදයෙන් යුතුව කීවා ය.
“අනේ මේ අපේ එක්කෙනාව සුද්ද කරන්නෙපා ලොකූ”
සාන්වී අක්කා ට විරෝධය පෑවා ය.
“හැමවෙලේම ඔයාට පොඩි එකා වුණාට අයිය පොඩි ළමේක් නෙවේනෙ. මොකෝ නිධී මෙයාව බලෙං කුදලගෙන ගියාද…එයා දැනගන්න ඕනෙ එයා කරන දේ හරිද වැරදිද කියල. අපි කොච්චර අමාරුවකින් මේ ගාණට ලොකු වුණ අයද කියල කවුරුත් මතක් කරල දෙන්න ඕනෙද… ලොකූ අපි ලොකු ළමයෙක් වෙච්ච වෙලාවෙවත් අම්ම කෙනෙක්ගෙ රැකවරණයක් තිබ්බෙ නැතුව හැදුණ ළමයි. මට මතකයි ඔයත් ක්ලාස් ගිය වෙලාවක බ්ලීඩ් වෙලා තියනව දැකල මං දුවල ගියේ මණී ආන්ටි ළඟට. අම්මෙක් තරමට ළඟින් අපිට මණී ආන්ටි විතරයි හිටියෙ. මට මතකයි සුදූ චූටිම කාලෙ… මං හිතන්නෙ අපේ අම්මත් ගියේ සුදූ ඔය ආයු තරං වයසෙදි. මාත් චූටි වුණාට හෙවනැලි වගේ ඒ මතක මගෙ හිතේ තියෙනව. සුදූ අම්ම කුක්කු ඉල්ලල අඬනකොට මණී ආන්ටි සුදූව එහෙට එක්කං ගිහිං කිරි දීල තියනව. එතකොට රුසිරුත් කිරි බොනව. ඔය හැමදේම දන්න මිනිහෙක් විදිහට අයිය මේ කරපු දේ අන්තිම වැරදියි. හරි අපි ආයුව පැත්තකට දාමු. අයියට හිතන්න තිබුණ වෙන මොනා නැතත් අපිට ඉන්නෙ මණී ආන්ටිල විතරයි කියල. එයා මේ කරපු දේ නිසා අපිට ඒ මිනිස්සුත් නැතිවෙයි කියල”
සාන්වී ගේ වදන් හරඹය තියුණු ය. තාර්කික ය. ඒ වුණත් පොඩි එකාව නිධී විසින් පොළඹා ගන්නට ඇත කියා සිතන්නට අශ්විනී වැඩිපුර කැමති ය.
“මණී ආන්ටිලටත් එක්ක තේ ටිකක් හදන්නද… කවුරුවත් උදේට කාලත් නෑනෙ”
අමාගී සුසුමකින් නැගිටගනිමින් විචාලා ය.
“සුදූට පුළුවන්නං හදන්න. අනේ මටනං පණක් නෑ සුදූ”
“ලොකූ ඉන්න අපි හදන්නං”
අමාගී හා සාන්වී එක්ව කිරි තේ හදා මහානාම පවුල වෙනුවෙන් ලොකු ජෝගුවකට වෙන් කළහ. සාන්වී ට ගෙදර අයට තේ ගෙන යන්නට කියා අමාගී මහානාම ගෙදරට ගියා ය. ඒ ගෙදරත් මේ ගෙදරත් ඇයට එක වාගේ ය. ඒ කුස්සියෙන් බත් පතක් බෙදාගෙන කන එකෙහි වුව අරුමයක් ඇයට නැත. මහානාම පුත්‍රයෙකු මල්වත්තගේ කුස්සියට බැස බත් මුට්ටි හිස් කරනා එක ද සාමාන්‍ය ය.
අමාගී කුස්සියට ගොස් ගෙදර අයගේ මග් වලට තේ දැමුවා ය. මහා අංකල් ට ද මණී ආන්ටිට ද ශාක්‍ය අයියාට පූජන අයියාට හා යසිරු මල්ලීට ද ඔවුන් ගේ තේ මග් ළඟට ම ගොස් දුන්නා ය.
“මේක ගිහින් දෙන්න මල්ල”
කියා ඈ රුසිරු ට කීවේ ආර්ය ගේ තේ එක ගැනයි. ඒ අතරේ ම ආයු වෙනුවෙන් සුදු කිරි එකක් හදන්නට ඇය උණු වතුර නිවෙන්නට දැමුවා ය.
“ඒකත් දීල එනවකො ඕයි”
“මට බෑ ඔයා ගිහින් දෙනව. මට ඔය බකයගෙ අතට වඩම්මන්න ඕන නෑ තේ”
එතකොට ම සින්ක් එකට දිගු වූ වීදුරුවක් සහිත අතක් පයිප්පය ඇරියේ ය. අමාගී තිගැස්සී ගිහින් බැලුවා ය. බුම්මාගත් මුහුණෙන් යුතුව ආර්ය වතුර වීදුරුවට දෙනෙත් යොමාගෙන සිටියේ ය.
“ලොකයිය මේ තේක”
රුසිරු තේ මග් එක ඔහු ට පෑවේ ය.
“එපා”
එපමණක් පැවසූ ආර්ය වතුර වීදුරුව ද ගෙන නික්ම ගියේ ය. අමාගී හා රුසිරු මුහුණෙන් මුහුණ බලාගත්හ. අමාගී ගේ ඇස් විසල් වී තිබිණ.
“ඇහුණද” යන ප්‍රශ්නය වූයේ ඇගේ දෑස් මත ය. “ඇහුන තමයි” යනුවෙන් යසිරු ගේ පිළිතුර ද ඔහු ගේ ඇස් වල ලියැවී තිබිණ.