එකම එක හාදුවක් – 1

0
5332

දාඩිය දාගෙන ශාර්වරී ඇවිත් බස් එකට නගිද්දිත් හොඳ පණ ගිහින් තිබ්බාය. 

හවස පහට විතරත් කොළඹ නගරය ඇතුලේ යන බස් එකකට ගොඩ වෙන්න මනුස්සයෙක් දෙන්න ඕන ගේම කොච්චරද කියා ඔය ඒසී දාපු වාහනවල යන නෝනලා මහත්තුරුන්ට තේරෙනවද කියන එක ශාර්වරී හිතුවේ බස් එකට නැග පුදුම අමාරුවෙන් සෙනග අස්සේ තෙරපී තෙරපී මැදක් හරියට ගියයින් පස්සේය.

උදේ පාන්දරම බස් වලට නැග, වෙහෙස මහන්සි නොබලා ඇත්තටම වැඩට ගොස් එතනත් මහන්සි වී ආපහු හවසට ගෙවල් බලා යන මිනිස්සුන්ට තෑගි දෙන්න ඕන කියා හිතන ගමනුත් ශාර්වරී කල්පනා කලේ ගෙයින් එලියට බහින්න කලින් අම්මා කිව්ව ඒව ගැනය.

“නංගිට දැන් කැම්පස් යන්න ලැප්ටොප් එකක් ගන්න ඕනෙ කියනවා පුතේ. මං දන්නෙ නෑ කොහොමද අරගෙන දෙන්නෙ කියලා. ලැප්ටොප් එකක් නැතුව ඒ කැම්පස් වල දෙන පාඩම් වැඩ හෙම කරගන්න අමාරුයි කියලා තමයි කියන්නෙ” කියා අම්මා කිව්වේ දෙතොලින් නොකී කතා දහසක් ඇස්වලින් කියන ගමන් ය.

“මං ඒත් කිව්වා අක්කා ඔය කරගෙන යන්නෙ, එහෙම එකේ මොකෝ ඔයාටත් බැරි කියලා මාස කීයක් හරි අල්ලගෙන ඉන්න. ඉල්ලන හදිස්සියට ලැප්ටොප් අරගෙන දෙන්න තියා අපිට මේ දවල්ට කාලා කී ගමනක් හිතන්න ඕනද පුතේ රෑට කන්නෙ කොහොමද කියලා” අම්මා කතාව තව දුරටත් දිග්ගැස්සුවේ තමන් අම්මා මුලින් කිව්ව දේට මුකුත් කියන්නෙ නැතුව උන්නු හන්දා වෙන්නැති බව ශාර්වරී හිතුවාය. එහෙත් අම්මා කිව්වා දේටත් නංගී ඉල්ලන දේටත් දෙන්න ඕන මොකද්ද කියා හිතාගන්න ඇත්තටම ශාර්වරීට බැරිය.

එච් එන් ඩී එකේ හොටෙල් කෝස් එකක් කරන හන්දාම පාට් ටයිම් හොටෙල්, රෙස්ටුරන්ට් වල වැඩ කරන්න ලැබිච්ච එකෙන් අතට යම්කිසි ගාණක් අරගන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයකි. ඒකත් නැතිඋනාම තමන්ගේත් නංගිගේත් ගෙදරත් ඔක්කොම විය හියදම් දරන්නට වෙන්නේ අම්මාටය. කොහිලවත්තේ ජීවත්වෙන මිනිස්සුන්ට ඔච්චර කියා තියෙන වියදම් මොනවද කියා මනුස්සයෙක්ට හිතෙන්න පුලුවන් උනත් ජීවිතයේ අන්තිම අඩියක ගෙවන මනුස්සයෙක්ට වුණත් ඒ ජිවීතයට වටිනකමක්, වියදමක් තිබෙන බව ශාර්වරී තේරුම් ගත්තේ ඉගෙන ගන්න අතරවාරයේම පාට් ටයිම් තැන් තැන්වල රස්සාව කරන්න වෙච්ච හන්දාය. 

කොහිලවත්තේත් ඒ අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේත්, කුඩා රෙදි කඩ දෙක තුනකට දමන්නටත් ඇඳුම් මහන අම්මා මුලු ජීවිතයම දිය කර හරින්නේ උදේ පාන්දර සිට මහ රෑ වෙනතුරු මැශිම ලඟය. ඒ මැශිමත් අම්මා මෙයට අවුරුදු ගණනකට පෙර සීට්ටුවක් දා දිනාගත්ත එකකි. “මැශිමෙත් කාලෙ හරි” කියා මැශිම ලෙඩ දෙන හැම වාරෙකම ශාර්වරීට ඒ කතාව ඇහෙන්නේ මැශින් එකක පිහිටෙන් හුස්ම ගන්නා ජීවිතයකට සම්බන්ධ මැශිම අඩපණ වන්නට යනවාය කියන තේරුමකිනි.

“කැම්පස් එකේදි බෑනෙ අක්කෙ කාටවත් සෙකන්ඩ් වෙන්න ලැප්ටොප් එකක් නැතුව. අනික මදුශාගෙ අක්කා කියල තියෙනව අපි මොන විදියෙ ඩිග්‍රි එකක් කරන්න ගියත් අසයින්මන්ට් ඒව මේවා කරන්න ලැප්ටොප් එකක් නැතුවම බෑ කියලා. අලුත් එකක් නෙවෙයි සෙකන්ඩ් හැන්ඩ් එකක් හරි තිබ්බොත් තමයි අක්කෙ හොඳ” කියා නංගි අම්මා එහෙ මෙහෙ වෙන තුරු බලා හිඳ ලඟට ඇවිත් කියද්දි ශාර්වරීට ඒ කතාව නෑසුණා සේ ඉන්නට බැරිය. එහෙත් කියන්න දෙයක් නැතිම තැන “අපි බලමුකො මොනවද කරන්න පුලුවන් චුට්ටි” කියා නංගිගේ කම්මුලක් අත ගාගෙනම ගෙදරින් එලියට බැස්ස ශාර්වරී කොහිලවත්තෙ හිඳ මහ පාරට ඇවිත් බස් එකට නගින තුරුත් ඉන්පස්සේත් හිතුවේ ඕක ගැනමය.

ශාර්වරී එච් එන් ඩී එකේ දෙවනි වසරේ ශිෂ්‍යාවක් විදියට හොටෙල් මැනේජ්මන්ට් එකක කරන ගමන් පාට් ටයිම් එකට හෝටලයක රෙස්ටුරන්ට් එකට සම්බන්ධවත්, ඒ හෝටල් ජාලයටම අයත් අපාට්මන්ට් සංකිර්ණයක රෙස්ටුරන්ට් එකේත් වැඩ කරන්නේ අම්මා තනිවම දරන ඔය බර කන්දට එක උරහිසකින් සවිය දෙන්න හිතාගෙනය.

කාල්ටන් ටවර් එක තියෙන්නේ සර් ජේම්ස් පීරිස් මාවතේය. බස් එකෙන් බැස්ස ශාර්වරී ටවර් එකේ එන්ට්‍රන්ස් එක වෙත තියෙන පාර දිගේ ආවේත් දුවගෙන මෙනි. අද හවස ශිෆ්ට් එක පටන් ගන්නේ හයටය. හය වෙන්නෙ තව තියෙන්නේ තව තප්පර ගාණකි. රතු ඉර ගහන කතාවක් රෙස්ටුරන්ට් එකේ නැති උනත් ඔතන ඉන්න සිනියර් කට්ටිය කියන කතා අහගෙන ඉන්නවට වඩා දුවගෙන දාඩිය පෙරාගෙන හරි ඉක්මනට එතනට යන එක හිතටත් ඇඟටත් දෙකටම සනීපය.

“මධුර මේ වෙනකොටත් ඇවිල්ලා ඇති” කියා හිතන ගමන්ම ටවර් එකේ රෙස්ටුරන්ට් එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට පැමිණි ශාර්වරී බාර් එක පැත්තට යද්දිත් හිතුව විදියටම මධුර ඇවිත් බාර් එකේ කවුන්ටර් ටොප් එක පිහිදන ගමන් උන්නේය.

“පරක්කු නෑනේ මං”

“නෑ අප්පා, මං හැබැයි බැලුවා ඒත් තාම නැත්තෙ ඇයි කියලා” 

“බස්වල එන්න ගියාම එපා වෙනවනෙ අනේ. උදේටයි හවසටයි දෙකේම ඔෆිස් ටයිම් එකනෙ සෙට් වෙන්නෙ. පණ යනවා ඉතින් එන්න ගියාම” කියන ගමන්ම ශාර්වරී ඒප්‍රන් එක ඇඟට දාගත්තේ දැන් ඉතින් හැන්දෑවේ හත හමාර විතර වෙද්දී මේ ටවර් එකේ අපාට්මන්ට්ස් වල ඉන්න නෝනලාද, මහත්තුරුද පොඩි ශොට් එකක් දාගන්න, මොන මොනව හෝ කන්න වගේම, සමහර අය යාලු මිත්‍රයන් එක්කම ටවර් එකේ රෙස්ටුරන්ට් එක වෙච්ච කාල්ටන්’ස් ස්පොට් එකට එන බව දන්න හන්දාය. හැන්දෑවේ හයේ සිට රාත්‍රී 12 විතර වෙනකම් තියෙන ශිෆ්ට් එක අවසානයේ ගෙදර යන්න ට්‍රාන්ස්පෝට් මේ ආයතනයේ කලමණාකාරිත්වයෙන්ම පනවා දී තිබෙන නිසා ලොකුවට බය වෙන්න දෙයක් නැතත් මොකක් හරි පාටියක් එහෙම තියෙන දවසක රෑ දොලහ පන්නා වැඩ කරන්න වෙච්ච වෙලාවට අම්මා ගෙදර හිත් ගින්දරෙන් ඉන්න බව දන්න හන්දාම ශාර්වරී වැඩ පටන් ගන්න කලින්ම පතන්නේ “අනේ අද වෙලාවට ගෙදර යන්න ලැබෙන්න” කියාය.

රෙස්ටුරන්ට් එකේ කෑම බීම සකස් කරන්න චෙෆ්ලා දෙන්නෙක් වෙනම හිටියට මේස වලට කෑම ගිහින් තියෙන එක, කස්ටමර්ස්ලගෙ ඕඩර්ස් බලන එක වගේම බිල්ස් දාන එක කරන්න වෙන්නේ මධුරටත් ශාර්වරීටත් ය. මධුර රෙස්ටුරන්ට් එකේ ෆුල් ටයිම් වැඩ කරන කෙනාය. ශාර්වරී වගේම තව පාට් ටයිම් වැඩ කරන වෙන පිරිමි ළමයෙක් උදේ ශිෆ්ට් එකට රෙස්ටුරන්ට් එකට එන නිසා මධුරට වැඩ කරන්න ලොකු අමාරුවක් නැත. 

“හෙට ලෙක්චර්ස් ද ශාරා?” කියා මධුර අහද්දිත් ශාර්වරී උන්නේ අම්මා ගෙදරින් පිටත් වෙන්න කලින් කිව්ව කතාව ආයෙ ආයෙ මතක් කරන ගමන් ය. කොච්චර වැඩට ආවත්, කොච්චර වෙන දේවල්වලින් හිත දුක හිතෙන දේවල් ගැන හිතන එක නතරකරගන්න උත්සහ කරත් ගෙදර තත්ත්වෙ මතක් වෙද්දි ශාර්වරීට ඒක කරන්න හැටියක් නැත. සමහරු ගෙවල් වල ප්‍රශ්න තියෙද්දි හිත සනසාගන්නේ වැඩ කරන තැන හෝ ඉගෙන ගන්න තැනදීය. එහෙත් තමන්ගේ ජීවිතේ අහස උසට තියෙන ප්‍රශ්න කන්ද එහෙම වැඩ කරන තැනදිවත් ඉගෙන ගන්න තැනදිවත් අමතක කරන්න පුලුවන් ඒවා නොවේ.

“නෑ, අදයි හෙටයි දෙකම නිවාඩු. ආයෙ ඉතින් අනිද්දා තමා” කියා ශාර්වරී මධුර දිහාවට හැරෙද්දිත් මධුර උන්නේ රෙස්ටුරන්ට් එකේ ටෙලිෆෝන් ලයින් එකට අපාට්මන්ට් එකකින් ආ ෆුඩ් ඕඩර් එකක් භාරගන්න ගමන් ය.

“ත්‍රී ෆයිව් සික්ස් එකට සී ෆුඩ් රයිස් එකයි, බියර් දෙකයි, චිකන් ඩෙවල් එකයි දාන්නලු” කියන ගමන් චෙෆ්ටත් මධුරම ඕඩර් එක දුන්නේය. ඕඩර් එක සැකසෙන අතරවාරයේත් ශාර්වරී ෆෝන් එක අරගෙන සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් ගන්න පුලුවන් තැන් වගේම ලැප්ටොප් වල ගණන් කොහොමද කියා බලන අතරෙත් කල්පනා කරේ ලැප්ටොප් එකක් අරගන්නට තමන්ට මාසෙකට කොච්චර විතර එකතු කරන්න වෙයිද කියාය. 

රෙඩි වෙච්ච කෑම එක චෙෆ් කිචන් ඒරියා එකේ සිට බාර් එක පැත්තට කවුන්ටර් එක හරහා පාස් කරාට පස්සේ ඒ කෑම පිඟන් ටිකත් බියර් කෑන්ස් දෙකත් ට්‍රේ එකක තබා වැස්මෙන් වසා මධුර ශාර්වරී දිහා බලා “මං අරගෙන යන්නම්? අවුලක් නෑනෙ, විනාඩි දහයෙන් එනවා, නැත්තම් උඹ අරගෙන යන්න මම ඉන්නම්” ඇහුවේය.

“නෑ ඔයා අරගෙන යන්න. මට බයයි අප්පා තාම ලිෆ්ට් එකේ යද්දි මං ඕකත් එක්ක දොංත පතං වෙයිද කියලා” කියන ගමන් ශාර්වරී මධුර දිහාවට හීන් හිනාවක් විසික්කලාය.

මධුර රෙස්ටුරන්ට් එකෙන්ම ඇති එන්ට්‍රන්ස් එකෙන් ලිෆ්ට් එකට ගොඩ වී යන අතරවාරයේත් ශාර්වරී ෆෝන් එක උඩ පහල යමින් ඉක්මන් එකේවත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප්ටොප් එහෙම විකුණන්න දමා තියෙනවද කියා චෙක් කරාය. එලියේ සිට රෙස්ටුරන්ට් එකට එන්නට තියෙන දොර ඇරෙන සද්දෙ ඇසී ශාර්වරී ඔලුව උස්සා බැලුවේ ඒ වෙලාවේය.

කොහොමත් පිට මනුස්සයෙක් මේ රෙස්ටුරන්ට් එකට එන්න ඉඩක් නැති බව දන්න හන්දාම මේ මීට කලින් දැක නැති උස, කඩවසම්, නලු පෙනුමක් තියෙන පිරිමියා මේ රෙස්ටුරන්ට් එක අයිති අපාට්මන්ට් සංකීර්ණයෙන් එකක පදිංචි කරුවෙක් වෙන්න හැකි බවට ශාර්වරී පෙර අපර ගලපා ගත්තාය. මේ රෑ ජාමයේ මනුස්සයා ඉන්නේ හොඳ පදමට මත් වෙලා බව ශාර්වරීට හිතුවේ කොච්චර කොන්ද කෙලින් තියාගෙන එන්න හැදුවත් පොඩ්ඩක් විතර ඇදේට යන ගමනත්, අවුල් වෙච්ච කෙස්සත්, ලාවට වගේ රතු වෙච්ච ඇස් දෙකත් හන්දාය.

කවුන්ටරය ළඟට ඇවිත් “Two Tequila Shots Please” කියා කියද්දිත් වචන වලට කලින් ඉස්සර වුණේ නාහෙ කඩාගෙන යන් අන්දමේ සැර සුවඳකි. සුවඳින් ගහලා තියෙන්නෙ කොහොමත් හොඳ ජාතියක් කියා කියන්න පුලුවන් උනත් සැරේ තරම අනුව බීපු ප්‍රමාණෙ හිතා ගන්න පුලුවන් හන්දාම “ඔච්චර බීලා තවත් කොහෙට බොනවද මන්දා?” කියා ශාර්වරී හිතුවේ හිතිනි.

ඕඩර් කරපු ශොට්ස් දෙකත් අරගෙන වැනි වැනීම ටේබල් එක වෙත ගිය ඔහු දිහාම බලාගෙන සුරූපී, සරාගී, ඉතාම ලාබාල පාට, කොණ්ඩෙ රත්තරන් පාටින් පාට කර, කොටම කොට රතු පාට ගවුමක් ඇඳගෙන උන්නු කෙල්ලක් ඉන්න බව ශාර්වරී දැක්කේ එවෙලේය.

ඇස් දෙක උඩ ගියේ කෙල්ල ඇඳන් උන්නු විදියවත්, ඒ කෙල්ලගෙ පෙනුමේ තිබ්බ සරාගී විදියවත් හින්දා නොවේ. 

ශොට්ස් දෙක මේසෙ උඩින් තබා වාඩිවෙච්ච නමක් දන්නෙ නැති ඒ මනුස්සයගෙ උකුල උඩින් වාඩිවෙච්ච කෙල්ල මේ ඉන්නේ රෙස්ටුරන්ට් එකක බවවත්, තමන් දිහා බලාගෙන ඉන්න තව කෙල්ලෙක් ඉන්න බවවත් හිතන්නේ නැතුව එක දිගටම ඔහුගේ දෙතොල් සිපගනිමින් උන් හන්දාය.

“කෙනෙක් තමන්ව කිස් කරද්දි තමන්ට ඒක දැනෙනවනම් ඉබේම ඇස් පියවෙනවා” කියා හොටෙල් කෝස් එකේ යාලුවො සෙට් එකේ කෙල්ලෙක් වෙච්ච ඕනවට වඩ කොරියන් කතන්දර බලන රූමිණී කිව්වට, ඒ කෙල්ල තමන්ව සිප ගනිමින් උන්නු වෙලාවේ පිය නොවුනු, මත් බවින් බර වෙච්ච ඔහුගේ ඇස් තමන් දිහාවට යොමුවෙද්දි ශාර්වරී ඇත්තටම මොහොතකට ගැස්සුණාය.

“What are you looking at?” කියා ඔහුගේ ගැඹුරු හඬ රෙස්ටුරන්ට් එක සිසාරා ගොස් තමන්ගේ පැත්තට ඇදී එද්දී ශාර්වරී තවත් පාරක් ගැස්සුණාය.

ඒ ඒ හඬේ තිබිච්ච ගැඹුරු බවටද එහෙත් නැත්තම් ඇස් ඔස්සේ හුවමාරු වෙච්ච තේරුම්කරන්නට අපහසු වෙච්ච හැඟීමක් නිසාද කියා හිතන්නවත් එවෙලේ ශාර්වරීට සිහියක් තිබ්බේ නැත.

කොටින්ම එවෙලේ ඔහුත් තමාත් ඇරෙන්න ඒ රෙස්ටුරන්ට් එකේ තිබුණ වෙන කිසිම දෙයක්වත්, අර කෙල්ලවත් ශාර්වරීගේ නෙත ගැටුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here