අමාගී සිය උරයෙහි ආයු නිදිගන්වමින් සිටියා ය. උර මඬල මත කම්මුලක් සතපාන, දෑතින් ඇගේ ගෙල බදාගෙන නිදන්නට ඔහු ආස ය. ඒ සඳහා ඇය මෘදු සක්මනෙහි යෙදිය යුතු වේ. ගීයක් හෙමිහිට උගුරෙන් මිමිණිය යුතු ද වෙයි. එතකොට ආයු හෙමි හෙමිහිට සුරංගනා ලොවකට යයි. එහෙම මොහොතකට අමාගී ද ආස ය. ආයු ඇයගේ ශරීරයට වඩාත් සමීප වීම තුළ ඇය විඳින්නේ ඒකාත්මික බවකි. ඔහු ඇගේ ශරීරයේ කොටසක් වෙයි. අධ්‍යාත්මයේ ද කොටසක් වෙයි. ළඟ පාතින් අඩ අඳුර ද ඈතින් ගනඳුර ද ඊටත් ඔබ්බෙන් තරු විසුළ අහස ද යට ඇය සොබා දහමේ කොටසක් වෙන හැටි අමාගී ට දැනේ.
අද මහානාම ගෙදර ප්‍රීතිමත් හවසකට හිමිකම් කීවේ ය. තවමත් අයියලා මල්ලිලා ගේ කතාබහෙහි සිනහව රැඳී ඇත. මණී සතුටෙන් අහර පිසුවා ය. අමාගී ආයු ට කවා උරයෙහි ම ඔහු නිදිගැන්වූවා ය.
“මෙහෙං බත් ටිකක් කමු මාගි”
කියා මණී ඇරයුම් කළ ද,
“අනේ බෑ මණී ආන්ටි… අක්කල එක්කම කනෝ”
කියා අමාගී යෝජනාව විනීත ව ප්‍රතික්ශේප කළා ය.
ඇය තුනී සතුටක් තුල පා වෙමින් හිඳී. ජීවිතයේ ප්‍රථම වතාවට ආර්ය ගේ මෝටර් රථය තුළ පැමිණීමෙන් පසු ඒ අමුතු සතුට වරින්වර ඇය කිතිගන්වමින් තිබේ. ආර්ය සම්බන්ධයෙන් අමාගි ගේ ජීවිතය ඉදිරියේ සිදු වන සියල්ල ම වගේ ප්‍රථම වතාවට සිදු වන්නේ යයි කිව හැක. ඔහු ඒ විදිහට ඇය වැඩිහිටියෙකු ගානට දමා වටිනාකමක් දී කතා කරන්නේ වුව අතිශය ප්‍රථම වතාවට ය.
රුසිරු බරාඳයට විත් අමාගී ගේ තනියට එහි සක්මන් කරන්නට වූයේ ය. ඔහු ගේ මුහුණේ සිනහ රැල්ලක් නලියයි. කිසිත් විමසන්නට සිත් වී ද ආයු අවදි විය හැකි නිසා අමාගී නිහඬ ව සිටියා ය.
“ලොකයිය මාර ප්‍රශ්නයක් ඇහුවනෙ අද”
රුසිරු ට ඒ කතාව අමාගී ගේ කනෙහි නො තබා සිටිය හැකි තරම් ආත්ම පාලනයක් නො විණ. ඇය මොකක්ද කියා ඇසුවේ නළල මඳක් රැලි ගන්වා, ඇස් කුඩා කොට, මුහුණේ පේශි සංකෝචනය කරමින් අභිනයෙනි.
“පොඩි අයියගෙන් ඇහුව අමාගිත් එක්ක තමුසෙගෙ සම්බන්ධයක් තියනවද කියල”
අමාගී ගේ දත් ඇඳි ටකස් ගා එක මත ගැටී තද විය.
“පොඩි අයිය කිව්ව පිස්සුද එහෙම එකක් නෑ කියල. ඊට පස්සෙ චූටි අයියගෙන් ඇහුව. පොර ඉතිං දන්නැද්ද… හයියෙන් හිනා වෙලා කිව්ව මාගි කැමතිනං එයා දැන් වුණත් කැමතියි කියල”
“යකූ මේක මාර වැඩක්නෙ”
සැබෑ කේන්තියක් ඈ තුළින් හිස ඔසවාගෙන ආයේ ය.
“ඉන්නවකො කියනකං.ඊට පස්සෙ ලොකයිය කියනව එහෙනං පොඩ්ඩට තමයිලු චාන්ස් එක”
“හරි හිනා. පිහාට්ටක්වත් ගෙනත් දෙනවකො මටත් කුචුකවාගෙනවත් හිනාවෙන්න”
“ඉතිං මංයෑ කිව්වෙ ලොකයියනෙ. ආයෙ කිව්ව තමුසෙල තුන්දෙනාගෙන් කවුරු අමාගිව බැන්දත් කමක්නෑ එතකොට පුංචි අම්ම විදිහට ආයුට හැමදාම මාගි ඉන්නවනෙ කියල”
පුපුරා හැලෙන කෝපයකින් අමාගී ගිනියම් වෙමින් සිටියා ය.
“කතා කරන්නංකො මං උන්දැට හොඳවයිං දෙකක්”
කියාගෙන ඇය පියගැට පෙළ දෙසට පිය නැංගේ අඩියට දෙකට ය. ආයු සිය උරයෙහි නිදමින් හිඳිනා බවවත් ඇයට සිහි නොවූ තරම ය. ආයු අවදි වෙනවාට බියෙන් පොළොවටවත් නො දැනෙන සේ මෙතෙක් ඇවිදි යුවතිය මොහොතකින් පියගැට පෙළ තරණය කොට කාමරයට ගොඩ වූවා ය. යන්තම් බීර මතින් යහනේ වැතිරී උන් ආර්ය වහා නැගිට ගත්තේ ය. අමාගී ආයු ව යහන මත තබා කොට්ට ලං කොට කෙලින් ම ආර්ය වෙතට කඩා පැන්නා ය.
“මේ… කරන කපුකමක් ඕන කෙනෙක්ට කරගන්න එකයි. හැබැයි මේ මට කපුකං කරන්න කරදර වෙන්න එපා. ඒ ගැන මං බලාගන්නං. අනිත් එක මගෙ තාත්තියි අක්කලයි අයියයි ඉන්නවනෙ ඕන්නං මට මගුල් හොයන්න. එනව මෙතන. කපෝති වෙලා ඉද්දිත් තව කපුකං කරන්න”
යන්ත්‍රයකින් වාගේ වේගයෙන් කියාගෙන ගිය ඕ වහා හැරී කාමරයෙන් නික්ම ගියා ය. ආර්ය ගේ දෙතොල් මත්තට සිනහවක් ආවේ ය. සිදු වූයේ කුමක්ද කියා පෙරපර ගලපා ගන්නටත් ඔහු ට තත්පරයක් දෙකක් ගත වූ තරමි.
“ඔයාගෙ මා හරියට චීන පටස් එකක් වගේ”
ආයු ළඟින් වැතිරුණ හෙතෙම බිළිඳා මුදු ලෙස සිපගනිමින් මිමිණුවේ ය.
රුසිරු කෙතරම් බිය වූයේ ද යත් අමාගී මතු මහළට ගොස් යළි පහළට එන පමාවට සහෝදරයන් දෙදෙනාට ද අම්මා ට ද කේලම කියා අවසාන ය. ඇය කවරාකාරයෙන් පුපුරා යනු ඇත්ද යන දෙගිඩියාවෙන් ඔවුහු පහළ සිට පියගැට පෙළ දෙස බලා සිටියහ. හී ගසක් සේ ඒ පැමිණි පිම්මට අමාගී එහෙම ම මුළුතැන්ගේ දෙසට හැරුණා ය. කෙළින් ම ගෙදර නොයා අනිත් අයියලා මල්ලිලා ටිකට ද කිව යුත්ත පවසා යා යුතු යයි ඕ ක්ෂණිකව තීරණය කරගෙන සිටියා ය.
“බලන්න මණී ආන්ටි අර බකය මේ ගොං බඳින කණු ටිකත් වට කරගෙන කියල තියන කතාව”
මණී ට සිනහ නැගෙන්නට ආව ද ඇය තමන්ව දැමූ තැන ගැන සහෝදරයන් ට දැනුණේ නො සන්සුන් බවකි.
“එයාගෙ මගුල හරියට තියාගන්න බැරුව එයා මේ අනිත් අයට මගුල් කතාකරන්න එනව. මාර කපුවෙක්නෙ. ඕන්නැති දේවල්නෙ මේ යසට ඉන්න අයගෙත් ඔළු වලට දාන්න හදන්නෙ. මණී ආන්ටි දන්නවනෙ පොඩීයියයි චූටි අයියයි මල්ලයි තුන් දෙනාම මට මගෙම සහෝදරයො වගේ. අපි චූටි කාලෙ ඉඳං එකට හිටියෙ ඒ සහෝදර හැඟීමෙන්නෙ. හීනෙකින්වත් අපි වැරදි දෙයක් හිතල නෑනෙ මණී ආන්ටි”
“අනේ නෑ පුතේ. මං නොදන්නවයැ ඔයා ගැන. මේ කොල්ලොම ඉන්න ගෙදර පොඩි කාලෙ ඉඳලම නිදහසේ හිටිය කෙල්ලනෙ ඔයා. ලොකු පුතා එහෙම කියන්න ඇත්තෙත් වැරදි අදහසකින් නෙවෙයි මයෙ හිතේ..ආයු මාගිට පණ ඇරගෙන ආදරේ නිසා…”
“මාත් ආයුට එහෙම ආදරෙයි තමයි මණී ආන්ටි. අනේ මන්දන්නෑ ලොකයියවනං පුනරුත්ථාපන කඳවුරකට දාල ගන්න වෙයි වගේ. ඇයි අනේ…”
ඇගේ තරහ නිවුණු වග ඒ අවසන් භාගයට එන විට කාටත් වටහා ගත හැකි විය. “කෝපි ටිකක් බොනවද මාගි” කියා මණී ඇසුවාට අමාගි ඊට නතර නොවී ගෙදර ගියා ය. සැබවින් ම ඇයට කේන්තියක් නැත. ඒ වෙනුවට දෙතොල් අතරේ සිනහවක් තිබිණ. ඒ සිනහව අක්කලාගෙන් වසං කරගනු වස් ඈ නිදන්නට සූදානම් වූයේ බිත්තිය පැත්තට හැරී ය. ඇගේ සිත්හි ශාක්‍ය, පූජන හෝ රුසිරු පිළිබඳව කිසිදු අදහසක් නොවන වග ඒ විදිහට මූණට ම කියා දමන්නට අවස්ථාවක් ලැබුණ එක වටී. දැන් ඉතින් ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුට ඇය වෙත ප්‍රේමාරාධනයක් කිරීමේ අවස්ථාවක් ඉතිරි වී නැත!
මහානාම සහෝදරයන් හතර දෙනාට ම එදා නින්ද පමා කරනා නො සන්සුන් බවක් දැනෙමින් තිබිණ. අමාගී ඒ තරම් කේන්ති ගත්තේ ඇයි දැයි ආර්ය යළි යළිත් සිතුවේ ය. කෙසේ වෙතත් ඒ කේන්ති ගැනීම තුළ ඔහු අනියත සතුටක් වින්දේ ය.
“තමුසෙල මාර මිනිස්සුනෙ. ඒ ටිකට අරයට කේළම කිව්වද… මට බැනල ගියා එක්ස්ප්‍රස් කෝච්චියක් වගේ”
උදයේ ආර්ය සහෝදරයන්ට විහිළුවක් කළේ ය. ඔහු හිටියේ සැහැල්ලුවෙනි. නමුත් අනිත් තිදෙනාගේ ම හිත් වල බරක් විය. තුනී රිදුමක් විය. බලාපොරොත්තු සුන් කරගන්නට වීමේ පශ්චත්තාපයක් විය. නමුත් වෙනදා වාගේ කිසිවෙකුට ආර්ය ගැන අපැහැදීමක් වූයේ නැත. ආයු අමාගී ට බැඳීම පිළිබඳව ආර්ය ට ද්වේශ කිරීමේ හේතුවක් පේන්නට තිබුණේ නැත. නිධීගෙන් පැමිණිය හැකි අනපේක්ෂිත අකරතැබ්බයකට ගොදුරු නොවනු වස් උපදෙස් රැසක් වැඩිමහල් සහෝදරයන් තිදෙනා ගෙන් ලැබිණ. රැකියාවක් නොකරන රුසිරු ට රස්තියාදුවේ නොයා ගෙදරට ම වී ඉන්නට නියම කෙරිණ. පිටත විමසා බැලීමකින් තොරව ආයු ව ගෙදරින් පිටතට නො ගන්නට ද නියමිත විය.
මේනකා වැඩට හිටියාට ආයු බලාපොරොත්තු වූයේ අමාගී ව ය. මේ ගැන මේනකා තුළ ඊර්ෂ්‍යාවක් විය. ඇය දරුවා බලාගන්නා පිළිවෙළ ගැන අමාගී ගේ ප්‍රසාදයක් වූයේ නැත.
“ආයුට අතින් කවන්න එපා. ස්පූන් එකෙන් කවන්න”
යනුවෙන් අමාගී චෝදනා කළේ මේනකා ගේ දිගට වැවූ නියපොතු දෙස බලා ය.
“ඒව අස්සෙ මොන ජරාව තියනවද දන්නෑ. පොඩි එකාගෙ බඩට විසබීජ යනවනෙ”
ඈ ඒ චෝදනාව කළේ මණී සමගින් ය.
“නිකං වතුරෙන් හෝදල කිරි හදන්නෙපා. බෝතල් සූප්පු තම්බල ගන්න. ඕවයෙ ජර්ම්ස් තියෙන්න පුළුවන්”
මේනකා ආයු ගේ කිරි එක තනත්දී මතක් කරන්නට අමාගී ට සිදු විය.
“බබා බලාගෙන මට ඒවත් කරන්න බෑනෙ. ඒව උදේට කරල තියන්න ආන්ටි එහෙනං”
මේනකා ඒ වගකීම මණීට ම පැවරුවා ය.
“මේක මාර වැඩක්නෙ. එතකොට එයා ඇවිත් ඉන්නෙ ආයු එක්ක සෙල්ලං කර කර ඉන්න විතරද…”
අමාගී කඩා පැන්නේ මණී ගේ ඇඟට ය.
“අනේ මන්දා දරුවො. ඔන්නොහෙ කමන්නෑ ඉතිං. දරුව බලාගන්න එකත් මට ලොකු දෙයක්නෙ”
“ඒ වුණාට… ළමයව බලාගන්නව කියන එකට ළමයගෙ වැඩත් අයිතිනෙ”
ආයු බලාගැනීමත් අමාගී එහි ගිය විට කෙරෙන්නේ ඈ අතිනි. අමාගී දකිනා පමාවෙන් “අන්න ඔයාගෙ මා” යයි පවසා ආයුව අවුස්සා තබන ඇය, ඔහු ව අමාගී ට ම පවරයි. ඒ කාලය වෙන් කරන්නේ ජංගම දුරකතනයට එබීගෙන සමාජ මාධ්‍ය වල රස්තියාදු වෙන්නටයි.
“මාර එක්කෙනෙක්වනෙ ආයු බලාගන්න හොයං ඇවිත් තියෙන්නෙ”
ඉවසා බැරි ම තැන අමාගී ඒ කේන්තිය පිට කළේ ද ආර්ය පිටිනි. ඔහු තරමක කැළඹීමකින් බැලුවේ ය.
“ආයු බලාගන්න නෙවෙයි. ඔයාව බලාගන්නනං එයා හොඳවෙයි”
ආර්ය ට සිනහ නැගිණ. අමාගී රවා බැලුවා ය.
“මොකද්ද මං කරපු වැරැද්ද… හැම එකටම මට බණින්නෙ…”
ඔහු ඒ සිනහව ගිල ගැනීමේ උත්සාහයක් දරමින් පසුබෑවේ ය.
“වැරැද්ද තමයි”
ගස්සාගෙන ආර්ය වෙතින් ඉවත් වූවාට ඔහු ගේ වරදක් අන්න අරක යයි පෙන්වන්නට ඇය දැන සිටියේ නැත. නමුත් සිය ළමා වියෙහි පටන් ඔහු විසින් නොකඩවා ප්‍රතික්ශේප කරනු ලැබූ මේ කෙල්ල ආයු ට දක්වන ආදරයෙන් ඔහු ගේ පපුව ද පිරෙමින් පැවති බව ආර්ය රහසේ වටහාගනිමින් සිටියේ ය.