අපි පුංචි කාලෙ හරි ආසාවෙන් රස බලපු ජෙලි රසට හැපුණු සීනි තැවරුණු ජුජුබ්ස් මතකද?
දැන් ජුජුබ්ස් ඉස්සර වගේ රස නෑ කියල ඔබට හිතෙනව නම්, ඔන්න ඉස්සරටත් වඩා රසට හරිම ලේසියෙන් ජුජුබ්ස් ගෙදරදිම හදන්නෙ කොහොමද කියල දෙන්න අපි සූදානම්.
එහෙනම් ජුජුබ්ස් හදන්න අවශ්‍ය කළමණා සූදානම් කරගමු අපි මුලින්ම.
අවශ්‍ය ද්‍රව්‍ය
ජෙලටීන් මේස හැඳි 02 ක්
වතුර කෝප්ප ½ ක්
සුදු සීනි කෝප්ප 01 ක්
වතුර කෝප්ප ½ ක්
ලෙමන් හෝ දෙහි යුෂ තේ හැන්ඳක්
ඔබ කැමති රස සහ වර්ණක කීපයක්
තැවරුම සඳහා සීනි
අයිස් කැට සෑදීමට ගන්නා තැටියක් හෝ දෙකක් තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම භාජනයක් ගෙන එයට වතුර කෝප්ප ½ සහ ජෙලටීන් දමා හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
දැන් තවත් භාජනයක් ලිප තබා එයට සීනි සහ වතුර එකතු කර හොඳින් කලවම් කර මඳඟින්නේ වතුර නටන තුරු හැඳිඟා ගන්න.
වතුර නටන විට සීනි හොඳින් දියවී ඇතිදැයි පරීක්ෂා කර එයට ලෙමන් හෝ දෙහි යුෂ එකතු කර නැවත කලවම් කරගන්න.
දෙහි යුෂ එකතු කර ලිපේ ගින්දර හොඳින්ම අඩුකර විනාඩි 05 ක් තබාගන්න.
නැවත සියල්ල හොඳින් කලවම් කරන අතරතුරම කලින් සාදාගත් ජෙලටීන් මිශ්‍රණය එකතු කර එය හොඳින් දියවෙන තෙක් කලවම් කරගන්න.
දැන් මේ භාජනය ලිපෙන් ඉවත් කරගෙන තබාගන්න.
ඒ අතරතුර අයිස් කැට සාදන තැටියට හොඳින් තෙල් ස්වල්පයක් ගාගන්න.
ඉවතට ගත් භාජනයේ ඇති මිශ්‍රණය කොටස් කීපයකට බෙදාගන්න.
එක් එක් කොටසට ඔබ කැමති වර්ණක බින්ඳුවක් සහ රසකාරක තේ හැඳි ½ ක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණය අයිස් කැට සාදන තැටියේ වළවල් වලට වත්කර ශීතකරණයේ පැය 03 ක් 04 ක් පමණ කාලයක් තබා ඉවතට ගෙන සෑදුණු ජුජුබ්ස් කැබලි වලවල් වලින් ඉවතට ගන්න.
පැතලි භාජනයකට සීනි දමා සාදාගත් ජුජුබ්ස් කැබලි වල සීනි තවරා ගන්න.
සීනි තවරාගත් ජුජුබ්ස් කැබලි දැල් ආධාරකයක් මත තබා දවසක් පමණ තැබීමෙන් ජුජුබ්ස් වලට සීනි හොඳින් ඇලෙන බව ඔබට දැකගන්න පුළුවන්.
ඔන්න අපි රසම රස ජුජුබ්ස් හදාගෙන ඉවරයි.
මේ ජුජුබ්ස් විදුරු භාජනයක අසුරා තබා ඔබ කැමති වෙලාවක රසවිඳින්න දැන් ඔබට පුළුවන්.
එහෙනම් මේ විදිහෙ රසම රස පිරිසිදුවට ජුජුබ්ස් හදමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |