ආයු රෝහලේ සිට ගෙදර ගෙන පැමිණි ඉක්බිති, මහ වැස්සක් වැස නිමා වූවා සේ පරිසරය මුළුමනින් නිශ්චල විය. ආයු සම්බන්ධ සියලු තීරණ ගැනුණේ අමාගී අතිනි. ඇගේ වචනයකට කිසිවෙකු විරුද්ධ වූයේ නැත. ආයු ගේ සම්පූර්ණ භාරකාරත්වය නො නිල වූ මාර්ගයකින් ඇයට පැවරුණා සේ ය. ආයු දිනෙන් දින වඩා සුව අතට ද සාමාන්‍ය තත්වයට ද පත් වීම නිසා කිසිවෙකුට ඊට වඩා මාහැඟි යමක් නොවූ තරමි. ආයු හා අමාගී අතරේ බන්ධනය දිනක් ගානේ නොව මොහොතක් ගානේ දැඩි වෙමින් තිබූ බවට සොබාදහම සාක්ෂි දරයි.
දික්කසාද නඩු වාරයක් විභාගයට ගැනිණ. ඊට පෙර දා නිධී ආර්ය ට කතා කොට අවසන් උත්සාහය ද දැරුවා ය. නමුත් සිදු වූ දේ අමතක කොට යළිත් ඇය සමගින් සමාදාන වන්නට ඔහු ට ඕනෑ වූයේ නැත.
“මං ඕනතරං මිනිස්සුන්ට සමාව දෙන මනුස්යෙක් නිධී. හැබැයි ඔයා දැං මගෙ හිතෙං සෑහෙන්න ඈතට ගිහින් ඉවරයි. මොකද ඔයා මේ වරද කළේ මට නෙවෙයි ආයුට”
නිධී උත්සාහ කළේ ආයුව ඇය සතු කරගන්නට ය. ආර්ය ට ඈ එපා වී ද ආයු ගේ නාමයෙන් ඔහු එතකොට ඇය වෙත ගෙන්වාගත හැකි වනු ඇත. මේනකා ගේ මාර්ගයෙන් ආයු ව පැහැරගන්නට නිධී උපක්‍රමයක් යෙදුවේ එබැවිනි. මේනකා යනු නිධී පෙර සිට හැඳින සිටි අයෙකු නොවේ. ඈ මුලින් ම මේනකා ව දුටුවේ ආයු බලන්නට කියා මහානාම ගෙදරට පැමිණි දා ය. ඉනික්බිති මග රැක සිට ඇය නිධී සමගින් හිතවත් වූවා ය. ආයු කෙරේ අමාගී පෙන්වන අයිතිය මත අමාගීව සතුරෙකු කරගෙන සිටි මේනකා, සතුරා ගේ සතුරාව මිතුරා කර ගන්නට දෙවරක් සිතුවේ නැත.
“ඔයා ආයුව උදුරං ගියා කියල මට කියන්න පුළුවන්නෙ. බලමුකො ඊට පස්සෙ අර අමාගිට මොකද වෙන්නෙ කියල”
කෙසේ වෙතත් අමාගී නිසා ම අසාර්ථක වූ ඒ උත්සාහයෙන් පසු, ආර්ය ගේ අනුකම්පාව දිනාගැනීම මිස වෙන මාර්ගයක් නිධී ට නොවිණි.
“සමාව ඉල්ලනවනං එක අවස්ථාවක් දුන්නනං ඉවරනෙ. සමාව දුන්නහම අපි සුව වෙනව ලොකයියෙ”
අමාගි එසේ කීවේ ගෙදර සියලු දෙනා ඉදිරියේ ආර්ය ඒ පුවත හෙළි කරත්දී ය. ආයු වෙනුවෙන්, ඔහු ගේ මානසික සුවය වෙනුවෙන් ආර්ය හා නිධී දෙපැත්තට කඹ අදින්නේ නැතිව එක්තැන් වීම හොඳ ම පිළිතුර යයි ඇයට සිතෙනා බැවිනි.
“සමාව දුන්නහම අපි හීල් වෙනව තමයි අමාගි. හැබැයි අත්ඇරියහම අපි වර්ධනය වෙනව. පරිණත වෙනව. ඔයාට තාම ඒව තේරෙන්නෑ”
ආර්ය දැන් සිටින්නේ යළි නිධී ගේ හුළඟක්වත් වදින්නට කැමති නැති තැනෙක බව මණී තරම් හොඳින් දැන සිටි වෙන කෙනෙකු නැත. එබැවින් ඕ තොමෝ ලොකු පුතාගේ තීරණය ආපසු හැරවීමේ ලා කිසිදු උත්සාහයක් නො ගෙන සිටියා ය.
දැන් අමාගී සිය දවසෙන් වැඩි කාලයක් ආයු වෙනුවෙන් ගත කරයි. ඔහු ට පිටිකිරි පොවයි. ඝණ ආහාර කවයි. දරුවා ආහාර ප්‍රතික්ෂේප කරත්දී, කෙසේ හෝ රවටා අම්මා කෙනෙකු ගේ කැපවීමෙන් කවයි පොවයි. මණී සමගින් ආයුව මාසික ළදරු සායනයට කැටිව ගියේ ඈ ය. ඔහු ගේ බර රේඛාව කොළ පාට තීරයේ ඉතා ඉහළට ගමන් කර තිබෙනු දැක ඇය අතිශය ප්‍රීතියට පත් වූවා ය. ආයුව නිදි කළ යුතු වෙලාවන්, ඔහු අවදි වන වෙලාවන්, ඔහු ට සෙල්ලම් කරන්නට හැරිය යුතු වෙලාවන් ඇය තමා විසින් අධ්‍යයනය කරමින් ඉගෙන ගත්තා ය. ඔහු කන්නට කැමති දේවල් හා කන්නට දිය යුතු දේ ගැන මැනවින් දැනගත්තා ය. ආයු නාවන හැටි, වතුර අඩු හෝ වැඩි වී සෙම්ප්‍රතිශ්‍යාව නො වැළඳෙන සේ ඔහු නාවන හැටි ඇය දැනගත්තා ය.
උදේට ආයු ගේ කිරි බෝතලය පොවා ගන්නට අමාගී ඇඳට පැමිණිය යුතු වේ. නැත්නම් ඔහු කිරි බෝතලයෙන් බාගයකට වැඩිය ඉතිරි කරයි. එතකොට රිදෙන්නේ අමාගී ගේ හිත ය. එබැවින් ඈ ඔහු අවදි වන විට දිව එයි. බොහෝ අවස්ථා වල ඒ වෙලාවට ආර්ය නික්ම ගොසිනි. නැතහොත් රැකියාවට යාමට සූදානම් වී හිඳී. ඔවුන් දෙදෙනා දැන් ඉස්සර වාගේ උනුන් ගේ මුහුණු දෙස නො බලා ඉන්නේ නැත. නමුත් එහෙමය කියා ලොකු ඇසුරක් ඇත්තේ ද නැත. අමාගී බලයෙන් ඔහු ගේ කතාවකට මුව පෙව්වොත් මිස ආර්ය නම් එහෙම ඇලී ගැලී එන්නේ ම නැත. නමුත් ඔහු ගේ හදවතේ විසල් ඉඩක අපමණ කෘතවේදීත්වයක් ඇය වෙනුවෙන් වෙන් වී තිබේ.
උදේ ට ආයු ගේ කිරි බෝතලය පෙවිය යුතු වන්නේ අමාගී ද යහනේ වැතිරගෙන ය. ඒ වෙලාවට කතන්දර අසන්නට ඔහු ට උවමනා වේ. අමාගී ඉතින් කටට එන කතන්දර මවා කියයි. ආයු වැඩිපුර කැමති වාහන ගැන කතා අසන්නටයි. ඒ වාහන කතා කරයි. කිරි බොයි. හබුන් කයි. උගුර රිදෙනා තුරා කතන්දර කියමින් කිරි එක හිස් කරන තෙක් ඉවසා, ඊළඟට ඇය කාමරය අස් පස් කරයි. ඇඳ ඇතිරිලි සකසා, ජනේල තිර රෙදි විවර කොට, තාත්තාගේත් පුතාගේත් කිළිටි රෙදි කූඩයට දමයි. බොහෝ විට ඒ රෙදි කූඩය සේදුම් යන්ත්‍රයට දමන්නේත් ඇයයි.
“අනේ මාගි එපා පුතේ තියන්න මං ඕව කරගන්නං”
කියා මණී කෑගසන විට,
“හරි ඉතිං ඕක මැෂින් එකට දැම්මට මුකුත් වෙන්නෑනෙ. මණී ආන්ටි වේලෙන්න දාන්න”
යයි වෙනසක් නැතිව පවසයි. නමුත් අමාගී ගේ හදවත ඇතුළේ වෙනසක් වෙයි. මිහිරක් වෙයි. ඔහු ආර්ය ගේ ඇඳුම් එකතු කරන්නේත් හෝදන්නට දමන්නේත් ආදරයේ හැඟුම් කෝටි ගණනක් සමගිනි. ඒවා අලුතෙන් අංකුර නැගෙනා හැඟීම් නොවේ. කාලයක් තිස්සේ මුල් දිවූ ඉපැරණි ඒවා ය. මෙතෙක් කලක් කුඩා බඳුනක සීමිත ඉඩක දිවූ මුල්, පැළය භූගත කළායින් පසු නිදහසේ හා කලබලයෙන් භූමිය පුරා දුවන්නා සේ ඒවා පැතිරෙයි. නමුත් ඒ ඇගේ හදවත නමැති දෙරණ මත යි.
කාමරය අස්පස් කොට පිළිවෙළට තබන්නේ ඇය බව ආර්ය දනී. ඇතැම් විට ඔහු ගේ රෙදි නවා ඇඳ මතින් තබා තියෙන්නේ ද ඇයයි. ඒ ගනු දෙනු නොවේ. ඒ කරණා කිසිවක් වෙනුවෙන් ඇය පෙරලා ඔහු වෙතින් කිසිවක් නොපතයි. ආයු ළඟින් ඉන්නට දෙන එක ප්‍රමාණවත් ය!
අමාගී ආයු ට බොන්නට පිටි කිරි බෝතලය අල්වාගෙන යහනේ වැතිරී සිටි උදයක හදිසියේ ම ආර්ය නාන කාමරයේ සිට කාමරයට ආවේ ය. ඒ වෙලාවේ ඇය එහි වෙතැයි කල්පනාවක් සැබවින් ම ඔහු ට වූවා නොවේ. ආර්ය සිටියේ කෙටි සළුවක් ඉණට හැඳගෙන ය. ඔහු එසේ දුටු ගමන් අමාගී ට කෑගැසිණි. ආයු බිය වෙතැයි සිතුණ ගමන් ඇය අතින් මුව වසාගත්තා ය. ආර්ය ගල් ගැසුණා සේ වූයේ ය. ඔහු ව නො පෙනෙන සේ අමාගී සැනෙන් ඇස් දෙක වසා ගත්තා ය. සූප්පුව මුවෙහි තිබියදී ම ආයු හිටියේ සිනහ වෙමිනි.
“ඇඳුං දාන් එන්න අප්ප”
සූප්පුව මුදා හළ ආයු හඬ නගා සිනහ වූයේ ය. ආර්ය ඉක්මනට ඇඳුම් ටික ගෙන කාමරයෙන් පිටතට ගියේ ය.
“ඔවා බය උනාද තාත්තිට…”
ආයු ට මේ ලොකුවට සිනහ වෙන්නට හේතුවකි.
“බයවෙනව නේන්නං. හොල්මනක් වගේ. ඉක්මනට කුක්කු එක බොන්න බබා. මට යන්න ඕනෙ”
“බා. මා යන්න බා”
ආයු ඇගේ ගෙල වටා අතක් ද සිරුර මකින් කකුලක් ද දමා අමාගී ව ඔහු වෙතට තද කොට ගත්තේ ය. ආර්ය යළි කාමරයට පැමිණියේ කොට කලිසමක් ද ටී බැනියමක් ද දමාගෙනයි.
“කාමරේට එනකොට හරියට ඇඳුං ඇඳං එන්න දන්නැද්ද”
අමාගී කඩං පැන්නා ය.
“මං දන්නෙ කොහොමද ඔයා ඉන්නව කියල”
ඔහු ඇයට නො දෙවෙනිව සැර දැම්මේ ය. ආයු තවමත් කිරි බොමින් සිනහ වේ. ඒ කිරි සිනහව හුරතල් ය. සිපගන්නට තරම් ආදරණීය ය.
“මං හිටියත් නැතත් බාතෲම් එකේ ඉඳං රූම් එකට එනකොට හරියට ඇඳුං ඇඳං එන්න ඕනෙ”
“මේක මගෙ රූම් එකනෙ. කවුරුත් නෑ කියල මං දන්නවනෙ”
“ඒත් මේ මං හිටියෙ”
“කොල්ලංගෙ කාමර වලට එනකොට ගෑනු ළමයි දැනගන්න ඕනෙ ඒක”
“මං වෙනදට එනකොට නෑනෙ. ඒකනෙ බය නැතුව එන්නෙ. අනිත් එක මාර කොල්ල. ඉස්සර කාලෙ වෙන්නැති”
“වෙනදට නැති වුණාට වීකෙන්ඩ් එකේ මං ඉන්වනෙ”
“අද සැටඩේ කියල මට මතක් වුන්නෑ. අනික කා එක තිබ්බෙ නෑනෙ එලියෙ”
“කා එක ඊයෙ රෑ යාළුවෙක් ගෙනිච්ච”
“ඒවට ඉතිං මං නෙවෙයිනෙ වැරදිකාරය”
“කටනං තියනව මහ ලොකුවට”
අවසානය වන විට දෙදෙනා ගේ ම සැර බාල වී තිබිණ. ආර්ය පහළ මහළට ගියේ ය. අමාගී ගේ දෙතොල් අතරේ සිනහ රේඛාවක් සරැලි නැගුවේ ය. තවත් ටික වෙලාවක් ඔහු ව කතාවට අල්වාගෙන ඉන්නට තිබුණා නම් හොඳ යයි සිතිවිල්ලක් ඇති වී හෙමිහිට තුනී වී ගියේ ය.
ආර්ය පියගැට පෙළ බසිනා විට සහෝදරවරු ඔහු ගේ මූණ දෙස බලා සිටියහ. ඒ සිනහ රැල්ල හංගාගන්නට ඔහු සමත් වූයේ නැත.
“මොකද තමුසෙ තනියම හිනාවෙන්නෙ…”
ශාක්‍ය ට ඒ කුතුහලය යටපත් කරගත හැකි වූයේ නැත.
“වොශ් රූම් එකේ ඉඳං කාමරේට ආව කියල මට බණිනව. මට දැං කාමරේට යන්නත් පර්මිශන් ගන්න වෙලා”
ඔහු ගේ නෝක්කාඩුවේ අමනාපයක් වූයේ ම නැත.
“තමුසෙ ඇඳුං නැතුව නෙවෙයිනෙ ආවෙ…”
ඒ පූජන ය.
“පිස්සුද තමුසෙට…”
“ඇති යන්තං”
“තමුසෙලගෙ මහ රැජිනගෙ මාර ලෝ පාට් නේ තියෙන්නෙ…”
ආයුව වඩාගෙන අමාගී පහළට පැමිණෙමින් සිටියෙන් කවුරුත් කතා කළේ නැත.
“තාත්ති බැනුං ඇව්ව මාගෙන්..හොඳ ඇඩේ නෝටි වෙනවට”
ආයු හුරතල් සිනහවකින් එසේ කියාවියි අමාගි වුව බලාපොරොත්තු වූයේ නැත. බණින්නට හේතුව කිසිවෙකු විමසුව හොත් ඇය කුමක් නම් කියන්න ද?
“හූ ඌ… තාත්ති බයඋණා මාට”
ආර්ය ට, මාගි ට සේ ම අනිත් තිදෙනාට ද කර කියාගත හැකි කිසිත් වූයේ නැත. අමාගී මුණිවතින් ම ඉක්මන් කොට මුළුතැන්ගෙට පැනගත්තා ය. සහෝදර ඇස් ආර්ය වෙතට ම දැල්වීගෙන තිබිණ. රුසිරු කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.