ලස්සනට රසට පුරවා බදින මාළු මිරිස් රෝල් 

අපි කාගෙත් එළවළු මල්ලෙ වරදින්නෙ නැතුව දකින්න ලැබෙන මාළු මිරිස් ගොඩක් වෙලාවට කරවල වගේ තෙම්පරාදු වලදි සහ මස් මාළු ඩෙවල් වගේ හදද්දි තමයි අපි වැඩිපුරම භාවිතා කරන්නෙ. 

ඒත් මාළු මිරිස් හින්දුම වගේම මාළු මිරිස් හොද්දෙ තියන රස දන්න කෙනෙක් මාළු මිරිස් ඒ විදිහට පිළියෙල කරන කන්නත් දක්වන ප්‍රියතාවය බොහොම වැඩියි කියලත් අපි දන්නව. 

ඔන්න අපි අද මාළු මිරිස් භාවිතා කරල හදන්න පුළුවන් සැර රස පිරුණු තවත් රසවත් කෑමක් හරියටම හදන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි සූදානම් වෙන්නෙ. 

අද අපි බලමු මාළු මිරිස් පුරවල බැදගන්න හරිම විදිහ මොකක්ද කියල. 

හරි පිළිවෙල ලස්සන මාළු මිරිස් ටිකක් හොඳ සුවඳට හදාගන්න මේ විදිහට ඔබට පුළුවන්. 

එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු මුලින්ම.

අවශ්‍ය ද්‍රව්‍ය 

බැටර් එක සඳහා 

කඩල පිටි කෝප්ප 01 ක් 

හාල් පිටි කෝප්ප ¼ ක් 

මිරිස් කුඩු තේ හැන්ඳක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

රස අනුව ලුණු 

බේකින් සෝදා තේ හැඳි ¼ ක් 

වතුර 

පිරවුම සඳහා 

තම්බා පොතු ඉවත් කරගත් අල ගෙඩි 02 ක් 

කුඩාවට කපාගත් අමු මිරිස් කරලක්

කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩි ½ ක් 

මිරිස් කුඩු තේ හැඳි ½ ක් 

කහ කුඩු තේ හැඳි ¼ ක් 

සූදුරු තේ හැඳි ½ ක් (කැමති නම් පමණක්)

රස අනුව ලුණු කුඩු 

මාළු මිරිස් කරල් 04 ක්

දිග මහත මාළු මිරිස් කරල් හොයාගන්න පුළුවන් නම් වඩා හොඳයි. 

තෙල් 

එහෙනම් අපි මුලින්ම බැටර් එක සාදාගමු. 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ගෙන එයට කඩල පිටි, හාල් පිටි, මිරිස් කුඩු, කහ කුඩු, බේකින් සෝඩා සහ රස අනුව ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න. . 

හැන්දෙන් මිශ්‍රණය ඉහළට ඔසවා වත්කරන විට නොකැඩෙන නූලක් ලෙස උකු මිශ්‍රණයක් ලැබෙන තුරු එයට වතුර ටිකෙන් ටික එකතු කරමින් කලවම් කරගත යුතුයි. 

දැන් මේ මිශ්‍රණය උස වීදුරුවකට දමා පසෙකින් තබාගෙන මාළු මිරිස් සූදානම් කරගමු. 

වෙනත් භාජනයක් ගෙන එයට තම්බාගත් අල දමා හොඳින් පොඩිකර එයටම අමු මිරිස්, ලූණු, මිරිස් කුඩු, කහ කුඩු, රස අනුව ලුණු සහ සූදුරු එකතු කර හොඳින් කලවම් කරගෙන තබාගන්න. 

දැන් මාළු මිරිස් කරලක් ගෙන එය වෙන් නොවෙන සේ එක් ඉරකින් දිගට පලාගෙන එම දිග සිදුරෙන් ඇතුලට සාදාගත් අල මිශ්‍රණය හොඳින් අසුරා ගන්න ඕන. 

අල පිරවීමේදී මාළු මිරිස් කරල පලාගත් ඉරෙන් ඉරී වෙන් නොවෙන සේ තබාගන්න ඔබ ප්‍රවේශම් සහගත වෙන්න ඕන. 

ඕනවට වඩා අල පුරවන්න එපා එවිට මිශ්‍රණය මාළු මිරිස් කරලෙන් එළියට පැමිණ ඔබේ මාළු මිරිස් වල පෙනුම අඩු වෙන්න පුළුවන්.  

මේ විදිහට සියළු මාළු මිරිස් කරල් වලට අල මිශ්‍රණය පුරවා අවසන් වූ පසු තෙල් තාච්චියක් ලිපතබා තෙල් හොඳින් රත්වීමට තබාගත යුතුයි. 

තෙල් රත්වූ විට මාළු මිරිස් කරල බැටර් එක පිරවූ වීදුරුවේ බහා මාළු මිරිස් කරලේ සෑම තැනම එක සමාන ලෙස බැටර් එක ගෑවුනු පසු ඉවතට ගෙන තෙල් තාච්චියට දමා රන්වන් පාට වෙනතෙක් පැත්තෙන් පැත්ත ප්‍රවේශමෙන් හරවමින් බැදගන්න ඕන. 

මේ විදිහට පුරවාගත් සියළුම මාළු මිරිස් බැදගන්න ඔබට පුළුවන්. 

ඒ වගේම ඔබ කැමති නම් අල මිශ්‍රණයට තම්බාගත් මාළු, උම්බලකඩ, සැමන්, තම්බාගත් මස් හෝ තම්බාගත් බිත්තර එකතු කරගන්නත් පුළුවන්. 

ඔන්න දිව වගේම ඇස පිනවන රසම රස මාළු මිරිස් මේ විදිහට හදල රස බලන්න අමතක කරන්න එපා. 

මේ වගේම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles